1924-2-29 විශේෂ දිනයකි

අගෝස්තු 1, 2019

 

අධික අවුරුද්දක් වූ 1924 වසරේ පෙබරවාරි 29 වැනි දින රාත්‍රියේ විශේෂ ප්‍රභූවරු රාශියක් කොළඹ කොටුවේ එම්පයර් සිනමාහලට පැමිණියහ. එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරධුරය දැරූ විලියම් හෙන්රි මැනිංගේ භාර්යාව වූ මැනිං ආර්යාව එදින ප්‍රධාන ආරාධිත අමුත්තිය වූවාය. එය ලාංකික සිනමා ඉතිහාසයේ අතිශය වැදගත් දවසක් ලෙස සදහන් කළ යුතුය.

ඒ මුල්වරට ලාංකිකයන් පිරිසකගේ රුව රැගත් චලන චිත්‍ර දැක්මක් ප්‍රදර්ශනය වූයේ එදින නිසාය. එය එදින රාත්‍රි 9.30 දර්ශනයට පමණක් සීමා විය. ඒ කල්කටාවේ බෞද්ධ විහාරයකට ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ සහ දළදා පෙරහැර පිළිබඳ එකක් අඩි දහසක් වූ වාර්තා චිත්‍රපට දෙකක් තිරගත විමයි. අඩි දහසක් යනු විනාඩි දහයකි. එබැවින් ඒ වන විට එම සිනමාහලේ තිර ගත කරන ලද ඉනසන්ට් චිත්‍රපටය ද ඒ සමග එහි තිර ගත විය. මේ විශේෂ දැක්ම ඒ වන විට කොළඹ ඉදිවෙමින් පැවති තරුණ බෞද්ධ සංගමයේ ගොඩනැගිල්ලට ආධාර පිණිස පැවැත්වුවකි. චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද්දේ කොළඹ තරුණ බෞද්ධ සමිතියට ආධාර පිණිසය. එහි බොක්ස් ආසන විසි පහ රුපියල් විසි පහක් වැනි ඉහළ මිලකට නියම විය. එහි සෙසු ප්‍රවේශ පත්‍ර රුපියල් පහ, හතර,තුන දෙක සහ රුපියල යන මිල ගණන් වලට නියමව තිබිණ. සාමාන්‍යයෙන් ඒ අවදියේ සිනමාහලක ඉහළම ප්‍රවේශ පත්‍රය රුපියල් පහක්ව පවතිද්දී රුපියල් විසි පහ යනු ලොකු ගණනක් බව අමුතුවෙන් කිවයුතු නැත. බ්‍රිතාන්‍ය ලේඛිකා මේරි කොරලි ගේ නවකතාවක් වූ 1914 වසරේ ලියැවුණු ඉනසන්ට් ඇසුරෙන් එනමින්ම යුත් 1921 වසරේ දී තැනුණු චිත්‍රපටය කාන්තාවාදී චිත්‍රපටයක් විය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ මොරිස් ඉයුවි විසිනි.

මේ වන විට මදාන් තියටර්ස් මිලයට ගත් සිනමාහල් අතරින් කොළඹ නගරයේ නිතිපතා පවත්වා ගෙන යන ලද්දේ එම්පයර් සහ පැලස් සිනමාහල් පමණී. පසුකලෙක එම්පයර් බවට පත් වන පබ්ලික් හෝල් ශාලාව මදාන් තියටර්ස් පාලනය යටතේ වුව චිත්‍රපට නොවන විශේෂ සංදර්ශන සඳහා බහුලව යොදා ගැනිණ. මදාන් සමාගමට පවා මෙරටට චිත්‍රපට ආනයනයේ දී ඇති පදම් චිත්‍රපට ආනයනය කර ගත නොහැකි වූයේ ද යන සැකය මෙහි ඉස්මතු වේ. කොළඹ ප්‍රදර්ශනයෙන් පසු මදාන් සමාගමේ පාලනය යටතේ පැවැති මහනුවර එම්පයර් සිනමාහලේ එම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරිණ. මේ වන විට නොඅනුමානවම ලෝකය පුරා මෙන්ම ලංකාවේ ද ජනප්‍රිය සිනමා තාරකාව වනුයේ චාලි චැප්ලින් යැයි සැලකිය හැක්කේ චැප්ලින් ගේ චිත්‍රපට තිරගත කරවීම තරගයක් ලෙස පැවැති හෙයිනි. 1924 වසරේ මුල්වරට ප්‍රදර්ශනය කරන ලද වාර්තා චිත්‍රපට දැක්මට අමතරව මදාන් තියටර්ස් සමාගම මෙරට සිය සිනමා ජුබිලිය පවත්වනු ලැබුවේ ද එම වසරේයි. ඒ අප්‍රේල් මස 11 වැනි දිනදීය. එමෙන්ම 1918 වසරේ සිට මරදානේ ඔලිම්පියා සිනමාහලේ පාලනාධිකාරය පවත්වාගෙන ගිය ඊස්ටර්න් ෆිල්ම්ස් සමාගම ඔවුන්ගේම නව සිනමාහලක් වැල්ලවත්තේ ආරම්භ කරනු ලබනුයේ එම වසරේ ජූලි මස පස් වැනි දිනය. වැල්ලවත්තේ සිනමාහල ආරම්භය සදහා ඊස්ටර්න් ෆිල්ම්ස් සමාගම මුලින් යොදා ගනුයේ ජූලි මස දෙවැනි දිනයයි. පළමුවැනිදා දක්වාම පුවත්පත් දැන්වීම් පළ කරන්නේ එලෙසය. එහෙත් නියමිත දිනයේ දැන්වීමේ සිනමාහල විවෘත කිරීම කල් දමන බව පවසා සිටියි. ඒ වෙනුවට ඔවුන්ගේ නවදිනය යොදා ගනුයේ තවත් දින තුනකට පසුවය. එනම් ජූලි මස පස් වැනි වැනි දින වැල්ලවත්තේ නව සිනමාහල ආරම්භ කරනු ලබයි. එය අංග සම්පූර්ණ සිනමාහලක් ලෙස බව ඔවුහු සිය මුල් දැන්වීම් මගින් දන්වා සිටිති. වැල්ලවත්තේ ඔලිම්පියා සිනමාහලේ ආරම්භක චිත්‍රපටය වනුයේ 1923 වසරේ තැනුණු බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන ෆයර්ස් ඔෆ් ෆේට් චිත්‍රපටයයි. එයට පාදක වනුයේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචනා කරන ලද ද ට්‍රැජඩි ඔෆ් කොරොස්කෝ කෘතියයි. (මෙම දැන්වීමේ පළවුණේ ඔලිම්පික් තියටර් යනුවෙන් වුවත් සෙසු දැන්වීමවල පළවන්නේ ඔලිම්පියා නමින්මය.)

ඊස්ටර්න් ෆිල්ම්ස් සමාගම මරදානෙන් පිටත්ව යන්නේ මුස්ලිම් දේවස්ථානය සමග නඩුවක් ද පටලවාගෙනය. ඒ මරදානේ ඔලිම්පියා සිනමාහල සම්බන්ධවය. වර්තමානයේ මරදාන හන්දියේ සිට ඉබ්බන්වල හන්දිය දක්වා විහිදුණු ටී.බී ජයා මාවත එකල නම් දෙකකින් හැඳීන්විණ. ඒ මරදාන හන්දියේ සිට ගාමිණි හෝල් හන්දිය දක්වා කොටස එනම් පැරණි මැක්ලම් පාර හෙවත් ඩී.ආර්.විජයවර්ධන මාවත දක්වා කොටස සදර්ලන්ඩ් පාර ලෙස ද එතැන් සිට ඉබ්බන්වල දක්වා කොටස ඩාර්ලි පාර ලෙස විය. අද ටී.බී.ජයා මාවත යනු මේ පාරවල් දෙකම එක් වීමෙන් සැදුණ නමකි. ඊස්ටර්න් සමාගම වැල්ලවත්තේ අලුත් සිනමාහල ආරම්භ කළ ද මරදාන මුස්ලිම් දේවස්ථානයේ භාරකරු ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණේ සිය ගොඩනැගිල්ලට අලාභ හානි වූ බව පවසමිනි. ඊස්ටර්න් සමාගමේ සභාපති ටී.ඒ.ජේ.නූර්බායි එවර අධිකරණය හමුවේ අදාල කාලයට වන්දි ගෙවන්නට පොරොන්දු විය. මරදානේ ඔලිම්පියා සිනමාහල නව පාලානාධිකාරියකට පැවරිණ. ඒ ලියෝ ලැන්ග්ඩන් ඇන්ඩ් කම්පනි ආයතනය යටතේය. ඔවුහු සිය පාලනය යටතේ ජූලි දහනව වැනි දින සිනමාහල විවෘත කරන ලදහ. එහි මුල්ම චිත්‍රපටය වූයේ හැරල්ඩ් ලොයිඩ් රඟපෑ අ සේලර් මේඩ් මෑන් චිත්‍රපටයයි. මෙය හාස්‍යොත්පාදක චිත්‍රපටයකි. ලොයිඩ් චැප්ලින් මෙන්ම ඒ වනවිට ජනප්‍රියම හාස්‍යොත්පාදක නළුවකු විය.

මෙරට සිනමා ආනයනකරුවෝ සහ ප්‍රදර්ශකයෝ ද ඔවුන්ගේ සිනමා දැන්වීම් සඳහ එහි රඟපාන නළු නිළියන්ගේ නම් ප්‍රචාරණයෙහිලා යොදා ගන්නට උත්සුක වූහ. නොඅනුමානවම හොලිවුඩ් සිනමා තාරකාවන් සඳහා මේ වනවිට ලොව පුරා මෙන්ම ලංකාවේද ඉල්ලුමක් තිබුණ වග මේ දැන්වීම් පෙන්වා දෙයි.

1920 වසර දක්වා චිත්‍රපට නළු නිළියන් ගේ නම් යොදා ගැනිමේ ප්‍රවණතාවක් මෙරට දැක ගත නොහැකි වුවත් 1922 වන විට නළු නිළියන් කෙරෙහි අවධානය යොමුවන බවක් පළවෙයි. මේ සියලු දැන්වීම් හොලිවුඩ් චිත්‍රාගාරවලින් නිකුත් කරන ලද තේමා පාඨයන්ගෙන් ද යුක්ත විය.

1920 වසරේ මාර්තු මස විසි වැනි දින දිනමිණ පුවත්පතේ පළ කරනු ලබන දැන්වීමකට අනුව එදින සිට පැලස් සිනමාහලේ තිර ගත වන ටැම්පෝරල් පවර් චිත්‍රපටය මාරි කොරලි නමැති සුප්‍රසිද්ධ කර්තෘවරියකගේ මවිත කරවන කතාව ජිවමානාකාර පින්තූරවලින් පෙන්වීමකි. සමකාලිනව මදාන් සමාගම ඔවුන්ගේ දැවැන්තම නිර්මාණයක් වන රාමායණය එම්පයර් සිනමාහලේ ප්‍රදර්ශනය වද්දී එහි රඟපෑ නළු නිළියන් ගැන දැන්වීමේ පළ කරන්නේ නැත. එහෙත් සමගාමිව පබ්ලික් හෝල් ශාලාවේ තිර ගත කරනු ලබන වේ ඩවුන් ඊස්ට් චිත්‍රපටයේ නළු නිළියන් වූ ලිලියන් ගොෂ් සහ රිචඩ් බර්තලමියුස් පමණක් නොව එහි අධ්‍යක්ෂ ඩී.ඩබ්ලිව් ග්‍රිෆිත් පිළිබඳව පවා සඳහන් කරති. මේ යුගයේ මෙරට සිනමාහල්වල වැඩිපුරම තිර ගත වනුයේ අමෙරිකානු හෝ යුරෝපීය චිත්‍රපට පමණකි. ඉන්දියානු චිත්‍රපට තිර ගත වනුයේ ඉඳහිටය. 1924 වන විට ඉන්දියානු සිනමා කර්මාන්තය දියුණු තත්වයට පත්වෙමින් සිටිය ද ඉන්දියානු චිත්‍රපට ආනයනයේ යෙදෙන්නේ මඳ වශයෙනි. මෙයට එක් හේතුවක් වන්නට ඇත්තේ ඉන්දියානු චිත්‍රපට ඒකාධිකාරය මදාන් විසින් දැරීම විය යුතුය. අනෙක බොහෝ චිත්‍රපට තැනුණේ සීමිත පිටපත් සංඛ්‍යාවක්වීම නිසා ද විය හැකිය. මදාන් සිය චිත්‍රපට දැන්වීම්වල දී නළු නිළියන්ගේ නම් මුල් වරට යොදා ගනුයේ පේෂන්ස් කූපර් ගේ නමයි. ඒ ඔවුන්ගේ දැවැන්තම චිත්‍රපටය වන නළ දමයන්ති චිත්‍රපටයේ දැන්වීමෙනි. පේෂන්ස් කූපර් ඉන්දියානු නිහඬ සිනමාවේ සුපිරි තරුවක් වූවාය. 1905 වසරේ කල්කටාවේ දී ඇංග්ලෝ ඉන්දියානු පවුලක සාමාජිකාවක ලෙස උපත ලද ඇය රංගන වෘත්තිය අරඹන්නේ වේදිකාවෙනි. පසුව මදාන් තියටර්ස් සමාගමේ වේදිකා නිළියක වන ඇයගේ ජීවිතයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වනුයේ මදාන් සමාගම නිපදවන නල දමයන්ති චිත්‍රපටයේ දමයන්ති ලෙස චරිත නිරූපණයයි. 1920 වසරේ නිපදවන නළ දමයන්ති ලංකාවේ තිර ගත වනුයේ 1922 වසෙර්ය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඉතාලි ජාතික ඉයුජිනෝ ඩි ලුගවේරා විසින්ය. නළ ලෙස රගපෑවේ කේකි අදිජානිය. නල දමයන්ති නිහඬ ඉන්දියානු සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා පමණක් නොව එහි තිබුණු දෘෂ්ටි ප්‍රයෝග සමකාලින බොහෝ චිත්‍රපට අබිබවා යන සුළුවිය. නිහඬ සිනමාවේ ජනප්‍රියම සිනමා තාරකාවක වන පේෂන්ස් කූපර් පසුකලෙක පාකිස්තානයේ පදිංචියට ගියාය. එහි දි ඇය මුලින් මිර්සා අහමඩ් ඉස්පාන් සමග ද දෙවැනුව ගුල් හමීඩ් ඛනා සමග ද විවාහ වූ අතර එයින් පසු ඇය හැදින්වූයේ සබ්රා බේගම් යනුවෙනි. පේෂන්ස් කූපර් වෙනුවෙන් මෙරට පුවත්පත්වල පළ කළ නළ දමයන්ති, රත්නාවලී ආදි දැන්වීම් අනුව ඇය එරට මෙන්ම මෙරට ද අතිශය ජනප්‍රිය සිනමා තාරකාව වූ බවට සැකයක් නැත.

මේ වන විට සිනමාව සම්බන්ධ වෙනත් ප්‍රවෘත්තිවලට ද මෙරට පුවත්පත්වල ඉඩ කඩ වෙන්වනු දක්නට ලැබෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.