ක්‍රිස්තු චරිතයෙන් අශෝකමාලාවට

පෙබරවාරි 28, 2019

ඉන්දියානු සිනමා ප්‍රදර්ශකයන් ආසියාව පුරා කරක් ගැසුව ද ඔවුන් වෘත්තාන්ත චිත්‍රපට නිෂ්පාදනය සඳහා ඉක්මන් වූයේ නැත. නැතහොත් පසුබිම සෑදුණේ නැත. එහෙත් ඉන්දියානු ඉතිහාසයේ බොහෝ සිදුවීම් චලන චිත්‍රය මගින් වාර්තා ලෙස ඉතිරි කරන්නට ඔවුන් පෙළඹී තිබිණ. 1910 වනවිට ලෝකයේ සිනමා කර්මාන්තය එහි මූලබීජයන් සකසා අවසන්ය. වසරේ වැඩි කලක් හොඳීන් ඉර පායන යහපත් කාලගුණයක් ඇති පෙදෙසක් ලෙස සැලකූ අමෙරිකාවේ හොලිවුඩ් ගම්මානය ලෝක සිනමාවේ අගනගරය වන්නට පිඹුරු පත් සැකසෙමින් තිබිණ.

මේ වන විට බ්‍රිතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යය ලොව පුරා සිය බල පරාක්‍රමය පවත්වමින් සිටි අවදියයි. එබැවින් බ්‍රිතාන්‍ය නිෂ්පාදන අභිබවා එකවරම ලෝකය අල්ලන්ට අමෙරිකානු සිනමාකරුවන්ට හැකියාවක් නොවිණ. එයට වඩා ප්‍රංශයට සිනමා අධිරාජ්‍යය ගොඩ නඟාගැනීමේ හැකියාව තිබිණ. ප්‍රංශයේ පැතේ ෆෙරර් සමාගමේ අධිපති චාල්ස් පැතේ ලෝකයේ මහා සිනමා බලපුළුවන්කාරයා ලෙස සැලකිණ. ඔහු ගේ ඇරැයුම පරිදි 1909 වසරේ පෙබරවාරි දෙවැනි දින අන්තර්ජාතික චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සම්මේලනය පැරිසියේ දී පැවැත්විණ. එය ප්‍රංශ වහරින් කෙටි කර හැඳීන්වූයේ ඛ්ධ්ච්ඡ්ජ් යනුවෙනි. සම්මේලනයේ මූලික අරමුණ ඒ වනවිට තර්ජනයක් වෙතැයි ලකුණු පළ කළ අමෙරිකානු සිනමාවේ බලය බිඳ දැමීම වුව එය ලෝකයට පෙන්වන ලද චිත්‍රය එයට වඩා වෙනස්ය. අන්තර්ජාතික ලේබලය ගසා ගත්ත ද එයට සහභාගි වූ නිෂ්පාදකයෝ බහුතරය යුරෝපීයෝ වූහ. එහෙත් අමෙරිකාවේ තෝමස් අල්වා එඩිසන්ට අයත් මෝෂන් පික්චර් පේටන්ට් කම්පනි නියෝජනය කරමින් එහි ප්‍රධාන පාර්ශ්වකරුවකු වූ ජෝර්ජ් ඊස්ට්මන් එයට සහභාගි විය. ප්‍රංශයේ ලියොන් ගෝමේ, ජොර්ජ් මේලියර්, චාල්ස් ජෝර්ජන්, මාෂල් වැන්ඩල් මෙන්ම බ්‍රිතාන්‍යයේ චාල්ස් අර්බන් වැන්නෝ සම්මේලනයේ සෙසු හවුල්කරුවෝ අතර වූහ. ජ්‍යෙෂ්ඨත්වය හා ගෞරවය නිසා මේලියර් ට සමුළුවේ සභාපති පදවිය පිරිනැමිණ. ඒ වන විට මේලියර්ගේ ස්ටාර් සමාගම බංකොලොත් වෙමින් පැවතිණ. ප්‍රධාන මේසයේ මේලියර්ට දකුනු පසින් ජෝර්ජ් ඊස්ට්මන් සහ චාල්ස් පැතේ ද වම් පසින් ලියොන් ගෝමේ ද අසුන් අරා සිටියහ.

ඒ වන විට පැවැති ස්වාධීන චිත්‍රපට බෙදාහැරීම වෙනුවට සංගමයේ සාමාජිකයන් අතර පමණක් චිත්‍රපට බෙදාහැරීම් සම්මුතියක් මෙහිදී ඇති කර ගත්හ. නිෂ්පාදනයෙන් මාස හතරක් ඇතුළත අදාළ චිත්‍රපටය නිල බෙදාහරින්නන් වෙත ලබා දිය යුතුයැයි මෙහිදී එකඟතාවක් ඇති විය. මෙය එකඟතාවක් පමණක් විය. නිෂ්පාදකයන් සහ ශාලා හිමියන් ගෙන් සමන්විත පිරිසක් විසින් ඔවුන් අතර ඇති කර ගත් සම්මුතිය ඒ වන විට නැග එමින් පැවැති ස්වාධීන සිනමා ප්‍රදර්ශකයන්ට මරු පහරක් විය. මේ වන විට සිනමාව ලොව පුරා ගෙන යෑමේ වඩාත්ම බලසම්පන්න වාහකයන් බවට පත්ව සිටියේ සංචාරක සිනමා ශාලා හිමියන්ය. සමුළුවේ තීන්දු බහුලව බලපෑවේ ඔවුන්ටය. මේ වන විට පසුකාලීනව ලෝක සිනමාවේ අදිසි හස්තයන් වන හොලිවුඩ් දැවැන්ත සමාගම් වූ පැරමවුන්ට් පික්චර්ස් සමාගමේ පුරෝගාමී වන ඇඩොල්ප් සුකර්, ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් බිහි කරන විලියම් ජේ. ෆොක්ස් , මෙට්‍රො ගොල්ඩිවින් මේයර් බිහි කළ ලුවී මේයර්, යුනිවර්සල් නිර්මාතෘ කාල් ලෙම්ලේ සහ වෝනර් සහෝදරවරු ද ඔවුන්ගේ සිනමා ව්‍යාපාරයන්ට සුළුවෙන් නමුත් අවතීර්ණය වෙමින් සිටියහ. කෙසේ වෙතත් මේ සමුළුවෙන් වඩා ඵල ලද්දේ ජෝර්ජ් ඊස්ට්මන්ය. ඒ චිත්‍රපට දළ සේයා පට සැපයීම සදහා ඒකාධිකාරයක් පවරා ගැන්මට ඔහු සමත්වීමෙනි. සමුළුවෙන් පසු මාර්තු 16 වන දින හෙළිදරවු වූයේ ඒ වන විට ඊස්ට්මන්ගේ කොඩැක් සමාගම යුරෝපයට එවා තිබූ දළ සේයා පට බහුතරය කල් ඉකුත් ඒවා වූ බවය. පැතේ මේ සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීමෙන් අඩියක් පස්සට ගත් ඊස්ට්මන් වහාම යුරෝපයේ එතෙක් පාවිච්චියට ගනිමින් තිබුණ සියලු දළ සේයාපට ඉවත් කොට අලුතින් සැපයීමට පියවර ගත්තේය. ඒ වන විට යුරෝපය පුරා දළ සේයා පටයට තිබුණ ඉල්ලුම කෙතරම්දැයි කිවහොත් අදාළ ඉල්ලුම එකවර සපයාලන්නට කොඩැක් සමාගමට දිවා රෑ නොතකා කටයුතු කරන්නට සිදුවිය. මෙය ඉන්දියාවේ මෙන්ම ආසියාවේ සෙසු කලාපයේ චිත්‍රපට නිෂ්පාදනයට සෘජුව බලපෑවේය. ඒ ඉන්දියානු ව්‍යාපාරිකයන් සිනමාවට අවතීර්ණ වුව ද චිත්‍රපට බෙදාහැරීම පිළිබඳ ඒකාධිකාරය යුරෝපය සතුවීම නිසාය. ඉන්දියාව චිත්‍රපට නිෂ්පාදනයේ ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කිරීම ආරම්භ වනුයේ 1919 වසරේ පමණය. ඒ වන විට පළමු ලෝක මහා සංග්‍රාමය නිමා වී අවසන්ය. ලෝක සිතියමේ සහ බලතුලනයේ පැහැදිලි වෙනසක් මේ වන විට දැකිය හැකි වකවානුවකි.

ඇන්ඩ්‍රි විසින් අරඹන ලද මෙරට සිනමාවේ ඊළඟ අනුප්‍රාප්තිකයා වන සී.වැග්නර් සිය සිනමා ශාලාව පිහිටුවන ලද්දේ ඒ වන විට අනුක්‍රමයෙන් නූර්ති ප්‍රදර්ශනයෙන් බැහැරවෙමින් පැවති කොළඹ කොටුවේ මල්වත්ත පාරේ ය. වැග්නර් සිය සිනමා කෘති ආනයනය කරන ලද්දේ ඉන්දියාව හරහා යැයි පැවසේ. වැග්නර් මෙරට ඒ වන විට බිහිවෙමින් සිටි සංචාරක සිනමා ව්‍යාපාරිකයන්ට ද චිත්‍රපට ලබා දුන් වග ඉතිහාසයේ සඳහන් වෙයි. ඒ අනුව ඔහු මෙරට මුල්ම චිත්‍රපට බෙදාහරින්නකු ලෙස හඳුනා ගත හැක්කේය. එමෙන්ම යුරෝපයේ සිට මෙරටට සෘජුවම සිනමා ප්‍රදර්ශකයන් පැමිණි වග ද මේ අවදියේ සොයා ගත හැකි කරුණකි. ප්‍රංශ සිනමා ඉතිහාසඥයකු වන ඊව්ස් තෝරාවල් විසින් ලියන ලද ද සිනෙමාස් ඔෆ් ඉන්ඩියා 1896-2000 ග්‍රන්ථයේ සඳහන් වන පරිදි දකුණු ඉන්දියානු සිනමාවේ පුරෝගාමියකු වන ස්වාමිකන්නු වින්සන්ට් විසින් ද ලයිෆ් ඔෆ් ක්‍රයිස්ට් චිත්‍රපටය මිළ දී ගනු ලබන්නේ ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදුණ ලුමියේ නියෝජිතයකු වන ඩුපොන්ටි වෙතිනි. ඒ 1905 වසෙර්ය. එයින් පැහැදිලි එක් කරුණක් නම් ඒ වන විට ලුමියේ ගේ නියෝජිතයෝ නැතහොත් යුරෝපීය චිත්‍රපට බෙදාහරින්නෝ මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ හෝ ආනයනයේ නැතහොත් බෙදාහැරීමේ යෙදුණ වගය. එමෙන්ම මදුරාසියේ ඇතැම් ඉන්දියානුවකු මෙරට දී චිත්‍රපට මිළ දී ගත් වගය. කොහොමටත් රටවල් දෙකක් වීම නොවන්නට කොල්කටාවට හෝ මුම්බායි වෙත යනවාට වඩා චෙන්නායි වැසියකුට කොළඹ ළඟ බැව් අමුතුවෙන් කිවයුතු නැත.එම අවදිය මේ සියලු රටවල් බ්‍රිතාන්‍යය ප්‍රාන්ත රාජ්‍යයන්ය.

මේ වකවානුවේ සිනමා ඉතිහාසය පිරික්සන්නෙකුට ද ලයිෆ් ඔෆ් ක්‍රයිස්ට් නමින් දැක ගත හැකි වනුයේ ප්‍රංශයේ පැතේ ෆෙරෙර් සමාගම මගින් නිපද වන ලද චිත්‍රපටයයි. ලූෂන් නොන්ග්වෙට් සහ ෆර්ඩිනන්ඩ් සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටය මිනිත්තු 44 ක් දිගය. පසුකලෙක මුල්ම ඉන්දියානු වෘත්තාත්ත සිනමා කෘතිය ලෙස 1914 වසරේ දොරට වඩින රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටය සඳහා ඉන්දියානු මහා භාරතයේ කතා පුවතක් පාදක කර ගන්නට එහි නිර්මාතෘ දාදා සහේබ් පාල්කේ (දූවින්දරාජ් පාල්කේ) පොළඹවාලන සාධකය වනුයේ ද ලයිෆ් ඔෆ් ක්‍රයිස්ට් චිත්‍රපටය නැරඹීමෙන් ලද උත්තේජනයයි. 1883 වසරේ කොයිම්බතූර් හි උපත ලද වින්සන්ට් ඉන්දියානු දුම්රිය සේවකයෙකි. වින්සන්ට් ඩුපෝන්ට් ගේ චිත්‍රපට දැක්මට වසඟවීමෙන් නොනැවතී ඔහු සතුව පැවැති චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍රය හා ද ලයිෆ් ඔෆ් ක්‍රයිස්ට් චිත්‍රපටය ද මිළයට ගත්තේය. රැකියාවෙන් ද සමුගන්නා වින්සන්ට් සංචාරක චිත්‍රපට ප්‍රදර්ශකයෙක් ලෙස ජීවිතය අරඹන්නේය. ඔහු චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදෙන්නේ ගම්මානයක් අසබඩ කුඩා බිම්කඩක තාවකාලික මඩුවක් සාදා ගනිමිනි. ගම්මානවලදී තාවකාලික මඩුවක චිත්‍රපට ප්‍රදර්ශනය එකල ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් විය. 1909 වන විට ප්‍රංශයේ ලුමියේ ගේ උපකරණ වෙනුවට අමෙරිකාවේ එඩිසන්ගේ සිනමා උපකරණ මිළයට ගන්නා වින්සන්ට් මදුරාසියේ මඩුවක් ඉදි කෙරුවේය.

පසුකලක කොයිම්බතූර් හි ඉදිවුණ මුල්ම ස්ථාවර සිනමාහල වන වෙරයිටි හෝල් ගොඩ නැංවූයේ ද විනසන්ට්ය. (වර්තමානයේ එය ඩිලයිට් සිනමා හලයි) එය මදුරාසි ජනපදයේ (වර්තමාන තමිල්නාඩුව ) මදුරාසි නගරයෙන් බැහැරව ඉදි කළ මුල්ම ස්ථාවර සිනමාහලයි. වෙරයිටි සිනමාශාලාව ප්‍රමුඛ කොට ගත් සිනමා ශාලා ජාලයක් මදුරාසි ප්‍රාන්තය පුරා ඉදි කරන්නට ද වින්සන්ට් සමත් විය. තමිල්නාඩු ප්‍රාන්තයේ විශාලත්වය සහ ජනගහනයෙන් චෙන්නායි නගරයට පමණක් දෙවැනි වූ කොයිම්බතූර් කලක් මදුරාසිය මෙන්ම දැවැන්ත චිත්‍රාගාර සහිත නගරයක් විය. එහි ගෞරවය හිමි විය යුත්තේ ඒ වන විට සිනමා ව්‍යාපාරයට අමතරව කර්මාන්ත ශාලා හිමිකරුවකු වූ වින්සන්ට්ය. වින්සන්ට් බී.රංගස්වාමි නායිදු , සහ ශ්‍රී රාමමුලු නායිදු එක්ව ගොඩ නැගූ සෙන්ට්‍රල් චිත්‍රාගාරය මේ අතරින් පුරෝගාමී විය. එය දකුණු ඉන්දියානු සිනමාවේ දැවැන්තම චිත්‍රාගාරයක් වූවා පමණක් නොව වැදගත් චිත්‍රපටකරුවන් රැසකටම තෝතැන්නක් විය. දකුණු ඉන්දියාවේ බිහි වූ වැදගත්ම සිනමාකරුවකු වන අමෙරිකානු ජාතික එලියස් ආර්.ඩන්කන්, කොටහේනේ ඉපිද ශාන්ත බෙනඩික්ට් විදුහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබ දකුණු ඉන්දියානු සිනමාකරුවකු වන ඒ.එස්.ඒ.සාමි (පසුකලක සිංහලෙන් ඩිංගිරි මැණිකා අධ්‍යක්ෂණය කළේ ඔහුය.) , එස්.එම්.එස්.නායිදු වැනි සිනමාකරුවන් මෙන්ම එම්.ජී.රාමචන්ද්‍රන්, එම්.කරුණානිධි, වී.එන්.ජානකී, ටී.ආර්.රාජකුමාරි වැනි නළු නිළියෝ ද සෙන්ට්‍රල් චිත්‍රාගාරය මගින් දොරට වැඩි පිරිස අතර සිටිති. තවත් දෛවොපගත කරුණක් නම් පසුකලෙක අපේ දෙවැනි කතානාද චිත්‍රපටය වන ශාන්ති කුමාර් සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ අශෝකමාලා චිත්‍රපටය සිලෝන් තියටර්ස් සමාගම මඟින් නිපදවනුයේ සෙන්ට්‍රල් චිත්‍රාගාරයේ වීමය. සෙන්ට්‍රල් චිත්‍රාගාරයේ අත්පොත් තැබූ සියලු දෙනාම පාහේ පසුකලෙක දකුණු ඉන්දියානු සිනමාවේ දැවැන්තයන් වූ අතර ඔවුහු ඉන්දියානු සිනමාවට මෙන්ම මෙරට සිනමාවට ද ඇතැම්විට දේශපාලනයට ද බලපෑම් කළහ. ලංකාවේ හැදී වැඩී දෙමළ සිනමාවේ කලක් අතිශය ජනප්‍රිය විකට නළුවකු හා ගායකයකු වූ චන්ද්‍රබාබු ගේ මුල් විවාහය සිදුවූයේ ද වින්සන්ට්ගේ මිණිබිරියක වන ශිලා සමගය. වර්තමානයේ තමිල්නාඩු සිනමාව සිය චිත්‍රපට ශාලා දිනය ලෙස සලකනුයේ වින්සන්ට් ගේ උපන් දිනය වන අප්‍රේල් 18 වැනි දිනයයි. ලංකාවෙන් මිළයට ගත් ප්‍රංශ චිත්‍රපටය ඉන්දියානු සිනමාවේ ගිය දුර කෙතරම් ද ?

ඉන්දියානු සිනමාවේ දැවැන්තයන් වූ තවත් ලංකික ප්‍රදර්ශකයකු ලබන සතියේ කියවමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.