මදන් අධිරාජ්‍යය බිඳ වැටෙයි

අප්‍රේල් 25, 2019

සිනමාවේ නිහඬ යුගය බිඳ හෙළමින් කථානාද යුගය ඇරැඹීම ඉන්දියාවට ගැටලු රැසක් ඇති කළේය. විවිධ භාෂාවන්ගෙන් සමන්විත ඉන්දියානු සිනමා වෙළෙඳ පොළ ඒ ඒ භාෂාවන්ට අනුව බෙදී ගියේය. ඒ ඒ ප්‍රාන්ත සමඟඅලුත් සිනමා සමාගම් ද බිහි විණ. මදන් තියටර්ස් ආයතනය කාටත් වඩා දරුණු අර්බුදයකට මුහුණ දුන්නේ ඔවුන් සතු සිනමා ශාලා 176 ම ශබ්ද ක්‍රමයට නවීකරණය කළ යුතුව තිබුණ බැවිනි. එය තනි සිනමා ශාලාවක් නම් ගැටලුව පහසුවෙන් විසඳා ගත හැකිව තිබිණ. සිනමා ශාලා සංඛ්‍යාව වැඩිවත්ම ඒ සඳහා අලුතෙන් ආයෝජන කළ යුතු මුදල විශාල වූයේය. එය ඉන්දියාවට පමණක් සීමාවූවක් නොවේ. ඔවුන්ගේ ශාලාවන් දකුණු ආසියාව පුරා පැතිර තිබිණ. ඒ සියල්ල එකවර නවීකරණය කළ යුතුව තිබිණ. එය නිසැකවම වර්තමානයේ ඩිජිටල් තාක්ෂණයට අනුව සිනමා ශාලා නවීකරණය කිරීමේ ක්‍රියාවලියට සමාන එකකි. එක්කෝ නවීකරණය විය යුතුය. නැතිනම් වැනසිය යුතුය.

මදන් තියටර්ස් ලිම්ටඩ් ඉන්දියාවේ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත්වනුයේ 1919 වසරේ සැප්තැම්බර් 27 වැනි දිනයේය. මදන් සතු එල්ෆින්ස්ටන් තියටර්ස්, එල්ෆින්ස්ටන් බයිස්කෝප්, මදන් තියටර්ස් වැනි සමාගම් එහිදී ඒකාබද්ධ විය. මදන් තියටර්ස් ඉන්දියානු කොටස් වෙළෙඳ පොළේ ලියා පදිංචිගත මුල්ම සිනමා සමාගම විය. සමාගම නැවත 1923 වසරේ දී මහජන කොටස් නිකුතුවක් කළ බව ඉන්දියානු කොටස් වෙළෙඳ පොළ වාර්තා පෙන්වා දෙනු ලබයි. ඒ ඩින්ෂෝ ඇන්ඩ් බෑන්කර්ස් සමාගම හරහාය. තවදුරටත් සිනමා ව්‍යාපාරය පුළුල් කිරීම එහි අරමුණ විය.

ඔවුන් විසින් මෙරට ඉදි කරන ලද සිනමා ශාලා අතරින් වඩාත්ම විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය සහිත සිනමා ශලාව මරදානේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය සහමුලින්ම සිනමා මාළිගාවක් විය. විසි වන සියවසේ දෙවැනි දශකයේ දී පමණ හොලිවුඩ් හරහා ගොඩනැඟුණ මෙම සිනමා ශාලා විලාසය ලොව පැතිර ගියේය. ඔපෙරා ශාලාවක සිරිය ගන්නා මෙම දැවැන්ත මන්දිර බාහිර ස්වරූපයෙන් මෙන්ම අභ්‍යන්තර අලංකරණයෙන් ද පුරාණ ගම්භීරත්වය ඉස්මතු කරවන ලද්දේය. මදන් තියටර්ස් ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයකම එල්ෆින්ස්ටන් නමින් සිනමා ශාලා ගොඩනැංවූයේය. මේ ශාලා බහුතරයක අභ්‍යන්තරය එක හා සමාන විය. වේදිකා නාට්‍යයන්ට මෙන්ම සිනමාවට ද එහි ඉඩ තිබිණ. මුල්ම එල්ෆින්ස්ටන් සිනමාහල ඉන්දියාවේ ගොඩනංවන ලද්දේ 1907 වසෙර්ය. ඒ කල්කටාවේ චෞරන්ගී පටුමගේ ඉදිවුණ එය එරට මුල්ම ස්ථාවර සිනමාහල විය. මදන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු එහි නව හිමිකරුවන් සිනමාහලට මිනර්වා නම තැබුවේය. 1980 වසරේ දී මෙම සිනමා ශාලාව බටහිර බෙංගාල චිත්‍රපට සංවර්ධන සංස්ථාව මගින් නවීකරණය කොට චැප්ලින් සිනමා හල ලෙස නම් කරන ලදී. එහි ප්‍රදර්ශනය කරන ලද්දේ ලෝකයේ සම්භාවනීය චිත්‍රපට පමණකි. ශාලාවේ නඩත්තුවට එය ප්‍රමාණවත් නොවිණ. පසුකලෙක වසා දැමුණු මේ ශාලාව 2013 වසරේ කොල්කටා නගර සභාව මඟින් කඩා දමන ලද්දේ නව සාප්පු සංකීර්ණයකට ඉඩ දෙන්නටය.

කල්කටාවේ මෙන්ම පැට්නා, ලක්නව්, මදුරාසිය, කරච්චි හා රැංගුන් වැනි නගරයන්ගේද එල්ෆින්ස්ටන් නමින් සිනමා ශාලා ගොඩනැඟිණ. මදන් තියටර්ස් ගොඩනැගිලි අතරින් අද මුළු ලෝකයේම ඉතිරිව ඇත්තේ නගරයට ද අමුතු අලංකාරයක් ගෙනදෙන මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහල පමණකි. බම්බලපිටියේ මැජස්ටික් නව සිනමා සංකීර්ණයක් සඳහා ඉවත් වූ අතර නුවරඑළියේ ක්ලිෆඩ් පැවිලියන් ශාලාව පසුකලෙක රීගල් නම් විය. වර්තමානයේ එහි අලුත් සිනමා සංකීර්ණයක් ඉදිව ඇත.

මරදානේ එල්ෆින්ස්ටන් භූමියේ එයට පෙර පැවැතියේ පැලස් සිනමාහලයි. මදන් තියටර්ස් පැලස් මිළයට ගත් පසුව ද එහි චිත්‍රපට මෙන්ම නාට්‍ය ද වේදිකා ගත විය.

පැලස් සිනමා ශාලාව වෙනුවට මදන් තියටර්ස් විසින් මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලට මුල් ගල තබනුයේ 1925 වසරේ ඔක්තෝබර් 20 වැනි දිනයේය. ඒ එවකට කොළඔ නගර සභාපති වූ හියුබර්ට් අර්නස්ට් නිව්න්හැම් අතිනි. නගර සභාපති යනු වර්තමානයේ නගරාධිපතිධුරයයි. කොළඹ නගර සභාවෙන් මදන් තියටර්ස් සමාගම ඉඩම ලබා ගනුයේ අවුරුදු තිහක බද්දකටය. ඒ වන විට ජේ. එෆ්.මදන් මිය ගොසින්ය. එල්ෆින්ස්ටන් නාම පුවරුවට ඉහලින් ඇති මිනිස් හිසක අනුරුව මදන් නිර්මාතෘ ජේ.එෆ් මදන්ගේ රුව බව වර්තමානයේ සිනමා සංරක්ෂකයකුව ස්වේච්ඡාවෙන් කටයතු කරනු ලබන දම්මිත් ෆොන්සේකා වරක මට පෙන්වා දුන්නේය. ආසන දහසකින් යුතුව එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ගොඩනැගුණේ මුලින් නිහඬ සිනමාහලක් හැටියටය. එහි මුල්ම කථානාද චිත්‍රපටය වූයේ ලයිලා මජ්නු චිත්‍රපටයයි. එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ ප්‍රදර්ශිත මුල්ම සිංහල චිත්‍රපටය වූයේ අශෝකමාලාය. එතැන් පටන් එල්ෆින්ස්ටන් සිලෝන් තියටර්ස් සමාගමේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශණයේ ආරම්භක සිනමාහල ලෙස සැළකිණ. චිත්‍රපට ප්‍රදර්ශනය චිත්‍රපට සංස්ථාවට පවරා ගත් පසු එය පළමු ප්‍රදර්ශක මණ්ඩලයේ ආරම්භක සිනමා හල ලෙස පැවැත්විණ. 1984 වසරේ දෙසැම්බර් 31 වැනි දින සිනමාහල ටවර් හෝල් පදනම වෙත පවරා ගන්නා ලදී. එහි අවසන් වරට වාණිජමය වශයෙන් තිර ගත කරවන ලද්දේ දෝංකාරය නම් චිත්‍රපටයයි. එයින් පසු එය නවීකරණය වූයේ රංග ශාලාවක් හැටියටය. එයින් පසුව ද කලක් විවිධ සිනමා උත්සව හා ආරාධිත චිත්‍රපට දර්ශණ ද එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ පැවැත්විණ. මේ අතර ඉංග්මාර් බර්ග්මාන් සිනමා උලෙළ, ප්‍රංශ සිනමා උලෙළ, ඉන්දියානු සිනමා උලෙළ කැපී පෙනෙයි. ටවර් හෝල් පදනම යටතේ ද සති අන්ත පෙරවරුවේ සම්භාවනීය චිත්‍රපට එහි ප්‍රදර්ශනය කෙරිණ.

කථානාද සිනමාව වෙනුවෙන් ශාලා නවීකරණය වද්දී මදන් සුප්‍රකට හොලිවුඩ් සමාගමක් ව පැවැති කොලම්බියා පික්චර්ස් සමඟ ගිවිසුමකට එළැඹිණ. ඒ අනුව සිනමා ශාලා නවිකරණය වීම ඇරඹිණ. අද මෙන් ව්‍යාපාරිකයා ණය ගෙවන්නේ නම් පන්නා පන්නා ණය දෙන බැංකු ක්‍රමයක් එකල නොවිණ. කොලම්බියා සමග ඇති කර ගත් ගිවිසුම කවරෙක් හෝ වේවා එය මදන් සමාගම කළ බරපතල වරදක් බව පෙනී යයි. එමෙන්ම හෙළි කර නොගත් තවත් බොහෝ ව්‍යාපාරික ගැටලු රාශියකට මදන් තියටර්ස් මුහුණ දුන් වග පෙනී යන කරුණකි. මදන් සමාගමේ මෙරට කළමනාකරුව සිටියේ ඇෆ්.සී.ෆැරක් ය. ෆැරක් ද මදන් මෙන්ම පාර්සි ජාතිකයකු බව ඩී.වී.සෙනෙවිරත්න සිය චිත්‍රපට කලාව ග්‍රන්ථයේ කියා සිටියි. 1931 සැප්තැම්බර් මස 21 වැනි දින ටවර් රඟහලේ චිත්‍රපට ප්‍රදර්ශනය අරඹනුයේ ෆැරක් විසිනි.

සමාගමේ අර්බුදයත් සමග එහි මහ මොළය වූ ජේ.ජේ.මදන් සමාගමෙන් ඉවත්ව ගිය බව පෙනී යන්නකි. 1934 වසරෙන් පසු මදන් චිත්‍රපට කිහිපයක් ඉන්දියානු සිනමා වංශ කතාවේ හමුවුවත් එයට ජේ.ජේ මදන් හවුල් වූ වගක් පළ නොවෙයි. චිත්‍රපට අන්තර්ගතය නවීකරණය නොවීම ද ඔවුන්ට බලපාන්නට ඇත. මදන් තියටර්ස් සමාගමේ අවසාන නිෂ්පාදනය වනුයේ 1938 වසරේ එළි දකින කතර්නාක් අවුරත් චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ෆරේදූන් අයිරානි විසින්ය. 1941 වසරේ ජේ.ජේ මදන් සිය අවසන් සිනමා කෘතිය නිර්මාණය කරනු ලබන්නේය. එයට පාදක වනුයේ විලියම් ශේක්ස්පියර්ගේ වැනිසියේ වෙළෙන්දාය. සලීම් සෞදගර් නම් එම සිනමා කෘතිය මදන් විසින් නිර්මාණය කරනු ලබනුයේ රාධා ෆිල්ම්ස් නම් වෙනත් සමාගමක් වෙනුවෙනි. ඒ ඔහු මදන් තියටර්ස් වෙතින් ඉවත්ව ගිය බවට සාධකයකි. මේ වන විට වෙනත් පුද්ගලයන් මදන් සතු බොහෝ දේපල මිලයට ගන්නේ සමාගම මගින් ඒ සියල්ල විකුණා දමන හෙයින්ය. 1939 වසරේ දී මෙරට මදන් සතු සියලු දේපළ ඒ වන විට අලුත් සමාගමක් වන සිලෝන් තියටර්ස් සමාගම මගින් මිලයට ගනු ලැබිණ. මදන් නියෝජිත ෆැරැක්ගේ නිළ නිවහන ද ඒ අතර වෙයි. මදන් ගේ කීර්තිමත් ඉතිහාසය එසේ නිමවෙයි.

කෙසේ වෙතත් මදන් තියටර්ස් තවමත් ඉන්දියානු කොටස් වෙළෙඳ පොලේ ලියාපදිංචි ක්‍රියාකාරී සමාගමකි. එහි වාර්ෂික ශේෂ පත්‍රයක් ඇති වග පෙනි යයි. ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු අතර චිත්‍රපට මෙන්ම ටෙලිවිෂන නිර්මාණ කරන වග සඳහන් වුව ද ආයතනය සතු සේවක සංඛ්‍යාවක් සඳහන් නොවෙයි. 18 රබීන්ද්‍ර සරනි 9 වන මහල කල්කටා යන පැරණි ලිපිනයැති මදන් තියටර්ස් ලිම්ටඩ් සමාගමේ අවසන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2018 වසරේ සැප්තැම්බර් 29 වැනි දින පවත්වා ඇත්තේ වර්තමාන සාමාජිකයන් වූ නාත්මල් සහල්, අජිත් කුමාර් ශර්මා සහ චූල්කම් මනිකන්දන් ගේ සහභාගීත්වයෙනි. කෙසේ වෙතත් 1935 වසරේ සිට අද දක්වාම මදන් සමාගමට එරෙහිව සහ ඔවුන් විසින් වෙනත් පුද්ගලයන්ට එරෙහිව ඉන්දියානු අධිකරණයේ ඇති නඩු සංඛ්‍යාව නම් කෙළවරක් නැති බව පෙනි යන්නකි. ඒ බහුතරය සමාගමේ දේපළ සාවද්‍ය පරිහරණය හෝ හිමි කර ගැනීම්වලට එරෙහිවය. එයින් එකක් නම් බාබුලාල් චෞකාට එරෙහිව මදන් නඩුවය. එය ඉන්දියානු අධිකරණය හමුවේ පැවරෙනුයේ 1933 අප්‍රෙල් 11 වැනි දිනය. එකක් පැහැදිලිය. ඒ ඉන්දියාවේ හා ලංකාවේ සිනමා ව්‍යාපාරයට මුල පිරූ මදන් පවුලේ කිසිවකු හෝ සමාගමේ දැන් නැති බවය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.