කොහෙන් ආවද

ක්‍රිෂ්ණ ලීලා
ඔක්තෝබර් 10, 2019
ජෝන් ගිල්බර්ට්

 

 

බොහෝ ඇංග්ලෝ ඉන්දියානු යුවතියෝ හින්දි කතානාද සිනමාව පිවිසීමත් සමඟ අතරමං වුව ද දෙවසරක් ඇතුළත ඉතා හොදින් හින්දි බස උගත් සුලෝචනා යළි හින්දි සිනමාවට එක්වූවාය. සුලෝචනා මෙරට ද අතිශය ජනප්‍රිය නිළියක බැව් පැරැණි ඉන්දියානු සිනමා වාර්තා ගෙන හැර දක්වයි. ඉම්පීරියල් පික්චර්ස් සමාගමේ පන්ඩවර් පත්නි මෙරට තිර ගත කරවනුයේ අභිනවයෙන් පිහිටුවන ලද සිලෝන් තියටර්ස් සමාගමයි.

 

 

විසි වැනි සියවසේ තෙවැනි දශකයේ දී ලොව පුරා සිනමාව සිය ප්‍රකාශන රීතින් විවිධ අත්දැකීම් සදහා භාවිත කළ අයුරු පසුගිය සති කිහිපය ඇතුළත අපි හෙළිදරවු කළෙමු. එහිදී මෙරට සිනමා ප්‍රේක්ෂකයන් ද එම අත්දැකීම් අඩු වැඩි වශයෙන් විඳ ගත් අයුරු දපෙන්වා දුනිමු. හොලිවුඩ් සිනමාවේ පමණක් නොව ජර්මානු සිනමාවේ ද විවිධ සිනමා නිර්මාණ මෙරට ප්‍රේක්ෂකයන්ට අත් විඳීන්ට ඉඩ ලැබුණු අයුරු එහි සනිටුහන් කළේමු.

එහෙත් එයට සාපේක්ෂව ඉන්දියානු චිත්‍රපට දකින්නට ලැබෙන්නේ අඩුවෙන්ය. ඒ වනවිටත් ජනප්‍රියව පැවැති පාර්සි නාට්‍ය හා මෙරට වෘත්තිය මට්ටමෙන් බිහිවුන නාට්‍ය කණ්ඩායම් ඉන්දියානු චිත්‍රපට අඩුව පුරවන්නට ඇත. මේ නාට්‍යය සියල්ලම ගීතය හා විනෝදය පිරි ඒවාය. සිනමා දැන්වීම් පළ කරනු ලබන ඩේලි නිව්ස් පුවත්පතේම ටවර් හෝල් නාට්‍ය දැන්වීම් පළ කරනු ලබයි. ආරිය සිංහල නාට්‍ය සභාවේ ජනප්‍රිය නිළි මිස් ලක්ෂ්මි බායි රඟපාන නාට්‍ය සදහා වැඩි අවධානයක් යොමු කරනු එයින් පෙනෙයි. කෙසේ වෙතත් 1928 වසර වන විට චිත්‍රපට අරබයා ඇති දැන්වීම් පුවත්පතේ වඩා තරගකාරි ලෙස පළකරනු ලබයි. ඔලිම්පියා ,ප්ලාසා හා එල්ෆින්ස්ටන් මෙන්ම එම්පයර් යන සිනමා ශාලා සියල්ල තරගකාරි ව සිය දැන්වීම් පළ කරන ලද්දේ එකිනෙකාට එරෙහිව මෙන්ය. මේ චිත්‍රපට ආනයනයේ දී තරගකාරි බවක් ද පැවතියේය.

මේ වන විට මෙරට පැවැති පබ්ලික් හෝල් ශාලාව එනමින්ම පැවැති අතර එය චිත්‍රපට ප්‍රදර්ශනය සදහා වෙන් කිරීමට එහි පාලනාධිකාරිය දැරූ මදාන් තියටර්ස් සමාගම උත්සුක නොවුන වග පෙනී යයි. පබ්ලික් හෝල් ශාලාව 1927 වසර වන විට චිත්‍රපට සඳහා වෙන්වූ වග පැරැණි සිනමාව පිළිබඳ ලියැවුණු ඇතැම් ග්‍රන්ථ පෙන්වා දුන්න ද එය එසේ නොවන වග එකල සිනමා දැන්වීම් පෙන්වා දෙයි . ඒ වන තෙක් එහි නිතිපතා රඟ දැක්වනුයේ විවිධ නාට්‍ය හෝ සංගීත සංදර්ශන ආදියයි. එහි රඟ දැක්වූයේ පාර්සි නාට්‍ය නොවේ. බොහොමය්ක් නිර්මාණ බ්‍රිතාන්‍ය හෝ වෙනත් යුරෝපීය රටකින් මෙරටට පැමිණි නාට්‍ය හෝ සංගීත කණ්ඩායම්ය. ඔවුහුන් කොළඹ මෙන්ම මහනුවර එම්පයර් ශාලාවේ ද සිය නර්තන ඉදිරිපත් කරති. එහෙත් මහනුවර ශාලාව නිතිපතා චිත්‍රපට ද ප්‍රදර්ශනය කළේය.

නත්තල් සමය සඳහා විශේෂ චිත්‍රපට ආනයනය කිරීම සාමාන්‍ය සිරිතක් ව පවතිද්දී වැල්ලවත්තේ ප්ලාසා ශාලාව 1928 වසරේ ජූලි මස 9 වැනි දින වේල් උත්සවය නිමිති කොට අලුත් චිත්‍රපටයක් තිර ගත කරනු ලබයි. ඒ ක්‍රිෂ්ණ ලීලා නම් චිත්‍රපටයයි. ප්ලාසා සිනමාහලේ තිර ගත වන ක්‍රිෂ්ණ ලීලා චිත්‍රපටය පිළිබඳ ඉන්දියානු සිනමා සටහන් මගින් සොයා ගත නොහැකිවීම සැලකිය යුතු කරුණකි. පැරැණි ඉන්දියානු සිනමා සටහන් පිරික්සද්දී ක්‍රිෂ්ණ ලීලා නමින් සිනමා කෘතියක් අපට මුණ ගැසෙන්නේ 1934 වසෙර්ය. මේ ක්‍රිෂ්ණ ලීලා ඉන්දියාවෙන් මෙරටට පැමිණියේ කවර පළාතකින් ද යන්න අබිරහසකි. එයට එකම හේතුව නිහඬ යුගයේ ඉන්දියානු සිනමා කෘති අතර ක්‍රිෂ්ණ ලීලා නමින් සිනමා කෘතියක් ගැන සටහන් නොවීමයි. 1928 වසරේ දෙසැම්බර් 12 වැනි දින එම්පයර් සිනමාහලේ ඇරඹෙනන්නේ රාමායන සහ සති සීතා යන චිත්‍රපට යුගලයි. මේ චිත්‍රපට දෙක සමාගම් දෙකක් මගින් නිපදවන ලද චිත්‍රපට බැව් ඉන්දියානු නිහඬ සිනමා ඉතිහාසය පිරික්සද්දී පෙන්වාදිය හැකිය. රාමායන 1922 වසරේ නිපදවනු ලබනුයේ මදාන් තියටර්ස් මගින්ය. සති සීතා 1924 වසරේ තැනෙන්නකි. එය එම්පයර් සිනමාහලේ තිර ගත කළ ද නිපදවා ඇත්තේ කොහිනූර් සමාගමයි. 1929 වසරේ මරදානේ ඔලිම්පියා සිනමාහලේ ප්‍රදර්ශනය කරනු ලබන පන්ඩවර් පත්නි හෙවත් ද සෙලෙස්ටියල් ලෝටස් චිත්‍රපටය මොහාන් බව්නානි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි. බව්නානි හයිද්‍රාබාද් නගරයේ ඉපිද ජර්මනියේ යූ.එෆ්.ඒ ආයතනයේ සිනමාකරණය හැදෑරුවෙකි. ඔහුගේ මුල්ම චිත්‍රපටය වන සිනමා ක්වීන් ඉන්දියානු නිහඬ සිනමාවේ තැනුණු විශිෂ්ටතම චිත්‍රපටයකි. එය සිනමා නිළියකගේ ඇතුළු විත්තිය කියාපාන සිනමා සිත්තමක් විය. එහි රඟපෑ සුලෝචනා ඉන්දියානු නිහඬ සිනමාවේ විශිෂ්ටතම නිළියක ලෙස සැලකිණ. එමෙන්ම ඉම්පීරියල් සිනමා සමාගම ට දායක වූ පසු වැඩිම මිළක් අය කළ ඉන්දියානු නිළිය බවට පත්වූවාය. ඉමපීරියල් සමයේ ඇයගේ මාසික වැටුප රුපියල් පන්දහසකි. භාවිත කරන ලද්දේ ෂෙවලේ වර්ගයේ මෝටර් රථයකි. යුරේෂියානු නිළියක වූ ඇය ගේ නියම නම රූබි මේයර්ස්ය. ඇය මුලින් දුරකතන ක්‍රියාකරවන්නියක වූවාය. ඒ අවදියේ ඉන්දියානු යුවතියෝ සිනමාවට එන්නට සිහින මැවූ යුගයක් නොවිණ. භව්නානි විසින් කරන ලද ඇරැයුම පිලිගත් රූබි, සුලෝචනා නමින් සිනමාවට පිවිසායාය. කොහිනූර් සමාගමෙන් ඇරඹි ඇය පසුව භව්නානි සමග ඉම්පීරියල් පික්චර්ස් වෙත බැඳුණාය. ඉම්පීරියල් පසුව ඉන්දියානු මුල්ම කතානාද චිත්‍රපටය තැනීමේ ගෞරවය දිනා ගත් සමාගමයි. පන්ඩවර් පත්නි චිත්‍රපටය ද ඇය රඟපෑ චිත්‍රපටයකි. බොහෝ ඇංග්ලෝ ඉන්දියානු යුවතියෝ හින්දි කතානාද සිනමාව පිවිසීමත් සමඟ අතරමං වුව ද දෙවසරක් ඇතුළත ඉතා හොදින් හින්දි බස උගත් සුලෝචනා යළි හින්දි සිනමාවට එක්වූවාය. සුලෝචනා මෙරට ද අතිශය ජනප්‍රිය නිළියක බැව් පැරැණි ඉන්දියානු සිනමා වාර්තා ගෙන හැර දක්වයි. ඉම්පීරියල් පික්චර්ස් සමාගමේ පන්ඩවර් පත්නි මෙරට තිර ගත කරවනුයේ අභිනවයෙන් පිහිටුවන ලද සිලෝන් තියටර්ස් සමාගමයි. ඒ පිළිබඳ ඉදිරියේ දී ලියැවෙනු ඇත.

මදාන් තියටර්ස් විසින් වාර්ෂිකව නිපද වූ ඉන්දියානු චිත්‍රපට පවා මෙරටට ආනයනය කරන්නට උත්සුක නොවුණ වග පෙනී යයි . අද මෙන්ම එකල ද එකම ශාලාවක චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනය කළ වග ද පෙනෙන කරුණකි. එහෙත් මේ හැම චිත්‍රපටයක් සමගම වාර්තා චිත්‍රපට හෝ ප්‍රවෘත්ති චිත්‍රපටයක් ද තිර ගත කළ බැව් දැන්වීම්වල සඳහන්ය.

සිනමා ඉතිහාසයේ දැවැන්තම පෙරළිය සිදුවන්යේ 1927 වසෙර්ය. ඒ එවකට පැවැති සිනමාව සිය ගොළුවත අතහැරීමයි. එය එක් රැයකින් සිදුවූවක් නොවීය. ඒ සඳහා තාක්ෂණික වශයෙන් දීර්ඝ කාලයක් පර්යේෂණ කළහ. මුල් යුගයේ සිනමා ශාලා නිහඬ චිත්‍රපට සඳහා පූරකයකු ලවා දෙබස් හෝ කතාව කියැවූයේය. ඒ අතරවාරයේ සිනමා කෘතිය සමග පැමිණෙන සංගීත ස්වර ප්‍රස්තාර වයන්නට වෙනම පිරිසක් උන්හ. මේ කණ්ඩායම් නොවන්නට සිනමාවේ ජීව ගුණය එහි මුල් දශකය තුළම බිඳ වැටෙනු ඇතැයි ඇතැම් නිහඬ චිත්‍රපට ඒවායේ අන්තර්ගත සංගිතය අත්හැර නැරඹු විට පසක් වන කරුණකි. නිහඬ සිනමාවේ සංගිත ස්වර ප්‍රස්තාර ගවේෂණය කරන්නෙකුට එම රූප රාමු හා සසඳද්දි දෙබස් රහිත සිනමාවේ රූපය හා බද්ධ වන සංගීත ඛණ්ඩ මගින් ලබා දුන් උත්තේජනය හඳුනා ගත හැක්කේය.

කතානාද සිනමා බිහිවීමත් සමග ලොව පුරා සිනමාවේ බොහෝ දෙනා අමාරුවේ වැටුණහ. හැමෝටම සුලෝචනා මෙන් හැකියාවක් හෝ වාසනාවක් නොවිණ.

චිත්‍රාගාර වැඩි හරියක් පිහිටියේ සිනමා ශබ්දය ගැන තැකීමකින් තොරවය. හොඳීන් හිරු එළිය සහිත ආලෝකය එය ගොඩ නැගීමට හොඳම ස්ථානය විය. එහෙත් කතානාද සිනමාව සමග ශබ්දාගාර ගොඩ නැගීමත් හතර වට නිහැඬියාවත අනිවාර්ය විය. ඇතැම් චිත්‍රාගාර ඒ වන තෙක් තිබුණේ ඝෝෂාකාරී පරිසරයකය. ඉන්දියාවේ ඉමිපීරියල් චිත්‍රගාරය එරට මුල්ම කතානාද චිත්‍රපටය නිපදවූයේ රාත්‍රී අවසන් දුම්රියත් පාන්දර දුම්රියත් ධාවනය වන කාලයේ පමණකි. ශබ්දය පිටවන දෙතොල ගැන වැඩි අවධානයක් යොමුවීමත් සමග ආලෝක ධාරාවන්ගේ මුහුණ ආවරණය කරන්නට ඒ වන විට මැදිවියට එළැඹෙමින් සිටි සමහර නළු නිළියන්ට සිදුවිය. දෙබස් පටි ගත කිරිම සඳහා මයික්‍රෆෝනය තවත් අර්බුදයක් ඇති කළේය. සුපිරි සිනමා තාරකාවක් වූ ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් දි අයන් මාස්ක් චිත්‍රපටයේ දෙබස් කවද්දී ඔහුත් මයික්‍රෆෝනයත් අතර දුර අඩි 10කට වඩා වැඩියෙන් තිබිය යුතුවිය. ජනප්‍රිය සුපිරි නළුජෝන් ගිල්බට් ගේ ශෛලිය දෙබස් හා රූපය අතර සැසඳුනේම නැත. එය රූපය සමග සැසඳීමේ දී හීන් හඬක් විය. නිහඬ යුගයේ ගිල්බට් ගේ සිනමා රංගනය බොහො විචාරකයන්ගේ අවධානයට ලක්වූ රිද්මයකින් සමන්විතය. එහෙත් කතානාද සිනමාව සමඟ ඔහුගේ සිනමා රංගනය යල් පැන ගිය එකක් විය. මේ වෙනස ජෝන් ගිල්බට් ට දරා ගත නොහැකිවිය. ඉතා දැඩි ලෙස මත්පැන් සරණ සොයන්නට මේ නළුවාට සිදුවිය. 1936 වසරේ ඉච්ඡා භංගත්වයෙන් යුත් ඔහු අකල් මරණයට මඟ පාදා ගත්තේය.

 

සුලෝචනා

 

ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.