දේශීය සිනමාවට ඉන්දියානු ආක්‍රමණයක්

පෙබරවාරි 21, 2019

 එක් දහස් නවසිය හත වසරේ මෙරටට පැමිණි ඇල්ෆ්‍රඩ් තියටර් කම්පනි පසුකාලින ලාංකික සිනමාවේ පමණක් නොව ඉන්දියානු සිනමාවේ ද නිර්මාණ සඳහා සෘජු බලපෑමක් ඇති කළ වග පෙනි යයි. ඇල්ෆ්‍රඩ් තියටර් කම්පනි ඉන්දියාවේ බිහි වු පැරණිතම පාර්සි නාට්‍ය සමාගම්වලින් එකකි. එය බිහිවනුයේ 1871 වසරේ ය.

ඒ මනෙක් මාස්ටර්ගේ මෙහෙයවීම යටතේය. 1907 වසරේ සැප්තැම්බර් 9 වැනි දින මෙරටට පැමිණෙන ඇල්ෆ්‍රඩ් තියටර් කම්පනි හිමිකරුවනුයේ ඒ වන විට ඉන්දියානු පාර්සි නාට්‍යයන්ගේ සුපිරි නළුවා ලෙස සැලකුණ කොවාස්ජි පලන්ජි ඛටාඕය. දිළිඳු පවුලක උපත ලද කොවාස්ජි පළමුව එම්ප්‍රස් වික්ටෝරියා පාර්සි ඩ්‍රැමටික් කම්පනියේ ද ඉන්පසු ඇල්ෆ්‍රඩ් තියටර් කම්පනියේ ද සේවය කළේය.

නළුවකු. ගායකයකු. ගිත රචකයකු නාට්‍ය ප්‍රබන්ධකරුවකු ලෙස කොවාස්ජි ඉක්මනින් සිය අන්‍යතාව ගොඩ නගා ගත්තේය. අයිරිස් සොල්දාදුවෙකු ගේ දියණිය ලෙස ඉන්දියාවට පැමිණි මැජික් ලන්තෑරුම් දර්ශන පවත්වමින් නමක් දිනූ මේරි ෆැන්ටන් කොවාස්ජිට පෙම් බැන්දාය. කොවාස්ජි ඇයට රංගනය ඉගැන්වූයේය. ඔවුන් පසුව විවාහ වූ අතර ඇය මුල්ම ඇංග්ලෝ ඉන්දියානු නිළිය ලෙස වේදිකාවට පිවිසියාය. වේදිකාවේ ඇය මේරි ෆැන්ටන් වෙනුවට මෙහෙර්බායි යන ඉන්දියානු නම ගත්තාය.

ඔවුහු ඇල්ෆ්‍රඩ් ඩ්‍රැමටික් කම්පනි වෙතින් ඉවත්ව නිව් ඇල්ෆ්‍රඩ් කම්පනි නමින් නව සමාගමක් ගොඩ නැඟුහ. 1907 වසරේ කොවාස්ජි සමග මේ අයර්ලන්ත නිළිය ද ලාංකික වේදිකාවට ගොඩ වුණාය. ඔවුන් ඉන්දියානු සිනමාවට බලපාන්නේ ශේක්ෂ්පියර් නාට්‍ය රාශියක් ඉන්දියානුකරනයේ දැක්වූ අපූර්ව සමත් කම හේතුවෙනි. ශේක්ෂ්පියර් විසින් ස්වකීය නාට්‍ය කවර පසුබිමක ලා ගොඩ නැගූව ද එය ඉන්දියානු බිමෙහි කතාවක් ලෙස වේදිකා ගත කරන්නට කොවාස්ජිට හැකි විය.

තවත් ටික කලකදී ෆැන්ටන් කොවාස්ජිගෙන් වෙන්වූවාය. 1916 වසරේ දී කොවාස්ජි ලාහෝරයේ නාට්‍යයක් රඟ දක්වන අතරතුර දී මිය ගියේය. ඔවුන්ගේ පුත් ජහන්ගීර් ඛටාඔ විසින් සමාගම දිගු කලක් පවත්වාගෙන යන ලදී. අද මුම්බායි නගරයේ පැරණිතම සිනමාහල ලෙස සැලකෙන කැපිටෝල් සිනමාහල ටිවෝලි තියටර් නමින් 1879 වසරේ දී ගොඩ නඟන ලද්දේ ඇල්ෆ්‍රඩ් තියටර් කම්පනි මගිනි. පසුකලක නිව් ඇල්ෆ්‍රඩ් තියටර් මගින් එය මිළයට ගන්නා ලදී. 1923 වසරේදී ජහන්ගීර් විසින් එය කැපිටෝල් සිනමා ලෙස නම් කරන ලදී. ඇල්ෆ්‍රඩ් තියටර් කම්පැනි නාට්‍ය බෙහෙවින් ජනප්‍රිය වූයේ රංගෝපක්‍රම ද වේදිකා නිරමාණයේ ද පෙන්වන ලද ඉතා ඉහළ ප්‍රතිභාව සමගය.

ඉන්දියානු සිනමාවේ දී ශේක්ෂ්පියර් නාට්‍ය සිනමාවට නැංවූ බහුතරය පාර්සි නාට්‍ය රචකයන්ය. අපි ඒ කතා හා විලාසය කොපි කෙරුවෙමු.

ලංකික සිනමාවේ පුරෝගාමි ප්‍රදර්ශකයා වන ඇන්ඩ්‍රිගේ මරණය සිදු වන විට මෙරට සිනමා ප්‍රදර්ශනයේ මුල් බීජ පැතිරෙමින් තිබිණ. ඉන්දියාවේ සිට පැමිණි සංචාරක සිනමා ප්‍රදර්ශකයෝ මෙහිලා මහත් මෙහෙයක් කළහ. ඔවුහු ඉන්දියාවේ සෙසු ප්‍රාන්තයන්ගේ මෙන්ම (එනම් වර්තමාන පාකිස්තානය හා බංග්ලා දේශය ද ඇතුළුව) සිංගප්පූරුවේ සිට ඉරානය දක්වා ද අනික් පසින් ලංකාවට ද ගමන් කළහ.

ඔවුන්ගේ බඩු බාහිරාදිය අතර ප්‍රක්ෂෙපණ යන්ත්‍රයක් කූඩාරමක් හා හදිසියේ උයා පිහා ගත හැකි මෙවලම් ද තිබිණ. මේ සංචාරක වෙළෙන්දන්ගෙන් බහුතරයක් 1914 වන විට ඉන්දියාවේ බොම්බායේ හෝ කල්කටාවේ ස්ථිර පදිංචිකරුවන් ලෙස සිනමා ව්‍යාපාරය ගොඩ නැගූහ.

පළමු ලෝක මහා සංග්‍රාමය සමයේ රටින් රට ගොස් චිත්‍රපට ප්‍රදර්ශනයේදී හෝ වෙනත් ව්‍යාපාරවලදී බලවත් අපහසුතාවයට මුහුණ පෑමට ඔවුන්ට සිදුවිය. සංග්‍රාමය නිම වන තුරු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදනයේ පැහැදිලි වර්ධනයක් ද නොවිණ. චිත්‍රපට දළ සේයා පට ආදිය ආනයනයට බලවත් තහංචි පැනවී තිබිණ. ජනතා ආකර්ෂණය දිනා ගත්තද ළදරු කර්මාන්තයකට එය දරා ගත හැක්කේ අසීරුවෙනි.

ඇන්ඩ්‍රි ගේ දේශිය සිනමා ව්‍යාපාරයට එක් වන අනුප්‍රාප්තිකයා වනුයේ සී.වැග්නර්ය. වැග්නර් ද බර්ගර් ජාතිකයෙකි. 1911 වන තුරු ඉන්දියාව අගනුවර කොට ගත්තේ ඉන්දියානු සාගරයේ නැඟෙනහිරට තිබුණ කල්කටාවයි. අපරදිගට වන්නට අරාබි මුහුදට මුහුණ ලා පිහිටි බොම්බාය වෙළෙඳ නගරය ලෙස සැලකිලි ලබමින් සිටියේය. වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණයෙහිලා උත්සුක නොවුව ද චලන චිත්‍ර වාර්තා ඉන්දියාවේ බොහෝ දෙනාගේ ආකර්ෂණයට යොමු විය.

මහාරාජාවරු ඇතුළු ධනවතුන් ඔවුන්ගේ පෞද්ගලික උත්සව හා අවස්ථා රූප ගත කරවීමට චලන චිත්‍ර කැමරා ශිල්පින් යොදා ගත්හ. ඔවුන් අතර උත්සව රූප ගත කරවා ගැනීම විලාසිතාවක් විය. බොම්බායේ දුම්රිය ස්ථානයට දුම්රිය පැමිණීම, පූනාවේ මෝටර් රථ තරග ආදි වශයෙන් නිර්මාණය කරන ලද වාර්තා කිහිපයක්ම පැරණි ඉන්දීය සිනමා වාර්තා අතරෙහි ඉතුරුව ඇත. මෙම වාර්තා චිත්‍රපට ඉන්දියාවට පැමිණි යුරෝපීය සිනමා කැමරා ශිල්පීන් අතින් රුප ගන්වන්නට ඇතැයි විශ්වාසයයි.

1898 වසරේ ලන්ඩනයේ පිහිටු වන ලද වෝර්වික් ට්‍රේඩින් කම්පනි තෝමස් අල්වා එඩිසන් ගේ විටාග්‍රාෆ් අමෙරිකානු චිත්‍රපට මෙන්ම ලුමියේ සහෝදරයන්ගේ ද චිත්‍රපට බෙදාහැරීම බාර ගත්තේය. වෝර්වික් ඉන්දියාවට පමණක් නොව ලංකාවට ද චිත්‍රපට ආනයනයේ යෙදුණේය. මේජර් වෝර්වික් විසින් මදුරාසියේ මුල්ම සිනමාහල වූ ඉලෙක්ට්‍රික් තියටර් ශාලාව ගොඩ නංවන ලදී.

ඔහු 1907 වන විට මෙරටට පැමිණ සිනමා ව්‍යාපාරය ආරම්භ කළේය. ඇන්ඩ්‍රි විසින් අරඹන දේශිය සිනමා කර්මාන්තය ඉක්මනින් කලාපයේ ප්‍රධාන වෙළෙඳ සාධකය වන ඉන්දියානුවන් අතට පත්වන්නට පටන් ගත්තේ එහෙමය. .එයට හේතුව දේශීය ව්‍යාපාරිකයන් සිනමාවට දැක්වූ උනන්දුවේ මඳ බව නොවේ. මහා ව්‍යාපාර මගින් සුළුතර වෙළෙඳ පොළ පැහැර ගන්නා න්‍යායයි. බලසම්පන්න ඉන්දියානුවන්ට අභියෝග කළ හැකි දේශීය සමාගමක් ගොඩ නැඟෙන්නට තවත් දශක දෙකක් ගත විය.

මරාති ජාතික කැමරා ශිල්පියකු වන හරිශ්චන්ද්‍ර සක්රාම් භත්වදේකාර් හෙවත් සේව් දාදා මෙන්ම කල්කටාවේ හිරාලාල් සෙන් ද 1901 වසර වන විටත් ඉන්දියාවේ සිට ප්‍රවෘත්ති වාර්තා චිත්‍රපට නිර්මාණය කළේය. සේව් දාදා රූප ගත කළේ ලුමියේ සහෝදරයන්ගෙන් මිළයට ගත් කැමරාවක් මගිනි. ඔහු සිය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ප්‍රක්ෂේපණ යන්ත්‍රය මිළ දී ගත්තේද ලුම්යේ වෙතිනි. මල්ලව පොර ක්‍රීඩා තරගයක් ඔහු මෙලෙස රූප ගත කළ අතර ඔහුගේ වඩාත් වැදගත් කටයුත්ත වනුයේ ගිය සියවසේ ඉන්දියාවේ පහළ වූ විශිෂ්ට අධ්‍යාපනඥයකු මෙන්ම ගණිතඥයකු වූ ශ්‍රීමත් ආර්.පී.පන්ජ්පායේ එංගලන්තයේ අධ්‍යාපනය හමාර කොට නැව් මගින් බොම්බායේ වරාය ට පැමිණීමේ දර්ශන මාලාවයි.

පරන්ජ්පායේ පසුකලෙක ඉන්දියානු අධ්‍යාපන ඇමැති ධුරයට පත් විය. එමෙන්ම 1903 වසරේ එංගලන්තයේ හත්වැනි එඩ්වඩ් රජු ගේ මෞලි මංගල්‍යය නිමිති කොට කල්කටාවේ දී එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර කාසන් සාමිවරයා විසින් පවත්වන ලද උත්සවයේ වාර්තා චිත්‍රපටය ද ඉන්දියා සිනමා ඉතිහාසයේ වැදගත්ය. එය ද සේව් දාදාගේ නිර්මාණයකි. හිරාලාල් සෙන් වර්තමාන බංගලාදේශයට අයත් භක්ජූරි ගම්මානයේ උපත ලද්දෙකි. ඔහු නීතිඥවරයකුගේ පුතෙකි. කල්කටාවේ ස්ටාර් තියටර් හි ප්‍රොෆෙසර් ස්ටීවන්සන් විසින් පවත්වනු ලබන මැජික් දර්ශන අතරතුර රඟ දැක් වූ ද ෆ්ලවර් ඔෆ් පර්සියා නම් රංගනය රූප ගත කොට හිරාලාල් විසින් ප්‍රදර්ශනය කරන ලදී.

පසුව වෝර්වික් ට්‍රේඩිං කම්පනි වෙතින් මිළයට ගත් කැමරා හා ප්‍රක්ෂේපණ උපකරණ මගින් ඔහු රෝයල් බයිස්කෝප් නම් සමාගම පිහිටුවා ගත්තේය. හිරාලාල් හා ඔහුගේ සොහොයුරන් වන මෝතිලාල් සහ දේබකී ලාල් විසින් බොහෝ නාට්‍ය හා ගීත රූ ගන්වන ලදී. එමෙන්ම ඔවුහු වෙළෙඳ දැන්වීම් රාශියක් ද නිර්මාණය කළහ. ඔවුනගේ චිත්‍රපට බෙංගාලයේ බොහෝ ඉහළ පන්තියේ නිවාස උත්සව ආදියේ ප්‍රදර්ශනය කැර තිබිණ.

එහෙත් පසුකලෙක ගොඩ නැඟෙන මදාන් වැනි සමාගම් මෙන්ම වෙනත් සමාගම් හා තරග වැද ගත නොහැකි වන රෝයල් බයිස්කෝප් වසා දමන්නට සිදුවිය. 1917 වසරේ සිදුවන සෙන් ගේ මරණයෙන් පසු ඔවුන් තැනූ බොහෝ චිත්‍රපට ගින්නකට හසුව විනාශ විය. සෝම්නාත් රේ විසින් රචනා කරන ලද හිරාලාල් සෙන් අ මොනෝග්‍රාෆ් කෘතියේ ඔහුගේ නිර්මාණ ගැන කදිම විස්තරයක් පළවෙයි. 1907 වසර වන විට පැතේ ෆෙරර්, ගෝමන්, එක්ලයර්, විටාග්‍රාෆ්, ඇමරිකන් බයිස්කෝප් සහ ඩෙනිෂ් නෝඩිස්ක් වැනි සමාගම් ඉන්දියාවේ බින්න බැස හමාරය. මේ ප්‍රංශ සහ අමෙරිකානු සියලු සමාගම් මගින් අසල්වැසි ලංකාවේ සිනමාවට කරන ලද බලපෑම සුළුපටු නොවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.