තාජුඩීන් පහර දුන්නා යැයි ඉන්දියානු නිළියක් පොලීසියට යයි

ජූලි 25, 2019

සුද්දා අප රටින් ගියේ 1947 වසෙර්ය. එහෙත් ඔහු මාතර සිට හම්බන්තොට දක්වා දුම්රිය මග තනන්නට පිඹුරු පත් සැකසුවේ 1922 වසෙර්ය. ඒ බව පවසන්නේ එම වසරේ ඩේලි නිවුස් පුවත්පතකි. සිය වසක් ආසන්න වද්දී යාන්තම් හම්බන්තොට කොයි හැටිවෙතත් බෙලිඅත්තට නම් රේල්ලුව දුවා ගත්තේය. අපේ සිනමා ඉතිහාසය සොයා යද්දී එබඳු කාරණා මතුවන්නේ ද ඉබේටමය.

ඉබ්රාම් ඛාන්ගේ දියණිය වන භස්හේරන් ගේ වයස අවුරුදු දහසයකි. ඇය 1924 වසරේ ජනවාරි මාසයේ ලංකාවට පැමිනෙන්නේ ද පාර්සි තියට්‍රිකල් කම්පනි ආයතනයේ නිළියක හැටියටය. එම දවස්වල ද පාර්සි තියට්‍රිකල් කම්පනි ජින්තුපිටියේ නාට්‍ය ශාලාවේ නාට්‍ය රඟදක්වමින් උන්නේය. භයිබීරන් එහි වෘත්තිය නිළියක වූවාය. ඒ වන විට ද ඇය විවාහකය. ඇගේ සැමියා ද මෙම නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයකු විය. දිනක් කොළඹ පොලිස් උසාවියට ඇය පැමිණෙනුයේ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානියාට එරෙහිව පැමිණිල්ලකටය. ද පාර්සි තියට්‍රිකල් කම්පනි හිමිකරු වූ තාජුඩීන් විසින් ඇයට පහර දෙන ලද බව ඇයගේ චෝදනාවයි. ඒ ඔවුන්ගේ නවාතැන්පොළේ ඇයගේ කාමරයට කඩා වැදීමෙන්ය. ඇයගේ සැමියා ඒ වන විට එහි නොසිටි අතර භස්හේරන්ගේ කෑගැසුම ඇසුණු නාට්‍ය කණ්ඩායමේ තවත් නිළියෝ දෙදෙනෙක් පළමුව එතැනට දිව ආහ.

ඒ වන විට තාජුඩීන් ඇයට මිට මොළවා පහර දෙමින් සිටියේය. කලබලය නිසා එහි පැමිණි ඇය ගේ සැමියාට කාමරයට ඇතුළු වන්නට ඉඩ නොදුන් තාජුඩීන් සෙස්සන්ට ද තර්ජනය කොට බැහැර ගියේය. එයින් පසු දින ද වෙනත් නිළියන් දෙදෙනෙකු ද තාජුඩීන්ගේ පහරදීම්වලට ගොදුරුව තිබිණ. මේ නිළියන් එදින වේදිකාවේ දී කළ රංගනය පිළිබඳ අතෘප්තිමත් වූ තාජුඩීන් මෙලෙස පහර දුන්නේ යැයි හෙළිදරවු විණ. මේ 1924 වසරේ ජනවාරි 21 වැනි දින ඩේලි නිවුස් පුවත්පතේ පළ කරන ලද ප්‍රවෘත්තියකි. ඒ වන විටත් මෙරට වේදිකාව ආක්‍රමණය කළ පාර්සි නාට්‍ය කණ්ඩායම්වල අභ්‍යන්තර සිද්ධියක් මෙමඟින් අනාවරණය වෙයි.

විසි වැනි සියවසේ දෙවැනි දශකයේ මූලාරම්භය මෙරට සිනමාව වඩා මිනිසුන් අතරට යෑමේ ආරම්භය පෙන්වා දෙනු ලබන්නේ එකල පුවත්පත් සොයා බැලීමේදීය. මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමි විශිෂ්ට සේවාවක් කළ වොරික් මේජර් සිය ව්‍යාපාරික කටයුතු මදාන් තියටර්ස් වෙත පැවැරීමෙන් පසු එය වඩා තරඟකාරි මුහුණුවරකට යොමු විය. එහි දී වඩාත්ම තරඟකාරි වනුයේ ඊස්ටර්න් ෆිල්ම්ස් ආයතනය සහ මදාන් තියටර්ස් ආයතනයයි. මෙම ලිපි මාලාවේ දී ඊස්ටර්න් ෆිල්ම්ස් පිළිබඳ ඉදිරියේ දී කියැවිය හැකි වනු ඇත. මදාන් තියටර්ස් සහ ඊස්ටර්න් ෆිල්ම්ස් අතර සිනමා ව්‍යාපාරය එකිනෙකා පරයා නැගී සිටීමේ අවශ්‍යතාවක් තිබිණදැයි සැකය සමකාලින පුවත්පත දැන්වීම් නිරීක්ෂණයේ දී පැන නඟින ගැටලුවකි.

ඊස්ටර්න් ෆිල්ම්ස් අයත්වනුයේ ටී.ඒ.ජේ. නූර්බායිටය. ඔහු බෝරා ජාතිකයෙකි. මදාන්ලා පාර්සි ජාතිකයන්ය. ව්‍යාපාරික ලෝකයේ ඔවුන් අතර හිතවත්කම් කොයි හැටි වෙතත් තරඟකාරි ස්වභාවයක් තිබුණ වග නම් පැහැදිලිය. ඉන්දියානු සම්භවයක් සහිත වුව ද නූර්බායි මෙරට ජීවත් වූවෙකි. මදාන් තියටර්ස් මෙරට රැඳී සිටියේ ව්‍යාපාරික කටයුතු අරබයා පමණකි. මේ පැරැණි සිනමා දැන්වීම් කියවද්දි පැහැදිලිව පෙනෙන එක් කරුණක් නම් එම සමාගමේ නමට අමතරව සිනමාහලේ කළමනාකරුගේ නමට ද තැනක් තිබුණ අන්දමය. මෙරට චිත්‍රපට කර්මාන්තයට පිවිසුණ පසු මදාන් තියටර්ස් මෙරටට පාර්සි නාට්‍ය ගෙන ආවේ ඉඳහිටය. එහෙත් වෙනත් පාර්සි නාට්‍ය සමාගම් දිගටම ඉන්දියාවේ සිට මෙහි පැමිණියහ. මදාන් තියටර්ස් ඒ අතරතුර සිංහල නාට්‍ය සඳහා දායකවීම කැපී පෙනෙන්නකි.

දිගු කලක් ජින්තුපිටියේ රංග ශාලාවේ නාට්‍ය දැක්මෙහි යෙදුණ පීටර් ද සිල්වාට අයත් විපුල ජන රංග සභාවේ නාට්‍ය ඉදිරිපත්කිරීමට මදාන් කටයුතු යෙදීම මෙහි විශේෂයෙන් සදහන් කළ යුතුය. 1922 මාර්තු මස තුන් වැනි දින පළ කරන දැන්වීමක් අනුව මදාන් තියටර්ස් ඉදිරිපත් කරන විපුල ජන රංග සභාවේ නිෂ්පාදනයක් වන පීටර් ද සිල්වා ගේ මංගලා සහ කුවේණි යන නාට්‍ය ද්විත්වය පිළිවෙළින් හතර වැනි දින සහ පස් වැනි දින මරදානේ පැලස් තියටර්ස් ශාලාවේ වේදිකා ගත විය. පසුව ඔවුහු පීටර් ද සිල්වා ගේ මනෝහාර නාට්‍යය ද වේදිකා ගත කරති. පීටර් ද සිල්වා යනු ඒ වනවිට අභාවප්‍රාප්ත ව සිටි නීතිඥ ජෝන් ද සිල්වාගේ පුත්‍රයෙකි. ඔහු පියා ජීවත්ව සිටියදී ම පියාට එරෙහිව නාට්‍යකරණයේ යෙදුණ බව පැවසේ. එමෙන්ම මෙම නාට්‍ය මහනුවර වේදිකා ගත වන්නේ ද මදාන් තියටර්ස් ඉදිරිපත් කිරීමක් හැටියටය. විපුල ජන රංග සභාව මේ සමග ජින්තුපිටිය රංග ශාලාවෙන් කැඩී යන බවක් පෙනෙන අතර ඒවෙනුවට ජින්තුපිටියට එන්නේ පාර්සි නාට්‍ය සමාගම් වීම ද නාට්‍ය ඉතිහාසය ලියන්නන්ගේ අවධානය යොමු කළ යුතු කරුණකි.

අමෙරිකානු චිත්‍රපට තිරගත කරවීමේ දී මෙන් නොව ඉන්දියානු චිත්‍රපට තිර ගත කරවීමේ දී එය වඩාත් ජනතාව වෙත සමීප කරනු වස් මදාන් තියටර්ස් එයට පෙර වේදිකා ගත වූ සිංහල නාට්‍යය මතකය ද සිය දැන්වීමෙහි ලා උපයෝගී කර ගෙන තිබිණ. ශ්‍රී හර්ෂ ගේ රත්නාවලී සංස්කෘත නාට්‍යය ඇසුරෙන් 1922 වසරේ මදාන් සමාගම මඟින් නිෂ්පාදනය කරන ලද එනමින් යුත් ඉන්දියානු චිත්‍රපටය මෙරට තිරගත කරවද්දී ඔවුහු එම දැන්වීමෙහිලා කලකට ඉහත වේදිකා ගත වුණ ජෝන් ද සිල්වාගේ රත්නාවලී නාට්‍යය සිහිපත් කරන්නට ද අවස්ථාව උදා කර ගනිති. ප්‍රංශ ජාතික කැමිල් ලෙග්‍රාන්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද රත්නාවලී චිත්‍රපටයේ ගොහාර් සහ පේෂන්ස් කූපර් ප්‍රධාන චරිත රඟපෑහ. එහි සුරූපි පේෂන්ස් කූපර් මෙනෙවිය ගැන දැඩි අවධානයක් යොමු කරන්නට ද මදාන් දැන්වීම වග බලා ගනියි.

මේ වන විට ලෝකය පුරා සිනමා තාරකා සංකල්පය ව්‍යාප්ත වී හමාරය. හොලිවුඩ් නගරය සිය සිනමා තාරකාවන් ගොඩ නඟන්නට ගත්තේ 1911 වසරේ පමණය. එයට පෙර බොහෝ සිනමා තාරකාවන් හඳුන්වා දෙන ලද්දේ සිනමා සමාගම්වල නමිනි. වෘත්තිය අනන්‍යතාව සඟවා කටයුතු කරවීම හරහා ඔවුන් පාලනය කිරීම පහසු බැව් අමෙරිකානු සිනමාවේ පුරෝගාමී තෝමස් අල්වා එඩිසන්ගේ හැඟිම විය. චිත්‍රපට නළු නිළියන්ගේ නම් හරහා ප්‍රසිද්ධ කරවීමෙන් ඔවුන් අනියම් වරප්‍රසාද ලබතැයි එඩිසන් පැවසුවේය. එබැවින් මුල් යුගයේ රංගනයට පිවිසි බොහෝ නළු නිළියන්ට සිදුවූයේ තම අනන්‍යතාව සඟවන්නටය. විටාග්‍රාෆ් සමාගමේ නිළිය වූ ෆ්ලෝරන්ස් ටර්නර් විටාග්‍රාෆ් ගර්ල් ලෙස විනා ඇයගේ නමින් හඳුන්වාදෙනු නොලැබිණ. බයෝග්‍රාෆ් සමාගමේ නිළි ෆ්ලෝරන්ස් ලෝරන්ස් මුලින් හැඳීන්වූයේ බයෝග්‍රාෆ් ගර්ල් යනුවෙනි. පසුකලක ජනප්‍රිය තරුවක් වන මේරි පික්ෆෝඩ් ෆ්ලෝරන්ස් ලෝරන්ස් ට පසු බයෝග්‍රාෆ් සමාගමට එක්වූ අතර එහි දී ඇය හඳුන්වා දුන්නේ ලිට්ල් මේරි යන නමින්ය. සුපිරි සිනමා තාරකාවක් වන මේරි පික්ෆෝඩ් සිය නමින් ජනප්‍රිය වන්නට පටන් ගත්තේ බයොග්‍රාෆ් සමාගමේ ගිවිසුමෙන් ඉවත්වූ පසුවය. ෆ්ලෝරන්ස් ලෝරන්ස් සමාගමෙන් ඉවත්ව නව ප්‍රදර්ශකයකු වූ කාර්ල් ලයෙම්ලි ගේ ඉන්ඩිපෙන්ඩන්ට් මෝෂන් පික්චර්ස් ආයතනයට එක්වූවාය.

ඇය සිය නමින් ජනප්‍රිය කරවන ලද්දේ ලයෙම්ලි විසිනි. ලයෙම්ලි සිනමා තාරකාවන් බිහිවීමේ වැදගත්කම දැන සිටියේය. එඩ්සන් සමග වසර ගණනාවක්ම ලයෙම්ලි ඇතුළු අලුත් නිෂ්පාදකයන්ට සිනමාවේ පේටන්ට් බලපත්‍රය හා විවිධ මතවාද සම්බන්ධව අරගල කරන්නට සිදුවිය. 1912 වසරේ මැයි මස 17 වැනි දින ලයෙම්ලි තම ඉන්ඩ්පෙන්ඩන්ට් මෝෂන් පික්චර්ස්, පැට් පියර්ස් ගේ පික්චර් ප්ලේස් , චාල්ස් ඕ බෝමන්ගේ බයිසන් පික්චර්ස්, රෙක්ස් පික්චර්ස්, ඩේවිඩ් හෝර්ස්ලි ගේ නෙස්ටර් ෆිල්ම් කම්පනි යන ස්වාධීන සමාගම් එකතු කොට යුනිවර්සල් පික්චර් මනුෆැක්චරින් කම්පනි බිහි කරන ලද්දේ එඩිසන්ගේ පේටන්ට් බලපත්‍රයට ගෙවීම අත්හිටුවමින් සහ සිනමා තරු සංකල්පයද චිත්‍රාගාර සැලසුම් ක්‍රමය ද සිනමා ලෝකයට හඳුන්වා දෙමින්ය. මේ ලෝක සිනමාව පාලනය කරනු ලබන අදෘශ්‍යමාන බලවේගයක් වූ හොලිවුඩ් මහා චිත්‍රාගර පහේ ආරම්භයයි. විලියම් ස්වැන්සන්, මාර්ක් ඩියෙන්ෆාස්, රොබට් එච්.කොක්රේන්, ඇඩම් කේසල්, ජූල්ස් බෘලේටුවර් එහි සෙසු හවුල්කරුවෝ වූහ . මේ අතරින් බෘලේටුවර් එඩිසන් විසින් චිත්‍රපටයේ අයිතිය කියාපෑමට 1909 වසරේ පිහිටුවා ලන ලද මෝෂන් පික්චර් පේටන්ට් කම්පනි ආයතනයේ ලොකුම හවුල්කරු විය. ඔහු එඩිසන් වෙතින් ඉවත් කර ගැනීම ලයෙම්ලේ විසින් අත්පත් කර ගත් පෞද්ගලික ජයග්‍රහණයක් නොව සමස්ත සිනමාවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතු තරම් කාරණයකි.

මේ උණුසුමෙන් මිදෙන්නට මෙරට සිනමාවට ද කල්ගතවූයේ නැත. ඊස්ටර්න් චිත්‍රපට සහ මදාන් තියටර්ස් එකිනෙකා පරයමින් සිය සිනමා කෘති වෙළෙඳ පොළට ගෙන ආවේ තමා සතු තරු ගුණයට ද එළිදරවු කරමින්ය. වඩා බලසම්පන්න යැයි සැලකිය හැකි මදාන් තියටර්ස් පැලස් ,එම්පයර්, පබ්ලික් හෝල්වලට අමතරව මහනුවර එම්පයර් රංග ශාලාවේ ද (වර්තමාන රීගල්) මීගමුවේ පුරහලේ ද සිය චිත්‍රපට ප්‍රදර්ශනය කළේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.