නිළියකගේ දික්කසාදයෙන් හෙළිවන ඒ කාලයේ ආදායම

ජුනි 27, 2019

ටවර් රගහලේ නිර්මාතෘ දොන් හෙන්ද්‍රික් සෙනෙවිරත්න මහතාගේ වාසගම සහිත නාමය පසුගිය සතියේ පළ වී තිබුණේ ගණේගොඩ අප්පුහාමිලාගේ ලෙස නොව ගංගොඩවිල අප්පුහාමිලාගේ යනුවෙනි. මේ පිළිබඳව ප්‍රවීණ කලා විචාරක නාට්‍යවේදී ජයසුමන දිසනායක මහතා මට පෙන්වාදීම ගැන එතුමන්ට ස්තූතිවන්ත වෙමි. මා අතින් වූ එක් ප්‍රමාද දෝෂයක් පෙන්වා දුන්නේය. බැලූබැල්මට සිදුවූයේ සුළු වැරැද්දක් වුවත් එය මෙබඳු පර්යේෂණ ලිපි මාලාවක කිසිසේත්ම සිදු නොවියයුත්තකි. එමෙන්ම හිටපු පොලිස්පතිතුමෙකු වූ ආනා සෙනෙවිරත්න මහතා ද හෙන්ද්‍රික් සෙනෙවිරත්නගේ මුනුපුරෙකු බව දිසානායක මහතා මුහුණු පොතේ සටහනක් යොදා තිබිණ.

ටවර් රඟහල ඉදි කළ ද බරපතළ ගැටළු රාශියකට මුහුණ දෙන්නට හෙන්ද්‍රික් සෙනෙවිරත්නට නිරන්තරයෙන් සිදුවිය. එහි පාලනය පිළිබඳ ඇති වූ ගැටළු මෙන්ම පවුලේ අර්බුද ද ඒ අතර විය. ඒසා විශාල ධනයක් වැය කළත් හැමවිටම පෙන්වන්නට තරම් නාට්‍ය ද නැත. 1914 න් පසු ටවර් රඟහල මුහුණ දුන් අර්බුදයක් වූයේ පළමු වැනි ලෝක මහා සංග්‍රාමයයි. ඒ සමග පැවැති හදිසි නීති තත්ත්වය යටතේ නාට්‍ය සංවිධානය ද බරපතළ විය. ඒ වන විට සිනමා ශාලාවක් ලෙසට ද පරිවර්තනය වී තිබුණ හෙයින් ටවර් රඟහල පැවැත්මේ අර්බුදයෙන් ගැලවිණ.

පළමු වැනි ලෝක මහා සංග්‍රාමය සමඟ ඒ වන විට ලංකාව මෙන්ම ලොව පුරා රටවල මුල් බැස ගත් යුරෝපීය සිනමා වෙළෙඳ පොළ කිසිවිටෙක හිස එසවිය නොහැකි ලෙස බැට කෑවේය. ඒ වන තෙක් ලොව පුරා නිදැල්ලේ සැරිසැරූ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මානු සිනමා නිෂ්පාදනයන් අබිබවා අමෙරිකානු සිනමාව ලෝක වෙළෙඳ පොල ආක්‍රමණය කරන ලද්දේ මේ සමයේය. කොටින්ම යුරෝපය යුද්ධයක පැටලී කැකුණ තලන විට අමෙරිකානු සිනමාව රජ මඟුල් කන්නට පටන් ගත්තේය. 1914 වසරේ දී ඉන්දියාව මුල්ම වෘත්තාන්ත සිනමා නිර්මාණය බිහි කළ ද එය සංඛ්‍යාවක් හැටියට ඉහළ යන්නට පටන් ගත්තේ සංග්‍රාමය අවසන් වූ පසුවය. ඒ දළ සේයා පට ආදිය සම්බන්ධයෙන් පැනවුණ තහංචි සමඟය. ඒ වන තෙක් බොහෝ රටවලින් ඇදුණු චිත්‍රපට අබිබවා හොලිවුඩ් චිත්‍රපට වලට මෙරට ප්‍රේක්ෂකයන් ඇබ්බැහි වූයේ මේ සමයේය.

1913 ඔක්තෝබර් මස 4 වැනි දින මෙරට ආණ්ඩුකාරධුරයට පත් වූ රොබට් චාමස්, පාලි හා බෞද්ධ උගතකු විය. මල්වත්ත පාරේ පැවැති නාට්‍ය හා සිනමා ශාලා සදහටම ඉවත්කර කාලින අවශ්‍යතාවක් වූ ගබඩා සංකීර්ණයක් තම නමින්ම ඉදිකරන ලද්දේ ඔහු විසිනි. චාමස් ධාන්‍යාගාරය ඉදිවූයේ හදිසි අවශ්‍යතාවකදී වරායෙන් ගොඩබාන ආහාර ආදී අත්‍යාවශ්‍ය දෑ වහා රට පුරා බෙදාහැරීම සඳහාය. එහෙත් තම සේවාකාලය අවසන් වන්නටත් මත්තෙන් එනම් 1915 දෙසැම්බර් මස 4 වැනි දින චාමස් ගේ සේවය අත්හිටුවා එංගලන්තයට ගෙන්වා ගත්තේ අපකීර්තිමත් පාලකයකු හැටියට හංවඩු ගසාමිනි. ඒ 1915 වසරේ ඇවිලුණු සිංහල මරක්කල සටන ලෙස හැදින්වූ අරගලයේ දී ඔහු විසින් ගන්නා ලද අදූරදර්ශී තීරණ නිසාය. නිකරුණේ සිංහලයන් සිය ගණනකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට ද තවත් දහස් ගණනක් සිර ගෙවල් කරා ගාල් කරමින් ද යුද නීතිය පැනවූ චාමස් එපමණින් තම සියලු රාජකාරි දිවිය හමාර කර ගත්තේය. චාමස් ගේ හිතුවක්කාර යුද නීතිය නිසා ටවර් ශාලා පාලකයෝ ද බැට කෑහ. චාල්ස් ඩයස් හා ඔහුගේ භාර්යාව ද ඔහුගේ ප්‍රතිවාදී නාට්‍යකරු ජෝන් ද සිල්වා ද අත්අඩංගුවට පත් වූහ. යුද නීතිය නිසා වෙඩි තබා ඝාතනය කළ දොන් හෙන්රි පේද්‍රිස් විරුවාණන් ද ඩයස් පවුලේ හිතවතකු විය. ටවර් රඟහලේ නිර්මාතෘ හෙන්ද්‍රික් සෙනෙවිරත්නට යුද අධිකරණයෙන් පැනවුණු දඬුවම ජීවිතාන්තය තෙක් සිර දඬුවමකි. එහි නාට්‍ය කළමනාකරු එඩ්මන්ඩ් වසර දාහතරකට සිර ගෙට යැවිණ. චාමස් ගේ අවනීතිගත පාලනය වහා ඉවත් කළ බ්‍රිතාන්‍ය පාලකයෝ ඒ වෙනුවට තාවකාලිකව වැඩ බැලීම සඳහා ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් පත් කළ අතර පසුව වඩා මානව හිතවාදියකු වූ ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාර ධුරයට පත් කරන ලදී. 1916 අප්‍රේල් මස 15 වැනි දින වැඩ බාර ගෙන 1918 වසරේ මාර්තු 24 වැනි දින නුවරඑළියේ දී අකල් මරණයකට ගොදුරු වූ ශ්‍රීමත් ඇන්ඩර්සන් යුද අධිකරණයෙන් සිදුවූ සියලු අකටයුතුකම්වලට පිළියම් යෙදෙව්වේය. කෙසේ වෙතත් යුද නීතිය අහෝසිවීමත් සමග ජීවිතයෙන් වන්දි ගෙව්වන්ට හැර සිර ගත කළ බොහොමයකට සාධාරණය ඉටු කරන්නට ඇන්ඩර්සන් මැදිහත් විය.

කෙසේ වෙතත් එකම කල්දේරම් බතක රස බැලීම නිසාවෙන්දෝ ජෝන් ද සිල්වා සහ ටවර් හෝල් අතර පැවැති අරගලය ද නිමා වූ ලකුණු පෙනෙයි. ඒ 1917 මාර්තු මස තුන් වැනි දින නීතිඥ ජෝන් ද සිල්වාගේ රාමායණය ටවර් රඟහලේ වේදිකා ගත වන හෙයින්ය. මේ වන විට මරදානේ පවතින සියලු රංග ශාලාවන් නාට්‍යයන්ට අමතරව චිත්‍රපට ද ප්‍රදර්ශනයේ කිරීම විශේෂයකි. මදන් තියටර්ස් පාලනයට යටත් වූ පැලස් තියටර් සම්පූර්ණයෙන්ම චිත්‍රපට සඳහා වෙන්ව ගියේය. 1920 වසරේ දී ඉන්දියානු සංගීතය සහිත ව නිහඬ සකුන්තලා චිත්‍රපටය පැලස් තියටර්හි තිරගත වද්දී ටවර් රඟහලේ දී සකුන්තලා නාට්‍ය වේදිකා ගත කෙරිණ. 1922 වසර වනවිට මරදානේ සෙසු රංග ශාලා සම්පූර්ණයෙන් සිනමාවට යොමු වද්දී ටවර් රඟහල නාට්‍ය පමණක් වේදිකා ගතකිරීම වැදගත් කරුණකි.

නාට්‍ය ශාලාවන් නිසාම බොහෝ කලාකරුවෝ මරදාන හා ඒ අවට සිය වාසස්ථාන බවට පත් කර ගත්හ. මේ නිසාම මරදාන යනු විසි වැනි සියවසේ ජනප්‍රිය සංස්කෘතියේ නගරය බවට පත්විය. ටවර් රඟහල ආශ්‍රිතව ජීවත් වූ වෘත්තිය කලාකරුවන්ගේ ඉල්ලුම ඉහළ එකක් විය. ඔවුන් අතර ජාති, හෝ ආගම් හෝ කුල භේදයක් පැවැති වගක් පෙනෙන්ට නැත. ටවර් රඟහල ආශ්‍රිතව ඇතැම් ශිල්පීන් මාසික වැටුප් ලබමින් සේවය කළ අතර සමහරු අවශ්‍යතා පරිදි සේවය කළහ. වෘත්තිය කලාකරුවන් පිළිබඳ වර්තමාන සංකල්පය බිහිවනුයේ එමගින් බව පෙනී යන්නකි. එහි නළු නිළියන් ලැබූ ආදායම් පිළිබඳ සුප්‍රකට නිළි ගායිකා ලක්ෂ්මී බායිගේ දික්කසාද නඩුවෙන් අනාවරණය වෙයි. කයිජා නමින් මුස්ලිම් පවුලක උපත ලබන ඇය ටවර් වේදිකාවට ගොඩ වදිනුයේ ලක්ෂ්මී බායි යන නාමයෙනි. මේ නම වෙනස් කරනුයේ එඩ්මන්ඩ් සෙනෙවිරත්න විසිනි. 1944 වසර වන විට ඇයගේ පමණක් නොව ටවර් රඟහලේ ද කීර්තිමත් යුගය අවසන්ය. ඒ වසරේ සිදුවන ඇයගේ දික්කසාද නඩුව අනුව ඒ වන විටත් ඇය මාසයකට රුපියල් පන්සියයකට අධික ආදායමක් ලබන්නීය. එු අනුව ඇගේ අතිශය ජනප්‍රිය හා ටවර් හෝල් නාට්‍ය වඩා ප්‍රභාවත් යුගයේ ඇය ලැබූ ආදායම කොපමණ විය හැකිදැයි අනුමාන කළ හැකිය. 1944 වසරේ දී රුපියල් පන් සියයක් යනු අද යුගය වන විට ලක්ෂ පහක පමණ ආදායමක් විය යුතුය.

විසි වැනි සියවසේ තුන්වැනි දශකයේ දී උච්ඡස්ථානයට පත්වන නමුදු ටවර් රංග ශාලාව සිව් වන දශකය වන විට එහි ස්වර්ණමය යුගය නිමාකරයි. ඒ වන විට එහි නිර්මාතෘ හෙන්ද්‍රික් සෙනෙවිරත්න මිය ගොසින්ය. ශාලාවේ කටයුතු සිදු කරන ලද්දේ එඩ්මන්ඩ් විසිනි. එඩ්මන්ඩ් විශිෂ්ට ගණයේ වේදිකා කළමනාකරවරයෙකුවූයේ යැයි පැරණි ටවර් හෝල් නළු නිළියන් රාශියක්ම හෙළිදරව් කරති. පැරැණි ටවර් හෝල් නළුවකු ව සිටි ජී.එච්.ස්ටැන්ලි හෙවත් ස්ටැන්ලි මාස්ටර් මා සමඟ කළ කතාබහක දී ද මේ බව අනාවරණය කරන ලදී. රත්නශිලා පෙරේරා විසින් ලියන ලද ටවර් හෝල් සුපිරි තරු ග්‍රන්ථයේ ද මේ බැව් සනාථ වන කරුණු කිහිපයක්ම සඳහන් වෙයි. දස වසරක් මුළුල්ලේ සිංහල වේදිකාවේ නවයුගයක් ගොඩ නැංවූ ටවර් රඟහල 1931 වසරේ අගෝස්තු මස 29 වැනි දින දිනම්ණ පුවත්පතේ පළ කළ දැන්වීමක් බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.