මාතලේ ෆුල් සීරියල්

සැප්තැම්බර් 12, 2019

 

හොලිවුඩ් චිත්‍රාගාර පාලනය ක්‍රමිකව වර්ධනය පටන් ගනුයේ බෝයි වොන්ඩර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා දෙනු ලැබූ අර්වින් තැල්බර්ග් ගේ ව්‍යාපාරික ඥානයට පින්සිදුවන්නටය. විසි හැවිරිදි වියේ දී ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් සහිතව යුනිවර්සල් චිත්‍රාගාරයට පිවිසෙන තැල්බර්ග් ඉතා ඉක්මනින් එහි අධිපති කාල් ලයෙම්ලේගේ ලේකම්වරයා විය.

 

ඔහුගේ සැලසුම් දුටු ලයෙම්ලේ යුදෙව් සම්භවයක් සහිත මේ තරුණයා තම චිත්‍රාගාරයේ නිෂ්පාදන අංශය බාරව පත් කරන්නට කටයුතු කළේය. ඒ අවදියේ ලයෙම්ලේ ගේ දියණිය රොසබෙල් හා ඔහු අතර විවාහයක් වනු ඇතැයි හොලිවුඩ් පුරවරයම විශ්වාස කළේය. සිනමාවේ ව්‍යාපාරික අංශය ගැන විශ්වාස කළ ඔහු ආත්ම ප්‍රකාශනය යන්න බැහැර කළේය. ප්‍රංශය හා ජර්මනිය සිනමා ප්‍රකාශනයේ දී එය සිනමාකරුවාගේ මාධ්‍යය ලෙස විශ්වාස කරද්දී තැල්බර්ග් එය විශ්වාස කළේ නැත .ඒ වෙනුවට ලොව පුරා සිටි විශිෂ්ට සිනමාකරුවන් හොලිවුඩ් වෙත ගෙන්වා එයින් ප්‍රයෝජන ගැනීම වඩා ඵලදායක බැව් ඔහු දැන සිටියේය. එහි දී සිනමාකරුවාගේ අනන්‍යතාවට වඩා නැඟී සිටියේ චිත්‍රාගාරයේ බලසම්පන්න නිෂ්පාදක වීම වෙනම කතාවක් වුව එය කර්මාන්තය වඩා ආරක්ෂාකාරි සහ ආකර්ෂණීය මගකට යොමුවීමට හේතුවිය. චිත්‍රපටයක වැය ශීර්ෂය පිළිබඳ ඔහුට හොඳ ඉවක් තිබිණ. එය අබිබවා යන විට කවර තරමේ සිනමාකරුවෙකුගේ කෘතියකට වුව ඔහු අත දැම්මේය.

යුනිවර්සල් සමාගම සිනමාවේදී එරික් ෆොන් ස්ට්‍රහයිම් සමග නිර්මාණය කළ ෆූලිෂ් වයිව්ස් චිත්‍රපටය නිපදවද්දී තැල්බර්ග් සෘජුවම සිනමාකරු සමග හැප්පුණේය. චිත්‍රපටයේ මුල් වැය ශීර්ෂය ඩොලර් දෙලක්ෂ පනස් දහසක් වූ අතර එය වැඩ නිම වන විට හත් ලක්ෂ පනස් දහස ඉක්මවා තිබිණ. ප්‍රචාරක කටයුතු ද එක් කළ විට ඩොලර් දස ලක්ෂය ඉක්මවනු ඇතැයි තැල්බර්ග් ගණන් හැදුවේය. ස්ට්‍රහයිම් විසින් සංස්කරණය කළ චිත්‍රපටය මිනිත්තු 384 ක්විය. චිත්‍රාගාර බලතල අතට ගත් තැල්බර්ග් එය මිනිත්තු 117කට සංස්කරණය කළේය. ලොව වැඩිම මිළක් වැය කළ චිත්‍රපටය ලෙස ඒ වන විටත් නරක නාමයක් චිත්‍රපටයට හිමි ව තිබිණ. මේ අරගලයේ දී තැල්බර්ග් ජයග්‍රහණය කළ ද ඔහු ට යුනිවර්සල් හැර දමා යන්නට ද සිත් ව තිබිණ. ඔහුගේ වටිනාකම හඳුනා ගත් ලුවී බී.මේයර්, තැල්බර්ග්ට ආරාධනා කළේ එම්.ජී.එම්. චිත්‍රාගාරයේ ප්‍රධානියා වන හැටියටය. ඔහු නොපැකිළව තනතුර බාර ගත්තේය. එම්.ජී.එම්.චිත්‍රාගාරයේ දී ද ස්ට්‍රහයිම් මුණ ගැසෙන්නට තැල්බර්ග්ට සිදුවූයේ ඔහු ඒ වන විට ගී‍්‍රිඩ් නම් චිත්‍රපටය නිර්මාණය කරමින් සිටි හෙයින්ය. අධික වියදම් කාරයෙක් ලෙස නම් දරා සිටි ස්ට්‍රහයිම් නිර්මාණය කළ ගී‍්‍රිඩ් ධාවන කාලය මිනිත්තු 462 ක්විය. තැල්බර්ග් එය මිනිත්තු 140 කට සංස්කරණය කළේය. ඒ වනවිට බෙන්හර් ( 1927) චිත්‍රපටය නිපදවීම අරඹා සිටි එම්.ජී.එම්.සමාගම අමාරුවේ වැටී තිබුණේ ඉතාලියේ එය රූප ගත කරමින් සිටියදීය. ඒ වැය ශීර්ෂය ඉහළ යෑමත් සමගය. වහා නිෂ්පාදනයට අත ගැසූ තැල්බර්ග් අධික වියදමක් වැය කරමින් ඉතාලියේ රූප ගත කරමින් තිබුණු තුරඟ තරග ජවනිකා පෙළ රූප ගැන්වීම කැලිෆෝනියාවට ගෙනාවේය. ඔහුගේ ක්‍රමවේදය සිනමාකරුවාට කෙසේවෙතත් චිත්‍රාගාරයට ද අවසන් නිර්මාණයේ දී රසිකයන්ට ද එක සේ යහපත් විය.

තැල්බර්ග් විවාහ වූයේ එම්.ජී.එම් සමාගමේ මුල්ම තාරකාව වූ නෝමා ෂෙයරේ සමගය. තැල්බර්ග් දැඩි වෙහෙසකාරීව වැඩ කෙරුවෙකි. ඔහු දිනකට නිදාගත්තේ පැය පහකි. එමෙන්ම ඔහු උත්පත්තියෙන්ම හෘද රෝගියකුවිය. නෝමා හා විවාහයට පෙර ඔහු මේයර්ගේ දියණිය සමග ද හාද කමක් ඇතැයි පළ වුවත් යොවුන් වියේදීම ඇය වැන්දඹුවක් වනු දකින්නට මේයර් කැමැතිවූයේ නැත. ඒ බෙන්හර් රූප ගත කරද්දී ද තැල්බර්ග් මරණාසන්න වූ හෙයින්ය. බෙන්හර් අවසන් සංස්කරණය ඔහු දැක ගත්තේ ලෙඩ ඇඳේ සිටියදීමය.

ඔහු ලොව පුරා සිනමාවේ ව්‍යාපාරික ක්‍රමවේදය සැකසුවේය. එහි ඉඩ තිබුණේ කලා ප්‍රකාශනයක් හැටියට වඩා නිර්මාණශිලි ව්‍යපාරයටය. එය ලොව පුරා සිනමා කර්මාන්තයේ ව්‍යාප්තියට හේතුවිය. පසුකලෙක මෙරට පවා දියුණු සිනමා ව්‍යාපාරයක් පැවැතියේ ඉන්දියානු අනුකරණ ව්‍යාපාර ක්‍රමවේදය නිසා නොවේ. එය ඉන්දියාව ඉගෙන ගත්තේ හොලිවුඩ් නගරයෙනි. හොලිවුඩ් එය ඉගෙන ගත්තේ තැල්බර්ග් ගෙනි. සියවසක් පැවැති කර්මාන්තයකට එලෙස ජීවත්වීමේ ක්‍රමවේදය කියා දී තැල්බර්ග් තිස් හත් වැනි වියේ දී සමුගත්තේය.

මේ ක්‍රමවේදය සමග නළු නිළියන් ඇතුළු ශිල්පීන්ගේ ආදායම ද ඉහළ ගියේය. බයොග්‍රාෆ් සමාගමේ දී මේරි පික්ෆෝඩ්ගේ ආදායම ඩොලර් පහක් විය. 1919 වන විට ඇය චිත්‍රපටයකින් ඩොලර් තුන් ලක්ෂ පනස් දහසක ආදායමක් ලබා ගත්තාය.

ජර්මානු සිනමාවේ මහා සිනමාකරුවන් සේ ගැනුණ අර්නස්ට් ලුබිච්ස් මෙන්ම එෆ්.ඩබිලිව් මූනේ ද හොලිවුඩ් සිනමාවට පැමිණියේ චිත්‍රගාරවලින් ලද ආරාධනය අනුවය. සිනමාව යනු එක රටකට අයත් දෙයක් නොව ලෝකයේම රසිකයන් පිනවන්නක් බවත් එයට විශාල වෙළෙඳ පොළක් ඇති බවත් හොලිවුඩ් සිනමාව වටහා ගෙන සිටියේය. එබැවින් එය ලොව කොතැනින් හෝ සම්පත් ගෙන පෝෂණය කළ යුතු වග ඔවුහු දැන සිටියහ. මූනේ විසින් 1927 වසරේ දි ෆොක්ස් කෝපරේෂන් වෙනුවෙන් තැනු සන්රයිස් චිත්‍රපටය නිහඬ සිනමාවේ අවසාන භාගයේ තැනුණ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සලකනු ලබයි.

එමෙන්ම චිත්‍රාගාර සමය බලවත්වන විට ස්වාධීන නිෂ්පාදකවරුන්ට යන එන මං නැති විය. චිත්‍රාගාරවල අධික වියදම් දැරූ ප්‍රචාරය සමග රැවටුණු ඇතැම් ස්වාධීන නිෂ්පාදකවරුන්ගේ චිත්‍රපට කෙළවර වුයේ ඔවුන් සම්පූර්ණ ණයකරුවන් බවට පත් කරමිනි. මුල් යුගයේ බොහෝ රටවල චිත්‍රපට මෙරටට ගලා ආව ද 1925 න් පසු මෙරටට ගලා එනුයේ හොලිවුඩ් ප්‍රධාන චිත්‍රාගාර මඟින් නිෂ්පාදිත චිත්‍රපට පමණකි. ඒ බැව් එකල මෙරට පුවත්පත් සිනමා දැන්වීම් අපට හෙළිදරව් කර සිටියි. එයින් සිදූවූ වැදගත්ම දේ සිනමා රසිකයන් බෝවීමය. එය කෙතරම් දයත් මුල්වරට ප්‍රාදේශිය මට්ටමින් ඉදිවුණු සිනමාහලක් විවෘත කිරීම උදෙසා පුවත්පත් දැන්වීමක් ද පළවෙයි. ඒ මාතලේ ඉදිවුණ ස්ටාර් සිනමාහල වෙනුවෙනි. ඒ 1927 වසරේ මැයි මස 14 වැනි දිනය. එහි ආරම්භක චිත්‍රපටය වනුයේ ඩූ ඕර් ඩයි නම් සීරියල් චිත්‍රපටයේ තෙවැනි කොටසයි.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.