ගෝරියක් නිසා හැදුණු ටවර්

ජුනි 13, 2019

මරදානේ ටවර් ශාලාව යනු මෙරට නාට්‍ය ලෝකයේ එක් සන්ධිස්ථානයක් හා යුගයක් ලෙස සැලකීම යුක්ති සහගතය. එහෙත් නාට්‍ය කලාවට ඔබ්බෙන් ගිය මෙරට සිනමා හා නාට්‍ය යුගයේ සංක්‍රාන්ති සමයලෙස ටවර් ඉතිහාසය සැලකිය හැකිය. ටවර් ශාලාව ඉදි වන විට මෙරට පැවැති හොඳම ශාලාව ලෙස සැලකෙන්නේ පසුකලක එම්පයර් නම ලබන පබ්ලික් හෝල් ශාලාවයි. සෙසු බොහෝ නාට්‍යාගාර පිළිබඳ තිබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. සැප පහසුවක් නැති මේ ශාලාවල දොරවල් වැසීම නිසා වාතය නැති බවත් භාජනවල ලුණු මාළු අසුරන්නාක් මෙන් මිනිසුන් පටවා මුදල් හම්බ කරන බවත් නාට්‍යව්දී නීතිඥ ජෝන් ද සිල්වා දොස් පවරන්නේය. ‍ජෝන් ද සිල්වාටත් පෙරාතුව 1884 වසරේ අගෝස්තු මස 9 වැනි දින සිලෝන් ටයිම්ස් පුවත්පතේ කතුවැකිය මගින් ද එය හුවා දක්වන බව මහාචාර්ය තිස්ස කාරියවසම් ගේ සිංහල නාට්‍ය විකාශනය 1867-1911 ග්‍රන්ථය පෙන්වා දෙනු ලබයි.

ටවර් හෝල් යුගය ආරම්භ වන්නට පෙරාතුව මරදානේ නත්තල් ප්‍රීති එක්සත් කණ්ඩායම , ෆෝබස් පාරේ (වර්තමාන දේවානම් පිය තිස්ස මාවතේ ) ඔරියන්ටල් තියටර් සමාගම වැනි නාට්‍ය කණ්ඩායම් කිහිපයක් තිබිණ. එමෙන්ම වෘත්තිය නාට්‍යකරුවෝ රාශියක් මරදාන සිය නිවහන බවට පත් කර ගෙන සිටියහ. 1908 වසරේ දී මරදානේ බිහිවුණ අභිනව සිංහල නාට්‍ය සමාගම ටවර් හෝල් යුගයට පාර කපන්නක් හැටියට කැපී පෙනෙන්නකි. බී.ජේ (ජේම්ස් ) පෙරේරා (ප්‍රේරා ) මෙහි සභාපති විය. ඔහු පුසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විය. එමෙන්ම සෙසු නාට්‍ය සමාගම්වලට වඩා දිගු කලක් නාට්‍ය පවත්වා ගෙන යෑමේ මුදල් බලය ඔහුට තිබුණ වග ඩී.වී.හපුආරච්චිගේ සිංහල නාට්‍ය ඉතිහාසය ග්‍රන්ථය පෙන්වා දෙයි. එමෙන්ම පෙරේරා ප්‍රේක්ෂකයන්ගේ සැප පහසුකම් ගැන සොයා බැලූ පුද්ගලයකු බව ද පෙන්වා දෙයි. ඔහු මුලින් නාට්‍ය රඟ දක්වනුයේ 1906 සැප්තැම්බර් 22 වැනි දින මරදාන හන්දියේ විවෘත වන අලුත් රංග ශාලවකය. එය බෙලෙක් තහඩුවලින් ආවරණය වූ නිසා බෙලෙක් හෝල් නමින් නම් ලැබුව ද නෙත් සිත් පිනවන අයුරින් අලංකාර අන්දමට ගොඩනැගූවක් බැව් එකල පළ වූ සිහල සමය පුවත්පත උපුටා දක්වන හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි. පැවිලියන් නම් වූයේ ද පසුව පැලස් තියටර් නම්වූයේ ද මේ ශාලාවයි. එල්ෆින්ස්ටන් සිනමාහල හැදෙනුයේ ද එහිය. එකල මරදානේ තවත් නාට්‍ය ශාලා කිහිපයක් පැවැති වග පෙනෙන කරුණකි. හන්දියේ සිට මදක් නුදුරින් බොරැල්ල පැත්තට වන්නට ඒ වනවට ආරම්භ වී තිබුන ආනන්ද විද්‍යාලයීය ශාලාවේ ද මේ වන විට විවිධ නාට්‍ය රඟ දැක්විණ. පසුගිය සතියේ සඳහන් කළ ක්‍රයිටීරියන් ශාලාව (පසුව ඔලිම්පියා සිනමා ශාලාව ) තවත් එකකි. මරදානේ දුම්රිය කාර්යාලය තවත් ශාලාවකි.

මේ වන විට ජෝන් ද සිල්වා සිය නාට්‍ය දිවිය යළි අරඹා තිබිණ. එමෙන්ම ඔහු කීර්තිමත් නාට්‍යකරුවකු ලෙස පතළ වී හමාරය. සිරි සඟබෝ, රාමායණය, ශකුන්තලා,උත්තර රාම චරිතය, ශ්‍රී වික්‍රම රාජසිංහ වැනි ඔහුගේ නාට්‍ය අතිශය ජනප්‍රිය ව තිබිණ. සිරිසඟබෝ වැනි නාට්‍ය වෙනුවෙන් විශ්වනාත් ලව්ජි විසින් නිර්මාණය කරන ලද මධුර තනු සහිත ගීත බොහෝ දෙනාගේ ප්‍රසාදය දිනා තිබිණ. ලාංකික නුර්ති ගීතය මුලින් පහළ වනුයේ ඉන්දියානු පාර්සි නාට්‍ය ගීයෙහිම අනුකරණයක් ලෙස වුව මේ වන විට නාට්‍ය ගීතයේ ස්වතන්ත්‍රීය තනු ජනප්‍රිය වෙමින් පැවතිණ. විශ්වනාත් ලව්ජි ඉන්දියාවේ බව්නගර් හි උපත ලැබුවකු වන අතර ඔහු හා ජෝන් ද සිල්වා අතර මුල්ම හමුව සිදුවනුයේ ශ්‍රීමත් සොලමන් බණ්ඩාරනායකගේ නිවෙසේ පැවැති සාදයකදීය. දන්නෝ බුදුන්ගේ,සවන් දී පෙර රාම චරිතේ අසව්, සිරි සඟබෝධි මාලිගාවේ දී , අඹ දඔ නාරන්, වැනි මියුරු නුර්ති ගී ගොඩනැගුණේ ජෝන් ද සිල්වා සහ ලව්ජි සුසංයෝගයෙනි.

ලංකාවේ ග්‍රැමෆෝන් ගී යුගය ආරම්භ වූයේ 1906 වසරේ දී බව මහාචාර්ය සුනිල් ආරියරත්න පෙන්වා දෙනු ලබන්නකි. මුල් යුගයේ බිහිවූ සියලු සිංහල ග්‍රැමෆොන් ගී සඳහා ගයන ලද බොහොමයක් දෙනා වේදිකාවෙන් පිවිසුණ පිරිස වෙති. තැටියට නැගුණු බොහෝ ගීත බිහිවනුයේ ජනප්‍රිය නාට්‍ය ඇසුරෙනි. (මේ පිළිබඳ ඉදිරියේ දී විස්තර වනු ඇත)

ගනේගොඩ අප්පුහාමිලාගේ දොන් හෙන්ද්‍රික් සෙනෙවිරත්න එවකට මරදානේ පැවැති යූනියන් පැසෙන්ජර් හෝටලයේ හිමිකරුවාය. ඔහුට ග්‍රැන්විල්, වර්නන්,එඩ්මන්ඩ්, හා වින්සන් නමින් පුතුන් සිව් දෙනකු ද මර්ලින් නම් දියණියක ද උන්නේය. හෙන්ද්‍රික් සෙනෙවිරත්නගේ දියණිය විවාහ වූයේ ඒ වන විට කීර්තිමත් නීතිඥවරයකු වූ අමරතුංග ආරච්චිගේ චාල්ස් ඩයස් සමඟය. 1878 වසරේ දී උපත ලබන ඔහු කොළඹ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලැබ 1908 වසරේ දී නීතිඥවරයකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කළේය. ඔහු නාවලගේ ස්ටීවන් කුරේ සමග එක්ව ඩයස් ඇන්ඩ් කුරේ නමින් නීතිඥ සමාගමක් ද පිහිටුවා ගෙන සිටියේය. හෙන්ද්‍රික්ගේ පුතුන් අතරින් එක් අයෙක් වූ එඩ්මන්ඩ් නාට්‍යයක් නැරඹීමට පිටකොටුවට ගිය අවස්ථාවේ ආරවුලකට පැටලිණ. එය කෙළවර වූයේ මරදානේ සෙනෙවිරත්න තරුණයා ඇතුළු පිරිසට පිටකොටුවෙන් ප්‍රහාරයක් ද එල්ලවීමෙනි. මේ අරගලයේ එක් ප්‍රතිඵලයක් වූයේ එඩ්මන්ඩ් සිය ව්‍යාපාරයක් හැටියට නාට්‍ය ශාලාවක් ආරම්භ කිරීමට තාත්තාට යෝජනා කිරීමය. බරපතළ වුව ද පවුලේ සියල්ලන්ගේ එකඟතාව මැද හෙන්ද්‍රික් සෙනෙවිරත්න පුතුගේ යෝජනාවට කැමැති විය. ටවර් හෝල් සියවස වෙනුවෙන් එම පදනමේ එවකට අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන විසින් පළ කරන ලද චාල්ස් ඩයස්ගේ පණ්ඩුකාභය නාට්‍ය පිටපත උදෙසා කීර්තිමත් දේශපාලඥයකුව සිට අභාවප්‍රාප්ත ලක්ෂ්මන් ජයකොඩි මහතා ලියන ලද ලිපියක මේ බව සඳහන්ය. චාල්ස් සහ මර්ලින් දෙපළගේ දියණියන් දෙදෙනා අතරින් එක් දියණියක් වන ග්වෙන්ඩලින් ඩෝරා විවාහ වූයේ බෙලිගල්ලේ රජ ගහ වලව්වේ ලයනල් ලෝරන්ස් ගිල්බට් ජයකොඩි මහතා සමඟය. ලයනල් ජයකොඩි ගේ පුතුන් අතරින් එක් අයකු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මෙන්ම සිනමා හල් හිමියකු වූ නාරද ජයකොඩිය. අනෙක් පුතු ලක්ෂ්මන් ජයකොඩිය. මර්ලින් පසුකලක විජිතා නමින් දස සිල් මාතාවක්ව පල්ලේවෙල වික්‍රමශීලා පිරිවෙනෙහි ජීවත්වූවාය. චාල්ස් ඩයස් 1944 වසරේ දී අභාවප්‍රාප්ත විය. ඔවුන් ජීවත් වූ දෙමටගොඩ සිල්වන් විලා නිවස පසුකලෙක සඟ සතු කොට පූජා කරන ලද වර්තමානයේ පධානගර විහාරය ලෙස හැඳීන්වෙයි.

සිය පුතුගේ අදහස පරිදි හෙන්ද්‍රික් අප්පුහාමි විසින් නවතම රංග ශාලාවක් ආරම්භ කිරීම සඳහා 1907 වසරේ සැප්තැම්බර් 27 වැනි දින මරදාන පංචිකාවත්ත පාරේ අංක 43 දරන තැන පිහිටි පර්චස් 68කින් යුත් මෙරෙඤ්ඤගේ වත්ත මිළයට ගත්තේය. ඒ රුපියල් 2000කටය. එහි තිබුනේ පැරැණි අශ්ව ගාලකි. ඒ කොළඹ සංචාරය සඳහා එයට පෙර යුගයේ අශ්ව කරත්ත පැවැති අතර මරදාන දුම්රිය පොළට නුදුරින් අශ්ව ගාලක් ද තිබිණ. ප්‍රවාහනය පුළුල් වෙත්ම තව දුරටත් අශ්ව ගාලක් පැවැත්වීමෙන් වැඩක් නොවිණ. යූනියන් පැසෙන්ජර් හෝටලය පැවැතියේ අශ්ව ගාලට ඉදිරියේය. අශ්වගාලෙන් හෝටලයට යාමට පංචිකාවත්ත පාර හරහා පාලමක් ද තිබුණ වග පැරැණ්ණෝ කියති. අභිනව රංග ශාලාවේ වේදිකා ගත කිරීම සඳහා මුල්ම නාට්‍ය නිර්මාණය බාර කෙරුණේ සිය බෑණනුවන් වූ චාල්ස් ඩයස් නීතිඥතුමන්ටය. 1911 වසරේ දෙසැම්බර් මස 16 වැනි දින විවෘත වුණ මරදානේ ටවර් හෝල් නාට්‍ය ශාලාව විවෘත කරන ලද්දේ එවකට නගරාධිපති කේ.වී.බී.මැක්ලියඩ් අතිනි. වේදිකා ගත කරන ලද්දේ චාල්ස් ඩයස්ගේ පණ්ඩුකාභය නාට්‍යයයි. ඒ වන තෙක් චාල්ස් ඩයස් කිසිදු නාට්‍යයක් නිර්මාණය කොට තිබුණේ නැත. හෙන්ද්‍රික් සෙනෙවිරත්නගේ බෑණනුවන් වන චාල්ස් ඩයස් සිය නාට්‍ය සදහා ස්තූති කරනුයේ සිංහල නාට්‍ය සභාවේ හිමිකරු බී.ජේ.ප්‍රේරා මහත්මයාටය. ජෝන් ද සිල්වාගේ නාට්‍ය විශ්වනාත් ලව්ජිගේ සංගීතයෙන් රසවත් වෙද්දී චාල්ස් ඩයස් ගේ සංගීත නිර්මාණකරුවා වනුයේ එවකට නීති ශිෂ්‍යකු වූ ඩබ්ලිව්.සතාශිවම්ය. ටවර් හෝල් මුල්ම නාට්‍ය ලෙස පණ්ඩුකාභය නිර්මාණය කිරීමට චාල්ස් ඩයස් ට පැවරෙන්නේ ඔහු හෙන්ද්‍රික් සෙනෙවිරත්නගේ බෑණනුවන් නිසාම නොව මස්සිනා වූ එඩ්මන්ඩ් සමග පිටකොටුවේ රණ්ඩුවට මැදිහත්වූ හෙයින්ය. එපමණක් නොව පිටකොටුවේ දී නීතිඥ චාල්ස් ඩයස් හා මස්සිනා එඩ්මන්ඩ් පැටලුණේ නීතිඥ ජෝන් ද සිල්වාගේ හිතවතුන් සමගය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.