දෙමළ සිනමාවේ මුල්ම චිත්‍රපටයත් මෙහෙ ඇවිත්

අගෝස්තු 15, 2019

ක්‍රිස්තු වර්ෂ 1926 වසර වන විට මෙරට චිත්‍රපට හා නාට්‍ය අතර තියුණු තරගයක් පැවැතුණ බව එකල පුවත්පත් වාර්තා කියවද්දී පෙනෙන කරුණකි. නාට්‍ය සඳහා වාසියට හිටියේ ඒ වනවිටත් චිත්‍රපට කතා කරන්නට පටන් ගෙන නොතිබීමයි. පබ්ලික් හෝල් ශාලාව මදාන් තියටර්ස් සමාගම මගින් පාලනය කළ ද එය ඔවුන්ගේ වෙනත් ශාලා මෙන් නිරන්තරයෙන් චිත්‍රපට ප්‍රදර්ශනයට වෙන් කළ බවක් පෙනී යන්නේ නැත. එය විවිධ නාට්‍ය හා සංදර්ශන සඳහා වැඩිපුර වෙන්වුණ වග පෙනී යයි. එහි වේදිකා ගත වුණ නාට්‍ය බහුතරය යුරෝපයෙන් මෙරටට පැමිණි සංගීත නාටක ආදියයි. මදාන් තියටර්ස් පාර්සි නාට්‍ය හරහා සිය ව්‍යාපාර ඇරඹිය ද ඔවුන්ගේ පබ්ලික් හෝල් ශාලාව වෙන් කරනුයේ පාර්සි නාට්‍ය සඳහා නොවීම විශේෂයකි.

මෙරට සිනමා ඉතිහාසය වැඩි දුර විමර්ශනයට පෙර ලෝක සිනමාවේ එකල තත්ත්වය විමසා බැලීම වටින්නකි. මේ වන විට ඉන්දියානු වෘත්තාන්ත චිත්‍රපට නිෂ්පාදනය අරඹා දශකයක් ඉක්මවා ගොස් තිබුණ අතර ඉන්දියානු ප්‍රාන්ත භාෂාවලින් ද උප සිරුසි යෙදුණු චිත්‍රපට රාශියක් නිපදවෙමින් පැවතිණ. 1913 දී මුල් වසරේ චිතපට තුනක් නිපද වූ ඉන්දියාව 1915 සහ 16 දෙවසර ඇතුළත කිසිම චිත්‍රපටයක් නිපදවූයේ නැත. එය යළි චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණ වනුයේ 1917 වසෙර්ය. ඒ ද චිත්‍රපට තුනකිනි. එහෙත් එය අනුක්‍රමයෙන් 1918 වසරේ චිත්‍රපට 7ක් දක්වා ද අනතුරුව 8ක් ද වශයෙන් ඉහළ යන අතර 1920 වසරේ සිට තිහ දක්වා දශකය ඇතුළත චිත්‍රපට පිළිවෙළින් නිෂ්පාදන වූ සංඛ්‍යාව මෙපරිද්දෙනි.

1920-27,

1921-44,

1922-64,

1923-52,

1924-54,

1925-86,

1926-94,

1927-90,

1928-109,

1929-140,

1930-194,

1931-200

මෙම නිහඬ චිත්‍රපට සංඛ්‍යාව ඉන්දියානු චිත්‍රපට සංරක්ෂණාගාරය මගින් නිකුත් කරන ලද පත්‍රිකාවකින් සහ අශීෂ් රාජධ්‍යක්ෂා සහ පෝල් විල්මන් විසින් සංස්කරණය කරන ලද ඉන්ඩියන් සිනෙමා එන්සයික්ලොපීඩියා ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී. මෙම චිත්‍රපට සංඛ්‍යාවට බොම්බාය, කල්කටාව, මදුරාසිය සහ වර්තමානයේ පාකිස්ථානයට අයත් වූ ලාහෝරය ද කේන්ද්‍ර කොට ගෙන නිපද වූ ඇතුළත්ය.

දකුණු ඉන්දියාවේ මුල්ම චිත්‍රපටය වන කීචක වාදම් ආර්.නටරාජා මුදලියාර් විසින් නිර්මාණය කරන ලද්දේ 1917 වසෙර්ය. ඒ වන විට රාජා හරිශ්චන්ද්‍ර ඇතුළු පාල්කේ ගේ චිත්‍රපට මදුරාසියේ ගෙයිට් සිනමාහලේ ප්‍රදර්ශනය කර තිබිණ. මුදලියාර් චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණ වනුයේ පාල්කේ ගේ චිත්‍රපට නැරඹීමෙන් ලද උත්තේජනය අනුවය. එම වසරේම ඉන්දියාවේ ස්වකීය ඒජන්සියක් ආරම්භ කරන මුල්ම හොලිවුඩ් සමාගම ලෙස යුනිවර්සල් පික්චර්ස් සිය කාර්යාලය විවෘත කළේය. ඉන්දියාව අදටත් වඩා භූමිය අතින් විශාල වුව ද ඒ වන තෙක් ඉන්දියාව පුරා දේශිය චිත්‍රපට ප්‍රදර්ශනය නොවුණ වගක් දක්නට ලැබෙයි. චිත්‍රපට පිටපත් සංඛ්‍යාව සීමිත වීම එයට එක් හේතුවක් වන්නට ඇත. ඉන්දියානු සිනමාව නිෂ්පාදන ව්‍යාපාරයක් වශයෙන් පුළුල් වන්නට පටන් ගැනෙනුයේ 1918 වසෙර්ය. ඒ මදාන් තියටර්ස් කල්කටාවේ සිට ද බාබුරාඕ පේන්ටර් කොලහපූර් සිට මහාරාෂ්ට්‍ර ෆිල්ම් කම්පනි ද පසුකලක කොහිනූර් චිත්‍රාගාරයට මුල පුරන පතන්කාර් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් සමාගම ද ආරම්භ කිරීමත් සමඟය. එම වසරේ දී බ්‍රිතාන්‍ය සිනමා පනත අනුව යමින් ඉන්දියානු චිත්‍රපට පනත හඳුන්වා දෙනු ලැබිණ. ඒ ඉන්දියාවේ නිපදවන හා ආනයන වන චිත්‍රපට පිළිබඳ පාලනය සඳහාය. ඉන්දියානු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය බොම්බාය, කල්කටාව සහ මදුරාසිය යන නගර කේන්ද්‍ර කරමින් ආරම්භ කරන ලද්දේ 1919 වසෙර්ය. මේ වසරේම මුල්ම ඉන්දියානු සිනමා සඟරාව වන බිජෝලි වංග බසින් කල්කටාවේ දී නිකුත් විය. නලිනිකාන්ත සර්කාර්, භරීන්ද්‍රකුමාර් ගෝෂ්, සචින්ද්‍රනාත් සෙන්ගුප්තා, අරුණ් සිංහා, සහ රන්ජන් දාස් එහි සංස්කාරකවරු වූහ. මේ අතරින් රන්ජන් පසුකලෙක සිනමාකරුවකු විය. ඉන්දියාවේ දී චිත්‍රපට සඳහා විනෝද බද්ද අය කිරීම 1922 වසරේ ආරම්භ වූ අතර එය ප්‍රවේශ පත්‍රයේ ආදායමෙන් සියයට දොළහයි දශම පහක් විය.

දකුණු ඉන්දියාවේ මුල්ම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කළ රංගස්වාමි (ආර්.) නටරාජා මුදලියාර් වෘත්තියෙන් මෝටර් රථ ව්‍යාපාරිකයකු විය. 1885 වසරේ දී වෙල්ලෝරයේ ධනවත් පවුලක උපත ලබන ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසු මදුරාසියට සේන්දු වී බයිසිකල් අලෙවිහලක් ආරම්භ කරනු ලබනුයේ වොට්සන් ඇන්ඩ් කම්පනි නමිනි. රුපියල් විසි පහකට බයිසිකල් විකුණමින් ආරම්භ කරන ව්‍යාපාරය 1911 වසරේ දී පුළුල් වනුයේ අමෙරිකානු මෝටර් රථ ආනයනය සඳහා රෝමර් ඩෑන් අන්ඩ් කම්පනි සමග එක් කරමින්ය. ඉන්දියාවට අමෙරිකානු මෝටර්රථ ආනයන කළ මුල්ම ඉන්දියානුවා වූයේ මුදලියාර්ය. ඔහු ඡායාරූප කරණයට සහ චලන චිත්‍රයට උනන්දු වූයේ ද ඒ සමයේය. එවකට පූනේ නගරයේ පදිංචි ව සිටි බ්‍රිතාන්‍ය කැමරා ශිල්පියකුවූ ස්ටුවර්ට් ස්මිත්ගෙන් ඡායාරුපකරණයේ මූලික කරුණු උගත් මුදලියාර් සිය සිනමා සමාගම ඉන්ඩියන් ෆිල්ම් කමිපනි නමින් පිහිටුවාලූයේ මදුරාසියේ පුරසායිවක්කම් හි මිලර්ස් පාෙර්ය. ඔහු චිත්‍රපටය සඳහා විලියම්සන් වර්ගයේ පාවිච්චි කළ කැමරාවක් මිලයට ගන්නේ ද ස්මිත්ගෙනි. කීචක වාදම් අඩි 6000 ක් දිගය. ඉංග්‍රිසි සහ දෙමළ බසින් උපසිරැසි යෙදුණු එහි තිර රචනය, කැමරාකරණය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය ද මුදලියාර්ගෙනි. පාල්කේගේ රාජා හරිශ්චන්ද්‍ර මෙන්ම මුදලියාර්ගේ කීචක වාදම් සඳහා ද පාදක වනුයේ මහා භාරතය ග්‍රන්ථයයි. ඒ සඳහා එය තෝරා දී උපදෙස් දෙනු ලබනුයේ මුදලියාර් ගේ හිතවතෙකු මෙන්ම වර්තමාන දෙමළ නාට්‍ය කලාවේ පියා ලෙස සැලකෙන පම්මල් සම්බන්ද මුදලියාර් විසිනි. මුදලියාර්ගේ තවත් මිතුරකු වන නීතිඥ සී.රංගදිවේලු තිර පිටපත සඳහා සහාය විය. ඉංග්‍රීසි උපසිරැසි මදුරාසියේ එවකට සිටි වෛද්‍යවරයකු වූ ගුරුස්වාමි මුදලියාර් විසින් සකස් කරන ලදුව පසුව එය හින්දි බසට පරිවර්තනය කළේ දේව්දාස් ගාන්ධිය. දේව්දාස් මහත්මා ගාන්ධිගේ බාල පුත්‍රයා යි.

කීචක වාදම් චිත්‍රපටයේ රාජු මුදලියාර් කීචක ලෙස ද ජීවරත්නම් ද්‍රෞපදි ලෙස ද ප්‍රධාන චරිත රඟපෑහ. මුල් දෙමළ චිත්‍රපටයේ කාන්තා චරිත රඟපෑවේ පිරිමි වූ අතර මුදලියාර්ගේ දෙවැනි චිත්‍රපටය වන ද්‍රෞපදිි වස්ත්‍රාපහරනම් චිත්‍රපටයේ දී ඇංග්ලෝ ඉන්දියානු යුවතියක රඟපෑවාය. කීචක වාදම් චිත්‍රපටයේ අධි සාර්ථකත්වය නිසාම ඔහු විසින් නිෂ්පාදනය කළ ද්‍රෞපදිි වස්ත්‍රපහාරනම්, ලව කුශ, ශිව ලීලා, රුක්මණී සත්‍යභාමා, සහ මර්කන්ධ්‍යා යන සෑම චිත්‍රපටයකටම පාදක වූයේ මහා භාරතයයි. එහෙත් ඔහු ගේ චිත්‍රපට වාණිජමය වශයෙන් පමණක් නොවි විචාර අතින් ද ඉතා ඉහළ අගයක් ගත්තේය. මුල් චිත්‍රපටයට වියදම් කරන ලද්දේ රුපියල් තිස් පන් දහසකි. රූප ගත කරන්නට දින තිස් හතක් ගතවිය. කොඩැක් දළ සේයා පට ගෙන්වා ගත්තේ ලන්ඩනයෙනි. මදුරාසි දේශගුණයට වඩා බැංග්ලෝරයේ දේශගුණය දළ සේයා පට සඳහා හොඳයැයි විශ්වාස කළ මුදලියාර් ඒ නිසාම සිය රසායනාගාරය ගොඩ නගා ගත්තේ බැංග්ලෝරයේය. සිනමා ඉතිහාසඥයකු වන රන්දූර් ගයි පවසන අන්දමට මදුරාසියේ එල්ෆින්ස්ටන් සිනමාහලේ මුල් ප්‍රදර්ශනයේම කීචක වාදම් රුපියල් පනස් දහසක ආදායමක් උපයන්නට සමත් විය. පසුව එය ලංකාව, බුරුමය, මැලේ රාජ්‍යය සහ සිංගප්පූරුව යන රටවල ප්‍රදර්ශනය විය. එහෙත් එය ලංකාවේ තිරගත කරන ලද්දේ කවර කලෙකදැයි තවමත් සොයා ගත නොහැකි විය.

1923 වසරේ ඔහුගේ චිත්‍රාගාරය ගිනි ගෙන වැනසුණේ ඔහුගේ පුත්‍රයාගේ ජීවිතය ද එයට බිලිවෙමිනි. එයින් කලකිරුණු ඔහු සිනමාවෙන් ඉවත්විය. 1971 වසරේ ඔහු මිය ගියේ දෙමළ සිනමාවේ පියා යන ගෞරව නාමය ද සහිතවය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.