වොරික් මේජර් ගේ ලංකාගමනය

ජූලි 18, 2019

ඔබ මුද්දර ලෝලියකු නම් ඒ පිළිබඳ කෞතුකාගරයක් දැක ගන්නට අවශ්‍ය නම් මෙයට වසර කිහිපයකට පෙර චෙන්නායි නගරයේ අන්නා සාලෙයි හි විවෘත වුණ මුද්දර කෞතුකාගාරයට යායුතුමය. එහි මුද්දර පමණක් නොව තැපැල් ඉතිහාසයද දැක බලා ගත හැකිය. එය චෙන්නායි නගරයේ සංචාරක ආකර්ශණය සහිත ස්ථානයක් ලෙස දැන් ප්‍රසිද්ධියට පත්ව ඇත. එයටත් වඩා ඔබ සිනමා ඉතිහාස ලෝලියකු නම් මේ මුද්දර කෞතුකාගාරයට යා යුතුය. ඒ මුද්දර ඉතිහාසය නිසා නොව එම ගොඩනැගිල්ල අපේ සිනමා ඉතිහාසයට ද සම්බන්ධ හෙයින්ය.

අපේ සිනමා වත ලිපි මාලාවේ වෑයම වූයේ ලාංකික සිනමාවේ නොලියැවුණු ඉතිහාස කතාව සොයා යෑමය. එය පහසු ක්‍රියාවලියක් නොවේ. ඇතැම් මුලාශ්‍ර ගවේෂණය කිරිමෙහිලා එක් එක් කරුණු හා සැසඳීමේදී ඒ ඒ කරුණු කාරණා අතර පරස්පර විරෝධතා දැකිය හැකිවීය. එබැවින් එබඳු පරස්පර කරුණු ගැන ඉව වැටුණු වහාම ඒ පිළිබඳ සොයා යන්නට අප වෑයම් කරන ලද්දේ වඩා පරිස්සමින් නිවැරැදි කරුණ සොයා ගත යුතු හෙයින්ය.

මෙයට පෙර අප විසින් එම්පයර් සිනමාහල පිළිබඳ ලියද්දී 1911 වසරේ දී පබ්ලික් හෝල් ශාලාව එහි හිමිකරුවන් වෙතින් බදු ගත් වොරින් බර්ට්‍රම් මේජර් නමැත්තෙකු පිළිබඳ සඳහන් කරන ලද්දෙමු. එමෙන්ම මේ පුද්ගලයා 1912 වසරේ දී කොළඹ මල්වත්තේ තිබුණු එම්පයර් සිනමාහලේ අධිකාරිධුරය ද දැරූ බව අප ඒ සදහා පාදක කර ගත් ඩී.වී.හපුආරච්චි මහතා විසින් ලියන ලද 1860-1911 සිංහල නාට්‍ය ඉතිහාසය ග්‍රන්ථයේ සඳහන් කර තිබිණ. ඒ පබ්ලික් හෝල් බදු ගෙන වසරකට පසුවය. 1911 සිට 1920 දක්වා පබ්ලික් හෝල් ශාලාව බද්දට ගෙන සිටි වොරින් බර්ට්‍රම් මේජර් පසුව එම බද්ද මදාන් තියටර්ස් වෙත පැවරූ බවත් හපුආරච්චි මහතා සඳහන් කර තිබණ. ඔහු එය ගෙන හැර පාන්නේ පබ්ලික් හෝල් ඔප්පුව පාදක කර ගෙනය. එහි මුල් ඔප්පුව ජේ.ඩබ්ලිව් .වැන්ඩ්‍රස්ට්‍රාටන් විසින් ද 1920 බදු ඔප්පුව එස්.එෆ්ද සේරම් විසින් ද සහතික කර ඇත්තේ ය.

අපේ ගැටලුව තිබුණේ වොරින් බර්ට්‍රම් මේජර් යනු කවරෙක්ද ? යනුවෙනි. ඔහු දකුණු ඉන්දියාවේ එවකට මදුරාසියේ සිනමා ප්‍රදර්ශනය ඇරඹූ වොරික් මේජර් ම ද යන ගැටලුවක් විය. මෙරට සිනමා ව්‍යාපාරයට එකී වොරික් මේජර් සම්බන්ධව එම්පයර් නමින් සිනමාහලක් ආරම්භ කරන ලද බැව් පැරණි වාර්තා කිහිපයකම සදහන් වෙයි. පබ්ලික් හෝල් බදු ගන්නා වොරින් බර්ට්‍රම් මේජර් යනු වොරික් මේජර් ද යනු එක් අයෙක් ද යන ගැටලුවට පිළිතුරක් ලැබිණ. ඒ පැරණි සිනමා දැන්වීම් කිහිපයක් සහ පුවත්පත් වාර්තා කිහිපයක් ඇසුරෙනි. ඒ අනුව වොරින් බර්ට්‍රම් හා වොරික් මේජර් යනු එක් අයෙකි. වොරින් බර්ට්‍රම් සිය ව්‍යාපාරික කටයතු කරනුයේ වොරික් මේජර් නමින් ය.

එවකට ඉන්දියාවේ මදුරාසියේ මවුන්ට් පාරේ නැතහොත් වර්තමාන චෙන්නායි නගරයේ අන්නා සාලෙයි මාවතේ ඉලෙක්ට්‍රික් තියටර් ගොඩනැගිල්ල 1900 තරම් ඇතක දී ආරම්භ කරනුයේ වොරික් මේජර් විසින්ය. එහි ඔහු ගේ හවුල්කරු වනුයේ රෙජිනෝලඩ් අයර් ය. මේජර් ගේ සිනමාහල 1915 වසර දක්වාම පැවැත්වූවකි. එහි චිත්‍රපට ප්‍රදර්ශනය අතරතුර සෑම මිනිත්තු 10 කට වරක් ගීතයක්, නැටුමක් නැති නම් බොක්සිං තරගයක් සජීවී ව දැක බලා ගත හැකි විය. එයට හේතු වූ එක් කාරණයක් නම් එකල චිත්‍රපට ප්‍රදර්ශනය රීල එකක ට දෙකක ට සීමා වීම බව ඉලෙක්ට්‍රික් සිනමාහල සංරක්ෂණය කොට ආරක්ෂා කිරීමේ ගෞරවය හිමි වන ඉතිහාසඥයකු මෙන්ම එහි තැපැල්පති වූ තියෝඩර් බාස්කරන් ටෛම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට කියා සිටියි. එකල එතරම් චිත්‍රපට තිබුණේ ද නැත. චිත්‍රපට ඉතා ඉක්මනින් ගිනි ගන්නා සුලු ඒවා විය. ඒ මදිවාට ප්‍රක්ෂේපණ යන්ත්‍රය ද ඉක්මනින් රත්වන සුලු විය. එබැවින් චිත්‍රපට රීලයක් අතරතුර එබඳු සෙසු කාර්යයන් පැවත්වීම කාටකාටත් ගුණදායක විය. මුල් යුගයේ ලෝකය පුරා චිත්‍රපට ප්‍රදර්ශනය එබඳු විය.‍ 1915 වසරේ දී මෙම ගොඩනැගිල්ල මදුරාසියේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මඟින් මිලයට ගැනිණ. නරසිංහපුරම් තැපැල් කාර්යාලය ඇරඹුණේ එතැනය. එයින් පසු 1954 වසරේ දී මදුරාසියේ මහ තැපැල්හල එයට යාබදව ඉදිවුණ අතර එයින් පසු මේ ගොඩනැගිල්ල දෙපාර්තමේන්තුවේ ගබඩාවක් බවට පත්විය. එහි තැපැල්පති බවට පත්වන ඉතිහාසඥයකු වූ තියෝඩර් බාස්කරන් මේ ගොඩනැගිල්ලේ ඇති ඓතිහාසික වටිනාකම දැන සිටියේය. එබැවින් එය මුද්දර පිළිබද කෞතුකාගාරයක් කොට සංරක්ෂණය කරන්නට මඟ පෑදුවේය. චෙන්නායි නගරයේ උරුමයන් ලෙස සංරක්ෂණය කෙරෙන පැරැණි ගොඩනැගිලි අතර ඉලෙක්ට්‍රික් සිනමාහල් ගොඩනැගිල්ල ද එකකි. එය නමින් මුද්දරයක් ද ඉන්දියානු සිනමා සියවස වෙනුවෙන් නිකුත් කෙරිණ. කෙසේ වෙතත් බාස්කරන්ගේ මතයට විරුද්ධ මත දරන්නෝද සිටිති. ඔවුන් අතර සිනමා ඉතිහාසඥයකු වන මොහාන් රාධා සහ දකුණු ඉන්දියානු සිනමාව පිළිබඳ පර්යේෂණයක යෙදෙන ස්ටීවන් පුට්නාම් හියුස් නම් අමෙරිකානු ජාතික මහාචාර්යවරයා පෙන්වා දෙනු ලබනුයේ එය ඉලෙක්ට්‍රික් තියටර් නමින් හැඳීන්වුයේ 1913 වසරේ සිට බවත් එයට පෙරාතුව එය නිකම්ම විවිධ දර්ශන පැවැත්වූ ශාලාවක් බවත්ය. එය සිනමාහලක් ලෙස ආරම්භ වනුයේ 1913 වසරේ බවත් එයින් පසු පැවැතියේ ද මාස 20 ක් වැනි කෙටි කාලයක් බව ඔවුහු පෙන්වා දෙති. මේ පිලිබඳ 2013 වසරේ මැයි මස 21 වැනි දින ද හින්දු පුවත්පතට ධභප බපරඵබ ඹඪබඩ ජඥතතභතධඪඤ ථචඨඪජ යන මැයෙන් ලියන හියුස් ඉලෙක්ට්‍රික් තියටර් චිත්‍රපට ප්‍රදර්ශනය අරඹන්නට පෙර ක්ලූග් මැතිනිය 1911 වසරේ අප්‍රේල් මාසයේ දී මදුරාසියේ ජෝර්ජ් ටවුන් හි අංක 16 දරන ස්ථානයේ ද බ්‍රෝඩ්වේ බයිස්කෝප් නමින් සිනමාහලක් ආරම්භ ‍කළ විත්තිය පෙන්වා දෙයි. ඒ පිළිබඳ ඔහු හෙළිදරවු කරනුයේ 1911 අපේ‍්‍රල් මස 17 වැනි දින මැඩ්‍රාස් ටයිම්ස් පුවත්පතේ ඇති වාර්තාවක් අනුවය. එම වාර්තාවට අනුව දැන්වීමක් ද පුවත්පතේ ඇතිවග හියුස් සඳහන් කරයි. මේ ක්ලූග් මහත්මිය කාගේ කවුදැයි කිසිවකු හෝ දන්නේ නැත. දීර්ඝ කාලයක් ම දකුණු ඉන්දියානු සිනමා ප්‍රදර්ශන ව්‍යාපාරයේ නියැළෙන කාන්තාවක් මුණ ගැසෙන්නේද නැත. එහෙත් මේ කිසිවකු හෝ චිත්‍රපට ප්‍රදර්ශනය හෝ වෙනත් කාරණයක් උදෙසා ඉලෙක්ට්‍රික් තියටර් නමින් ගොඩනැගිල්ලක් වොරික් මේජර් විසින් 1900 වසරේ දී ගොඩ නඟන ලද බව ප්‍රතික්ෂේප නොකරති. එමෙන්ම එහි කිසියම් දවසක හෝ සිනමාහලක් පැවැත්වූ මතය ද ප්‍රතික්ෂේප නොකරති. වොරික් මේජර් පිළිබඳ ඉන්දියානු මතවාදය කෙසේ වුවත් ඔහු මෙරට ප්‍රධාන පෙළේ ප්‍රදර්ශකයකු වූ වග පෙනී යන්නේ ඩේලි නිව්ස් පුවත්පත නිරීක්ෂණයේ දීය.

කෙසේ හෝ 1911 වසරේ දී පබ්ලික් හෝල් බද්දට ගන්නා වොරික් මේජර් 1912 වන විට තවත් සිනමා හලක් කොළඹ මල්වත්ත පාරේ ඉදිකරනු ලබනුයේ එම්පයර් නමිනි. 1915 වසරේ එම ශාලාව ම ඔහු නැවත ප්‍රතිෂ්ඨාපනය කරනුයේ කොළඹ කොටුවේ වර්තමාන රීගල් සිනමාහල් භූමියේය. මල්වත්ත පාරේ සිට එයට ගමන් කළ යුතුව ඇත්තේ පයින්ය. අද ලේක් හවුස් මන්දිරය අසලින් කොටුව හා පැරණි පාසන්ස් පාර (වර්තමාන චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවත ) යා කෙරෙන දුම්රිය පාලම ඉදිවනුයේ 1920 වසෙර්ය. මල්වත්ත පාරේ ගොඩනැගිලි ඉදිකරනු ලබනුයේ එය ඕනෑම මොහොතක ඉවත්කරන කොන්දේසි මතය. මේ අවදියේ මල්වත්ත පාරේ සිනමාහල් දෙකක් පැවති අතර එකක් ලන්ඩන් බයිස්කෝප් ශාලාව විය. අනික එම්පයර් ශාලාවයි. 1915 වසරේ දී වොරික් මේජර් සමාගම මරදානේ පැලස් ශාලාවත් තමා සතු කර ගන්නා බව පෙනෙන්නේ ඔහුගේ දැන්වීම් සඳහා එම සිනමාහල ද එක් කර ගැනීමෙනි.

මේ අතරින් පබ්ලික් හෝල් ශාලාව ඔහු විසින් චිත්‍රපටවලට අමතරව තවදුරටත් නාට්‍ය, සංදර්ශන වෙනත් රැස්වීම් ආදිය සඳහාද වෙන් කරනු ලබයි. එහි ඇතැම් සංදර්ශන ආදිය සඳහා ආසන සැලැස්මක්ද ඇති අතර ඒ අනුව ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කර ගත යුතුව තිබුණේ එම්පයර් ශාලාවෙන්ය.

එම්පයර්,පබ්ලික් හෝල් සහ පැලස් සිනමාහල් වලට අදාළ දැන්වීම් වොරික් මේජර් සමාගම විසින් 1920 වසරේ ජුලි මස 26 වැනි දින සිට ඩේලි නිවුස් පුවත්පතේ පළ නොකරයි. මේ සිනමාහලේ ත්‍රිත්වයේම දැන්වීම් එතැන් පටන් පළ කරනු ලබනුයේ මදාන් තියටර්ස් සමාගමයි. වොරික් මේජර් හා ඔහුගේ කළමනාකරු චාල්ස් ඔස්බොර්න් එයින් පසු ඉතිහාසයට එක්වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.