පත්තර මහගෙදරට ගෙවදින දා

සිනමා මහගෙදරට මුල්ගල
ඔක්තෝබර් 17, 2019
වැරයිටි චිත්‍රපටයේ ජර්මානු පෝස්ටරය

 

1929 වසර මාධ්‍ය ඉතිහාසයේ වැදගත් වසරකි. ඒ එම වසරේ ජනවාරි මස 26 වැනි දින කොළඹ මැක්ලම් පාරේ අංක 35 දරන ස්ථානයේ පත්තර මහ ගෙදර නමින් පසුකලක ප්‍රචලිත වූ අලුත් ගොඩනැගිල්ලක් සාදා දිනමිණ, ඩේලිනිවුස් ඇතුළු පුවත්පත් එම මන්දිරයට ගෙවැදීම නිසාය. මේ සුවිසල් මන්දිරය ලේක් හවුස් යනුවෙන් නම් කෙරිණ. එයට ලේක් හවුස් යැයි නම ලැබුණේ එය බේරේ වැව අද්දර ඉදි කළ හෙයිනැයි පතළ වුව ද එයට නම ලැබුණේ නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතා ගේ මෑණියන් වූ හෙලේනා ඩෙප් විජයවර්ධන මැතිනියගේ වාසගම වන වැවගේ යන නම ඉංග්‍රීසියට පරිවර්තනය කරමිනි.

 

(සරසවිය පත්තර මහ ගෙදරින් දොරට වඩිනුයේ එයින් තිස් හතර වසරකට පසුවය.) එයින් දින දෙකකට පසු ඩේලි නිවුස් පුවත්පතේම තුන් වැනි පිටුවෙහි පළ කරන ප්‍රවෘත්තියක් වනුයේ අවුරුදු විස්සකට ආසන්න කාලයක් මුළුල්ලේ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා වෙන්වූ පාසන්ස් පාරේ එම්පයර් ශාලාව එයින් දෙදිනකට පෙර සහමුලින් ඉවත් කර එහි අලුත් සිනමා ශාලාවක වැඩ කටයුතු ඇරඹු විත්තියයි. ඒ හරියටම ලේක් හවුස් මන්දිරයට මුහුණලා ගෙනය. පුවත්පත් වාර්තාව අනුව ලේක් හවුස් මන්දිරයට ගෙවදිනුයේත් අලුත් සිනමාහලට මුල පුරන්නේත් එකම දිනයකය. පැවැති සිනමා ශාලාවේ නියමිත බදු කාලය අහෝසිව ගිය හෙයින් කොළඹ නගර සභාව මගින් අලුත් අංග සම්පූර්ණ සිනමා ශාලාවක් සෑදීම සඳහා අලුතින් අයැදුම්පත් කැඳවීමට දැන්වීම් එයට පෙර පළ කර තිබිණ. එහෙත් අලුත් බදු ටෙන්ඩරය යළි දිනා ගැන්මට එතෙක් එම්පයර් සිනමාහල පවත්වා ගෙන ගිය මදාන් තියටර්ස් සමත්ව නොතිබිණ. 1914 වසරේ ඇරඹි එම්පයර් සිනමාහල 1920 වසරේ සිට හිමි කර ගෙන සිටියේ මදාන් තියටර්ස් ලිම්ටඩ් ආයතනයයි. මදාන් විසින් එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ගොඩ නංවන තුරුම එම්පයර් සිනමාහල කොළඹ ප්‍රමුඛතම සිනමාහල ලෙස නමක් දිනා තිබිණ. ඉඩමේ අලුත් හිමිකරුවන් වූයේ ඒ වන විට මරදානේ ඔලිම්පියා ශාලාව බදු ගෙන චිත්‍රපට ප්‍රදර්ශනය කළ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමයි. එම්පයර් සිනමාහල ඉවත් කළ මොහොතේම ඔපෙරා ශාලාවක විලාසය ගත් නව සිනමාහලක් පිහිටුවීමේ අරමුණින් සිලෝන් තියටර්ස් සමාගම එක රැයින්ම එහි වැඩ කටයුතු ආරම්භ කළේය. ඒ අනුව එඩ්වඩ්, රීත් ඇන්ඩ් බූත් යන ගෘහ නිර්මාණ ශිල්පී සමාගමේ සැලසුමක් අනුව අලුත් සිනමාහල සිලෝන් තියටර්ස් ගොඩ නගන වග එම ප්‍රවෘත්තියෙහි සඳහන් වෙයි.එයට වසරකට පෙර පිහිටුවාලන ලද සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම සහ මදාන් තියටර්ස් අතර ඒ වන විට පැහැදිලි ව්‍යාපාරික නෝක්කාඩුවක් තිබුණ වග සනාථ වන කරුණක් මෙහිලා සඳහන් කළ යුතුය.

එයට පෙර වසරේ ඔලිම්පියා සිනමාහලේ පාලකයන්ට එරෙහිව මදාන් තියටර්ස් අධිකරණයට යෑමක සිද්ධියක් එයට උදාහරණයකි. හේතුව මෙම සමාගම් දෙක විසින්ම එකම චිත්‍රපටයක් ආනයනය කරන ලද සිද්ධියක ප්‍රතිඵලයකි. 1925 වසරේ දී ජර්මනියේ යූ.එෆ්.ඒ සමාගම සහ අමෙරිකාවේ පැරමවුන්ට් සමාගමේ හවුල් නිෂ්පාදනයක් වූ වැරයිටි හෙවත් වෝඩ්විල් චිත්‍රපටයේ අයිතිය සම්බන්ධවය. මෙම චිත්‍රපටය මදාන් තියටර්ස් සමාගම මගින් වැරයිටි නමින් ආනයනය කොට ඇති අතර ඔලිම්පියා සිනමා ශාලාව මගින් ආනයනය කොට ඇත්තේ වෝඩ්විල් නමින්ය. මේ සම්බන්ධ නඩුව කොළඹ දිසා අධිකරණයේ අතිරේක විනිසුරු වී.එම්.ප්‍රනාන්දු මහතා ඉදිරියේ විභාගව තිබිණ. මදාන් තියටර්ස් මෙම නඩුව පවරා තිබුණේ ඔලිම්පියා සිනමාහලේ පාලකයන්ව සිටි ඇල්ෆ්‍රඩ් ලියෝ තම්බයියා සහ ඒබ්‍රහම් ගාඩිනර් දෙදෙනාටත් සිනමාහලේ කළමනාකරුවන් වන ඩී.විජේසිංහ සහ එම්.සවරිමුත්තු යන දෙදෙනාට එරෙහිවය. නොවැම්බර් 6 වැනි දින තමන්ට අයිතිය තිබෙන චිත්‍රපටයක් ඔලිම්පියා සිනමාහලේ තිර ගත කළ බවත් ඒ වෙනුවෙන් රුපියල් දෙදහසක වන්දියක් ලබාදෙන ලෙසත් මදාන් තියටර්ස් ඉල්ලා තිබිණ. එෆ්.ජේ සහ ජී ද සේරම් නීතිඥවරුන්ගේ උපදෙස් පරිදි එච්.එච්.බර්තොලමියුස් හා එන්.කේ.චොක්සි පැමිණිල්ල වෙනුවෙන් ද විත්තිය වෙනුවෙන් ජුලියස් සහ ක්‍රීසි නීතිඥවරුන්ගේ උපදෙස් පරිදි ඒ.ඊ.කෙනමන් සහ එන්.නඩරාජා ද පෙනී සිටියහ. මදාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ජර්මනියේ යූ.එෆ්.ඒ සමාගම මෙම චිත්‍රපටය ලංකාව , ඉන්දියාව සහ බුරුමයේ ප්‍රදර්ශන අයිතිය තමන් වෙත ලබා ගත් බව පෙන්වා දුන් අතර එබැවින් චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටුවන ලෙස තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. සිලෝන් තියටර්ස් ද චිත්‍රපටය පිළිබඳ තම අයිතිය පෙන්වා දුන්නේය. චිත්‍රපට දෙකම විනිසුරුවරයා විසින් නරඹන ලද අතර අවසානයේ මදාන් ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඔලිම්පියා සිනමාහලේ චිත්‍රපටය ප්‍රදර්ශනයට ද ඉඩ ලබා දෙනු ලැබිණ. ඊළඟ සතියේ ඔලිම්පියා සිනමා ශාලාව සිය වෝඩ්වේල් චිත්‍රපටය තිර ගත කරනුයේ එඡ් ඹ්ඡ්ඒච්. ර්‍ණඊඩ්ඡ්අඉ ජ්ර්‍ණඹ්ඹ්ර්‍ණඑ -ර්‍ණඋඅ ඍඒඋච්ඡ්ඍධ්ඹ්ඹ්ඡ් ධ්ඉ ව්ර්‍ණඊ ඍඒඅධ්ඡ්ඊක යනුවෙන් සමච්චල් සහගත දැන්වීමක් ද පළ කරමින්ය. මෙරට චිත්‍රපටයක් තිර ගත කරවීමට එරෙහිව එහි අයිතිය පතා තවත් සමාගමක් නඩු පැවරූ මුල්ම අවස්ථාව මෙයයි. සිලෝන් තියටර්ස් සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොලේ ලියාපදිංචි සමාගමක් වනුයේ 1928 වසරේ ජනවාරි මස 1 වැනි දින පටන්ය. එහි හිමිකරුවන් ඔලිම්පියා සිනමාහලේ එවකට පාලකයන් වුව නඩුව පවරා ඇත්තේ සමාගමකට නොව පුද්ගල නාමයන්ටය. 1929 වසරේ ජනවාරි මස පළමු වැනි දින ඩේලි නිවුස් පුවත්පත පළ කරන දැන්වීමට අනුව ඔලිම්පියා සිනමාහල පාලනය වනුයේ සිලෝන් තියටර්ස් ලිමිටඩ් මගින් බැව් මුල්වරට අනාවරණය කෙරිණ. දිනමිණ දැන්වීමට අනුව එහි සිංහල නම සීමාසහිත ලංකා නෘත්‍ය සමාගම ය.

කොටුවේ (මේ ස්ථානය කොටුව යැයි සඳහන් වුව ද එය කොම්පඤ්ඤවීදියයි) එම්පයර් සිනමාහල අහිමිව ගිය මදාන් තියටර්ස් ට කොළඹින් ඉතිරිවූයේ මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහල හා ඉබ්බන්වල පබ්ලික් හෝල් පමණක් වුව පබ්ලික් හෝල් ශාලාව පිළිබඳ කිසිදු දැන්වීමක් මේ අවදියේ පළ නොවෙයි. එම වසර තෙක් එකල නිතර පැමිණි විදෙස් නාට්‍ය හා සංගීත ප්‍රසංග සඳහා පබ්ලික් හෝල් වෙන් කළ ද එම්පයර් අහිමි වූ කාලයේ එහි කිසිත් පැවැත් වූ වගක් සඳහන්ව නැත. එම්පයර් සිනමා ශාලාව අහිමිව ගිය මදාන් තියටර්ස් සමාගම අලුත් සිනමා ශාලාවක් සෑදීමට සුදුසු ඉඩමක් සොයන බව ඩේලිනිවුස් පුවත්පත වාර්තා කළේය. 1914 වසර තෙක් එම්පයර් සිනමාහල පිහිටි පිටකොටුවේ මල්වත්ත පාරේ ස්ථානයට නුදුරින් ඇති ඉඩමක් ඒ සඳහා දැනට සොයා බලන බවත් තවත් ඉඩම් දෙකක් පිළිබඳ අවධානය යොමු කළ බවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළග රැස්වීමේ දී එහි අවසන් තීරණය ගන්නා බැව් මදාන් තියටර්ස් ශ්‍රී ලංකාවේ කළමනාකරුව සිටි පැරක් මහතා සිලෝන් ඔබ්සර්වර් පුවත්පතට පවසා තිබිණ.

ඔලිම්පියා සිනමා හලේ ප්‍රදර්ශනය වූ වැරයිටි හෙවත් වොඩ්වෙල් චිත්‍රපටය ඒකාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් චිත්‍රපටයක් විය. ජර්මානු සිනමාවේ විශිෂ්ට සිනමාකරුවකු වූ ඊ.ඒ.ඩුපොන්ට් විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටය තහනම් ආදරයක් තේමා කර ගත් ඛේදාන්තයකි. එහි මුල් ජවනිකා පෙළම එවකට නිව්යෝක් රැඟුම් පාලක මණ්ඩලය මගින් අමෙරිකාවේ ප්‍රදර්ශනයේ දී ඉවත් කරන ලදී.

සිලෝන් තියටර්ස් මුල්ම පුවත්පත්  දැන්වීම

 

යළි තිර ගත වන චිත්‍රපට දැන්වීම

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.