මහාභාරතයේ මදන්

මාර්තු 21, 2019

ඉන්දියානු සිනමාවේ අධිරාජයා බවට පත් වූ මදන් මෙරට සිය ව්‍යාපාර අරඹන විට මෙරට මුල්ම සිනමා බෙදාහරින්නා වූ සී.වැග්නර් කොළඹ මල්වත්තපාරේ චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කොට තිබිණ. වැග්නර් විසින් මෙරට චිත්‍රපට බෙදාහරින ලද වගක් ද පළ වෙයි. ඔහු චිත්‍රපට ආනයනය කරන ලද්දේ අසල්වැසි ඉන්දියාවෙනි. මදුරාසියේ මුල්ම චිත්‍රපට ප්‍රදර්ශකයා වන මේජර් වෝර්වික් ද 1911 අප්‍රේල් මස 8 වැනි දින කොළඹ මල්වත්ත පාරේ එම්පයර් පික්චර් පැලස් නමින් සිනමාහලක් ආරම්භ කරන ලදී.

එය සිනමා ප්‍රදර්ශනය සඳහා ආරම්භ කරන ලද තාවකාලික ශාලාවක් විය. මේ ස්ථානයේ පුෂ්ප ශාලාව හැර කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි නොවිණ. 1914 වන තුරු එම බිම් කඩෙහි විවිධ පාර්සි නාට්‍ය හා නුර්ති රඟ දැක්වුව ද ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අවසර නොලැබිණ. පුෂ්ප ශාලාව වුව පවත්වා ගෙන යන ලද්දේ ඕනෑම මොහොතක හෝ කඩා දැමීමට හැක යන කොන්දේසිය සමඟය. ගිනි ගැනීමෙන් විනාශ වූ පසු ඉදිවුණ නව පුෂ්ප ශාලාව ඒ වන විට වැසී ගොසිණ. පිටකොටුවේ සරුසාරව වැඩුණු නුර්ති ව්‍යාපාරය එයින් බැහැරව යන්නට පටන්ගෙන තිබිණ. එම්පයර් මෙරට සිනමාව සඳහා පමණක් ඉදිවුණ මුල්ම ශාලාව බව ඉතිහාසයේ සඳහන්ය. මදුරාසියේ දී වෝර්වික් විසින් ගොඩනංවන ලද සිනමාහල ඉලෙක්ට්‍රික් තියටර් නම් විය. 1911 වසරේ දී බදු ගිවිසුමක් යටතේ කොළඹ පබ්ලික් හෝල් ශාලාව බදු ගනු ලබනුයේ ද ඔහු විසින්යැයි අනුමාන කරමි. මේ බදු ගිවිසුමේ සඳහන්වනුයේ වොරික් බර්ට්‍රම් මේජර් යන නමයි. මල්වත්ත පාරේ ඉදිවුණ එම්පයර් සිනමාහල ගැන තොරතුරු පසුව අසන්නට නොලැබේ. වඩා ඉඩ කඩ සහ වැදගත් ශාලාවක් වූ පබ්ලික් හෝල් ශාලාව සිය ව්‍යාපාරය පවත්වා ගෙන යෑම සදහා මේජර් තෝරා ගන්නට ඉඩ ඇතැයි අනුමාන කළ හැක්කේ කාරණා කිහිපයක් මතය. එකක් පිටකොටුවට වඩා ඒ වන විට ඉබ්බන්වල පෙදෙස නව ධනවතුන්ගෙන් සමන්විත ප්‍රදේශයක් වීමය. පබ්ලික් හෝල් චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන වශයෙන් වෙන්වීමත් සමග එය එම්පයර් නමින් වෙයි. මේජර්ගේ බදු ගිවිසුම දස වසරකි. දස වසර වන විට පබ්ලික් හෝල් හිමිකරුවන් ද වෙනස්ව ගොසිනි. 1920 වසරේ දී ඒ වන විට සිනමාශාලාවේ හිමිකරුව සිටි අධිනීතිඥ ජී.ටී ද සිල්වා විසින් සිනමාහල මදන් තියටර්ස් සමාගමට බදු දෙනු ලැබුවේය. සිනමාහල 1921 වසරේ ජනවාරි 31 වැනි දින මදන් සමාගම මගින් අධිනීතිඥ සිල්වා වෙතින් සම්පූර්ණයෙන් මිලදී ගන්නා ලදී. එම්පයර් සිනමාහල සම්පූර්ණයෙන් සිනමාහලක් බවට පරිවර්තනය වනුයේ මෙයින් පසුවය. මේ වන විට මේජර් වෝර්වික් දකුණු ඉන්දියාවේ ද සිනමා කර්මාන්තයෙන් සමුගෙන අවසන්ය.

මදන් කොළඹ නගරයට පිවිස ව්‍යාපාර අරඹනුයේ 1914 වසෙර්ය. ඔහු මුලින් මරදාන හන්දියේ පිහිටි පැලස් රංග ශාලාව බදු ගනු ලැබීය. එහි තිබුණේ ජනප්‍රිය නාට්‍ය ශාලාවකි. එහි වරින්වර නිහඬ චිත්‍රපට ද ප්‍රදර්ශනය කළ වග පළ වන නමුත් එසේ වනුයේ මදන් සමාගම එහි පාලනය සියතට ගත් පසුය. මේ වන විට පාර්සි නාට්‍ය සමාගම් රැසක අයිතිය මදන් සතුවූ හෙයින් මෙකල මෙරට වේදිකා ගත වූ ඇතැම් පාර්සි නාට්‍යයක් මදන් සමාගමේ නාට්‍ය බව කිවයුතු නැත.

ඒ වන විට මරදානේ ටවර් රඟහල ආරම්භ වී අවසානය. පැලස් රංග ශාලාව මරදානේ ආරම්භ වන මුල්ම සිනමා ශාලාවය. එක් පසෙකින් කොටුවේ මල්වත්ත පාරෙන් ඉවත් වන නාට්‍ය කලාව මරදාන කේන්ද්‍ර කොට වර්ධනය විය. වාණිජ නගරයකට කොටුව හා පිටකොටුවට ප්‍රදේශයේ ඉඩ දී මරදාන කොටහේන බොරැල්ල වැනි ප්‍රදේශ අනුක්‍රමයෙන් ජනාකීර්ණ විය. සැබැවින්ම විසි වන සියවසේ කලා ප්‍රබෝධය බිහි වනුයේ මරදාන කේන්ද්‍ර කොට ගෙනය. ඒ සිනමා ශාලාවන් ද නුර්ති ශාලාවන් ද එහි පිහිටුවීමත් සමඟය.

මරදාන හා කල්කටාව අතර දුර මදුරාසිය හා මරදානට වඩා දෙගුණයකටත් වඩා වැඩි වුවත් මදන් තියටර්ස් ඒ වන විට සිංගප්පුරුව දක්වා ද සිය සිනමා ශාලා ව්‍යාප්ත කොට තිබිණ. මදන් විසින් කොළඹ කළමනාකරු ලෙස පත් කරන ලද්දේ ෆැරක් නමැත්තෙකි. ෆැරක් පදිංචි නිවෙස පිහිටියේ කොළඹ බේබෲක් පෙදෙසේය. එම්පයර් සිනමාහලට යාබදවය. පසුකලක නිව් ඉම්පීරියල් ටෝකිස් සමාගමේ ප්‍රධාන කාර්යාලය ද පැවැතියේ මෙහිය. එය එකල මදන් සමාගම සතු දේපළක් විය. පසුකලක ෆැරක් ද ටවර් රඟහල බදුගෙන මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයට දායක විය.

සිනමා කර්මාන්තයේ නියැළි සිටියදීම මදන් තරගකාරි පාර්සි නාට්‍ය සමාගම් දෙකක් වූ ඇල්ෆ්‍රඩ් සහ කොරින්ටියන් සමාගම් දෙක ද මිලයට ගත්තේය. මේ සමාගම් වරින්වර මෙරටට ද පැමිණ තිබිණ. පාර්සි සමාගම් මිලයට ගෙන එහි ඒකාධිකාරිය හිමි කර ගත් මදන් ඒ අතරතුර සිනමා කර්මාන්තයේ නියැළුණේ ප්‍රදර්ශකයකු හැටියටය. බිල්වාමංගල් නිපදවන තෙක් ම මදන් වෘත්තාන්ත චිත්‍රපට නිෂ්පාදනයට ඉක්මන් වූයේ නැත.

1919 වන විටත් ඉන්දියානු සිනමාවේ වැඩි බලතල තිබුණේ ඔහුටය. ඉන්දියාවේ මුල්ම වෘත්තාන්ත සිනමා කෘතිය වන රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ඔහු විශේෂ ආරාධිතයකු විය. ඒ වන විට ඉන්දියාවේ විශිෂ්ටතම නාට්‍ය රචකයා ලෙස සැලකෙන අගා හෂර් කාශ්මීර් පවා සේවය කළේ මදන් යටතේය.

ඉන්දියානු වෘත්තාන්ත සිනමාවේ මුල් යුගයේ වඩාත්ම ජනප්‍රිය රචකයා වූයේ ද කාශ්මිර්ය. ඔහු උර්දු ලේඛකයකු විය. බිල්වාමංගල් රූප ගත කරන්නට පෙර ඒ වන විට ඉන්දියාවේ දින පන්සියකට වඩා වේදිකා ගතව තිබුණ හරිශ්චන්ද්‍ර නාටකයේ ජවනිකා කිහිපයක් රූප ගත කළ මදන් එය එල්ෆින්ස්ටන් බයිස්කෝප් කම්පනි නමින් නාට්‍ය‍ය වේදිකා නාට්‍ය රඟ දැක්වෙන අතරතුරම ප්‍රදර්ශනය කළේය.

එහි “කල්කටාවේ වඩාත්ම රූමත් හා හැඟුම්බර නිළි සාවිත්‍රි මෙනෙවිය“ එහි චරිත නිරූපණය කළාය. ඒ වන විට කල්කටාවේ සිටි බ්‍රිතාන්‍යයන්ට වටහා ගැන්ම සඳහා චිත්‍රපටයේ රූප අතරට ඉංග්‍රිසි දෙබස් සහිත උප සිරැසි යොදනු ලැබිණ. ඉන්දියානු කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි මුල්ම සිනමා සමාගම වන සීමාසහිත මදන් තියටර්ස් චිත්‍රපට ප්‍රදර්ශනය,බෙදාහැරීම හා නිෂ්පාදනය යන සිනමාවේ ත්‍රිවේදය සඳහාම සිය බලය මෙහෙය වීය. ඒ වන විට ඉන්දියාවට පැමිණි සිටි අමෙරිකානු සිනමා සමාගම් පවා කටයුතු කළ යුතු වූයේ මදන් ගේ පිළිවෙත අනුවය.

පාර්සි නාට්‍යය හරහා මැද පන්තිය වෙත ගෙන ගිය දැවැන්ත ප්‍රේම වෘත්තාන්ත, හා දේව කතා මැද පන්තිය අතික්‍රමණය කොට සිනමාව හරහා සියලු දෙනා වෙත ගෙන යෑම මදන්ගේ අරමුණ විය. එය පාර්සි නාට්‍ය ව්‍යාපාරයට වඩා දැවැන්ත වෙළඳ පොළක් විය. 1920 වසරේ තැනුණ නල දමයන්ති චිත්‍රපටය එයට හොඳම උදාහරණයකි.මහාභාරතයේ එන රමණීය ප්‍රෙම වෘත්තාන්තයක් වූ නල දමයන්ති ඉතාලි සිනමාකරුවකු වූ ඉයුජිනියෝ ඩි ලිගුවේරා අතින් නිර්මාණය කෙරුණේ දැවැන්ත වියදමක් දරමිනි. එහි දමයන්තියගේ චරිතය රඟපාමින් පේෂන්ස් කූපර් ඉන්දියානු සිනමාවේ මුල්ම සිනමා තාරකාව වූවාය.

කූපර් ඇංග්ලෝ ඉන්දියානු ජාතික කාන්තාවක වූවාය. ලිගුවේරා පසුකලෙක ඉතාලියේ ජනප්‍රිය සිනමාකරුවකු වූයේය. නල දමයන්ති මිනිත්තු 100 ක ධාවන කාලයකින් යුක්ත විය. 1921 ජනවාරි මස 19 වැනි දින බොම්බායේ තිර ගතවීම ඇරඹුණු නල දමයන්ති චිත්‍රපටය පිළිබඳව එදින ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අමෙරිකානු හා යුරෝපීය චිත්‍රපටයන්ගේ දැවැන්ත වෘත්තාන්ත අබිබවා පියකරු හා අංග සම්පූර්ණ චිත්‍රපට හැදීමට එමගින් ඉන්දියානුවන් උත්සුක ව ඇති වග සඳහන් කළේය.

එබැවින් නල දමයන්ති සියලු ඉන්දියානුවන් අනිවර්යෙන් නැරඹිය යුතු යැයිද පුවත්පත සඳහන් කළේය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.