වැල්ලවත්තේ කාලෝ ලෝඩ්

අගෝස්තු 22, 2019
එල්ෆින්ස්ටන් බිහි වන්නට පෙර මරදාන -  එල්ෆින්ස්ටන් ගොඩනැඟුණේ රූපයේ වම්පස පෙනෙන පොල් ඉඩමේය

 

මැක්ස් ලින්ඩර් සහ චාලි චැප්ලින්

 

 

මෙරට චිත්‍රපට ආනයනයේ ප්‍රමුඛයා මදාන් තියටර්ස් බවට පත්වුව ද නිහඬ සිනමා යුගයේ මෙරටට ඉන්දියානු චිත්‍රපට ගලා ආවේ මඳ වශයෙනි. එම යුගයේ නිපදවූ චිත්‍රපට ගණන 69 ක් විය. එහෙත් මේ අතරින් මෙරට තිරගත වූ චිත්‍රපට සංඛ්‍යාව ඉතා අල්පය. ඒ වෙනුවට ඔවුහු දිගින් දිගටම හොලිවුඩ් චිත්‍රපට ආනයනය කළහ. 1926 වසරේ මුල ඔවුන් විසින් දැන්වීම් පළ කරන ලද්දේ කොළඹ සහ මහනුවර පිහිටි එම්පයර් සහ පබ්ලික් හෝල් යන සිනමා ශාලා සඳහාය. මරදානේ පැවැති පැලස් සිනමාහල වෙනුවට නවතම එල්ෆින්ස්ටන් පික්චර් පැලස් නමින් ශාලාවක් ඉදිවුණේ 1926 වසරේ අගෝස්තු මස 11 වැනි දිනය. (එල්ෆින්ස්ටන් සිනමාහල පිළිබඳ මෙයට පෙර ලියැවිණ.) එදින රාත්‍රි 9.15 දර්ශනය සිනමාහලේ ආරම්භක දර්ශනය වූ අතර එය පැවැත්වූයේ එවකට කොළඹ නගරාධිපති එච්.ඊ.නිවුන්හැම් මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊඩඥ ඥතඥමඥදබඩ ඩධභප එහි ආරම්භක චිත්‍රපටය විය. ආරම්භක දවසේ ආසන හතරකින් යුත් බොක්ස් රුපියල් විස්සකි. 1926 වසරේ රුපියල් විස්සක් යනු ඉහළ මිලක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඊඩඥ ඥතඥමඥදබඩ ඩධභප 1923 වසරේ දී විලියම් ෆොක්ස් ගේ ෆොක්ස් ෆිල්ම් කෝපරේෂන් විසින් නිපද වූ ( ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් බවට පත්වනුයේ 1935 වසෙර්ය. ) චිත්‍රපටයකි. එයින් පසු එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ තිර ගත වූයේ චාලි චැප්ලින් ගේ ද ගෝල්ඩ් රෂ් චිත්‍රපටයයි. එය ලොව මුල් වරට තිරගතවූයේ 1925 වසෙර්ය. එකල අමෙරිකානු චිත්‍රපටයක් වසර තුනක් ගත වී මෙරට ප්‍රදර්ශනය වීම එතරම් ප්‍රමාදයක් සේ ගිණිය නොහැකිය. වර්තමානයේ අමෙරිකාවටත් පෙර මෙරට සිනමාහල්වල හොලිවුඩ් චිත්‍රපට දැක ගත හැකි වුව ද 1976 වසරේ ලොව පුරා ආදායම් වාර්තා තැබූ ස්ටාර් වෝර්ස් චිත්‍රපටය මෙරට තිර ගතවුණේ 1981 වසෙර්ය. 1997 වසරේ ආදායම් වාර්තා තැබූ ටයිටැනික් මෙරට තිර ගත වනුයේ 2001 වසෙර්ය.

 

නිහඬ යුගයේ ශාලාවේ නිහැඬියාව බිඳ හෙළන්නට වෘත්තිය සංගීත ශිල්පීන් යොදා ගැනිණ. බොහෝ චිත්‍රපට සමඟ අදාළ ස්වර ප්‍රස්තාර ද ලබිණ. නැතහොත් තැටි වශයෙන් ලැබුණු සංගීතය වාදනය විණ. මුල් යුගයේ චිත්‍රපට අතරතුර නර්තන, ගායනා සහ විකට ජවනිකා සජීවිව වේදිකාවට ගෙනාවේ චිත්‍රපට දැක්ම රීල කිහිපයකට සීමා වූ හෙයින්ය. ඇතැම් සිනමා ශාලාවල පැවැතියේ එක් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් හෙයින් රීල මාරු කරන තුරු කල් ගෙවීමට ද එකී ගායනාදිය උපයෝගී කෙරිණ. මේ නිසාම මරදාන ආදී ප්‍රදේශවල ජීවත් වූ වේදිකා නළු නිළියෝ මෙලෙස සිනමාහල්වල අතිරේක රංගනයන් ඉදිරිපත් කොට අමතර ආදායමක් උපයා ගත්හ. එකල දැන්වීම් අතර වැල්ලවත්තේ ටිවෝලි සිනමාහලේ වෙනම වෘත්තිය සංගීත කණ්ඩායමක් කටයුතු කළහ. එහි සංගීතය මෙහෙයවන ලද්දේ කාලෝ ලෝඩ් නම් සංගීතවේදියකු විසිනි. කාලෝ ලෝඩ් ප්‍රමුඛ ටිවෝලි සංගීත කණ්ඩායම ටිවෝලි සිනමාහලේ සංගීතය සපයන බව ඔවුන්ගේ දැන්වීම්වල හැමවිටම සඳහන්වීම විශේෂත්වයකි.

සිනමාව කතානාද යුගයට පිවිසුණේ 1927 ඔක්තෝබර් 6 වැනි දින තිර ගත වූ ද ජෑස් සිංගර් චිත්‍රපටය සමගය. එය වෝනර් බ්‍රදර්ස් ආයතනයේ උත්සාහයක ප්‍රතිඵලයකි. එහෙත් එය සම්පූර්ණයෙන් දෙබස් කවන ලද චිත්‍රපටයක් නොවිණ. එහි සිදුවූයේ දෙබස් සහ සංගීතය සහිත තැටියක් චිත්‍රපටය සමඟ වාදනය වීමය. සම්පූර්ණ දෙතොල් චලනය හා සම වන දෙබස් කැවුණු චිත්‍රපටය වු ලයිට්ස් ඔෆ් නිව්යෝක් තිර ගත වූයේ 1928 වසරේ ජූලි මස 6 වැනි දිනදීය. එහෙත් ඉන්දියානු සිනමාව කතා කරන්නට පටන් ගත්තේ තවත් වසර තුනකට පසුවය. ඉන්දියානු සිනමාව කතා කරන්නට පටන් ගත්තේ 1931 වසරේ මාර්තු මස 14 වැනි දින අලම් අරා සමගය. එහෙත් සිනමාව සිය උත්පත්තියේ සිටම ගොළුවත අතාරින්නට වෑයම් කළහ.

1900 වසරේ ප්‍රංශයේ පැවැත්වුණු පැරිස් ප්‍රදර්ශනය විසි වැනි සියවසේ තාක්ෂණික දිශානතිය පිළිබඳ කදිම හෙළිදරව්වක් ලෙස සැලකේ. ඒ වන විටත් සිනමාවේ මුල් පියවර තබා එහි අයිතිය ලබා ගත් ප්‍රංශය සිනමාවේ තවත් දුර යන්නට වැර දරන බව එම ප්‍රදර්ශනයේ දී පෙන්වා දුන්නේය. මුල් වරට වර්ණ චලන චිත්‍ර දර්ශන මාලාවක් ඉදිරිපත් වූයේ ද එහිදීය. එය අතින් අඳීන ලද රූපාවලියකි.

1900 වසරේ ප්‍රංශයේ දී නිපදවුණු ක්ලෙමන්ට් මොරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඛ්රපචදධ ඤඥ ඕඥපඨඥපචජ චිත්‍රපටයේ ( මෙම චිත්‍රපටය මිනිත්තු දෙකක් දිග චිත්‍රපටයකි) රඟපෑ ප්‍රංශ නළු බෙනොය්ට් කොන්ස්ටන්ට් කොක්ලීන්ගේ හඬ සිලින්ඩරාකාර පොනෝග්‍රාෆ් යන්ත්‍රයක් මගින් අඩි 53ක් දිග පළල අඩි 70 කින් යුත් තිරයකට රූප රාමු සමග එක් කොට ප්‍රදර්ශනය කරනු ලැබිණ. එමෙන්ම එහිදී ප්‍රක්ෂේපණ යන්ත්‍ර 11 ක් මගින් අංශක 360 ක සිනියෝරාමා දර්ශනයක් ලෙස ප්‍රදර්ශනය කරවන ලදී. මේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඉතා ඉක්මනින් රත්වීමත් දළ සේයා පටල වහා ගිනි ගන්නාසුළු වීමත් නිසා මේ පර්යේෂණයේ ප්‍රතිඵල මහජනයා හමුවේ වාණිජමය වශයෙන් ඉදිරිපත් කරන්නට ඉඩ නොලැබිණ. මේ කරුණු පෙන්වා දෙනුයේ සිනමාව ආරම්භයේ සිටම චලන චිත්‍රය වඩා ජනතා ආකර්ශණය කරා යොමුකරවීමට ප්‍රංශය උත්සුක වූ ආකාරයයි. සිනමාවේ ආරම්භයේ දී අමෙරිකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් ප්‍රංශය සිටියේය. පුරෝගාමී සිනමාවේදී ජෝර්ජ් මේලියේ විසින් පැරීසියට නුදුරු මොනිට්‍රියල් පෙදෙසේ ගොඩ නඟන ලද වීදුරු වලින් සම්පූර්ණයෙන් ආවරණිත චිත්‍රාගාරය මුල් යුගයේ ලොව පැවැති අංග සම්පූර්ණ චිත්‍රාගාරය විය. සිනමාවේ මුල්ම දෘශ්‍ය ප්‍රයෝග රාශියකට මුල පිරුණේ එතුළය. මේලියේ විසින් නිර්මාණය කරන ලද ඉතිහාසයේ ඉහළින් කියැවෙන බපඪන බධ බඩඥ ථධධද, බඩඥ ජධදඳභඥඵබ ධට බඩඥ නධතඥ වැනි චිත්‍රපට බිහිවූයේ එම චිත්‍රාගාරයේය. ෆර්ඩිනැන්ඩෝ ඩි සෙකා විසින් ආරම්භ කරන ලද ගෝමෝන් චිත්‍රපට සමාගමේ චිත්‍රාගාරය ද මේලියේ ගේ මෙන්ම දැවැන්ත වීදුරු චිත්‍රාගාරයක් විය. 1912 වසරේ ගොඩ නැඟුණු ඔහුගේ නවීකරණය වූ චිත්‍රාගාරය ද ඇතුළු කාර්යාල සංකීර්ණය නිෂ්පාදන, රසායනාගාරයකින් ද සමන්විත විය. මේ වන විට යුරෝපයේ බොහෝ දෙනෙක් සිනමාව ගැන උනන්දුවීම අරඹා තිබුණහ. එමෙන්ම චිත්‍රපට නිෂ්පාදනයට එක් වන්නට ද වැර දැරූහ. ප්‍රංශයේ ම චාල්ස් පැතේ ව්‍යාපාර ලෝකයට පිවිසෙනුයේ ගී තැටි අලෙවිකරුවකු හැටියටය. සිනමාවේ ව්‍යාප්තිය අවබෝධ කර ගන්නා ඔහු 1908 වසරේ දී පැතේ ෆෙරර් සමාගම ගොඩ නැඟුවේ චිත්‍රපට නිෂ්පාදනය, බෙදාහැරීම, ප්‍රදර්ශනය යන සියලු කාරණා ආවරණ වන පරිද්දෙනි. ඔහු ඉක්මනින් ම ප්‍රමිතියක් සහිත ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩනැඟුවේය. පැතේ ඉක්මනින් අමෙරිකානු සිනමා වෙළෙඳ පොළ ට ද අවතීර්ණය වූයේය. පැතේ චිත්‍රපට කර තබා ගත් සංචාරක ප්‍රදර්ශකයෝ ලොව පුරා සංචාරය කළහ. ඔවුහු ප්‍රංශ ජාතිකයන් පමණක් නොවිය. ඒ අතර අසල්වැසි ජර්මනිය,බෙල්ජියම, පෝලන්තය වැසියෝ ද වූහ.මේ ඇතැම්හු ලංකාවට ද පැමිණියහ. පැතේ සමාගම මගින් වෘත්තාන්ත චිත්‍රපටවලට අමතරව ප්‍රවෘත්ති චිත්‍රපට ද නිෂ්පාදනය කළේය. ඉන්දියානු පැතේ ඒජනත්වරයා වූයේ මදාන් තියටර්ස්ය. එමෙන්ම පැතේ වාර්තා චිත්‍රපට සදහා කෙතරම් ඉල්ලුමක් තිබේදැයි කිව හැක්කේ මෙරට පවා සියලු සිනමා ශාලාවල පැතේ ප්‍රවෘත්ති චිත්‍රපට ප්‍රදර්ශනය වූ අන්දම සැලකීමෙනි. සෑම වෘත්තාන්ත චිත්‍රපටයකම දැන්වීම පහතින් පැතේ ප්‍රවෘත්ති චිත්‍රපටයක් ද තිර ගත වන බව සඳහන් විය.

වර්තමානයේ පවා ලොව පුරා සිනමා ප්‍රදර්ශනය සම්බන්ධව පවතින ඒකාධිකාර ව්‍යාපාරික ප්‍රතිපත්තිය සකසන ලද්දේ අමෙරිකානු ව්‍යාපාරිකයන් නොව ප්‍රංශයේ චාල්ස් පැතේ විසිනි. පැතේ විසින් හඳුන්වාදෙන ලද ව්‍යපාරික ප්‍රතිපත්තිය අමෙරිකාව විසින් වැඩි දියුණු කරන ලදී . ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ද සිනමා ප්‍රදර්ශනය වනුයේ එකී ව්‍යාපාරික ප්‍රතිපත්තියේ කරුණු අනුවය. ලොව මුල්ම සිනමා තරුව ලෙස සලකනුයේ ද ප්‍රංශ ජාතික මැක්ස් ලින්ඩර්ය. චාලි චැප්ලින් සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවනුයේ ද ලින්ඩර්ටය.

ප්‍රංශයේ ගොඩ නැගෙමින් තිබුණු සිනමා ඒකාධිකාරය බිඳ වැටෙනුයේ පළමු ලෝක මහා සංග්‍රාමය සමඟය. යුද්ධය සමග සමස්ත යුරෝපය පුරා බලපෑ ආනයන නීති, මිනිස් ශ්‍රම දායකත්වය පිළිබඳ ගැටළු සියල්ලට ප්‍රංශ සිනමාවට මුහුණ දෙන්නට සිදුවිය. ප්‍රංශයෙන් ගිලිහුණු හිස්තැන පුරවා ලන ලද්දේ අමෙරිකාවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.