සිනමාව බෝ කළ යුදෙව්වෝ

අගෝස්තු 29, 2019

ප්‍රංශය විසින් ආරම්භ කරන ලද සිනමා ව්‍යාපාරය අනුක්‍රමයෙන් අමෙරිකාව මඟින් ග්‍රහණය කර ගන්නා ලද්දේ අහම්බයක් හැටියට ම නොවේ. ඔවුහු විසි වැනි සියවසේ මුල් දශකය වනතුරුම කළේ ජනප්‍රිය නාට්‍ය දර්ශණ රූප ගත කිරීමය. සිනමාවට කතන්දර කිව හැකි බව මුලින්ම පෙන්වා දුන්නෝද අමෙරිකානුවෝය. 1903 වසරේ දී එඩ්වින් එස්.පෝටර් විසින් නිර්මාණය කරන ලද ද ග්‍රේට් ට්‍රේන් රොබරි චිත්‍රපටය එහි මූලාරම්භය විය.

අමෙරිකානු සිනමා ප්‍රදර්ශනය ව්‍යාපාරික මට්ටමින් ආරම්භ වනුයේ 1902 වසරේ පමණය. ඒ වනතෙක් තාවකාලිකව අටවා ගත් තැන් වෙනුවට තෝමස් ටැලී විසින් ලොස් ඇන්ජලීස් නගරයේ සවුත් මූන් මාවතේ අරඹන ලද සිනමා ශාලාව ලොව මුලින්ම සිනමාව වෙනුවෙන්ම ඉදිවුණ ශාලාව ලෙස සැලකේ. ඉලෙක්ට්‍රික් තියටර් නම් මේ ශාලාවේ ශත දහයකින් පැයක උපරිම ආස්වාදය ගෙන ඒමේ පොරොන්දුවක් ශාලාවේ දැන්වීමේ විය. අමෙරිකානු වැඩ කරන පන්තිය තවත් සිනමාවට ඇබ්බැහි කරන ලද්දේ 1905 වසරේ ආරම්භ වූ නිකලෝඩියන් සිනමා ශාලා සමූහයයි. අමෙරිකානු ඩොලරයේ ශත පහ නිකල් එකක් ලෙස හැදින්වූ අතර මෙම ශාලාවන්හිගේ අය කරන ලද්දේ එම මුදලයි. තෙවසරක් ඇතුළත එනම් 1908 වසර වන විට නිකලෝඩියන් සම්ප්‍රදායේ සිනමා ශාලා 9000කට වැඩි සංඛ්‍යාවක් අමෙරිකාව පුරා පැතිරිණ. අඩු වියදමින් වැඩි විනෝදයක් සැපයීමත් සමඟ බොහෝ දෙනා සිනමාවට ඇබ්බැහි වන්නට පටන් ගත්හ. මේ සමඟ යමක් කමක් ඇත්තෝ වැඩි ආදායමක් ලබා ගැනීමේ අරමුණින් චිත්‍රපට නාමයෙන් මොකක් හෝ අටවා ප්‍රදර්ශනය කිරීමට ද පෙලඹුණහ. අඩියක දිග ශත දහයක් වූ චිත්‍රපට මිලයට ගත් ප්‍රදර්ශකයෝ ඒවා සිය ශාලාවල තිර ගත කළහ. එහෙත් සිනමා ශාලාවල ප්‍රදර්ශනය වන ඒකාකාරී චිත්‍රපට දිගින් දිගටම නැරඹීම වෙනස් විය යුතුව තිබිණ. ඒ සඳහා එකම ක්‍රමවේදය චිත්‍රපට හුවමාරුවයි. 1902 වසරේ දී හර්බට් සහ හැරී මයිල්ස් සොහොයුරන් විසින් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ දී ආරම්භ කරන ලද සිනමා හුවමාරු වැඩපිළිවෙළ ද ව්‍යාපාරයේ පිබිදීමට හේතු විය.

එහෙත් අමරිකානු සිනමාව ප්‍රංශ සිනමාව අබිබවා දිග් විජය කරන්නට පටන්ගත්තේ එයට වසර කිහිපයකට පෙර අලුත් අනාගතයක් පතමින් තඹ දොයිතුවක් හෝ අතේ නැතිව එරටට සරණාගතයන් ලෙස පැමිණි යුදෙව් ජාතිකයන් කිහිප දෙනෙකුගේ ධෛර්යට පින්සිදුවන්නටය. පැරමවුන්ට් සමාගම ගොඩ නැඟූ ඇඩොල්ෆ් සූකර්, යුනිවර්සල් සමාගම ගොඩ නැඟූ කාල් ලයෙම්ලේ, වෝනර් බ්‍රදර්ස් ගොඩ නැඟූ හැරී, ඇල්බට්, සෑම් සහ ජැක් යන වොර්නර් සහෝදරවරු ට්වෙන්ට්යත් සෙන්චරි ෆොක්ස්ට මුල පිරූ විලියම් ෆොක්ස්, මේ අතර පුරෝගාමිහු වෙති.

මේ අතරින් සුකර් හංගේරියාවේ සිට අමෙරිකාවට ගොඩ බසිනුයේ අසරණයකු හැටියටය. ඔහු සන්තකයේ තිබුණේ ඩොලර් 40 කි. ඒ වනවිට වයස අවුරුදු 16කි. 1976 වසරේදී 103 වසරක් ආයු වලඳා ඔහු මිය යනුයේ සිනමාව වඩා ජනතා ප්‍රසාදය දිනා ගැනීමේ මෙහෙයුමේ යෝධයකු හැටියටය.

සුළු සුළු රැකියා කරමින් ජීවිතය ආරම්භ කළ සුකර් මුලින් අත ගසනුයේ ඇඟලුම් ව්‍යාපාරයටය. ඒ වන විට අමෙරිකානු සිනමාවේ ආධිපත්‍යය දරා සිටියේ විලියම් ඩික්සන් විසින් 1895 වසරේ ආරම්භ කරන ලද බයෝග්‍රාෆ් සමාගමත් 1897 වසරේදී ජේ.ස්ටුවර්ට් බ්ලැක්ස්ටන් විසින් ආරම්භ කරන ලද විටාග්‍රාෆ් සමාගමත්ය. නිව්යෝක් නගරයේ චිත්‍රපට ප්‍රදර්ශකයන් වූ මයිකල්.එච්.මාර්ක් සහ මෝ මාර්ක් දෙසොහොයුරන්ගේ එඩිසෝනියා සිනමාහල් වැඩි දියුණු කිරීමට ණය මුදලක් ලබා දෙන සුකර් පසුව එහි හවුල්කරුවකු විය. මාර්ක් දෙසොහායුරෝ නිව්යෝක් නගරයේ පුරෝගාමී ප්‍රදර්ශක‍යෝ වූහ. පසුව සූකර් තවත් යුදෙව්වකු වූ මාක්ස් ලොයෙව් හා හවුල්ව 1912 වසරේ දී ෆේමස් ප්ලෙයර්ස් සමාගම ආරම්භ කළේය. ඔහු අමෙරිකානු චිත්‍රපට සමාගම් හා බද්ධ නොවී සිය ආයෝජනය කරන ලද්දේ ප්‍රංශය හරහාය. ඒ ප්‍රංශයේ ෆිල්ම් ඩි.ආට් සමාගමේ නිෂ්පාදනයක් වූ ද ලවර්ස් ඔෆ් ක්වීන් එලිසබෙත් චිත්‍රපටය නිපදවීම හා බෙදාහැරීම සඳහා දායක වෙමිනි. චිත්‍රපටයටට පාදක වූයේ පළමුවන එලිසබෙත් රැජන සහ එසෙක්ස් හි ආදිපාදවරයා අතර තිබුණේයැයි කියන ආදර සම්බන්ධයයි . එම පුවත ප්‍රංශයේ ජනප්‍රිය වේදිකා නාට්‍යකට ද පසුබිම් විය. එයින් පසු සුකර් ඒ වන විටත් ජනප්‍රිය බ්‍රෝඩ්වේ නළුවන් වූ ජේම්ස් හැකට් යොදා ගනිමින් ද ප්‍රිසනර් ඔෆ් සෙන්ඩා සහ ජේම්ස් ඕනීල් යොදා ගනිම්න් ද කවුන්ට් ඔෆ් මොන්ටො ක්‍රිස්ටෝ නිෂ්පාදනය කළේය. ෆේමස් ප්ලෙයර්ස් නව හවුල්කරුවන් සමග ඉතා ඉක්මනින් පැරමවුන්ට් පික්චර්ස් නම් විය.

හැරී, ඇල්බට්, සෑම් සහ ජැක් නම් යුදෙව් ජාතික වෝනර් සහෝදරවරු 1903 වසරේ දී ආසන 99 කින් යුත් සිනමාහලක් පිහිටුවා ගනිමින් චිත්‍රපට ප්‍රදර්ශනයට එක්වූයේ පිලඩෙල්පියාවේදීය. මේ අතරින් පෝලන්තයේ උපත ලද්දේ වැඩිමහල් හැරී පමණකි. සෙස්සන් අමෙරිකාවේ දී උපත ලද්දේ අනාථයන් ලෙස මුළු පවුලම එහි පදිංචියට පැමිණි පසුවය. ඔවුන්ගේ පියා සංචාරක සිනමා ව්‍යපාරිකයකු ලෙස සිනමාවට පිවිසුනේකි. ඔවුහු සිය චිත්‍රපට සමාගම වෝනර් බ්‍රදර්ස් නමින් නම් කරනුයේ 1923 වසරේ වුව සිනමා තාක්ෂණ දියුණුව උදෙසා ඒ වනවිට මහත් මෙහෙයක් ඉටු කරමින් සිටියහ. පසුකාලීනව කතානාද සිනමාව බිහි කිරීමේ ගෞරවය හිමිවනුයේ ද ඔවුන්ටය.

ජර්මනියේ මධ්‍යම පංතික යුදෙව් පවුලක උපත ලැබූ කාර්ල් ලයෙම්ලේ ද අමරිකාවට ගොඩ බටුයේ අනාගතය ගැන සලකාගෙනය. ඔහු චිත්‍රපට ව්‍යාපාරයට අත ගසනුයේ 1906 වසරේ දී චිකාගෝ නගරය කේන්ද්‍ර කොට ගෙනය. ඒ වනවිටත් සිනමාවේ අයිතිය සම්බන්ධ පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන බලපෑම් කරමින් සිටි තෝමස් අල්වා එඩිසන්ට එරෙහිව අරගල කරන ලද්දේ ඔහුය. ලයෙම්ලේ චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණය වනුයේ 1909 වසරේ දී ඉන්ඩිපෙන්ඩන්ට් මෝෂන් පික්චර් කම්පනි ආරම්භ කරමිනි. ඒ වනවිට බොහෝ දෙනෙකු හුදු ලාභයම පමණක් පතමින් ඉතා අවර ගණයේ චිත්‍රපට අඩු වියදමකින් වෙළෙඳ පොළට එක් කරමින් සිටි සමයයි. ලයෙම්ලි එයට ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් සිනමාව ව්‍යපාරික පදනමකට යොමු කළේය. නළු නිළියන් ලෙස පෙනී සිටියවුන්ට ගෙවන ලද්දේ ද සුළු මුදලකි. චිත්‍රපට රංගනය යනු ඉතා කටුක දුෂ්කර කටයුත්තක් විය. සතියකට අවම වශයෙන් එක් චිත්‍රපටයක් හෝ නිම කිරීම නිෂ්පාදකයන්ගේ අවශ්‍යතාව විය. මේ තත්ත්වය සිනමාවේ අනාගතයට අහිතකර වන බව සූර දුරදකින්නකු වූ ලයෙම්ලේ වටහා ගත්තේය. නළු නිළියන් ස්වකීය සැබෑ නමින් හඳුන්වාදීම පවා නිෂ්පාදකවරු ප්‍රතික්ෂප කළහ. ඔවුන් වෙනුවෙන් අන්වර්ථ නාමයන් යොදා ගැනිණ. ෆ්ලෝරන්ස් ලෝරන්ස් නැතහොත් බයෝග්‍රාෆ් සමාගමේ බයෝග්‍රාෆ් ගර්ල් සමාගමෙන් එළියට විසිවුණේ ඒ වකවානුවේය. ඇය වහා ඩැහැ ගැනීමට ලයෙම්ලේ සමත් විය. ඒ සමග ඇය රිය අනතුරකින් මිය ගියායැයි ප්‍රබන්ධාත්මක පුවතක් නිර්මාණය කළ ලයෙම්ලේ චිත්‍රපට ප්‍රචාරයේ දී එය ප්‍රයෝජනයට ගත්තේය. ලයෙම්ලේ සිනමා තාරකා නිර්මාණය කළේය. ඔවුන් අඳීන පලඳීන ආකාරය කතා බහ කරන දෑ ගැන රසිකයන් තුළ ඉල්ලුමක් ඇති කළේය. ඒ වන විට බයෝග්‍රාෆ් චිත්‍රපට රාශියකට දායක වුව ද ෆ්ලෝරන්ස් ලයෙම්ලේ සමග කළ මුල්ම චිත්‍රපටයෙන් පසු ඇයගෙන් සිහිවටනයක් ලබා ගැනීමට රසිකයෝ පොර කෑහ. ලයෙම්ලේ සිය ඉන්ඩිපෙන්ඩන්ට් මෝෂන් පික්චර්ස් සමාගම වඩා පුළුල් කරමින් ලොව සිනමාව පාලනය කරන අදිසි හස්තයන් වූ හොලිවුඩ් ප්‍රධාන චිත්‍රාගාරවලින් එකක් වූ යුනිවර්සල් පික්චර්ස් ගොඩ නැඟුවේය. ඔහු විසින් ගොඩ නංවන ලද චිත්‍රාගාරය සැබෑ සිහින ෆැක්ටරියක් විය. ඒ 1912 වසරේ අප්‍රේල් මස තිස් වැනි දිනදීය. ලොව පුරා සිය සිනමා ව්‍යාපාරය ව්‍යාප්ත කරන ලයෙම්ලේ 1918 වසරේ දී බොම්බායේ දී යුනිවර්සල් පික්චර්ස් කාර්යාලය විවෘත කරන ලද්දේ ඉන්දියාවේ ආරම්භ කරන ලද මුල්ම හොලිවුඩ් සමාගම බවට වාර්තාවක් තබමිනි.

ෆ්ලෝරන්ස් නික්මයාමෙන් පසු බයෝග්‍රාෆ් සමාගමට පිවිසි මේරි පික්ෆෝඩ් එයින් ගලවා ගැනීමට මේ අතර ඇඩොල්ෆ් සුකර් සමත්වූයේ ලයෙම්ලේ අනුව යමිනි. ඇයට සතියකට ඩොලර් දස දහසක් ගෙවන්නට ඔහු තීරණය කළේය. සූකර් තවත් එවැනිම දැවැන්ත සමාගමක් වූ පැරමවුන්ට් පික්චර්ස් සඳහා මුල් පියවර තැබුවේ එහෙමය.

ජර්මානු යුදෙව්වකු වන විලියම් ෆොක්ස් ද සිනමාවට පිවිසෙනුයේ චිත්‍රපට බෙදාහරින්නෙකු වශයෙනි. ඔහු ද එඩිසන්ගේ ආධිපත්‍යයට එරෙහිව දැඩි සටනක් කළේය. ඔහු පසුකලෙක ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් ගොඩ නැඟූ ෆොක්ස් ෆිල්ම් කෝපරේෂන් හි නිර්මාතෘවරයාය. වේදිකා නිළියක වූ තියෝඩෝසියා ඩි ගුඩ්මන් නම් යුදෙව් ජාතික තරුණිය ඔහු සිනමාවට ගෙනාවේ තෙඩා බාරා යන නමින් හඳුන්වා දෙමිනි. තෙඩා ෆොක්ස් සමාගමට ඩොලර් මිලියන ගණනක ආදායමක් උපයා දුන්නාය. එපමණක් නොව සිනමාවේ සුරූපි සැතිරියට වෑම්ප් යන නම යොදන්නට පටන් ගත්තේ ඇය සමගය. මේ වදන වැම්පයර් යන ඉංග්‍රිසි වචනයෙන් බිඳ ගත්තකි.

කථානාද සිනමාව සමඟ වෙනස් වුව ද විසි වැනි සියවසේ දෙවැනි දශකයේ මෙරට දී සිනමා ලෝලින් බිහි කරන ලද්දේ මේ යුදෙව්වන්ගේ නුවණට පින්සිදුවන්නටය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.