අපටත් ඉන්දියාවටත් පොදු මදන්

මාර්තු 14, 2019

 විසි වැනි සියවසේ මුල් දශකය හමාර වනුයේ ලෝකය පුරා සිනමා කර්මාන්තය සෙසු සියලු කලා මාධ්‍ය අභිබවමින් දලුලමින් පවතින බව සාක්ෂාත් කරමිනි. එය කතා කරන්නට පටන් ගන්නට තවත් විසි වසරක් පමණ ගත වුව ද කතා කියන්නට එහි ඇති සමත්කම පිළිබඳ එම දශකය වන විටත් කිසිවකුට හෝ සැකයක් තිබුණේ නැත. ඒ වන විට ලොව විශාලම චිත්‍රාගාරය ප්‍රංශයේ ගොඩනැගීමට ප්‍රංශයේ ගෝමන් සමාගමේ නිර්මාතෘ ලියෝ ගෝමන් සමත් විය. සිනමාව යනු ලොව මිල අධිකම කලාව බව ඒ වන විට පසක් වෙමින් පැවතිණ. එය හරහා නව ධනවත්තු ලොවට බිහිවෙමින් සිටියහ. ඔවුන් අතරින් වඩා නිර්මාණශීලිවූවෝ සියල්ලනට ඉහළින් සිටියහ.

ජාම්ශෙඩ්ජී (ජේ) ෆ්‍රාම්ජි (එෆ්)මදන් උපන්නේ 1856 වසෙර්ය. ඔහුගේ උපන් වර්ෂය විනා දිනය කිසිවකු හෝ දන්නේ නැත. ඔහු මිය ගියේ 1923 වර්ෂයේ ජූනි මස 28 වැනි දිනය. මිනිසකු උපතින් දිළින්දෙකුවීම වරදක් නොවන නමුත් මියයන විට ද හෙතෙම දිළින්දෙකු නම් එය ඔහුගේ වරදක්යැයි කියනු ලැබේ. ජේ.එෆ්. එම වරද නොකළේය. උරුමයෙන් සම්ප්‍රදායික ධනවත් පාර්සි පවුලක සාමාජිකයකු වූ නමුදු ජේ.එෆ්. උපදින විට ඔහුගේ පවුලේ සාමාජිකයෝ වැලේ වැල් නැති ගානට නට්ටන් වී සිටියහ. ඒ ඔහුගේ පියා හිමිකාරත්වය දැරූ බොම්බායේ රෙක්ලේමෂේසන් බැංකුව බංකොලොත් වීම නිසාය. එබැවින් මදන් පවුලට බොම්බායේ ඔවුන් සතු සියලු ධනය විකුණා දැමිමට සිදුවිය. ජේ.එෆ් ට එපමනකින් නොනැවතී පාසල හැර යන්නට ද සිදුවිය. ඔහු සිය සොහොයුරා සමග එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් කම්පනි වෙත බැඳුණේ සහායකයකු හැටියටය.

ඒ 1868 වසෙර්ය. සත් වසරක් ඇතුළත මේ සමාගම ඉන්දියාවේ ප්‍රධාන පෙළේ වෘත්තීය නාට්‍ය සමාගමක් බවට පත්විය. එය ඉන්දියාවේ මෙන්ම අසල්වැසි ලංකාවේ ද නාට්‍ය රඟ දැක්වීමට සමත් විය. එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් සමාගම් ඉතිහාසයේ 1882 යනු එතරම් වැදගත් වසරක් නොවන්නට පුළුවන. එහෙත් එම වසර පිළිබඳ මෙරට නුර්ති ඉතිහාසය ලියන්නෙකු සඳහන් කළ යුතු කරුණක් වනුයේ ජනවාරි මස 30 වැනි දින එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් කම්පනි කොළඹ රැකට් කෝට් හිදී ඉන්දර්සභා නාටකය රඟ දැක්වූ විත්තියයි. මදන්ගේ චරිතාපදානය ලියන්නෙකු සඳහන් කළ යුතු වූයේ ඔහු එල්ෆින්ස්ටන් සමාගම හැර ගිය පුවතයි. ඔහු ගියේ ඒ වන විට ඉන්දියාවට අයත්ව තිබුණ කරච්චියටය. සුළු වෙළෙඳාම් කිහිපයක් කරමින් සිය ජීවිතය උරගා බැලු ජේ.එෆ් එයින් වඩා සාර්ථක වීම නිසා 1883 වසරේ ඉන්දියාවේ අගනුවරට ගියේය.

එවකට ඉන්දියාවේ අගනුවර කල්කටාවයි. මේ අවදියේ එහි විසූ බ්‍රිතාන්‍ය හමුදාවන්ට අවශ්‍ය රෙදි පෙරෙදි අලෙවි කිරීමේ වරම ලද ජේ.එෆ් එමඟින් උපයා ගත් ධනයෙන් කල්කටාවේ කොරින්ටියන් ශාලාව මිලයට ගත්තේය. ඒ වන විට එය හිමිව තිබුණේ එල්ෆින්ස්ටන් තියටර් කම්පනියටය. ශාලාවෙන් නොනැවතුණු ජේ.එෆ්. සිය ජීවිතය ඇරඹු එල්ෆින්ස්ටන් තියටර් කම්පනි ද මිලයට ගත්තේ එහි නිර්මාතෘ කූවර්ජි නසීර් ගෙනි. මදන් කොරින්ටියන් ශාලාව කොරින්ටියන් තියටර් ලෙස නම් කර එය නවීකරණය කළ අතර නාට්‍ය සමාගම වඩා දියුණුවට පත් කළේය. පාර්සි නාට්‍ය සදහා කල්ටාවේ ජනප්‍රියතම ස්ථානය බවට කොරින්ටියන් තියටර් නම් දරන්නට දිගු කලක් ගත නොවිය.

1902 වසර වන විට සිනමාවේ රස්නය ඉන්දියාවට දැනෙමින් සිටි අවදියයි. මදන් කල්කටාවේ මයිදාන් ප්‍රදේශයේ කුඩාරමක චලන චිත්‍ර දැක්මට පටන් ගත්තේය. 1996 වසරේ ලෝක ක්‍රිකට් තරගාවලියේ දි ජයග්‍රාහි මාවතට පිවිසෙමින් ශ්‍රි ලංකාව ඉන්දියානුවන්ට පන්නා පන්නා ගැසූ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනය පිහිටියේ ද මයිදාන් ප්‍රදේශයේමය. චිත්‍රපට දැක්ම කෙතරම් සාර්ථක වීද යත් ඔහු ඉක්මනින්ම කොරිනිටියන් තියටර් ද චිත්‍රපට ප්‍රදර්ශනයට වෙන් කළේය. ඔහු භාවිතා කරන ලද්දේ ප්‍රංශයේ පැතේ ෆෙරර් සමාගමේ උපකරණය. එමෙන්ම ඔහු ප්‍රදර්ශනය කරන ලද බොහෝ චිත්‍රපට ද පැතේ නිෂ්පාදන විය.

ඉතා ඉක්මනින් මදන් ආසියාවේ පැතේ නියෝජිතයා විය. ඒ සඳහා ඔහු එල්ෆින්ස්ටන් බයිස්කෝප් කම්පනි පිහිටුවාලූයේය. එල්ෆින්ස්ටන් බයිස්කෝප් කම්පනි චිත්‍රපට ප්‍රදර්ශනයෙන් නොනැවතී කෙටි චිත්‍රපට නිෂ්පාදනයට ද යොමු විය. ඒ අවදියේ කල්ටාවේ පැවැති විවිධ පොදු උත්සව මෙන්ම පෞද්ගලික උත්සවද රූප ගත කළ එල්ෆින්ස්ටන් බයිස්කෝප් එම චිත්‍රපට සිය ප්‍රදර්ශන සඳහා එක් කළහ. එය කෙතරම් වාසි දායක වීද යත් ඉතා ඉක්මනින් කල්කටාවේ ඇල්ෆ්‍රඩ් තියටර් ද මිළයට ගෙන චිත්‍රපට ප්‍රදර්ශනයට එක් කරන්නට මදන් සමත් විය.

1907 වසරේ දී ඔහු කල්කටාවේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ආරම්භ කළේය. එය කල්කටාවේ මුල්ම ස්ථාවර සිනමාහල වූවා පමණක් නොව ඉක්මනින් ආසියාව පුරා පැතිර ගිය මහා සිනමා ව්‍යාපාරයක ප්‍රධාන මධ්‍යස්ථානය ද බවට පත් කළේය. (පසුකලක මෙම ශාලාව ඉන්දියානු බටහිර බෙංගාල චිත්‍රපට සංවර්ධන සංස්ථාව මගින් මිලයට ගෙන සම්භාවනීය චිත්‍රපට සඳහා වෙන් කරන ලදී. ඒ චැප්ලින් සිනමා නමිනි. එහෙත් මෙයට වසර කිහිපයකට පෙර මෙම ගොඩනැගිල්ල සහමුලින්ම කඩා බිඳ දමා ඒ මත රථ වාහන ගාලක් අරඹන ලදී. ) එල්ෆින්ස්ටන් සිනමාහල ආරම්භ කර ටික දවසක් ගතවූ තැන ඔහු කල්කටාවේ මදාන් තියටර් පැලස් ඔෆ් වෙරයිටි නමින් ශාලාවක් ද ගොඩ නඟන ලදී. (පැලස් ඔෆ් වෙරයිටි පසුකලෙක ඉන්දියාවේ ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම මඟින් මිළයට ගෙන එලයිට් නමින් නම් කරන ලදී. එහෙත් ලොව පුරා තනි සිනමා ශාලාවලට වර්තමානයේ අයත් ඉරණම පසක් කරමින් එය ද 2018 වසරේ දී සම්පූර්ණයෙන් වසා දමන ලදී.)

පළමු ලෝක මහා සංග්‍රාම සමයේ බ්‍රිතාන්‍ය හමුදාවන්ට ප්‍රවාහන සේවාවන් සැපයූ ජේ.එෆ් මදන් එමඟින් බ්‍රිතාන්‍ය රාජකීය නම්බු නාමයක් ද දැරීමට සමත් විය. මත්පැන්, ඔෂධ, රක්ෂණ, ආහාර දේපළ ආදී වශයෙන් විවිධාංගීකරණය කරන ලද මදන් සමූහය 1919 වසරේ දී ඉන්දියානු කොටස් වෙළඳ පොළේ ලියාපංදිංචි සමාගමක් බවට පත් විය. ඒ මදන් තියටර්ස් ලිමිටඩ් නමිනි. එම වසරේම ඔහු බිල්වාමංගල් චිත්‍රපටය නිෂ්පාදනය කළේය. බිල්වාමංගල් ප්‍රථම බෙංගාලි සිනමා කෘතිය ලෙස සැලකෙයි. එමෙන්ම එය මදන් සමාගමේ මුල්ම වෘත්තාන්ත නිෂ්පාදනය ද විය. මිනිත්තු 132 ක් දිග බිල්වාමංගල් චිත්‍රපටයට පාදක වනුයේ නළඟනක් නිසා සිය ජීවිතය අවුල් කර ගන්නා මිනිසකු පිළිබඳ පුවතකි. බිල්වාමංගල් නිහඬ චිත්‍රපටයක් විය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ රස්ටොම්ජි දෝතිවාලාය. දෝතිවාලා මදන් තියටර්ස් සමාගමේ නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විය. දෝරබ්ජි මේවාලා සහ මිස් ජොහාර් එහි ප්‍රධාන චරිත රඟපෑහ. බිල්වාමංගල් කලකට පෙර එල්ෆින්ස්ටන් සමාගමේ නාට්‍ය නිෂ්පාදනයක් විය. (ප්‍රංශයේ සිනමාතෙක් සංරක්ෂණාගාරයේ ඉතිරිව පැවැති චිත්‍රපටයේ කොටසක් මෙයට වසර කිහිපයකට පෙරාතුව පූනා හි ඉන්දීය චිත්‍රපට සංරක්ෂණාගාරය සතු කර ගන්නා ලදී.) බිල්වාමංගල් චිත්‍රපටය මුල් වරට තිර ගත කරවන ලද්දේ කෝන්වොලිස් තියටර් ශාලාවේය. කල්කටාවේ ඉලෙක්ට්‍රික්, ( පසුව රීගල්) ග්‍රෑන්ඩ් ඔපෙරා ( පසුව ග්ලෝබ්) ක්‍රවුන් (පසුව උත්තරා) ආදි වශයෙන් සිනමාශාලා රාශියක් ම මදන් සතුවිය.

මදන් චිත්‍රපට නිෂ්පාදනයේ දී සිය චිත්‍රපටවල තත්ත්වය කෙරෙහි සැලකිලිමත් විය. ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂණයට පසුකලෙක යොදා ගැනුණ කිහිප දෙනෙකුම ඉතාලි ජාතිකයෝ වූහ. දෙවැනි ලෝක මහා සංග්‍රාමයට පෙරාතුව ඉතාලිය හා හවුල් නිෂ්පාදන රාශියක්ම එමඟින් නිපදවීමට මදන් සමත් විය. ඉයුජිනෝ ඩි ලිගුරෝ, කැමිල් ලි ග්‍රෑන්ඩ්, ඉතාලි ජාතික සිනමාකරුවන් අතරින් දෙදෙනෙකි. මදන් චිත්‍රාගාරයේ දැවැන්ත පසුතල මත දේව පුරාණ මෙන්ම රබීන්ද්‍ර නාත් ඨකූරයන්ගේ සහ බංකිම් චන්ද්‍ර චැටර්ජිගේ විශිෂ්ට බෙංගාලි සාහිත්‍ය කෘතින් ද සිනමාවට නැගිණ. මදන් පිළිබඳ තවත් තොරතුරු ලිවිය යුත්තේ ඔහු ඉන්දියාවේ පමණක් නොව මෙරට ද සිනමා කර්මාන්තය ගොඩ නැගීමෙහිලා කළ මෙහෙය නිසාවෙන්ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.