ජර්මානු ප්‍රකාශනවාදය වැල්ලවත්තේ

සැප්තැම්බර් 26, 2019

මෙරට සිනමා ප්‍රේක්ෂකයන් වසඟ කරවා ගත් සීරියල් චිත්‍රපට ඉතිහාසය සමඟ විසි වැනි සියවසේ තුන් වැනි දශකයේ දී සිනමා කර්මාන්තය සිය ගොළුවත හැරීමට ආසන්න සමයට හැරෙමු. මෙරට සිනමා ඉතිාසය සොයා යෑමේ දී ඇතැම් විදෙස් වාර්තා පිළිබඳ පවා අවධානය යොමු කරන්නට සිදුව ඇත්තේ ඇතැම් විද්වතුන් විසින් ඕනෑකමින් හෝ නොදැනුම්වත්කමින් ඉතිහාසය දෝෂ සහිතව රචනා කළ වග පෙනෙන හෙයින්ය. කොටින්ම මහාවංශයේ නූතන යුගයේ ප්‍රථම භාගය මෙබඳු දෝෂ සහගත රචනයක් වෙයි. ඒ මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය පිළිබඳවය. එහි සඳහන්වන අන්දමට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහල ආරම්භ වන්නේ 1927 වසෙර්ය. එහෙත් එය සාවද්‍ය කරුණක් වනුයේ පුවත්පත් දැන්වීම් අනුවය. එමෙන්ම මහාවංශය කියන පරිදි සී.වැග්නර් ප්ලාසා සිනමාහලට සම්බන්ධ වන්නේ ද නැත. මෙරට සිනමාවේ පුරෝගාමියකු වන වැග්නර් ඒ වන විට මිය ගොසින්ය.

වැල්ලවත්තේ ටිවෝලි සිනමාහල 1927 වසරේ නොවැම්බර් පළමුවැනි දින වසා දමන බවට දැන්වීමක් ඩේලි නිව්ස් පුවත්පතේ පළ කරනු ලබයි. එම දැන්වීමේ සඳහන් වන ආකාරයට සිනමාහල වසා දමන්නේ නවීකරණයවන අලුත් සිනමාහලක් සඳහාය. එම දැන්වීමේ දී අලුත් සිනමාහලට නමක් තැබීම සඳහා ප්‍රේක්ෂකයන් අතර තරගයක් පවත්වනු ලැබීම විශේෂයකි. මෙහිදී ටිවෝලි සිනමාහලේ කළමනාකරණය අලුත් නම් හයක් යෝජනා කරන අතර ප්‍රේක්ෂකයා තෝරා දිය යුත්තේ එයින් එකකි. ජයග්‍රාහකයන්ට අලුත් සිනමාහල ආරම්භයේ රුපියල් පනහක මුදල් තෑග්ගක් ද දෙනු ලැබේ. රුපියල් පනහක් යනු එකල සැලකිය යුතු මුදලකි. ප්ලාසා, ගෙයිටි, මැජස්ටික්, ස්කාලා, රියැල්ටෝ හා කැපිටෝල් මේ යෝජිත නාමයන්ය. මේ නම් හයම ඒ වන විට බොම්බායේ සිනමාහල් සඳහා යොදා ගත් නාමයන්ය. එම නම්වලින් හොලිවුඩ් හා ලන්ඩනයේ ද සිනමා ශාලා තිබිණ. තමා තෝරන නම තරග කළමනාකරු ටිවෝලි සිනමා වැල්ලවත්ත යන ලිපිනයට එවිය යුතුවිය. සිනමාහලේ අලුත් නාමය ලෙස තෝරා ගෙන තිබුණේ ප්ලාසා ය. සමහරවිට මේ තෝරා ගැන්ම කළමනාකාරීත්වයේ පූර්ව තීරණයක් විය හැකිය. කෙසේ වෙතත් ප්‍රෙක්ෂකයන්ගේ කැමැත්ත පරිදි එම නාමය තෝරාගත් බව 1928 පෙබරවාරි 11 වැනි දින අලුත් සිනමාහල විවෘත වන දා දැන්වීමේ සඳහන් විය. එහි ජයග්‍රාහකයා කවුදැයි සොයා ගත නොහැකි වුවත් මෙරට චිත්‍රපට සම්බන්ධව ප්‍රේක්ෂකයන් අතර පැවැත් වූ මුල්ම තරගය වැල්ලවත්තේ අභිනව සිනමාහලට නමක් යෝජනා කිරීම සඳහා පැවැත් වූ තරගයයි. තෝරා නොගැනුණු නම් අතරින් ස්කාලා නමින් හැර අන් සියලු නම්වලින් මෙරට පසුකලෙක සිනමා ශාලා ඉදිවිණ. ප්ලාසා 1982 වසර වන තුරු වැල්ලවත්තේ ගාලු පාරේ ජනප්‍රිය සිනමාහලක්ව පැවතිණ. ඒ වර්තමානයේ සැවෝයි 3ඩී සිනමාහලේ සිට මීටර් කිහිපයක් ගාල්ල දෙසට ගොඩ බිම පැත්තට වන්නටය. 1982 වසරේ එම සිනමාහල වසා දමා එම භූමියේ ප්ලාසා නමින්ම සාප්පු සංකීර්ණයක් ඉදිවිණ. එය මෙරට සිනමාහලක් වසා දමා සාප්පු සංකීර්ණයක් ඉදි කළ මුල්ම අවස්ථාවයි. ඔලිම්පියා, ටිවෝලි සහ ප්ලාසා යන නාමයන් ත්‍රිත්වයෙන්ම එම බිම්කඩෙහි සිනමා ශාලා පැවැත්වීම වැදගත් කරුණකි. අවසාන සමයේ එහි තිරගත වූයේ සිංහල චිත්‍රපට පමණකි. ඒ වන විට පැවැති සිංහල චිත්‍රපට ආදායම අනුක්‍රමයෙන් අඩුවීම නිසා සිනමා ශාලාව වසා දමන බව පැවසිණ. සාමාන්‍ය නීතිය අනුව කඩා දැමූ සිනමාහල් භූමියක අලුත් සිනමාහලක් ඉදි විය යුතුයැයි මතයක් පැවැතිය ද එහි සිනමා ශාලාවක් යළි ඉදිවුණේ නැත.

ප්ලාසා සිනමා ශාලාවේ ආරම්භක චිත්‍රපටය වූයේ ඩොක්ටර් මැබියුස්: ද ගැම්බ්ලර් චිත්‍රපටයයි. එය ලෝක සිනමාවේ වැදගත් චිත්‍රපටයකි. පළමු ලෝක මහා සංග්‍රාමයේ ආතතියෙන් වෙළී ගිය ජර්මනියේ සිනමාව හරහා මිනිස් සිතේ ඇති වන ඇසට නොපෙනෙන අන්ධකාරය රූපයට නැංවීමේ නව රටාවක් ගොඩ නැගිණ. එය හඳුන්වා දෙන ලද්දේ ජර්මානු ප්‍රකාශනවාදය යනුවෙනි. ඩොක්ටර් මැබියුස් :ද ගැම්බ්ලර් එහි පුරෝගාමී චිත්‍රපටයක් වන අතර එය නිර්මාණය කරන ලද ෆ්‍රිට්ස් ලෑන්ග් ජර්මානු ප්‍රකාශනවාදී සිනමාවේ පුරෝගාමියකු ලෙස සලකනු ලැබේ. 1922 වසරේ නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වූයේ කොටස් දෙකකිනි. එහි මුල් චිත්‍රපටය මිනිත්තු 154 කින් ද එහි දෙවැනි කොටස මිනිත්තු 114 කින් ද යුක්ත විය. එලෙස කොටස් දෙකකින් යුක්ත ව තිර ගත කෙරුණේ එහි දීර්ඝ කාලය නිසාය. මේ යුගය වන විට වෘත්තාන්ත චිත්‍රපටයක ධාවන කාලය මිනිත්තු 60 කට නොඅඩු විය යුතුයැයි නිහඬ සම්මුතියක් සිනමාවේ ඇති වී තිබිණ. ප්‍රදර්ශන පහසුව තකා ඒවායේ ධාවන කාලය ද යම් එකඟතාවක් ඇති කර ගත් වග පෙනී යයි. හොලිවුඩ් සිනමාවේ ඇතැම් දීර්ඝ චිත්‍රපට චිත්‍රාගාර පාලකයන් විසින් කපා දමන ලද අන්දම පසුගිය ලිපියක විග්‍රහ කළෙමි. චිත්‍රපටයක ධාවන කාලය පැය තුන ඉක්මවා යන්නට ඉඩ නොලැබුණ වගක් පෙනී යයි. එම අවදියේ ඉන්දියානු චිත්‍රපට පවා එතරම් දිර්ඝ නොවූ වග පෙනී යන්නකි. මරදානේ ඔලිම්පියා සිනමාහලේ තිර ගත කරන ලද ඉන්දියානු නිහඬ චිත්‍රපටයක් වන කොහිනූර් සමාගමේ ශිරින් ෆර්හාඩ් (1925) පවා පැය දෙකකට ආසන්න විය. කතානාද ශිරින් ෆර්හාඩ් පැය තුනක් විය.. පැය තුනක ඉන්දියානු චිත්‍රපට තිරයට ආවේ කතානාද සිනමාව බිහිවීමත් සමගය.

ඩොක්ටර් මැබියුස් චිත්‍රපටය මෙරට වාණිජමය වශයෙන් සාර්ථක නොවුන වග ඩී.වී.සෙනෙවිරත්නයන්ගේ චිත්‍රපටි කලාව ග්‍රන්ථයේ සඳහන් වෙයි. එහෙත් වැල්ලවත්ත ප්ලාසා පාලකයෝ මේ චිත්‍රපටයේ කොටස් දෙකම මෙරට ප්‍රදර්ශනය කරති. මේ වන විට මෙරට චිත්‍රපට ආනයනයේ දී හොලිවුඩ් බලපෑම දැකගත හැකි වුවත් යුරෝපයේ නිපදවුණ චිත්‍රපට ද අතරින් පතර හෝ දැක ගත හැකි වන වග පෙනෙන්නේය.

ලෑන්ග් ගේ ඩොක්ටර් මැබියුස් චිත්‍රපටයට පාදක වනුයේ එනමින්ම නෝබට් යාක් නම් ලක්සම්බර්ග් නවකතාකරු විසින් රචනා කරන ලද ප්‍රබන්ධයකි. යාක් ජර්මානු සිනමාවේ බිහි වූ විශිෂ්ට තිර රචකයකු ලෙස පසුකලෙක පතළ විය. ඔහුගේ තිර කතා 16 ක් සිනමාවට නැගුණ අතර ඔහු ගේ ඇතැම් තිරනාටක සිනමාවට නැඟුණේ ඔහුගේ මරණයෙන් දශක ගණනාවකට පසුවය. ලෑන්ග් විසින් ඩොක්ටර් මැබියුස් චරිතය පාදක කරගෙන චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය කළේය. මුල් චිත්‍රපටය නිහඬ චිත්‍රපටයක් ලෙස තිරයට ගෙනෙන ඔහු දෙවැනි චිත්‍රපටය 1933 වසරේ දී කථානාද චිතපටයක් ලෙස “ද ටෙස්ටමන්ට් ඔෆ් ඩොක්ටර් මැබියුස්“ නමින් නිර්මාණය කරන අතර 1960 වසරේ දී ‘ද තවුසන්ඩ් අයිස් ඔෆ් ඩොක්ටර් මැබියුස් “නමින් ද චිත්‍රපටයක් නිර්මාණය කරයි. දෙවැන්න ජර්මානු නාසි පාලකයන් විසින් තහනම් කරන ලද අතර තුන් වැන්න නිර්මාණය වූයේ අමෙරිකාවේ දීය.

පසුකාලීනව ලොව පුරා ත්‍රාසජනක චිත්‍රපටවලට මෙන්ම ප්‍රංශ නවරැල්ලට පවා බලපෑමක් ඇති කළ සිනමාකරුවකු ලෙස ලෑන්ග් ගෞරවයට පාත්‍ර වෙයි. ලෑන්ග් ගේ විශිෂ්ටතම නිහඬ ජර්මන් චිත්‍රපට අතර මෙට්‍රොපොලිස්, එම්, ඤඪඥ දඪඡඥතභදඨඥද ද වෙයි (කලෙකට ඉහත ෆ්‍රිට්ස් ලෑන්ග් ගේ චිත්‍රපට එකතුවක් කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබිණ.) මේ අතරින් මෙට්‍රොපොලිස් ද අතීතයේ ලංකාවේ තිරගතව ඇත. යුද සේවයට බැඳී ඕස්ත්‍රියානු හමුදාවේ ස්වේච්ඡා බලඇණියකට එක්ව සේවය කළ ලෑන්ග් තුන් වරක්ම මරණයෙන් ගැලවිණ. ලෑන්ග් වරක් ෂෙල් වෙඩිල්ලකින් බලවත් කම්පනයට ලක් විය. ඔහුගේ චරිතාපදානය පවසන අන්දමට පසුකලෙක සිනමා නිර්මාණ සඳහා මේ ඔහුගේ අත්දැකීම තදින් මනසේ හොල්මන් කළේය. තිර නාටක රචකයකු ලෙස ජර්මානු සිනමාවට ඔහු එක්වනුයේ ඒ අවදියේ ජර්මන් හා යුරෝපීය සිනමාවේ දැවැන්ත නිෂ්පාදකයකු වන එරික් පොමර් ගේ ඩෙක්ලා ෆිල්ම් ආයතනයට එක්වීමෙනි. ජර්මානු ප්‍රකාශනවාදී සිනමාව ලොව පුරා ගෙන ගියේ මෙම සිනමා සමාගමයි. ද කැබිනට් ඔෆ් ඩොක්ටර් කැලිගර් , ද ලාස්ට් ලාෆ්, මෙට්‍රාපොලිස් . බ්ලූ ඒන්ජල්, වැනි වැදගත් චිත්‍රපට රාශියක් නිපදවූයේ ඔවුන්ය.

ලෑන්ග් ඩොක්ටර් මැබියුස් නිර්මාණය කළේ ඔහුගේ තුන් වැනි චිත්‍රපටය හැටියටය. ඔහුගේ මුල් චිත්‍රපට වූ ද වෙයරි ඩෙත් සහ ද ස්පයිඩර්ස් යන චිත්‍රපට යුගලේම කලාත්මක සිනමාවේ මෙන්ම ජර්මන් ප්‍රධාන ප්‍රවාහයේ සිනමාවේ ද ලකුණු ගැබ්ව තිබිණ. කලක් ඔහුගේ භාර්යාව වූ ජර්මානු තිර නාටක රචිකාවක සහ සිනමාකාරියක වන තියෝ ෆොන් හාබෝ සමඟ ඩොක්ටර් මැබියුස් තිරනාටකය රචනා කරන්නේ එකලය. මෙට්‍රාපොලිස්, ඤඪඥ දඪඡඥතභදඨඥද, වුමන් ඉන් ද මූන් වැනි චිත්‍රපට සඳහා ඇයගේ දායකත්වය ඔහුට ලැබිණ. ඔහු විසින් නිර්මාණය කරන ලද ද ටෙස්ටමන්ට් ඔෆ් ඩොක්ටර් මැබියුස්, ජර්මනියේ බලයට පත් නාසි ප්‍රවෘත්ති ඇමැති ජෝසප් ගොබෙල්ස් විසින් තහනම් කරන ලදී. ජර්මනියේ පාතාල ලෝකය සාධාරණීකරණය කරන මේ චිත්‍රපටය අපරාධ හුවා දක්වන්නකැයි ගොබෙල්ස් අර්ථ දක්වා තිබිණ. එහෙත් මෙට්‍රොපොලිස් සිනමාකෘතිය නිසා සිනමාකරුවකු ලෙස ගබෙල්ස් ලෑන්ග් හා ඔහුගේ සිනමාව කෙරෙහි ගෞරව ද කළේය. සිනමාකරුවකු ලෙස තමාට සහාය දක්වන ලෙස ඉල්ලා ගොබෙල්ස් තමා හමුවන ලෙස ලෑන්ග් ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් තම යුදෙව් ජන්මය (මව් පාර්ශවයෙන් ) ගැන සැක පහළ කළ ලෑන්ග් එම රාත්‍රියේම සිය භාර්යාව සමග ප්‍රංශයට පළාගියේය. එය ගොබෙල්ස්ගේ උදහසට හේතුවිය. මේ වන විට ලෑන්ග් සහ භාර්යාව අතර ද නොගැලපෙණ කරුණු රාශියක් වාර්තා විය. ප්‍රංශයට පැමිණි සිටි ඉන්දියානු පුවත්පත් කලාවේදියකු හා තිරනාටක රචකයකු වූ ආයි ගවස්කාර් සමග තියෝ හා අතර ඇති සම්බන්ධතාව හෙළිදරව් වූ පසු ලෑන්ග් අමෙරිකාවට ගියේය. ඔහු සෙසු චිත්‍රපට නිර්මාණය කළේ එහි ජීවත්වෙමිනි.

 

--------------

ප්ලාසා සිනමා ශාලාවේ ආරම්භක චිත්‍රපටය වූයේ ඩොක්ටර් මැබියුස්: ද ගැම්බ්ලර් චිත්‍රපටයයි. එය ලෝක සිනමාවේ වැදගත් චිත්‍රපටයකි. පළමු ලෝක මහා සංග්‍රාමයේ ආතතියෙන් වෙළී ගිය ජර්මනියේ සිනමාව හරහා මිනිස් සිතේ ඇති වන ඇසට නොපෙනෙන අන්ධකාරය රූපයට නැංවීමේ නව රටාවක් ගොඩ නැගිණ. එය හඳුන්වා දෙන ලද්දේ ජර්මානු ප්‍රකාශනවාදය යනුවෙනි. ඩොක්ටර් මැබියුස් :ද ගැම්බ්ලර් එහි පුරෝගාමී චිත්‍රපටයක් වන අතර එය නිර්මාණය කරන ලද ෆ්‍රිට්ස් ලෑන්ග් ජර්මානු ප්‍රකාශනවාදී සිනමාවේ පුරෝගාමියකු ලෙස සලකනු ලැබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.