ඔලිම්පියා වූ ක්‍රයිටීරියන්

ජුනි 6, 2019

මරදානේ ගොඩ නැගුණ රංග ශාලාවන් අතර සිනමා ශාලාවක් ලෙස මුලින්ම පරිවර්තනය වනුයේ ක්‍රයිටීරියන් ශාලාවයි. ක්‍රයිටීරියන් ශාලාව විසි වන සියවස ආරම්භයත් සමග පැණ නැගුනක් බව පෙනී යයි. ඒ වන විට මරදානේ පැවැති රංග ශාලාවන් අතර ක්‍රයිටීරියන් ශාලාව කෙබඳු ශාලාවක් දැයි උපකල්පනයක් කර ගත නොහැකිය.

 

විසි වැනි සියවසේ මැද භාගය වන විට මරදාන හා අශ්‍රිතව නව සංස්කෘතියක් බිහි විණ. රටේ හතර දිග් භාගයෙන් පැමිණි බොහොමයක් නව රක්ෂා උල්පත් සොයමින් හා නවජීවිතයක් සොයමින් පදිංචි වනුයේ මරදාන ආශ්‍රිතවය. ඔවුන්ගේ බහුතරය උප්පත්තියෙන් කොළඹයෝම නොවෙති. විවිධ ප්‍රෙද්ශ වලින් විවිධ ආර්ථික මට්ටමින් යුතුව සිටිය ද ඔවුන් මරදානේ දී ගොඩ නැගුණේ එකම පරිසරයකය. ඔවුන්ගේ රස වින්දනය හැඩ ගසන ලද්දේ රළු කර්කශ වෘත්තීය හරහාය ඔවුන්ට ලැබුණ එකම සහනය පැවැති නාට්‍ය සහ ගොඩ නැගෙන සිනමාවය. ඔවුන්ගේ විනෝදාශ්වාදය සඳහා පැරණි සමප්‍රදායික ගැමි නාට්‍ය ප්‍රමාණවත් වන්නේ නැත.

පිටකොටුවෙන් පිටමං වන නාට්‍යා ව්‍යාපාරය ට සුදුසුම කේන්ද්‍රස්ථානය වනුයේ මරදානය. වඩා ජනප්‍රිය කලාවක් ලෙස විසි වැනි සියවසේ සිනමාව හා නාට්‍යය වර්ධනය වනුයේ මරදානේ දීය. මරදාන හා අවට ආශ්‍රිත කොට නව ජනාවාස සැකසීම එයට එක් හේතුවකි. දෙවැන්න කොළඹ මරදාන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමය. මරදානේ බිහි වූ මුල්ම රංග ශාලාව කවරෙක්දැයි කිව නොහැකි නමුත් විසි වන සියවසේ මුල් දශකය වන විට මරදාන ආශ්‍රිත රංගශාලා කිහිපයක්ම ඉදිවුන බව පෙනී යයි. මෙහි නව සංස්කෘතියක් ගොඩ නගනුයේ 1911 වසරේ ඉදිවන ටවර් රංග ශාලාවයි. ටවර් රගහල ඒ වනවිට මෙරට ඉදිවුන සෙසු සියලු රංග ශාලාවන්ට වඩා අතිශය නවීකරණය වූවක් විය. වර්තමානයේ එල්ෆින්ස්ටන් සිනමාහල පිහිටි බිමෙහි ගොඩ නැගෙමින් තිබුණු පැවිලියන් හා පසුව පැලස් නම් රංග ශාලාව තවත් එකකි. වඩාත් ජනප්‍රිය රංග ශාලාවක් වූයේ ක්‍රයිටීරියන් රංග ශාලාවයි. මේ සමග මරදාන ආශ්‍රිතව වෘත්තිය කලාකරුවන් පදිංචි වන බව පෙනී යයි. මරදානේ ටවර් රඟහල ගොඩ නැගුන පසු එයට සෘජුව හා වක්‍රව වෘත්තියන් ලෙස නියැලෙන පිරිස රාශියකි. මේ අතරවාරයේ දුර බැහැර සිට සංගීතය හා රංගනයට වසඟවෙමින් සිය වාසනාව උරගා බලන්නට පැමිණෙ එහි පදිචිංවූවෝ ද වෙති.

ඒ වන තෙක් විවිධ කලා වෘත්තිකයන් පදංචිව සිටි ගම්මාන කුල වශයෙන් බෙදී තිබුණාහ. සම්ප්‍රදායික කලාවන්ගේ නියැලුණෝ අයත් වූවෝ විවිධ කුල වලටය. මරදාන ගොඩ නගන නව කලාව එම සීමාවන් හා සම්ප්‍රදායන් බිඳ හෙලුවේය. මේ සම්ප්‍රදාය කෙතරම් දුර ගියාද කිවහොත් තවත් දශක ගණනාවක් ගත වද්දී මරදානේ කලාකරුවන්ගේ පවුල් අතර එකිනෙකාහා ආවාහා විවාහයෙන් අලුත් පරරම්පරාවක් ද බිහිවිණ. මේ ඇතැමෙකු කොළඹ එන්නේ අලුත් කලාවන්ට වසඟවීමෙනි. දේශිය සිනමාවේ උත්පත්තිය දෛවෝපගත පරිද්දෙන් මරදානේ සිදු නොවූවත් එහි වර්ධනයට මරදානෙන් වන සේවය ඉමහත්ය. බොහෝ නළු නිළියන් ද ගායක ගායිකාවන් ද සංගීතඥයන් මරදාන සිය වාසභූමිය කොට ගනිති.

මරදානේ ගොඩ නැගුණ රංග ශාලාවන් අතර සිනමා ශාලාවක් ලෙස මුලින්ම පරිවර්තනය වනුයේ ක්‍රයිටීරියන් ශාලාවයි. ක්‍රයිටීරියන් ශාලාව විසි වන සියවස ආරම්භයත් සමග පැණ නැගුනක් බව පෙනී යයි. ඒ වන විට මරදානේ පැවැති රංග ශාලාවන් අතර ක්‍රයිටීරියන් ශාලාව කෙබ ඳු ශාලාවක් දැයි උපකල්පනයක් කර ගත නොහැකිය. ක්‍රයිටීරියන් ශාලා භූමිය අයත්වනුයේ මරදාන මුස්ලිම් පල්ලියටය. එබැවින් එහි ඉදිවීමට ඒ වන විට පැමිණි පාර්සි නාට්‍යකරුවන්ගේ බලපෑම හේතුවන්නට ඇත. ක්‍රයිටීරියන් ශාලාව සිනමා ශාලාවක් ලෙස අනුවර්තනය වනුයේ සෙසු මරදානේ රංග ශාලාවන්ට කලින්ය.

එය චිත්‍රපට ප්‍රදර්ශණය ඇරඹනුයේ ක්‍රයිටීරියන් නමින් නොව ඔලිම්පියා නමිනි. එය සිනමාහලක් ලෙස පරිවර්තනය කරනුයේ පිටකොටුවේ ලන්ඩන් බයිස්කෝප් ශාලාව ආරම්භ කරන ටී.ඒ.්‍ජේ.නූර්බායි විසින්ය. නූර්බායි වැල්ලවත්තේ ඉදි කරනු ලබන සිනමා ශලාව ද නම්කරනුයේ ඔලිම්පියා නමින්ය. එය නිව් ඔලිම්පියා ලෙස හඳුන්වනුයේ නවීකරණය වූ පසුව 1952 පමණය. පල්ලියට අයත් භූමියක් බැවින් එහි බදු අයිතිය සම්බන්ධ වරින්වර පල්ලිය හා බදු අයිතිකරුවන් අතර අරගල ඇතිවූ බව පෙනෙනේනකි. මේ නිසා ඔලිම්පියා සිනමාහල ටික කලකට ඩයනා ශාලාව ලෙස ද හැදින්වෙයි. එහෙත් එය පසුව යළි ඔලිම්පියා ලෙස හඳුන්වනු ලබන අතර ඔලිම්පියා නිව් ඔලිම්පියා වනුයේ එයටත් පසුවය.

කොටුවේ මල්වත්ත පාරේ රංගශාලාවන් සියල්ල අවසන් වනුයේ පළමුවන ලෝක මහා සංග්‍රාම ය ආරම්භයත් සමගය. එහි අවසන් වරට පැවැත්වූ වොරික් මේජර් ගේ එම්පයර් පික්චර් පැලස් ශාලාව කොම්පඥ්ඤවීදිය ආරම්භයේ වූ පාර්සන්ස් පාරේ අංක 2 දරන ස්ථානයට යන්නේ 1915 ජූනි 10 වැනි දිනයේ දීය. මේ පසුකලක රීගල් සිනමා ශාලාව ඉදිවන භූමියයි. ඒ වන විට කොටුව ජනාවාස වුව ද එයට ශත වර්ෂයකට එපිට රීගල් භූමිය අලි ගහන වනාන්තරයක කොටසක්වූ බව බ්‍රෝහියර් ගේ සටහන් වල පෙන්වා දෙයි. ඒ අවට මුරකාලේ යෙදුන ලන්දේසි සොල්දාදුවෙකු අසල කැලයෙන් කඩා වදින වල් අලියකුගේ ප්‍රහාරයට ලක් විණ.කොටුව මල්වත්තපාරේ යාබද ඉඩමේ සියලු ගොඩනැගිලි ඉදිවනුයේ තාවකාලික පදනමිනි. එය මෙරට නූර්තියේ හා මුල් සිනමා ශාලාවල ආරම්භක මධ්‍යස්ථානයක් වුව 1914 වන විට එහි පැවැති සියලු ගොඩනැගිලි ඉවත් කරන්නට කොළඹ නගර සභාවේ පාලනාධිකාරිය තීඍණය කොට අවසන්ය. දශකයකට එපිට එහි ඉදි වූ වැදගත්ම රංග ශාලාව වන ෆ්ලවර් හෝල් ඉදිකරන්නට අවසර ලැබෙනුයේ ද හදිසි අවස්ථාවක දී ඉවත්කිරීමේ කොන්දේසිය යටතේය. ඒ ආරක්ෂාව අතින් එකල එම බිමිකඩ වැදගත් වූ නිසාය. එමෙන්ම එහි සියලු තාවකාලික ගොඩනැගිලි කඩා දමනුයේ අසල වරායේ සිට ගොඩ බානු ලබන ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දෑ ගබඩා ගත කිරීමටය.

මරදානේ රංග ශාලා ව්‍යාප්තයට මෙය වඩා බලපාන කරුණක් වෙයි. 1911 වසරේ ඉදිවන ටවර් ශාලාව නිසා වෘත්තිකයන් රැසක් බිහිවුණ බව සත්‍යයකි. ටවර් ශාලාව මෙරට වෘත්තිය නාට්‍ය කලාවේ නැතහොත් කලාකරුවන්ගේ ආරම්භය ලෙස පෙනුන ද එය ඉදි වන විටත් මරදානේ වෘත්තිය කලාකරුවන්ගේ නවාතැන වෙමින් පැවැති බව පෙනෙණ කරුණකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.