ලංකාවටත් කතානාද

අප්‍රේල් 4, 2019

මදන් මෙරට සිනමා ව්‍යාපාරයට අවතීර්ණය වනුයේ 1914 වසරේ දීය. ඔවුහු මරදානේ පැලස් ශාලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කළහ. පැලස් මුලින් නාට්‍ය ශාලාවක් විය. එය වට කොට තිබුණේ තහඩුවලිනි. එබැවින් එයට බෙලෙක් හෝල් නම් අන්වර්ථ නාමයක් ද ලැබිණ.

ඉන්දියානු සිනමාවේ පියා දාදා සහබ් පාල්කේ වුවත් එය ව්‍යාපාරයක් ලෙස පුළුල් කරන ලද්දේත් එහි අනන්‍යතාව ගොඩ නගන ලද්දේත් මදන් බැව් ඉන්දියානු සිනමා විචාරකයන්ගෙත් මතයයි. වෘත්තිමය සිනමා අධ්‍යක්ෂවරු මෙන්ම සිනමා නළු නිළියෝ ද කාර්මික ශිල්පීහු ද එහි මාසික වැටුපට සේවය කළහ. චිත්‍රපට ආනයනය ප්‍රදර්ශනය හා නිෂ්පාදනය යන සිනමාවේ තෙවැදෑරුම් කර්තව්‍යන්ගේම නියැළුණ මදන් තියටර්ස් ඉන්දියානු සිනමාව ලෝකය කරා ගෙන යෑමේ ද පුරෝගාමී විය. ඉන්දියානු සිනමාවේ මුල්ම කතානාද චිත්‍රපටය අලම් අරා චිත්‍රපටයයි. එය නිපදවීමේ ගෞරවය හිමිවනුයේ අර්දේශර් එම්.අයිරානිටය.

අලම් අරා 1931 මුල්වරට තිර ගත වනුයේ මාර්තු මස 14 වැනි දිනය. ඒ බොම්බායේ (වර්තමාන මුම්බායි) නගරයේ පිහිටි ඇලෙක්සැන්ඩ්‍රා සිනමාහලේය. අර්දේශර් එම්. අයිරානි බොම්බායේ සුප්‍රකට ජේ.ජේ පාසැලේ ඉගෙනුම ලැබුවෙකි. ඔහුගේ පියා සංගීත භාණ්ඩ හා ඡායාරූප වෙළෙන්දෙක් විය. පළමුව ගුරුවරයකු ලෙස ද භූමිතෙල් වෙළෙන්දෙකු ලෙස ද ටික කලක් ගත කළ ඔහු පසුව පියාගේ ව්‍යාපාරයට අත තැබුවේය. අනතුරුව අමෙරිකාවට ගිය හෙතෙම ටික කලක් යුනිවර්සල් සමාගමෙන් සිනමාව හැදෑරුවේය.

මේ වන විට නිහඬ සිනමාව අවසන් වෙමින් පැවැති යුගයයි. අයිරානි අමෙරිකාවේ ශබ්ද පරිපාලකයකුවන විල්රඩ් ඩෙමිංග් ඉන්දියාවට ගෙන්වා ගත්තේය. අයිරානිගේ දීර්ඝ කාලයක් ව්‍යාපාර හවුල්කරුවූයේ අබ්දුලාලි ඊසූෆාලිය. ඔවුහු දෙදෙනා එක්ව ඉම්පීරියල් ෆිල්ම් චිත්‍රාගාරය ගොඩ නැංවූහ. අයිරානි ගේ හවුල්කරු ඊසුෆාලි 1908 වසරේ දී සිනමාවට එක්වනුයේ සංචාරක ප්‍රදර්ශකයකු වශයෙනි. ඔහු සිය චිත්‍රපට ප්‍රදර්ශණය කරනුයේ බුරුමය,ඉන්දුනිසියාව හා සිංගප්පූරුව වැනි ඈත පෙරදිග රටවල් වෙතටය. බොහෝ ඉන්දියානු සංචාරක ප්‍රදර්ශකයන් මෙන් ඔහු ‘සිලෝන්‘ වෙත පැමිණි වගක් දැක ගන්නට නැත. 1914 වසරේ දී යළි බොම්බායට පැමිණෙන ඔහු එහි ඇලෙක්සැන්ඩර් සිනමාහල මිළයට ගත්තේය. ඔහුගේ දිගුකාලින ව්‍යාපාරික හවුල්කරු අයිරානි හමුවන්නේ එහිය. සිනමා නිෂ්පාදනය සඳහා එක්වූ අයිරානි භෝගීලාල් එසම් දේව් සමග එක්ව ස්ටාර් ෆිල්ම් ආයතනය ගොඩ නඟා වීර් භිමානයු චිත්‍රපටය නිපද විය.

පසුව මැජස්ටික් ෆිල්ම් කම්පනි හා රෝයල් ආට් ස්ටුඩියෝ ද ගොඩ නඟන අයිරානි ඉම්පීරියල් ෆිල්ම් සමාගමට ඊසුෆාලි මෙන්ම නවල් ගාන්ධි ද හවුල් කර ගත්තේය. අයිරානි අලම් ආරා අධ්‍යක්ෂ විය. එහි සෙසු බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද්දේ පාර්සි ජාතිකයකු වන නවල් ගාන්ධි විසිනි. පසුකලක ඉම්පීරියල් ස්ටුඩියෝවේ වර්ණ රසායනාගාරයනක් ද ගොඩ නඟන අයිරානි මුල්ම ඉන්දීය වර්ණ චිත්‍රපටය වන කිෂන් කන්යා චිත්‍රපටය 1937 වසරේ ද පළමු පාර්සි භාෂිත චිත්‍රපටය වන දුක්තර් ඊ ලුර් චිත්‍රපටය ද නිර්මාණය කළේය. 1969 ඔහු මිය යන තෙක්ම ඊසුෆලි ඔහුගේ හවුල්කරු විය. අයිරානි මියගොස් වසර කිහිපයකට පසු එතෙක් කෙනඩි පාලම නමින් හැඳීන්වූ බොම්බායේ පාලමක් අර්දේශර් පාලම නමින් යළි නම්කෙරුණේ අර්දේශර් එම්.අයිරාණිගේ නාමයට ගරුකිරීමක් හැටියටය. මුල්ම ඉන්දියානු සිනමා කෘතිය වන රාජා හරිශ්චන්ද්‍ර හෝ මුල්ම ඉන්දියානු කතානාද චිත්‍රපටය නිපදවීමේ ගෞරවය මදන් ට හිමි නොවෙයි.

එහෙත් මුල්ම බෙංගාලි නිහඬ චිත්‍රපටය හා කතානාද චිත්‍රපට යුගලම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවනුයේ මදන් තියටර්ස් වෙතටය. ඔවුන්ට මුල්ම කතානාද බෙංගාලි චිත්‍රපටය ජමයි ශාස්ත්‍රී නිපදවීමේ ගෞරවය හිමි වෙයි. අමර් චෞදරී විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය කෙටි චිත්‍රපටයක් විය. එබැවින් මුල්ම කතානාද වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සැලකෙනුයේ දෙනා පඕනා චිත්‍රපටයයි. එහි ගෞරවය හිමිවනුයේ ඒ වන විට කල්කටාවේ නැගී ආ අලුත්ම නිෂ්පාදකවරයා වන බී.එන්.ශ්‍රීකාර්ගේ නිව් තියටර්ස් වෙතටය. නිව් තියටර්ස් බෙංගාලි හා හින්දි සිනමාවේ නවරැල්ලක් උදාකළ සිනමා සමාගමයි. නිතින් බෝශ්, බිමල් රෝයි වැන්නන් කල එළි බසිනුයේ එමගිනි. දෙනා පඕනා සඳහා පාදක වනුයේ සුප්‍රකට බෙංගාලි නවකතාකරුවකු වන සරත්චන්ද්‍ර චත්තෝපාද්‍යායගේ නවකතාවකි. බෙංගාලි කතානාද වෘත්තාන්ත චිතපටය තිර ගත කරවනුයේ 1931 දෙසැම්බර් මස 31 වැනි දිනය.

ඉම්පීරියල් මුවිටෝන් සමාගම අලම් අරා චිත්‍රපටය නිපදවද්දී මදන් තියටර්ස් සිය ගෞරවය පසෙකලා සිටින්නට කැමැතිවූයේ නැත. එබැවින් ඔවුහු දැවැන්ත හින්දි චිත්‍රපටයක් නිර්මාණය කළහ. එය ඉන් වසර ගණනාවකට පසු ලාංකික සිනමාව ආරම්භයේ ස්වාධීන නිෂ්පාදකවරයෙකුවූ නායගම් ගේ කඩවුණු පොරොන්දුව හා තරගයට සිලෝන් තියටර්ස් අශෝකමාලා තැනුවා වැනි සිදුවීමකි. අලම් අරා හා තරගයට මදන් තියටර්ස් හින්දි බසින් ශිරින් ෆර්හාඩ් නිපදවිය. එය ජේ.ජේ.මදන් ගේ අධ්‍යක්ෂණයකි. ඵෙතිහාසික කතාවක් වන ශිරින් ෆර්හාඩ් අගා හසීර් කාශ්මීර්ගේ තිර කතාවක් අනුව තැනුණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත චිත්‍රපටයක් විය.

එක කැමරාවකින් එකම රූප රාමු පෙළකින් තැනුණු අලම් අරා මෙන් නොව ශිරින් ෆර්හාඩ් විචාරක අවධානය ද දිනා ගත්තේය. ලොව මුල්ම කතානාද චිත්‍රපටය වනුයේ ද ජෑස් සිංගර් චිත්‍රපටය වුවත් ඉන්දියාවේ හා ලංකාවේ මුල්වරට තිර ගත කරන ලද කතානාද චිත්‍රපටය වනුයේ මෙලඩි ඕෆ් ලව් චිත්‍රපටයයි. ද ජෑස් සිංගර් චිත්‍රපටය නිපදවීමේ ගෞරවය හිමි කර ගනුයේ වෝර්නර් බ්‍රදර්ස් සමාගමය. එය නිහඬ සිනමාවේ අවසානය විය. කතානාද සිනමාවේ උත්පත්තිය විය. කතානාද සිනමාව නිසා වෝර්නර් බ්‍රදර්ස් ලාට ජය පැන්බීමට ඉඩ දී නිකම් සිටින්නට සෙසු හොලිවුඩ් සමාගම් බලාපොරොත්තු වූයේ නැත.

කතානාද චිත්‍රපට තනන්නට ඒ වන විට යුනිවර්සල් ස්ටුඩියෝවට පේටන්ට් බලපත්‍ර නොමැති වුවත් ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමේ ශබ්ද තාක්ෂණය සතියකට කුලියට ගත් යුනිවර්සල් සමාගමේ සභාපති කාල් ලයෙම්ලේ එම කාලය ඇතුළත සම්පූර්ණ සංගීතමය චිත්‍රපටයක් වූ මෙලඩි ඔෆ් ලව් චිත්‍රපටයේ වැඩ කටයුතු නිම කළේය. එමෙන්ම චිත්‍රපටය ලොව පුරා බෙදාහැරීමට ද කටයුතු සම්පාදනය කළේය. යුනිවර්සල් සමාගමේ ඉන්දියානු කලාපයේ බෙදාහරින්නා වූයේ මදන් තියටර්ස්ය. එබැවින් ලොව මුල්ම කතානාද චිත්‍රපටය ද ජෑස් සිංගර් වුව ද ඉන්දියාවේ සහ ලංකාවේ ප්‍රේක්ෂකයා දුටු මුල්ම කතානාද චිත්‍රපටය වූයේ මෙලඩි ඔෆ් ලව් චිත්‍රපටයයි.

ඒ මදන් සිනමා ජාලය නිසාය. මෙලඩ් ඔෆ් ලව් මෙරට තිර ගතවූයේ 1932 වසෙර්ය. ඒ එම්පයර් සිනමාහලේය. ඒ වෙනුවෙන්ම සිනමාහල නවීකරණය කරන්නට මදන් සමාගමට සිදුවිය. අවාසනාවට මෙලඩ් ඔෆ් ලව් චිත්‍රපටයේ කිසිදු පිටපතක් යුනිවර්සල් සමාගම සතුව හෝ අද නොමැත. මදන් සමාගම හැමවිටම ප්‍රදර්ශනයේ දී තම නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය දුන්නේය. එබැවින් හැමවිටම ඔවුන්ගේ අනුග්‍රහය ලබන චිත්‍රපට ප්‍රදර්ශනයේ දී ඉක්මන් වාරයක් ලබා ගත්තේය.

ශිර්න් ෆර්හාඩ් චිත්‍රපටය ලත් අධි සාර්ථකත්වය අලම් අරාට වඩා කිහිප ගුණයකින් වැඩිය. එබැවින් ඔවුන් ගේ ඊළග වෑයම වූයේ අතිශය ජනප්‍රිය උර්දු නාට්‍යක් වූ ඉන්ද්‍ර සභා සිනමාවට ගෙන ඒමය. පාර්සි නාට්‍යයක් ලෙස ඉන්ද්‍ර සභා මෙරට දී ද කිහිප වරක්ම රඟ දැක්වූ නාට්‍යයක් විය. මදන්ගේ ඉතාලි ජාතික කැමරා ශිල්පියා වූ ටී. මාර්කොනි මෙහි කැමරාව මෙහෙය විය. ශිරින් ෆර්හාඩ් යුවළ නිසාර් හා ජෙහාන් අරා ඉන්ද්‍ර සභාවේ ද ප්‍රධාන චරිත රඟපෑහ. ඉන්ද්‍ර සභා සිනමා ඉතිහාසයේ වාර්තාවක් තැබූ චිත්‍රපටයකි. ඒ එතෙක් මෙතෙක් ලොව වැඩිම ගීත ගණනක් ඇති චිත්‍රපටය හැටියටය. එයට ගීත 70 ක් ඇතුළත් ව තිබිණ. තුන් වැනි දශකයේ අවසානය වන විට මදන් සිය කීර්තිමත් ඉතිහාසය අවසන් කරමින් සිටියේය. 1933 වසරේ ජේ.ජේ මදන් විසින්ම අධ්‍යක්ෂණය කළ සෙහාරි සාප් (ලඥඩචචපඪ ඵචචන මදන් ඉතිහාසයේ අවසාන වන වරට තැනූ සාර්ථකම චිත්‍රපටය විය. සෙහාරි සාප් පසුකලෙක මෙහෙබුබ් ඇතුළු සිනමාකරුවන් රැසකටම බලපෑම් කළේය.

මදන් මෙරට සිනමා ව්‍යාපාරයට අවතීර්ණය වනුයේ 1914 වසරේ දීය. ඔවුහු මරදානේ පැලස් ශාලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කළහ. පැලස් මුලින් නාට්‍ය ශාලාවක් විය. එය වට කොට තිබුණේ තහඩුවලිනි. එබැවින් එයට බෙලෙක් හෝල් නම් අන්වර්ථ නාමයක් ද ලැබිණ. සුප්‍රකට පබ්ලික් හෝල් ශාලාව ඔවුන් බදු ගත්තේ 1920 වසෙර්ය. 1921 වන විට එය ඔවුහු මිළ දී ගෙන එයට එම්පයර් නම තැබුවේය. එම්පයර් නමින් කොළඹ සිනමා ශාලා හතරක් තිබුණ වග මෙහිදී අනුමාන කළ හැකිය. එකක් වෝර්වික් මේජර් විසින් කොළඹ මල්වත්ත පාරේ ඇරඹූ එම්පයර් පික්චර් පැලස් ය.

දෙවැන්න එවකට පාසන්ස් පාර නමින් හැඳීන්වුන වර්තමාන චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවතේ රීගල් සිනමා ශාලා භූමියේම පැවැත්වූ එම්පයර් සිනමා ශාලාවයි. එය මදන් සමාගම මගින් පවත්වා ගෙන ගිය එකකි. ඔවුන් ඉබ්බන්වල පිහිටි පබ්ලික් හෝල් ශාලාව එම්පයර් නමින් නම් කරනුයේ පාසන්ස් පාරේ ශාලාව වසා දැමූ පසුවය. ඉතිහාසය සදහන් කරන තැන් වල මෙම එම්පයර් සිනමා ශාලා එකිනෙක පටලවා ගෙන සටහන් කළ අවස්ථා එමටය. වර්තමානයේ කොළඹ ඉන්ඩිපෙන්ඩනස් ආකේඩ් පිහිටි එම්පයර් සිනමාහල් යුගල ඇරඹුණේ 2014 වසෙර්ය. ඒ ඉබ්බන්වල තිබුණ එම්පයර් සිනමා ශාලාව 2003 වසරේ දී වසා දමා අවුරුදු එකොළහකට පසුවය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.