ෆුල් සීරියල් කතන්දරේ

සැප්තැම්බර් 19, 2019
මාතලේ පෙන්වූ ඩූ ඕර් ඩයි පෝස්ටරයක්

 

1927 වසරේ මැයි මස 14 වැනි දින මාතලේ ආරම්භ වුණ මාතලේ ස්ටාර් සිනමා හලේ හිමිකරුවන් කවුරුන්දැයි සොයාගැනීම තවමත් දුෂ්කර ක්‍රියාවක්ව පවතී. ප්‍රාදේශිය මට්ටමෙන් ඉදිවුණ සිනමාහලක් විවෘත කිරීමේ දී පුවත්පතක මුල්ම දැන්වීම පළ කරන ලද්දේ ස්ටාර් සිනමාහල් හිමියන්ය. මාතලේ උරුමක්කාරයන් පිළිබඳ පුළුල් ගවේෂණයක යෙදෙන කමල් පී.අලහකෝන් හිතවතා පසුගිය දින කිහිපයේම ඒ ගැන සොයා බැලුවේය. බැරිම තැන මාතලේ නගර සභාවේ පැරණි වාර්තා අතර ද ඒ ගැන සොයා බැලුව ද ඒ පිළිබඳ දන්නා කිසිවකු හෝ එහි නොසිටියේය. 1927 වන විට මාතලේ නමින් පරිපාලන දිස්ත්‍රික්කයක් නොවුණ හෙයින් කමල් අලහකෝන් හිතවතානෝ විසින් මහනුවර ට ගොස් ඒ ගැන සොයා බලන බවට මට වාචික පොරොන්දුවක් දෙන ලදී.

 

 

මාතලේ ස්ටාර් සිනමාහලේ මුල් වරට තිර ගත වූයේ සීරියල් චිත්‍රපට ගණයට අයත් චිත්‍රපටයකි ඒ ඩූ ඕර් ඩයි නම් චිත්‍රපටයයි. ස්ටාර් සිනමාහලේ දැන්වීමට අනුව මුලින්ම තිර ගත වූයේ ඩූ ඕර් ඩයි චිත්‍රපටයේ තුන් වැනි කොටස වන අතර එයට ද ඉන් හයිඩිංග්, ද ට්‍රැප්, සීක්‍රට් කේවන් සහ සාතන්ස් ට්වින් යන පරිච්ඡේද ඇතුළත් ව තිබිණ. ඒ අනුව මාතලේ ප්‍රේක්ෂකයන්ට නරඹන්නට ලැබුණේ කතන්දරයේ මුල අහිමි චිත්‍රපටයකි. ඩූ ඕර් ඩයි යනු 1921 වසරේ තැනුණු කොටස් 18 කින් යුක්ත චිත්‍රපටයකි. එය යුනිවර්සල් ෆිල්ම් මනුෆැක්චරින්ග් කම්පනි එනම් වර්තමාන යුනිවර්සල් පික්චර්ස් විසින් නිපදවන ලද්දකි. එය ජේ.පී.මැක්ගොවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. එහි තුන් වැනි කොටස ලෙස ඇතුළත් ව ඇත්තේ කතාවේ පරිදි 7 සිට 10 දක්වා පරිච්ඡේදයන්ය. සීරියල් චිත්‍රපටයක එක කොටසක් සාමාන්‍යයෙන් විනාඩි 10 ක පමණ කාලයකින් යුක්තය. එනම් චිත්‍රපට රීලයකි. ස්ටාර් සිනමාහලේ තිර ගත කළ ප්‍රවෘත්ති රීල දෙකකි. ඒ අනුව එක් සමස්ත දර්ශනයක කාලය පැයක් යැයි සැලකිය හැකිය. එඩි පෝලෝ ඩූ ඕ ඩයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේය. ඒ බව දැන්වීමේ ද පළ වෙයි. පෝලෝ සීරියල් චිත්‍රපට රැසක ජනප්‍රිය නළුවකුව සිටියේය. මාතලේ ස්ටාර් සිනමාහල සිය චිත්‍රපට වෙනස් කරනුයේ සෙනසුරාදා සහ බදාදා බව ද තවත් දැන්වීමක සඳහන් විය. ඒ දවස්වල කොළඹ නගරයේ පවා අලුත් චිත්‍රපට තිරගත වූයේ සිකුරාදා නොව සෙනසුරාදා බව පුවත්පත් ඇසුරේදී පෙනෙන කරුණකි.

සීරියල් චිත්‍රපට මෙරට ජන විඥානයට කෙතරම් බලපෑමක් කළා ද යත් අද පවා නිතර කල කෝලාහල ඇති වන විට ෆුල් සීරියල් යන වචනය ව්‍යවහාරයට එක් ව තිබේ. සිනමාව හරහා මෙරට ජන වහරට එක් වූ වචනයක් ලෙස ෆුල් සීරියල් හැඳීන්විය හැකිය. සීරියල් චිත්‍රපටයක කතාව තෝරා ගන්නට නම් එය මුල සිට නැරඹිය යුතුවිය. එහෙත් බොහෝ සීරියල් චිත්‍රපට පිරී තිබුණේ ප්‍රබල කතාන්දරයකට වඩා නිතර ඇති වන ගැටුම් හා සටන් පිරී යන පරිද්දෙනි.

මාතලේ පමණක් නොව කොළඹ නගරයේ පවා සීරියල් චිත්‍රපට අතිශය ජනප්‍රිය විය. 1920 වැනි වසර තුළ චිත්‍රපට පුවත්පත් දැන්වීම් නිරික්ෂණය කරද්දී බොහෝ විට ඔලිම්පියා සහ පැලස් සිනමාහල්වල නිතර ප්‍රදර්ශනය වූයේ සීරියල් චිත්‍රපටයන්ය. නැතහොත් කතා මාලා චිත්‍රපටයන්ය. මේ කතාමාලා චිත්‍රපටවල එක් පරිච්ඡේදයක් නිමා වනුයේ ඊළග කොටස නැරඹිය යුතු තරම් උද්වේගයක් ඇති වන ආකාරයටය. ඒ සියල්ලට ඉංග්‍රිසි උපසිරැසි ගන්වා තිබිණ. එහෙත් පොදු මහජනතාවට අවශ්‍ය වූයේ උපසිරැසි තේරුම් ගැනීමට නොව ක්‍රියාදාම පමණකි. මේ නිසාම සීරියල් චිත්‍රපට ඉංග්‍රිසි දත් නොදත් කා අතරත් ජනප්‍රිය වීම වැළැක්විය හැකි නොවිණ.

විසි වැනි සියවසේ මුල් භාගයේ සිනමාව අතිශය ජනප්‍රිය අංගයක් ලෙස ජනතාව ඇබ්බැහි වන්නට සීරියල් නැතහොත් මේ මාලා චිත්‍රපට ද එක් හේතුවක් විය. වැඩිමනත් චරිත ගොඩ නැගීමට නොව ක්‍රියාදාම සිද්ධිවලට මුල් තැන දුන් මේ චිත්‍රපට එක් පරිච්ඡේද මාලාවක් සාමාන්‍යයෙන් සිනමාහලක තිර ගත වනුයේ එක් සතියක් පමණකි. එය නිමවනුයේ මුලින් කී පරිදි වඩාත් කුතුහලය පිරි දර්ශනයකිනි. නැතහොත් අනිවාර්යනේ ඊළඟ කොටසේ කවරක් විය හැකි ද යන ගැටලුව ඇති කරන ආකාරයෙනි. බොහෝ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය කාරණය එයයි. ඔවුන්ට අවශ්‍ය තිබුණේ ත්‍රාසජනක සිද්ධි හා වීරයා ජය ගැනීම පමණකි. විසි වැනි සියවසේ මුල් භාගයේ බොහෝ උදෑසන දර්ශනය වෙන්වූයේ සීරියල් චිත්‍රපට සඳහාය. මේ චිත්‍රපට බොහෝ විට ඉලක්ක කොට ගත්තේ ළමයින් හා ගැටවරයන්ය.අපරාධ, වීර චාරිකා, ටාසන් කතා ගොපලු කතා මේ චිත්‍රපටයන් ගේ සුලභ තේමාවන් විය.

ප්‍රංශයේ පැතේ ෆෙරර් සමාගම අමරිකානු නිළි පර්ල් වයිට් යොදා ගෙන කොටස් විස්සකින් යුතුව තැනූ ද පෙරිල්ස් ඔෆ් පෝලින්, කලෙම් ස්ටුඩියෝ ( කලෙම් ස්ටුඩියෝ නැතහොත් කලෙම් කම්පනි -ජෝර්ජ් ක්ලයින් සහ ෆ්‍රෑන්ක් ජේ.මේරියන් විසින් 1907 වසරේ දී ආරම්භ කරන ලද මෙම සමාගම 1917 වසරේ දී විටාග්‍රාෆ් සමාගමට විකුණා දැමිණ. 1925 වසරේ දී විටාග්‍රාෆ් වෝනර් බ්‍රදර්ස් විසින් මිලයට ගැනිණ.) මගින් නිපද වන ලද කොටස් 119 කින් යුත් ද හැසාර්ඩ්ස් ඔෆ් හෙලන් ආරම්භක යුගයේ ජනප්‍රිය සීරියල් චිත්‍රපට වෙයි.

සීරියල් චිත්‍රපට ලොව පුරා අතිශය සාර්ථක වීමත් සමග අමෙරිකාවේ ප්‍රධාන පෙලේ ආරම්භක සමාගම් වූ විටාග්‍රාෆ්, එසනේ ස්ටුඩියෝ ( චැප්ලින් ගේ ආරම්භක චිත්‍රපට තැනුයේ මෙම සමාගමයි. පසුව එය ද වෝනර් බ්‍රදර්ස් විසින් මිලයට ගන්නා ලදී) මෙන්ම යුනිවර්සල්, ෆොක්ස් සහ වෝනර් බ්‍රදර්ස් ද ස්වාධීන සමාගම් වූ මැස්කට් පික්චර්ස් වැනි ආයතන ද ඒ සඳහා අත ගැසූහ. යුරෝපයේ ද මේ සීරියල් චිත්‍රපට නිපදවීම ඇරඹුණ අතර 1915 වසරේ ප්‍රංශයේ ගෝමන් සමාගම මගින් නිපදවන ලද කොටස් 10 කින් සමන්විත ද වැම්පයර් මේ අතරින් අතිශය සාර්ථක චිත්‍රපටයක් ලෙස සැලකෙයි.

චිත්‍රපට වඩා දැවැන්ත ආකර්ෂණීය හා කථානාද සිනමාවට පිවිසුණ කළ පසුව ද තවත් බොහෝ කලක් සීරියල් සිනමාවට මහත් ඉල්ලුමක් පැවැතිණ. පසුකලෙක පිවිසි ටෙලිවිෂනය සෝප් ඔපෙරාවන් නැතහොත් මාලා නාටක පෙන්වන්නට පටන් ගැන්මත් සමඟ සීරියල් සිනමාවේ ස්වර්ණමය යුගය ද නිමා විය. එහෙත් පනහේ දශකයේ පවා කොලොම්බියා පික්චර්ස් සමාගම ද රිපබ්ලික් පික්චර්ස් සමාගම ද සීරියල් චිත්‍රපට නිෂ්පාදනය කළහ.

මෙරට සීරියල් චිත්‍රපට ප්‍රදර්ශනය පිළිබද කදිම විස්තරයක් ඩී.වී.සෙනෙවිරත්නයන් විසින් රචනා කරන ලද චිත්‍රපටි කලාව ග්‍රන්ථයේ සඳහන් වෙයි. එහි පළ කරන අන්දමට “සීරියල් චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා මෙරට වඩාත් ප්‍රසිද්ධ වූයේ මරදානේ පැලස් සිනමාහලයි. චාල්ස් හචිසන්, පර්ල් වයිට්, රූත් රෝලන්ඩ්, ඇඩී පොලෝ. ටොම් මික්ස්, විලියම් ඩැස්මන්ඩ්, හූට් ගිබ්සන් ආදි සටන්කාමී සිනමා නළු නිළියන් රඟ දැක්වූ පරිච්ඡේද දොළහ පහළොහ ආදී ප්‍රමාණයෙන් යුත් සීරියල් කථාන්තර ලෝකයේ හැම රටකම පෙන්වීමට පටන් ගන්නා ලදී. මෙකී චිත්‍රපට අප රට පෙන්වන ලද්දේ කොටස් වශයෙනි. සෙනසුරාදා සිට අඟහරුවාදා දක්වා කථාවේ මුල් පරිච්ඡේද තුන ද බදාදා සිට සිකුරාදා දක්වා ඊළඟ පරිච්ඡේද තුන ද යනාදි වශයෙන් පෙන්වා සති දෙකකින් මුළු කතාවම පෙන්වා නිම කිරීම එකල මෙහි සිටි සිනමා ප්‍රදර්ශකයන්ගේ සිරිත විය.“ සීරියල් චිත්‍රපටයක් එක දර්ශනයක දී පෙන්වා නිම කිරීමට පටන් ගත්තේ 1936 වසරෙන් පසුවයැයි සෙනෙවිරත්න මහතා එහි සඳහන් කර සිටියි. සතියකට රුපියල් දෙසිය පනහක ට ඉන්දියාවෙන් කුලියට ගත් එක් චිත්‍රපටයකින් රුපියල් 40000 ක ආදායමක් ඔලිම්පියා සිනමාහල ලැබූ වග පැරණි සිනමා වාර්තාවක සඳහන් වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.