තෙළිඟු සිනමාවට මුල පිරූ අපේ සිනමාව

මාර්තු 7, 2019

මෙවර ලිපිය ආරම්භ කරන්නට පෙර පසුගිය සතියේ ලිපියට අදාළව පළ කරන ලද ඡායාරූපයක් නිවැරදි කළ යුතුවෙයි. ඒ බව ගිය බ්‍රහස්පතින්දා උදෑසනම මගේ අවධානය යොමු කරන ලද්දේ සිනමා සංරක්ෂකයකු වන ගෝර්ඩ්න් ද සිල්වා හිතවතාණන් විසිනි. ඒ ජෝර්ජ් ඊස්ට්මන්ගේ ඡායාරූපයක් නමින් ප්‍රංශයේ චාල්ස් පතේගේ ඡායාරූපයක් පළවීම පිළිබදවය. ලංකාව යනු ලෝකයේ කොටසක් විනා ලෝකය යනු ලංකාවේ කොටසක් නොවන බවත් එයින් හුදකලා කොට මෙරට සිනමා ඉතිහාසයේ සිද්ධීන් විග්‍රහ කළ නොහැකි බවත් එමෙන්ම මෙරට සිනමාවේ වර්තමාන තත්වය අවබෝධ කොට ගන්නට අවංකවම අවශ්‍ය නම් එම සාධක සහ ඉතිහාස පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතු බවත් මෙම ලිපි මාලාව ආරම්භයේම සඳහන් කළෙමි. මෙරට සිනමා ඉතිහාසය ගවේෂණය කරන්නකුට ඉන්දීය සිනමාවේ සහ ලෝක සිනමාවේ ඉතිහාසය ද සමකාලින ලෝක සිදුවීම් හා දේශපාලනික වාතාවරණය ද බැහැර කොට නොගත යුතුයැයි සදහන් කළේ ද එහෙයිනි. ඒ මේ සියලු කරුණු එකිනෙකා හා බද්ධ වන හෙයින්ය. එමෙන්ම ඉන්දියාවට හෙම්බිරිස්සාව නම් ලංකාවත් කිඹිහුම් අරිනවා යන කතාන්දරය මෙරට දේශපාලනයට පමණක් නොව සිනමාවට ද අදාළය.

මෙරට වේදිකාවට පිවිසි පාර්සි නාට්‍යකරුවන් ගැන ගවේෂණය කරද්දී ඒ පිළිබඳ සටහන් සොයා ගත්ත ද ගිය සියවසේ මෙරට සිනමාවට පිවිසි ඉන්දියානුවන් පිළිබඳ ඇති සටහන් ලංකාවෙන් සොයා ගැනීම උගහටය. පාර්සි නාට්‍යකරුවන් ගැන විනා මෙරටට පිවිසි ඉන්දියානු සිනමා ව්‍යාපාරිකයන් ගැන මෙරට සටහන් වන්නේ මඳ වශයෙනි. එබැවින් ඔවුන් සොයා ගන්නට නම් ඉන්දියානු සිනමා ඉතිහාසය සොය ගත යුතුය. ඉන්දියානු සිනමාවේ පුරෝගාමින්ගේ වගතුග සොයා ගත යුතුය. මේ ඇතැම් දෙනෙකු ජීවිතය අරඹනුයේ සංචාරක සිනමා ව්‍යාපාරිකයන් හැටියටය. අපේ රටේ ජනතාවට බයිස්කෝප් ඇබ්බැහි කරන ඔවුහු දශකයක ඇවෑමෙන් තම රටේ සිනමාවේ දැවැන්තයන්ව වැජඹෙති. අනතුරුව චිත්‍රපට නිෂ්පාදනයට ද දායක වී තමන්ගේ චිත්‍රපට සඳහා මෙරට වෙළෙඳපොළක් ද සාදා ගනිති. එපමණක් නොව මෙරට සිනමාවේ රුව ගුණ සෑදෙන්නේ ද ඔවුන් විසින් ගොඩ නඟන ලද පසුතලය මතය. එසේ වුවද මෙරට සිනමාව ආරම්භ කිරීමේ දී ඔවුන් කළ මෙහෙය ලඝු කොට දැක්විය යුතු නැත. එයට හේතුව ආරම්භයේ චිත්‍රපට ප්‍රදර්ශනය ඒ ඒ රටවල නීති හා සමාජ ආකල්ප සමග ගොඩ නැගීම පහසු කටයුත්තක් නොවීමය. එමෙන්ම අද මෙන් ප්‍රවාහන පහසුකම් ද නොවිණ. සමාජ ආකල්ප තිබුණේ සිනමාවට විරුද්ධවය. යන එන මඟ තොට සොර සතුරන් ද එමටය. තැනින් තැන ගොසින් නොදන්නා රටක තාවකාලික මඩු කූඩාරම් ඇද එක් ගෝලයකු හෝ දෙදෙනෙකු සමග චිත්‍රපට පෙන්වීම පහසු නැත. එකම අධිරාජ්‍යයක කොටස් කරුවන් වුව ඒ ඒ රටවලට ආවේණික නීති හා සමාජ හර පද්ධති තිබිණ. සම්ප්‍රදායික නාට්‍යකරුවන් සිනමාකරුවන් දෙස බැලුවේ තම බත්පතට අනින්නට එන පිරිසක් හැටියටය. එබඳු දුෂ්කර ක්‍රියා මැඩ සාර්ථක වූ මිනිසුන් පිටුපස ඇත්තේ මල් ඇතිරූ මාවතක ගිය කතාවක් නොවේ.

පසුගිය සතියේ ස්වාමිකන්නු වින්සන්ට් ගැන ලියැවුණේ ද එබඳු කතාවකි. අන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්ත රජය මඟින් තෙළිඟු සිනමා කර්මාන්තයේ නියැළෙන්නන්ට පිදෙන වාර්ෂික සම්මාන නම් කර ඇත්තේ නන්දි සම්මානය නමිනි. නන්දි යනු තෙළිඟු වාසින්ගේ සංකේතය යි. නන්දි නම් ශුද්ධ වූ ගවයාය. එනම් ශිව දෙවියන්ගේ වාහනයයි. නන්දි යාවජීව ස්වර්ණ සම්මානය 1981 වස‍රේ ද නම් කරන ලද්දේ රඝුපති වෙන්කයියා සම්මානය නමිනි. තෙළිඟු සිනමාව වෙනුවෙන් කිසිවකු කළ මෙහෙවරට ලැබෙන ඉහළම යාවජීව සම්මානය ලෙස සැලකෙනුයේ ද රඝුපති වෙන්කයියා සම්මානයයි. රඝුපති වෙන්කයියා නායිදු සලකනුයේ තෙළිඟු සිනමාවේ පියා හැටියටය. ඔහු සිය ජීවිතය ආරම්භ කරනුයේ ජංගම සිනමා ප්‍රදර්ශකයකු හැටියටය. රඝුපති වෙන්කයියා ද මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමියකු වෙයි.

ඉන්දියානු යුද හමුදාවේ නිලධාරියකු වන සුබේදාර් අප්පයියා නායිදු ගේ දෙවැනි පුතනුවන් ලෙස 1887 වසරේ දී එවකට මදුරාසි ප්‍රාන්තයේ එනම් වර්තමාන අන්ද්‍රාවේ මචිලිපට්නම් නගරයේ උපත ලද්දේය. ඔවුන්ගේ පරම්පරාවම නැඟෙනහිර ඉන්දීය හමුදාවේ ද සේවය කළ යුද භටයෝ වූහ. රඝුපති වෙන්කයියාගේ සොහොයුරා රඝුපති වෙන්කටරාමන් ඉන්දියාවේ සිටි සුප්‍රකට අධ්‍යාපනඥයකු විය. 18 හැවිරිදි වියේ දී මදුරාසියට එන රඝුපති වෙන්කයියා චිත්‍ර හා මූර්ති වෙළෙන්දෙකු ලෙස ජීවිතය ඇරඹුවේය. ඡායාරූපකරණය ගැන ඔහුගේ සිත ගියේ ඒ අවදියේය. චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍ර අළෙවි කරන්නන් වන ජෝන් ඩිකන්සන් සමාගමෙන් රුපියල් තිස් දහසක් වැනි මුදලකට ප්‍රක්ෂේපණ හා කැමරා මිළයට ගත් ඔහු එමගින් කෙටි චිත්‍රපට 12ක් නිර්මාණය කළේය. මෙම චිත්‍රපටයක් විනාඩි පහකට සීමා විය. මෙම චිත්‍රපට මදුරාසියේ වික්ටෝරියා ශාලාවේ දී අති සාර්ථකව ප්‍රදර්ශනය කරන ලදී. එයින් ලද උද්දාමයෙන් පසු තම මදුරාසි වෙළෙඳ සැල අත හැර දැමූ වෙන්කයියා සිය චිත්‍රපට හා උපකරණ ද රැගෙන ඉන්දියාවේ මෙන්ම බුරුම හා ලංකාවේ ද සංචාරය කළේය. මේ සෑම චිත්‍රපට දැක්මක්ම අති සාර්ථක විය. 1914 වන විට මදුරාසියේ ගෙයිටි සිනමා හල ආරම්භ කිරීමට ඔහුට හැකි විය. ගෙයිටි මදුරාසියේ ඉදි කරන ලද මුල්ම ස්ථාවර සිනමා හලයි. ගෙයිටි සිනමාහලට පසු ක්‍රවුන් හා ග්ලෝබ් නමින් ද සිනමාහල් දෙකක් ඔහු විසින් මදුරාසියේ දී ආරම්භ කරන ලදී. මෙම සිනමාහල් බ්‍රිතාන්‍ය හා අමෙරිකානු චිත්‍රපට සඳහා වෙන් විය. රඝුපති වෙන්කයියා සිනමා කර්මාන්තයේ අනාගතය පිලිබඳ කෙතරම් තක්සේරුවක සිටියා ද යත් ඔහු සිය පුත්‍රයා වන රඝුපති සූර්ය ප්‍රකාශ් රාඕට (ආර්.එස්.ප්‍රකාශ්) සිනමාව හැදෑරීම සඳහා විදෙස් අධ්‍යාපනයක් ලබා දුන්නේය. සිනමාව හැදෑරීමට විදේසයන්ට ගිය මුල්ම පිරිස අතර ප්‍රකාශ් ද එක් අයෙකි.

මුලින් ලන්ඩනයේ බේකර්ස් මෝෂන් පික්චර්ස් ආයතනයේ ද පසුව ජර්මනියේ බිහි වූ විශිෂ්ටතම පුරෝගාමි සිනාමකරුවකු ලෙස සැලකෙන එෆ්.ඩබ්ලිව්.මූනේ යටතේ ද සිනමාව හැදෑරූ ප්‍රකාශ් පසුව මදුරාසියේ ස්ටාර් ඔෆ් ද ඊස්ට් චිත්‍රාගාරය ගොඩ නැංවීය. රඝුපති වෙන්කයියා මුල්ම තෙළිඟු චිත්‍රපටය ලෙස සැලකෙන භීෂ්ම ප්‍රතිග්යා නිපදවනුයේ සිය පුතුගේ අධ්‍යක්ෂණයෙනි. ඒ 1921 වසෙර්ය. ශබ්ද භාවිතා නොවුණ එකල එම චිත්‍රපටය සඳහා තෙළිඟු උප සිරැසි නංවා තිබිණ. මේ චිත්‍රාගාරය එකල ප්‍රසිද්ධව තිබුණේ ග්ලාස් ස්ටුඩියෝ නමිනි. 1923 වසරේ දී ඔහු විසින් නිර්මාණය කරන ලද ඊඩ්ඡ් ඛ්ඒඊඡ්ඛ්ඩ්ධ්ඉඊ ර්‍ණජ් ම්ධ්ඹ්-ඒඅව්ධ් ඉන්දියානු නිහඬ චිත්‍රපට සමයේ නිර්මාණය කරන ලද විශිෂ්ට චිත්‍රපටයක් ලෙස සැලකෙයි. එහෙත් පුරෝගමියකු වුව ද ප්‍රකාශ්ගේ කළමනාකරණයේ ඇතිවූ දුබලතා නිසා චිත්‍රාගාරය ඉක්මනින් බංකොලොත් විය. සී.පුල්ලෙයියා, වී.වයි.රාඕ හා එක්ව රඝුපති වෙන්කයියා සහ ආර්.එස්.ප්‍රකාශ් පිය පුතු දෙපළ විසින් ගොඩ නඟන ලද ජෙනරල් පික්චර්ස් ආයතනය ද නිහඬ සිනමාවේ අවසාන සමයේ මෙරටට චිත්‍රපට ආනයනය කළ බව ඉන්දියානු සිනමා ඉතිහාසය පෙන්වා දෙන කරුණකි. ජෙනරල් පික්චර්ස් වඩා ජනප්‍රිය වුණේ ඔවුන් ගේ විශිෂ්ට වාර්තා හා දැන්වීම් චිත්‍රපට සඳහාය. 1933 වන විට ශබ්ද තාක්ෂණය සිනමාවට පිවිසීමත් සමඟ ජෙනරල් පික්චර්ස් ආයතනය ද වැසුණු අතර එයින් පසු සුප්‍රකට ශ්‍රිනිවාස සිනෙටෝන් ශබ්ද චිත්‍රාගාරය මදුරාසියේ ඇරඹීමට ප්‍රකාශ් සමත් විය. එහෙත් ආර්.එස්.ප්‍රකාශ් යනු දක්ෂ සිනමාකරුවකු වුව ද දක්ෂ කළමනාකරුවෙකු නොවීම පිය පුතු දෙපළ ගේ ව්‍යාපාරයන්ට තදින් බලපෑවේය. අද ඉන්දියාවේ බොලිවුඩයට පමණක් දෙවැනි සිනමා කර්මාන්තය වන ටොලිවුඩ් හෙවත් තෙළිඟු සිනමා කර්මාන්තයේ පුරෝගාමින් ද මෙරට සිනමාවේ ආරම්භයට දායක වූයේ එහෙමය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.