චිත්‍රපට ප්‍රදර්ශනයට එක් වූ මුල්ම සිංහලයා

ජුනි 20, 2019

ටවර් රඟහල සඳහා සහාය දෙන මුල් පිරිස සිංහල ව්‍යාපාරිකයන් වීම ද විශේෂ කරුණකි. ටවර් රඟහල ගොඩනැඟීමෙහිලා පසුපස සිටි අදිසි හස්තයක් වන බාලසූරියගේ ජේම්ස් පෙරේරා හෙවත් බී.ජේ. ප්‍රේරා ද මරදානේ ව්‍යාපාරිකයෙකි. ඔහු පළපුරුදු නාට්‍යකරුවකු වන අතර ඔහු විසින් පිහිටුවන ලද මරදානේ අභිනව සිංහල නාට්‍ය සමාගම හා ජෝන් ද සිල්වා ගේ නාට්‍ය අතර තරගයක් හා අරගලයක් ද පැවැතිණ.

ටවර් හෝල් රඟහල ගොඩනඟනු ලබන ගංගොඩවිල අප්පුහාමිලාගේ දොන් හෙන්ද්‍රික් සෙනෙවිරත්න ඉතා සූර ව්‍යාපාරිකයකු වග ඔහු පිළිබඳ විස්තර සොයා බැලීමේදී පෙනි යන කරුණකි. 1843 වසරේ උපත ලබන ඔහු මියයනුයේ 1929 වසෙර්ය. ඒ ටවර් හෝල් නිර්මාතෘ හැටියට පමණක් නොව චිත්‍රපට ප්‍රදර්ශනයට එක් වූ මුල්ම සිංහලයා හැටියටය.

 

ටවර් ශාලාව ඉදිකිරීම දුර දිග බලා කළ කටයුත්තක් බව පෙනුණ ද එය පාලනය කිරීම පහසු කටයුත්තක් නොවුන වග පැහැදිලිව පෙනෙන කරුණකි. හෙන්ද්‍රික් සෙනෙවිරත්න ටවර් ශාලාව ඉදි කරන්නට කටයුතු යොදනුයේ සිය පුතු එඩ්මන්ඩ් හා බෑණනුවන් වූ චාල්ස් ඩයස් සමග පිටකොටුවේ නාට්‍යකරුවන් ඇති කරගත් රණ්ඩුව නිසායැයි පෙනුණ ද සූර ව්‍යාපාරිකයකු වූ ඔහුට තවත් දුර දැක්මක් විය. ඔහු ගේ පැසෙන්ජර් යූනියන් හෝටලය පිහිටියේ මෙරිඤ්ඤගේ වත්තේ අශ්ව ගාලට ඉදිරියෙනි. මෙරිඤඥ ගේ වත්තේ අශ්වයන් යොදා ගත්තේ ප්‍රවාහනය සඳහා අශ්වකරත්ත වලටය. ඒ තුරඟ තරඟ සඳහා යොදා ගන්නා අශ්වයන් නොවේ. මරදාන දුම්රිය පොළ සමීපයේ එබඳු අශ්ව ගාලක් පැවැත්වීම ස්වභාවික කරුණකි. දුම්රියෙන් බැස එන්නෝ අශ්ව කරත්තවලට ගොඩවෙති. එය ලෝකයේ ඕනෑම නගරයක පිහිටි ක්‍රමවේදයකි. තුරඟ තරග සඳහා අශ්ව ගාලක් පිහිටියේ කොළඹ තුරඟ තරඟ භූමිය සමීපයේය. විසි වැනි සියවසේ මුල් දශකය වන විට බවුස්ටඩ් සමාගමේ බස් රථ මරදාන හරහා ගමන් කරන විට තව දුරටත් ප්‍රවාහනය සඳහා අශ්ව ගාලක් පවත්වා ගැනීම වැඩකට නැති කාර්යයකි. මරදාන මෙරිඤ්ඤගේ වත්තේ පිහිටි අශ්ව ගාල නිසා පැසෙන්ජර් යූනියන් හෝටලය ට ලැබුණු ආදායම එය වැසීයාමෙන් අහිමි වෙයි. එහෙත් සිය පුතුගේ උපදෙස් පරිදි එහිම නාට්‍ය ශාලාවක් ගොඩනැගු කල අශ්ව ගාල සඳහා පැමිණි පිරිසෙන් ලබන ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයීම පහසු කටයුත්තක් වෙයි. හෙන්ද්‍රික් සෙනෙවිරත්න මරදානේ ආරම්භක සිංහල ව්‍යාපාරිකයෙක් වග ද පෙනී යන්නකි. ටවර් රඟහල සඳහා සහාය දෙන මුල් පිරිස සිංහල ව්‍යාපාරිකයන් වීම ද විශේෂ කරුණකි. ටවර් රඟහල ගොඩනැඟීමෙහිලා පසුපස සිටි අදිසි හස්තයක් වන බාලසූරියගේ ජේම්ස් පෙරේරා හෙවත් බී.ජේ. ප්‍රේරා ද මරදානේ ව්‍යාපාරිකයෙකි. ඔහු පළපුරුදු නාට්‍යකරුවකු වන අතර ඔහු විසින් පිහිටුවන ලද මරදානේ අභිනව සිංහල නාට්‍ය සමාගම හා ජෝන් ද සිල්වා ගේ නාට්‍ය අතර තරගයක් හා අරගලයක් ද පැවැතිණ. වෙනත් නාට්‍ය සමාගම් මෙන් නොව මරදානේ අභිනව සිංහල නාට්‍ය සමාගම දෙවැනි පෙළ නාට්‍ය ද නිෂ්පාදනය කළ බැවින් හැමවිටම නාට්‍ය ව්‍යාපාරයේ යෙදෙන්නට ද ඔහුට හැකිවිය.

හෙන්ද්‍රික් සෙනෙවිරත්න පිළිබඳ පැරණි පුවත් අතර ඔහුගේ ව්‍යාපාරික ඥානය ගැන පැවසෙන අවස්ථා කිහිපයක් වෙයි. වරෙක කුඩා කොලු ගැටයෙකු ටවර් හෝල් භූමියේ තිබී සත පහක් අහුලා ගෙන යනු දුටු ඔහු දරුවා කැඳවූයේය.

“ඇයි ළමයෝ නාට්‍ය නරඹන්නේ නැත්ද ?“

“නෑ. මුදලාලි සල්ලි නෑ.“කොලුවා උත්තර දුන්නේය.

“ඇයි දැන් සල්ලි වගයක් ඇහිලුවා නේ.“

“එතැන තියෙන්නේ සත පහයි.“

කොලුවා ඇත්තම කීවේය. ප්‍රවේශ පත්‍රයට එය මදිය. සෙනෙවිරත්න මුදලාලි සත පහක් සාක්කුවෙන් ගෙන කොලුවා අත තැබුවේය. පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය කොලුවා වහා දුව ගියේ ප්‍රවේශ පත්‍රයක් ගන්නටය.

“මුදලාලි ඒ මොකක්ද කළේ. අතින් සල්ලි දීලා නාට්‍ය පෙන්නන්නේ“

කළමනාකරුවෙකු එය දැක පැවසුවේය.

“අතින් සල්ලි දුන්නාට. මම සත පහක් හම්බ කළා කියලා පෙනුණේ නැද්ද ?“

සෙනෙවිරත්න මුදලාලි ඇසුවේ ඇඟට පතට නොදැනීය. ඇත්ත නම් කොලුවා අසුලා ගත් සත පහ ද මුදලාලි අතින් දුන් සත පහ සමඟ එක්ව ශාලාවේ ආදායමට එක් විණ.

පණ්ඩුකාභය නාට්‍යය රඟ දක්වද්දී බෑණනුවන් වන චාල්ස් ඩයස් බුලත් අතක් ඉල්ලා යැව්වේය.

‘ඒ මොකටද?‘

නිකරුණේ වියදම් කරන්නට ඉඩ නොදුන් සෙනෙවිරත්න විමසා සිටියේය.

‘නාට්‍යයේ මැද රජ්ජුරුවන්ට දෙන්ඩ‘ චාල්ස් ඩයස් පිළිතුරු දුන්නේය. ටවර් ශාලාව අසළ එකල සරුවට වැවුණු ගම්මිරිස් වැල් රාශියකි.

‘නිකම් බුලත්වලට වියදම් කරලා වැඩක් නෑ .ළමයෝ.අර ගම්මිරිස් කොළ ටිකක් දුන්නාම හරිනේ.‘

‘එහෙම කොහොමද ? රජ්ජුරුවන්ට දෙන එක‘

කළමනාකරු කරුණු කියන්නට පටන් ගත්තේය.

‘කවුරුත් නොදන්නා නළුවෙකුට රජ්ජුරුවෝ වෙන්න පුළුවන් නම් ස්ටේජ් එකට ගම්මිරිස් ගියාම මොකෝ. ඈත ඉන්න මිනිස්සුන්ට ගම්මිරිස් කොලෙයි බුලත් කොලෙයි වෙනස පේනවද ?‘

මුදලාලි නාට්‍ය හදන හැටි කියාදුන්නේ එහෙමය. ශාලාව ආරම්භයේ සිටම මුදල් කළමනාකරණයේ යෙදුණේ ද හෙන්ද්‍රික් සෙනෙවිරත්නයන්ය. වැර වෑයමෙන් ගොඩනැගුණ බොහෝ ව්‍යාපාරිකයන්ගේ ලකුණු සෙනෙවිරත්න තුළ පිහිටි බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. ශාලාවේ නාට්‍ය කළමනාකරණයේ යෙදුණේ තුන් වැනි පුත් එඩ්මන්ඩ් ය. එඩ්මන්ඩ් ගේ සහායට හිටියේ මරදානේ තවත් ව්‍යාපාරිකයකු වූ කේ.ඩී.ඩේවිඩ්ය. ඩේවිඩ් පසුකලෙක ප්‍රසිද්ධ වූයේ පැවිලියන් මුදලාලි නමින්ය. ඩී.එස්.සේනානායක ඇතුළු පසුකලක කැපී පෙනෙන දේශපාලන නායකයක් රැසක් සමඟ සමීපව කටයුතු කළ ඩේවිඩ්ගේ පැවිලියන් ආපණ ශාලාව පිහිටියේ පැවිලියන් ශාලාවට නැතහොත් පැලස් තියටර් ගොඩනැගිල්ල සමීපයේය. සේනානායක මහතා ඇතුළු ප්‍රභූවරුන් සවස තේ පානය සදහා පැවිලියන් හෝටලයට පැමිණීම තිහ දශකයේ සාමාන්‍ය කරුණක් විය. ඩී.එස්. සේනානායකයන් හා ඩේවිඩ් අතර සුහදතාව කෙතරම් ද යත් සේනානායකයන් විදෙස් ගත වන්නේ ඩේවිඩ් මං එන තුරු රට ගැන බලාගනිං පවසමින්යැයි එකල විහිළු කතාවක් ද විය. අද එල්ෆින්ස්ටන් සිනමාහලට හා සිනෙසිටි සිනමා ශාලාව අතරින් දිවෙන කුඩා මාවත නම් කොට ඇත්තේ එම කේ.ඩී.ඩේවිඩ් නමිනි.

ටවර් ශාලාව ගොඩනැඟුව ද එහි දිගින් දිගට හැමදාම වේදිකාගත කරන්නට නාට්‍ය තිබුණේ නැත. මුල් යුගයේ වසර ගණනාවක් ගත වනතුරුම ජෝන් ද සිල්වාට එහි නාට්‍ය රඟ දක්වන්නට අවසර තිබුණේ නැත. එබැවින් සෙනෙවිරත්න තීන්දුවක් ගත්තේය. ඒ ටවර් රඟහලේ චිත්‍රපට ප්‍රදර්ශනයටය. ඒ අනුව 1913 වසරේ මාර්තු මස 16 වැන දින සිට ටවර් ශාලාව චිත්‍රපට ප්‍රදර්ශනයට එක්විය. මෙරට මුල්ම චිත්‍රපට බෙදාහරින්නා වූ බර්ගර් ජාතික සී.ඒ.වැග්නර් විසින් ටවර් හෝල් වෙත චිත්‍රපට සපයන ලද්දේ ටවර් ඔලිම්පියා බයිස්කෝප් නමින් චිත්‍රපට සමාගමක් ආරම්භ කරමිනි. ඒ වන තෙක් වැග්නර් චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද්දේ කොටුවේ මල්වත්ත පාෙර්ය. 1919 වසර දක්වා ටවර් ඔලිම්පියා බයිස්කෝප් පැවැති වග මහචාර්ය තිස්ස කාරියවසම්ගේ විසි වසරක සිංහල නාට්‍ය හා රංග කලාව ග්‍රන්ථය පෙන්වා දෙයි. මේ කාරණය අපට පසක් කරදෙනුයේ මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයට එක්වූ මුල්ම සිංහලයා ගැනය. ඔහු ටවර් හෝල් ශාලාවේ නිර්මාතෘවරයාය. ගංගොඩවිල අප්පුහාමිලාගේ හෙන්ද්‍රික් සෙනෙවිරත්නය. ටවර් හෝල් ශාලාව මුල්වරට චිත්‍රපට ප්‍රදර්ශනයට එක් කළ අවස්ථාවේ එහි සති අන්තයේ හැර සෑම දිනකම රාත්‍රි 6.30 සිට 12.30 දක්වා චිත්‍රපට ප්‍රදර්ශනය කළ වග වාර්තා වෙයි. එළැඹෙන කාලවකවානුවේ මෙරට සිදුවන දේශපාලනික සිදුවීම් මැද ටවර් ශාලාවේ පැවැත්ම උදෙසා චිත්‍රපට ප්‍රදර්ශනය නොවන්නට නාට්‍ය ඉතිහාසයේ ටවර් යුගයක් ගැන ලියන්නට යමක් ඉතිරි නොවනු ඇතැයි විශ්වාස කළ හැක.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.