සිනමාවේ අප දුටු මුල්ම නිළිය සහ ගායිකාව

අප්‍රේල් 11, 2019

 සීමාසහිත මදන් තියටර්ස් ලෙස ඉන්දියානු කොටස් වෙළෙඳ පොලේ ලැයිස්තු ගත වන විටත් ඉන්දියාවේ හා ලංකාවේ සිනමා ව්‍යාපාරයේ රටාව ඔවුන් විසින් සැලසුම් කොට අවසන්ය. එයට ඉන්දියාවේ දී ම ඇතැමුන් අභියෝග කළ ද මෙරට දී සිදුවූයේ එහි අනික් පැත්තය. ඉන්දියාවේ දී මදන් හා අභියෝග කර ගැනීම දුෂ්කර වූයේ ඔවුන් සතු දැවැන්ත ආයෝජන ශක්තිය හා ව්‍යාප්ත කරන ලද සිනමා ශාලා රාශිය නිසාය. එහෙත් අලුත් ආයෝජකයෝ හැමවිටම මදන් හා තරග වැදුණහ. ඔවුහු මදන් ප්‍රතිපත්තිවලට එරෙහිව අරගල කළහ. එසේ කළ හැකිවූයේ ද මදන් හා තරග වැදීමට තරම් ආයෝජන හැකියාව ඇත්තන්ට පමණකි.

ඉන්දියාවට චිත්‍රපට ආනයනයේ යෙදුණ මදන් ඔවුන්ගේ කාර්යාලය කල්කටාවේ පිහිටීම නිසා එහි වෙනමම රැඟුම් පාලක මණ්ඩලයක් ඉල්ලා සිටීමට තරම් බලවත් විය. බොම්බාය හා කල්කටාව අතර සිනමා අධිරාජ්‍යය සම්බන්ධයෙන් තියුණු අරගලයක් පැවැත්විණ. එහෙත් මෙරට දී මදන් හා අභියෝග කරන්නට කිසිවකු හෝ නොවීය. මදන්ගෙන් පසු මෙරට සිනමා ව්‍යාපාරය අත්පත් කර ගත් දේශිය අනුප්‍රාප්තිකයන් ගියේ ද මදන් විසින් පූවාදර්ශ සපයන ලද මග ඔස්සේය. එමෙන්ම ඉන්දියාවට වඩා පසුකාලින මෙරට තරගකාරි සිනමා ව්‍යාපාරිකයෝ ඒකාධිකාරයක නොව කතිප්‍යාධිකාරයක යෙදෙනු දක්නට ලැබෙයි.

ජේ.එෆ්.මදන් විසින් චිත්‍රපට ව්‍යාපාරයේ යෙදෙන අතරතුර තරගකාරි පාර්සි නාට්‍ය සමාගම් මිළයට ගත් අතර එයින් පසු චිත්‍රපට අතරතුරම මෙරට දී පවා එම නාට්‍ය වේදිකා ගත කළ වග සොයා ගත හැක්කේය. මදන් ව්‍යාපාරයේ අණසකට යටත් වූ පසු කටාවු ඇල්ෆ්‍රඩ් නාට්‍ය සමාගම 1915 වසරේ දී මෙරටට පැමිණ බව අනාවරණය වෙයි. ඒ මදන් චිත්‍රපට ප්‍රදර්ශනය අතරතුරදීමය. පාර්සි නාට්‍යය පිළිබඳ ඉල්ලුම වෙනස් වනුයේ කතානාද සිනමාව අවතීර්ණය වීමත් සමගය. පාර්සි නාට්‍යන්ගේ අන්තර්ගතය මුළුමනින්ම ජනප්‍රිය ඉන්දියානු සිනමාවේ විලාසය බවට පත්වීමත් සමග නාට්‍යයට ඇති ඉල්ලුම බිම වැටිණ. මදන්ලා මරදානේ පැලස් සිනමාහල ද බම්බලපිටියේ මැජස්ටික් සිනමාහල ද නුවරඑළියේ ක්ලිෆඩ් පැවිලියන් සිනමාහල ද ස්ථාවර සිනමාහල් ලෙස ගොඩ නැගූහ. එල්ෆින්ස්ටන් සිනමාහල ගොඩ නැගෙනුයේ පැලස් භූමියේය.

ඔවුහු චිත්‍රපට ආනයනයේ දි ප්‍රදර්ශනයේ දී ද බෙදාහැරීමේ දී ද නියුක්ත වූහ. යුනිවර්සල්, මෙට්‍රො ගොල්ඩ්වින් මේයර්, පැතේ ෆෙරර් , පැරමවුන්ට් වැනි චිත්‍රපට සමාගම් සදහා ඉන්දියානු බෙදාහරින්නා ද වූයේ ඔවුහුය. එය ඉන්දියාවට පමණක් සීමාවූයේ නැත. ඔවුන් සතු කලාපයේ සියලු සිනමාහල් සඳහා එම ආනයනිත පිටපත් බෙදාහැරිණ. ලොව මුල්ම කතානාද චිත්‍රපටය වූ ද ජෑස් සිංගර් චිතපටය පසෙක තිබිය දී ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද ප්‍රේක්ෂකයන් දුටු මුල්ම කතානාද චිත්‍රපටය වූයේ මෙලඩි ඔෆ් ලව් වූයේ ඒ නිසාවෙනි. ඉන්දියානු මුල්ම කතානාද චිත්‍රපටය වූ අලම් අරා මෙරට ප්‍රදර්ශනය නොවිණ. ඒ වෙනුවට මුලින් මෙරට ප්‍රදර්ශනය වූ ඉන්දියානු කතානාද චිත්‍රපටය වූයේ මදන් නිපද වූ ලයිලා මජ්නු ය. ඔවුන් සිය ශිරින් ෆර්හාඩ් මෙරට තිර ගත කරවන ලද්දේ ලයිලා මජ්නු චිත්‍රපටයට පසුව 1932 වසෙර්ය. ලයිලා මජ්නු තිරගත වූයේ එම්පයර් සිනමාහලේය.

එහි රඟපෑ ජහනාරි කජ්ජන් හෙවත් කජ්ජන් හෙවත් මිස් කජ්ජන් මෙරට සිනමා රසිකයන් ආදරයෙන් වැළද ගත් මුල්ම නිළිය සහ ගායිකාව වූවා නිසැකය. ඉම්පීරියල් සමාගමේ අලම් අරා නිපදවන සමයේ එය රූප ගැන්වීම සඳහා බොම්බායේ මැදියම අවසාන දුම්රියද ධාවනය වන තුරු බලා සිටින්නට සිදුවිය. එයට හේතුව ඔවුන්ගේ චිත්‍රාගාරය දුම්රිය මගක් අසල තිබීමත් එය ශබ්ද සඳහා ආවරණය නොකිරීමත් නිසා හතර වටේ තිබුණ සියලු ශබ්ද චිත්‍රපටයට යොමුවීම නිසාවෙන්ය. නිහඬ චිත්‍රපට සමයේ චිත්‍රාගාර ඉදිවුණේ එබඳු හඬ පිළිබඳ කිසිදු තැකීමක් නොකරමින්ය. මදන් ශිරින් ෆර්හාඩ් හැදුවේ සම්පූර්ණයෙන් බාහිර ශබ්ද වලින් තොර චිත්‍රාගාරයක දීය.

මදන් හැමවිටම සිය චිත්‍රාගාර හා චිත්‍රපට කෙරෙහි සැලකිලිමත් විය. මෙරට සිනමා රසිකයන්ගේ පමණක් නොව ඉන්දියාවේ හා අසල්වැසි බුරුමයේ පවා ආදරයට ලක්වූ මුල්ම ගායිකා නිළිය කජ්ජන් කතානාද යුගයේ සිනමාවේ සිදුවූ විපර්යාසයන් පිළිබද කදිම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. නිහඬ සිනමා යුගයේ මදන් චිත්‍රපට තරුව වූයේ පේෂන්ස් කූපර් ය. මුල්ම ඉන්දියානු චිත්‍රපටය වූ රාජා හරිශ්චන්ද්‍ර සඳහා නිළියක සෙවීමට එහි නිර්මාතෘ ඩී.ඩී.පාල්කේ විසින් ගත් වෙහෙස පිළිබඳ ඔහුගේ ජීවිත කතාව ඇතුළත් ද සයිලන්ට් ෆිල්ම් කෘතියෙහි මනාව විග්‍රහ කෙරෙයි. බොම්බායේ ගණිකා මඩමක සේවයේ යෙදෙන රූමත් ගණිකාවන් සොයා ගිය පාල්කේ ඔවුන්ට මුල්ම ඉන්දියානු චිත්‍රපටයේ රඟපාන්නට ආරාධනා කළ ද එතරම් අවමානයක් විදින්නට ඔවුහු පවා අකමැති වූහ. එබැවින් මුල්ම චිත්‍රපටයේ කාන්තා චරිතය රඟපෑවේ තේ කඩයක තේ සාදමින් සිටි රූපත් කොලු ගැටයෙකු වූ අන්නා සලුන්කේය.

දෙවැනි ඉන්දියානු චිත්‍රපටය වූ පාල්කේගේම මොහීනී භෂ්මදූර් චිත්‍රපටයෙන් බිහි වූ මරාති කාන්තාවක වූ කමලා භායි කමත් මුල්ම ඉන්දියානු චිත්‍රපට නිළිය ලෙස ඉතිහාසයට එක්වූවාය. එහෙත් ඉන්දියානු යුවතියෝ සිනමා නිළියන් වීමට ඉක්මන් නොවූහ. නිහඬ සිනමාවේ රංගනයට පිවිසි බොහෝ ඉන්දියානු යුවතියෝ ඇංග්ලෝ ඉන්දියානුවන් වූහ. කෙතරම් ඉහළින් වැජඹුන ද කතානාද සිනමාව බිහිවීමත් සමග ඔවුන් බොහෝ දෙනෙකුට උන් හිටි තැන් අහිමි වූයේ නිසි ලෙස ඉන්දියානු භාෂාවන් ව්‍යවහාර කර ගත නොහැකි නිසාය. මුල් පාර්සි නාට්‍ය වල කාන්තා චරිත රඟපෑවේ පිරිමින් වුව පාර්සි වේදිකාවට පිවිසි මුල්ම කාන්තාව ද ඇංග්ලෝ ඉන්දියානු ජාතික මේරි ෆන්ටන් වීම සැලකිලිමත් විය යුතු කරුණකි.

මේරි වේදිකාවට පිවිසීමට පෙරාතුව ඉතා හොඳීන් ඉන්දියානු ස්වභාෂා වහරන්නට උගත්තාය. ඒ ඇගේ සැමියා වූ කවස්ජි පලන්ජි කටාවු ගේ මඟ පෙන්වීම මතය. මේරි මිය ගියේ 1896 වසරේ දී ය. ඇය මිය යන්නට මත්තෙන් ඇගේ සැමියා සමග ලංකාවේ ද රංගනයේ යෙදී තිබුණාය. කටාවු වික්ටෝරියා තියටර්කල් කම්පනි 1889 නොවැම්බර් මස 19 වැනි දින කොළඹ රැකට් කෝට් හි ඔවුන්ගේ නාට්‍ය දර්ශන ඉදිරිපත් කරන ලදී. පසුකලක කටාවු වික්ටෝරියා තියටරිකල් සමාගම ද මදන් විසින් මිළයට ගනු තිබිණ.

මෙරට මුල්ම නිළිය ආනා පෙරේරා (කන්නන්ගර) වේදිකාවට පිවිසෙනුයේ 1885 සැප්තැම්බර් 26 දින වේදිකා ගත වුන රොම්ලින් නාටකය ඔස්සේය. මේරි මෙරට වේදිකාවට පිවිසීමට පස් වසරකට පෙරාතුවය.මෙරට සිනමා රංගන ශිල්පින්ගේ අතීතය ඉන්දියානු ශිල්පින්ට හා සමකාලිනයැයි සැකය අපෙ මතුකර ගැනීම සාධාරණය. මේරි මුල්වරට ඉන්දියාවේ දී වේදිකාවට ගොඩ වනුයේ 1881 වසෙර්ය.

මුල්ම ඉන්දියානු කතානාද චිත්‍රපට නිළිය වන සුබෙයිදා මෙරට රසිකයන්ට හමුවන්නේ නැති තරම්ය. සුබෙයිදා මුල්ම ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරිය වන ෆාතිමා බේගම් ගේ සහ රජ කුමරකු වන නවාබ් යකුත් ඛාන්ගේ දියනියයි. මෙරට මුල්ම ජනපි‍්‍රය නිළිය වන කජ්ජන්බායි උපදිනුයේ ලක්නව් භගල්පූර් නවාබ්වරයාට දාවය. එහි ඉහළම රාජ නාටිකාංගනාවකගේ කුසෙනි. කජ්ජන් නිවසේදීම ඉහළම අධ්‍යාපනයක් ලබා ගත්තාය. ඇය ඉංග්‍රිසි හා උර්දු භාෂාව මෙන්ම සංගීතය ද නර්තනය ද හැදෑරුවාය.

ඇයගේ සංගීත ගුරුවරයා උස්තාද් හුසේන් ඛාන් ය. මදන් තියටර්ස් ඇල්ෆ්‍රඩ් තියටර් කම්පනි මිළයට ගත් පසු කජ්ජන් එයට දායක වූයේ ගායිකාවක හැටියටය. ඇය හැඳීන්වූයේ බෙංගාලි කෙවිළිය යනුවෙනි. ඇය රංගනය පිවිසෙනුයේ එයින් පසුවය. . ඉන්ද්‍ර සභා, බිල්වා මංගල්, ශාකුන්තලා, අලිබබා ඕර් චාලිස් චෝර්, අතක් කා නගා වැනි චිත්‍රපට රාශියකම කජ්ජන් ගී ගයමින් රඟපෑවාය. නාට්‍ය රගපාන සමයේ ඇය එක් වරකට රුපියල් 250 ක් වැනි ඉහළ මිළක් අය කළ බව වාර්තා වෙයි.

සිනමාව කතානාද යුගයට පිවිස ටික කලකින්ම වේදිකා නාට්‍ය ස්වරූපයේ ගීත වෙනුවට නැවුම් පසුබිම් ගායකයන්ගේ හඬ සිනමාවට අවශ්‍ය විය. එබැවින් පසුබිම් ගායකයන් සිනමාවට අවතීර්ණය වීමත් සමග පාර්සි නාටක හරහා ගී ගැයූ හඬ වෙනුවට සිනමාවට උචිත හඬට ඉඩ ලැබිණ. නූර් ජෙහාන් වැනි නිළි ගායිකාවන් බිහිවනුයේ එයින් පසුවය. මේ අතර වාරයේ කජ්ජන් ගේ ජීවිතයේ ද හැල හැප්පීම් රැසක් සිදුවිය. මදන් සමාගමේ නිරතව සිටියදී කල්කටාවේ ඇගේ නිවහනේ සුරතලයට ඇති කළ සතුන් අතර සිංහ පැටවුන් සිටි වග වාර්තාවෙයි. මදන් සමාගමේ පාලකයකු වූ සෙත් කර්නානි සමග ඇගේ සම්බන්ධය නිසා සමාගමෙන් ඇය ඉවත් විණ.

සමාගම සමග ඇති වූ නඩු හබ නිසා කල්කටාවේ පැවැති ඇයගේ මාළිගාව විකුණා දමන ඇය සිය පැරණි රංගනයන් සමග ජහනාරා තියට්‍රිකල් කම්පනි නමින් තමාගේම සමාගමක් පිහිටුවා ගත්තාය. මේ අවදියේ ඇයගේ අයකිරීම රුපියල් හැට දහසක් විය.ලාහෝරයේ සිට අම්රිත්සාර් . හා බොම්බාය දක්වා රංගනයේ යෙදුණ ඇයගේ සෞඛ්‍ය තත්වය දුර්වල විය. බොම්බායේ සිනමාවට එවර ඇය අවතීර්ණ වුවද එයට වසර කිහිපයකට පෙර මදන් වෙතින් ඇයට ලැබුණු ඉහළ පිළිගැනීම හිමිනොවීය. ඒ වන විට බොම්බායේ ප්‍රධාන සමාගම් වන රන්ජිත් ෆිල්ම්ස් හා මිනර්වා ෆිල්ම්ස් චිත්‍රපට සඳහා ඇය දායක වූවාය. ප්‍රිත්ව් වල්ලබ්, ඝර් සංසාර්, සුහාගන් වැනි චිත්‍රපට රැසක රඟපෑ ඇයගේ අවසාන චිත්‍රපටය මුම්ටාස් මහල් විය

බොම්බේ ටෝකිස් සමාගමේ දිදුලන තරුවක් වන්නට වරම් ලබමින් සිට එහි හිමිකරු හිමන්සු රායිගේ භාර්යාව මෙන්ම සුප්‍රකට නිළි දේවිකා රාණි හා තහනම් ආදරයක් නිසා චිත්‍රාගාරයෙන් එළියට විසිවුණ නජ්මල් හසේන් ( මේ විසිවීමෙන් ඉන්දියානු සිනමාවේ විශිෂ්ට නළුවකු වන අශෝක් කුමාර්ට රංගන අවස්ථව උදා විණ) අවසාන භාගයේ ඇයට වඩාත් සමීපව සිටියාය. කජ්ජන් 1945 වසරේ දෙසැම්බරයේ මිය ගියාය. ඒ වන විට ඇය යන්තම් තිස් හැවිරිදි වියේ පසුවූවාය. කජ්ජන් මියග්යේ පිළිකා රෝගය වැලඳීමෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.