දිවි දෙවැනි කොට ප්‍රක්ෂේපණ යන්ත්‍රය බේරා ගත් සේවකයෙක්

මැයි 23, 2019

ඉම්පීරියල් තියටර්ස් නැතහොත් ඉම්පීරියල් ටෝකීස් මෙරට සිනමාවේ පැරැණිතම සමාගමක් ලෙස කටයුතු කළ ද ඒ පිළිබඳ වඩා අවධානය යොමු නොවුණේ චිත්‍රපට නිෂ්පාදනයේ දී ඉම්පීරියල් සෙසු පුරෝගාමින් මෙන් දායකත්වය නොදැක්වූ හෙයින්ය. නිව් ඉම්පීරියල් ටෝකිස් සිය ඉතිහාසයේ නිපදවූයේ සිංහල චිත්‍රපට දෙකක් පමණී. 2007 වසරේ තිරගතවූ ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කළ සිකුරු හතේ ඔවුන්ගේ මුල්ම චිත්‍රපටයයි. එය ඉහළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් වූ අතර සරසවිය සම්මාන උලෙළේ දී සම්මාන කිහිපයක්ම දිනා ගැන්මටම ද සමත්විය. ඔවුන්ගේ දෙවැනි නිෂ්පාදනය 2017 වසරේ තිර ගත කළ වී.ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ පහ සමත් චිත්‍රපටයයි.

කොහොමටත් සිනමා ඉතිහාසය ලියන්නෝ එය වඩා ජනතාව අතරට ගෙනයාමේ මෙහෙයක් කළ සිනමා ශාලා ගැන ලියන්නේ අඩුවෙනි. චිත්‍රපට කර්මාන්තයට ඔවුන්ගේ දායකත්වය ඉතා ඉහළ එකක් වුව චිත්‍රපට ප්‍රදර්ශකයන් අඩු තක්සේරුවක සටහන් කිරීම ලොව පුරා සුලබ කරුණකි. ජාතික චිත්‍රපට සංස්ථාව මගින් දිවයිනේ සිනමා ශාලා ඇගැයීම සඳහා සම්මාන පිරිනමනු ලැබිණ. කුරුණෑගල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් ද එම සම්මාන දිනා ගැනීමට කිහිප වරක්ම ඉම්පීරියල් සමත්විය. වර්තමානයේ ඉම්පීරියල් සිනමා ශාලා අතරින් ඉතුරුව ඇත්තේ කුරුණෑගල, රත්නපුර සහ යටියන්තොට පමණකි. එම සිනමා ශාලා සියල්ලම අංග සම්පූර්ණ නවීකරණය වූ සිනමා ශාලා ලෙස ජනප්‍රසාදය දිනා ගෙන තිබේ. ඉම්පීරියල් කාර්යාලය ඉතා මෑතක් වන තුරුම පවත්වා ගෙන ගියේ කොළඹ බේබෲක් පෙදෙසේ එම්පයර් සිනමාහලට අල්ලපු ඉඩමේය. අංක 59 වූ එය පැරණි ගොඩනැගිල්ලකි.(එම්පයර් ගොඩනැගිල්ල අංක 51 විය) ඉම්පිරියල් සමාගම එය මිළයට ගෙන තිබුණේ සිලෝන් තියටර්ස් සමාගමෙනි. සිලෝන් තියටර්ස් එය මිළයට ගැන්මට පෙර මදන් තියටර්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලය වූයේ එයයි. මදන් තියටර්ස් සමාගමේ මෙරට කළමනාකරුවූ ඇස්.සී. පැරැක්ගේ නිවහන වූයේ ද එම ගොඩනැගිල්ලය. පසුකලෙක ටවර් ශාලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹූයේ ද පැරැක්ය. අශෝකමාලා චිත්‍රපටය හදන්නට ශාන්ති කුමාර් සෙනෙවිරත්නට ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර් හඳුන්වා දෙනු ලබනුයේ පැරැක් විසිනි. 1907 වසරේ සිට 1947 දක්වාම මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ නියැළි පැරැක් ශාන්ති කුමාර් හඳුනාගනු ලබනුයේ අපේ මුල්ම සිනමා පුවත්පත් කලාවේදියකු වන ඩී.වී.සෙනෙවිරත්න හරහාය.

ඉම්පීරියල් පුරෝගාමිත්වයෙන් අරඹි සංචාරක සිනමාශාලා ඉතිහාසය නිමාවනුයේ 1975 වසරේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව චිත්‍රපට බෙදාහැරීම සහමුලින්ම අත්පත් කර ගත් පසුවය.. සිනමා ශාලා යනු ස්ථාවර ගොඩනැගිලිවල පවත්වා ගත යුතු ඒවායැයි ඇදහූ එවකට බලධාරිහු එතුවක් සිනමාව ගමට ගෙන යෑමේ වැදගත් මෙහෙවරක් කළ ජංගම සිනමා ශාලාවලට චිත්‍රපට ලබාදීම අත්හිටවූහ. තාවකාලික ගොඩනැගිලිවල බිහිවුණ ඉම්පීරියල් සිනමා ශාලා කිහිපයක් තවදුරටත් පවත්වාගෙන යනු ලැබිණ. ඒවා ද කාලයාගේ ඇවෑමෙන් වැසීගියේ අනුක්‍රමයෙන් සිනමාවේ අර්බුද උග්‍ර අතට පත්වීමත් සමගය. ඉම්පීරියල් සතු අවසන් තාවකාලික සිනමා ශාලාව බේරුවල පැවැති අතර එය ද 1984 වසරේ වසා දමනු ලැබිණ. ඒ වන විට සිනමාව නිවසට එන යුගය ආරම්භ වෙමින් පැවැතිණ. අනුක්‍රමයෙන් සිනමා ශාලා සඳහා ප්‍රේක්ෂකයන් පැමිණීම අඩුවද්දී ඉම්පීරියල් සිය බලංගොඩ, රුවන් වැල්ල ,පානදුර .අවිස්සාවේල්ල වැනි සිනමා ශාලා ද විකුණා දැමිමේය. බොහෝ අලුත් හිමිකරුවෝ බොහෝ දෙනෙක් එම පැරණි ගොඩනැගිලි වෙනත් ව්‍යාපාර සඳහා යොමු කළහ. බේරුවල ප්‍රදේශයේ ඉම්පීරියල් වැසී යද්දී ඉදිවුණ එවකට නවීනතම සිනමාශාලාවක් වූ ග්‍රැනාඩා සිනමාහල ද දිගු කලක් පැවැතියේ නැත. වර්තමාන සිනමා වෙළෙඳ පොළ විමසීමේ දී තව දුරටත් සංචාරක සිනමා ශාලාවලට ඉඩක් පැවැතිය නොහැකිය. එහෙත් ඉතා හොඳ සිනමා වෙළෙද පොළක් පැවැති යුගයක සංස්ථාව මගින් සංචාරක සිනමා ශාලා අත්හිටවනු ලැබුවේ කවර කාරණයක් මතදැයි තවමත් මට අභිරහසකි. සංචාරක සිනමා ශාලා ව්‍යාපාරය වැසුණ ද ආධාර චිත්‍රපට දර්ශන ලෙස ගම්මාන කරා ඇදුණ වෙනත් සිනමා ව්‍යාපාරයක් අසූව දශකය අග පමණ වනතුරු පැවැතිණ. ආධාර චිත්‍රපට දර්ශන ව්‍යාපාරයේ දී සිදුවූයේ කිසියම් ආගමික ස්ථානයක හෝ යම් පොදු කටයුත්තක් සඳහා ආධාර ලෙස චිත්‍රපට ප්‍රදර්ශනය කරවීමය. එහිදී දිවයිනේ ඈත පළාත්වල පන්සල් පාසැල් ආශ්‍රිත ගොඩනැඟිලි ආදියෙහි වටතිර ඇද ශාලා අඳුරු කොට විවිධ ජනප්‍රිය චිත්‍රපට තිරගත කරවනු ලැබීය. මෙබඳු ආධාර චිත්‍රපට ප්‍රදර්ශනය ව්‍යාපාරයක් කොට ගත් කිහිප දෙනෙක්ම අසූව දශකය දක්වාම සිටියහ. ඔවුන් ගේ චිත්‍රපට දැක්ම සතියකට පමණ සීමා වන අතර දිනපතා එක් චිත්‍රපටය බැගින් ප්‍රදර්ශනය කරවනු ලැබීය. ආධාර චිත්‍රපට දැක්මක් මගින් චිත්‍රපට තුනක් නැරඹීමේ අවස්ථාව ළමා වියේ දී මට හිමිවිය. ඒ 1971 වසරේ පදවිය බුද්ධංගල විද්‍යාලයේ දී බඩුත් එක්ක හොරු චිත්‍රපටයත් 1974 වසරේ දී කැබිතිගොල්ලෑව මහසෙන් මහවිදුහලේ දී සිකුරු තරුව චිත්‍රපටයත් 1978 වසරේ දී එයට නුදුරු වත්තේවැව පන්සලේ දී කතුරු මුවාත් යන චිත්‍රපට ත්‍රිත්වය එලෙස මා නැරඹූ චිත්‍රපට විය. එලෙස ආධාර චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදුණ එක් ව්‍යාපාරිකයකු වූයේ කිරිබත්ගොඩ ඒ.එස්.ජී.වික්‍රමරත්නය. ඔහු පසුකලෙක එනම් 1981 වසරේ දී නිපදවූ අජාසත්ත චිත්‍රපටය එවකට මෙරට වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය විය. එහි බිම්බිසාර රජුගේ චරිතය රගපෑවේ ද වික්‍රමරත්න විසිනි. වික්‍රමරත්නගේ ඒ.එස්ජී.ෆිල්ම්ස් නම් ආධාර චිත්‍රපට ප්‍රදර්ශන ආයතනයේ පුවරුව මෑතක් වනතුරුම කිරිබත්ගොඩ නගරයේ වයි.එම්.බී.ඒ ගොඩනැගිල්ල අසල තිබිණ.

නිව් ඉම්පීරියල් සිනමා ව්‍යාපාරයේ සිනමා ශාලා වැසීයාමත් සමග ඒවායේ සේවයේ නිරත බොහෝදෙනෙකුට ද ජීවන අරගලයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙත් එහි වසර පනහකට වැඩිකලක් සේවය කළ කිහිප දෙනෙක්ම තවමත් සිටිති. අපට මුලින් හමුවූ යටියන්තොට සුමනසේකර මහතා එබන්දෙකි.

1983 වසරේ ජූලි මාසයේ ජාතිවාදි ගිනි දලු රට පුරා පැතිර ගියේය. එය කොළඹට පමණක් නොව උතුරට ද දැනිණ. මුතූර් පළාතේ ගිනි ඇවිලෙද්දී එහි ඉම්පීරියල් සිනමා ශාලාවේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරු ලෙස සේවය කළ කේ.ටී.ඒ. සුමතිපාල මහතාට ද සිනමා ශාලාවට ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි සැකයක් පහළ විණ. ඒ පළාතේ සෙසු දාමරික ක්‍රියාවන් වැඩිවද්දීය. සිනමා ශාලාව වටා අද රොක්වන්නේ වෙනදා එහි චිත්‍රපට නැරඹූ දෙමළ තරුණයන් වුව ඔවුන් ගේ විලාසය වෙනස් එකක් බැව් සුමතිපාල ට දැනිණ. කළ යුතු දේ සිනමා ශාලාව අතහැර දමා දිවි බේරා ගැනීම වුවද එයට ඔහුගේ හිත දුන්නේ නැත. ඔහු සිනමා ශාලාවේ හදවත එනම් ප්‍රක්ෂේපණ යන්ත්‍රය ඉක්මනින් කෑලිවලට ගලවා ඉවත් කර ගෙන කලපුවේ වූ යාත්‍රාවකට දමා ගත්තේය. අඳුරේම කලපුව තරණය කරන ඔහුට ශාලාවට කඩා වැදුණ මැරයන් එය ගිනිබත් කරනු පෙනිණ. ඉකිබිඳීමින් හා මර බියෙන් රාත්‍රියේම ගොඩ බිමට පැමිණි ඔහු කොළඹ යන්නට ලොරි රියැදුරෙකු කැමැති කර ගත්තේ බලවත් වෑයමකිනි. ඒ වනවිට සියලු දුරකතන මාර්ග අවහිරව පැවතිණ. අද මෙන් ජංගම දුරකතන ද නොවිණ. කොහොමටත් පහසුවෙන් කොළඹට ඇමතුමක් ලබා ගැන්මට එකල හැකියාවක් නොවිණ. ඔහුට ඇමතුමක් ලබා ගැන්මට හැකිවූයේ කන්තලේට පැමිණි පසුවය. ඒ වනතෙක් සිනමා ශාලාවට හෝ එහි සිදුවූ කිසිවක් ගැන හෝ කොළඹට කිසිදු ආරංචියක් ලැබී නොතිබිණ. තවත් පැය ගණනකින් සුමතිපාල රැගත් ලොරිය කොළඹ ඉම්පීරියල් කාර්යාලයට පිවිසියේය. එතෙක් ඉම්පීරියල් සභාපති ටෝනි වැන් ස්ටාරෙක්ස් පෙර මඟ බලා සිටියේය. කුසගින්නේ හා මර බියෙන් ද පසුවෙමින් හා තඹ දොයිතුවක් හෝ අතේ නොමැතිවුව ද සිය පණටත් වඩා ආදරය කළ ප්‍රක්ෂේපණ යන්ත්‍රය රැක ගන්නට සුමතිපාල කළ වෑයම ටෝනිගේ ඇසට කදුළු ගෙනාවේය. සුමතිපාල සේවයට බැඳී තිබුණේ 1965 වසරේ ඹක්තෝබර් 13 වැනි දින බුත්තල පැවැති ෂෝ අංක 11 දරණ සංචාරක ශාලාවටය. මූලික වැටුප රුපියල් හතලිහකි. දීමනාවක් හැටියට රුපියල් 80 කි. වසර ගණනාවකට පසු 1983 වසරේ ඔහු විසින් බේරා ගනු ලබන ප්‍රක්ෂේපණ යන්ත්‍රයන්ගේ වටිනාකම රුපියල් කෝටියකට වැඩිය.

ගින්නෙන් දැවුණු සිනමාහලේ ඉතිරි වූ යකඩ කනු ඉන්දියානු සාම සාධක හමුදාව මෙරට පැමිණ සිටි වකවානුවේ ඔවුන් විසින් ගලවා ගෙන ගිය බව පසුව ආරංචි විය. අපේ සිනමා ඉතිහාසයේ සැඟවුණු කතා සොයමින් ලියන ලිපි මාලාවේ මෙම ලිපිය සිය දිවි දෙවැනි කොට එලෙස සිනමාව රැක ගත් කිසි කලක අපට හමුනොවූ සිනමා ශාලා සේවකයන්ට උපහාරයක් වේවායැයි පතමි. මෙරට සිනමා ඉතිහාසය ලියන්නට අප විසින් කරනු ලබන වෑයමේ දී සිය කාලය වෙන් කොට ඉම්පීරියල් සමාගමේ පැරණි ලිපි ගොනු පවා පරිශිලනය කරන්නට ඉඩ දුන් එහි සාමාන්‍යාධිකාරි අනුරාධ බී.රැකව, ගණකාධිකාරි සුසිල් ජයසේකර යටියන්තොට සිනමාශාලාවේ ඒ.ජී.සුමනසේකර මහත්වරුන්ට අපේ ස්තූතිය පිරිනමමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.