එනවා එනවා නොවේ ආවා

ඔක්තෝබර් 24, 2019
ඔලිම්පියා සිනමාහල

ජුලයි 13 වැනි සෙනසුරාදා

මෙය ඔබගේ දින පොතේ ලියා යටින් රතු පැන්සලයෙන් ඉරක් ඇඳ තැබිය යුතු.

අනික් සියළු පොරොන්දු වැඩ අවලංගු කරනු

1929 වසරේ ජූලි මස 13 වැනි දින දිනමිණ පුවත්පතේ අග පිටුවේ දැන්වීමක සඳහන්වූයේ එහෙමය.

එදිනම ඩේලි නිවුස් පුවත්පතේ අග පිටුවේ දැන්වීම ඇරඹෙන්නේ මෙහෙමය.

Red pencil it in your diary.

cancel all the engagements.

මෙම වැදගත් කාරණය අන් කිසිවක් නොවේ. මෙරට මුල් වරට කතානාද චිත්‍රපටයක් තිර ගතවීමය. සිංහල දැන්වීම තව දුරටත් මෙලෙස සඳහන්ය.

මුළු නගරයටම තිබෙන අතිශය විශාල දර්ශණය මෙදින වේ. මෙය අමුතු වර්ෂයක ආරම්භයයි. නෘත්‍ය කරන චිත්‍ර පිළිබඳ ඉතිහාසයේ සඳහන් අතිශය ආශ්චර්යාද්භූත සිධියත් , මේ කල්පයෙහි සිදුවූ මහත් පුදුමයත් ප්‍රවිෂ්ඨවීම ගැන සීමාසහිත මදාන් නෘත්‍ය සමාගම අවංක ප්‍රීතියෙන් පුලන්නාහ.

මුවිටෝන් සහ විටෆෝන් කථා කරන චිත්‍ර පිළිබඳ දියුණු ඒකයි. සිතුවම් රූප ජීවමානාකාරයෙන් ක්‍රියාකිරීමට හා කථා කිරීමට සැලැස්වීම නවීන සියලු හාස්කම් අතුරෙන් ඉතා පුදුම ක්‍රියාවකි. බේබෘක් ප්ලේස් හි අංක 9 දරණ (ඉස්සර පබ්ලික් හෝල් ) ඇම්පයර් නෘත්‍ය ශාලාවේ පාලනය හා සීමාසහිත මදාන් නෘත්‍ය සමාගමේ පාලනයත් ජේ.ඇෆ්.මදාන් සහ සමාගමේ කළමනාකාරත්වයෙන් ද යුක්තව ජූලයි මස 13 වෙනි සෙනසුරාදා සහ ජුලයි මස 14 වෙනි ඉරිදාත් අ.භා 3 ට සහ 6 ට සහ 9.30 ටද අනික් දවස්වල අ.භා 6 ට සහ 9.30 ටද දක්වනු ලැබේ. මෙම දර්ශනය කොළඹ නගරාධිපති හා නාගරික සභාවේ සභාපති තැන්පත් බී.ඒ, සී.සී.ඇස්, ඇම්.ඒ.සී උපාධිධාරි එච්.ඊ.නිවුන්හැම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා එතුමා හමුවෙහි පවත්වනවා ඇත. සීමාසහිත අවරදිග විදුලි කර්මාන්ත සමාගමේ මුවිටෝන් සහ විටෆෝන් ශබ්දයෙන් හා ප්‍රාණයෙන් යුත් චිත්‍ර . මුලු ලෝකයම එක හෙලා පිළිගත් කාර්ලෑමල් ගේ කිසිම දෙයක් අග හිඟ නැතිව කථා කරන චිත්‍රය මැලොඩි ඔෆ් ලව් (ආලයේ රම්‍යතාව ) නමැති චිත්‍රය සම්පූර්ණ දෙබස් ,සංගීත,සින්දු නානා ශබ්ද චිත්‍රපට 8 යි. බොම්බායේ මාස හතරක් නොකඩවා පෙන්වා කෙලින්ම මෙහි ගෙන්වන ලද්දකි. කථා කිරීම පුදුමයි. ටින් හැන් ආදි නම් සින්දුව, සොල්දාදු පිරිස හා සින්දු .මෙය නෘත්‍ය මණ්ඩපයක සැබැවින් දක්වන නෘත්‍යකට වඩා රම්‍යය. ස්වභාවිකත්වයෙන් යුත් ආලය පිළිබඳ අනගි චිත්‍රයකි. මැලොඩි ඔෆ් ලව්

එක මොහොතක්වත් තොර නැතිව නෘත්‍ය කරයි. සෑම නාට්‍යකරුකරුවකුගේම රැඟුම් සිත් පොළඹවයි. නෘත්‍ය නායකයා වෝල්ටර් පිජියන්ගේ නාට්‍යංකුරයයි. බර සෙල්ලක්කාරයා ජැක් රිචඩ්සන් සියල්ලෝම අඬුලුහුඩු නැතිව රඟ දක්වයි. සියල්ලෝම චිත්තාකර්ෂණීයයි. සියල්ලම අනර්ඝයි. ආර්ච්හිත් ගේ පාලනයෙන් දක්වන ලද්දකි. කථාන්තරය ප්‍රබන්ධ කරන ලද්දේ රොබට් ආච් විසිනි.ශබ්දය බලා ගන්නා ලද්දේ සී. රොයිනන්ටර් විසිනි. යුනිවර්සල් රෙකෝර්ඩිං ඔකැස්ට්‍රා කණ්ඩායම හා යුනිවර්සල් සිටි මැලෝඩිපෝර් කණ්ඩායම සංගීත සම්පාදනය කළහ. මේ හැර මුවිටෝන් ක්‍රමයෙන් දක්වන තවත් සෙල්ලම්. බ්‍රෝඩ්වේ සමාගමේ දක්ෂ නෘත්‍ය ශිල්පීන් විසින් කරනු ලබන තවත් සංග්‍රහයක් නම් බේලි සහ බාර් නම් ගේ මනරම් රැඟුම්වලින් යුත් ග්ලෝබ් ටෝටර්ස් සහ බ්‍රොක්ස් සිස්ටර්ස් නම් චිත්‍රය. අය කිරීම රුපියල් 3, 2, 1 සහ ශත 50කි. ආසන සඳහා ප්ලෑන ලෑස්ති බව ද කලින් ටිකට් නොමැති බව ද දැන්වීමේ සඳහන්ය. මෙම දැන්වීම ඩේලි නිව්ස් පුවත්පතේ පළ කරන ලද දැන්වීමේ අනුසාරයෙක් ලියූවක් බව පෙනෙණ කරුණකි.

පසුගිය සතියේ ලිපිය ආරම්භයේ දී සදහන් කරන ලද්දේ 1929 වසර මෙරට සිනමා ඉතිහාසයේ වැදගත් වසරක් යන කාරණය සඳහන් කරමින්ය. කොළඹ කොටුවට යාබද කොම්පඤ්ඤවීදියේ පිහිටි එම්පයර් සිනමා ශාලා බිම් කඩ අහිමි වූ පසු මදාන් තියටර්ස් අලුත් සිනමා ශාලාවකට සුදුසු ඉඩමක් කොළඹ කොටුව හා පිටකොටුව ආශ්‍රිතව සෙවුව ද ඔවුන්ට ඉඩමක් ලැබුණු වගක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔවුහු එල්ෆින්ස්ටන් සිනමා ශාලාව කොළඹ ප්‍රධාන සිනමාහල ලෙස නම් කරමින් සාර්ථක චිත්‍රපට රාශියක් ප්‍රදර්ශණය කළහ. ඒ වන විට මදාන් සමාගමට කොළඹින් මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහල ට අමතරව ඉබ්බන්වල පබ්ලික් හෝල් ශාලාව ද තිබුණ ද එම්පයර් අහිමි වී ටික දවසක් යනතුරු පබ්ලික් හෝල් ශාලාවේ ද කිසිදු දර්ශනයක් නොවිණ. කොහොමටත් ඒ වනතුරු පබ්ලික් හෝල් ශාලාව චිත්‍රපට ප්‍රදර්ශනය කළේ නැත. එය විදෙස් රටවලින් පැමිණි විවිධ ප්‍රසංග හා මහජන රැස්වීම් සඳහා වෙන්වූයේය. මේ විදෙස් දර්ශන සංවිධාන කර ලද්දේ ද මදාන් තියටර්ස්මය. එහෙත් නිහැඬියාව බිඳීම්න් 1929 මැයි මස 14 වැනි දින ඩේලි නිවුස් පුවත්පතේ දැන්වීමක් පළ විය. ඒ ඉදිරි සති කිහිපය ඇතුළත නව යුගයක් ඇති කරමින් මෙරට මුල්ම කතානාද සිනමාහල විවෘත වන පුවත එමගින් හෙළිදරව් කරමිනි. මේ වනවිට සිනමාහල් සියයක් පමණ මදාන් තියටර්ස් මණ්ඩලයට අයත් බව ද මේ දැන්වීමේ අන්තර්ගත විය. සුප්‍රකට වෙස්ටර්න් ඉලෙක්ට්‍රික් සමාගම වෙනුවෙන් එම්.එම්.කුත්බර්ට් සහ පී.ටී.ෂෙරඩන් යන මහත්වරුන් ගේ අධීක්ෂණය යටතේ සිනමා ශාලාව කතානාද සිනමා ශාලාවක් වන බව මදාන් දන්වා සිටියි. එමෙන්ම පැරණි පබ්ලික් හෝල් ශාලාව එම්පයර් නම ගන්නා බව මුල්වරට හෙළිදරවු කරන්නේ ද එය කතානාද සිනමා හලක් ලෙස පරිවර්තනය වන විත්තිය පවසන්නේ ද එම දැන්වීමය. වෙස්ටර්න් ඉලෙක්ට්‍රිකල් සමාගම ඒ වන විට ලොව මුල්ම කතානාද චිත්‍රපට නිපද වූ වෝර්නර් බ්‍රදර්ස් අනුබද්ධිත විටාෆෝන් සමාගාමේ ශබ්ද උපකරණ පිළිබඳ නියෝජිත සමාගමක් විය. එය ඒ වන විට අයිති වූයේ ද වෝර්නර් බ්‍රදර්ස් සමාගමටය.

මේ දිනයට පසුදිනම එනම් මැයි මස 15 වැනි දින ඩේලිනිව්ස් පුවත්පතේ තවත් දැන්වීමක් පළ කරනු ලබනුයේ ඒ වනවිට මරදානේ ඔලිම්පියා සිනමාහල පවත්වා ගෙන ගිය සිලෝන් තියටර්ස් සමාගමයි. දේශිය සමාගමක් වූ ඔවුන් ඉන්දියානු මදාන් හා සෘජු ව්‍යාපාර අරගලයක නැතිනම් තරගයක යෙදෙන්නට වෑයම් කරන බව මේ දැන්වීම ද සනාථ කරන්නේය. ඒ අනුව එනවා එනවා නොව ආවා යන අර්ථය සහිතව ඔලිම්පියා සිනමාහල දැන්වීමක් පළ කරනුයේ මැයි මස 18 වැනි දින සිට සිනමා විනෝදාස්වාදයේ නවයුගයක් අරඹමින් ද බ්‍රිටිෂ් ටෝකීස් මගින් කතානාද චිත්‍රපට අරඹන විත්තිය කියන්නටය. සියවසේ මහා ප්‍රාතිහාර්යය, නූතන විද්‍යාවේ මහා පුදුමය කතාකරන ගී කියන ශබ්ද සහිත චිත්‍රපටය ලෙස එම දැන්වීමේ සඳහන් කරයි. මෙම දර්ශනමාලාව ඉදිරිපත් කරනුයේ ඒ.ඩබ්ලිව් .ෂෙල් විසිනි. ෂෙල් ලංකාව, ඉන්දියාව හා බුරුමයේ ද බ්‍රිටිස් ටෝකිස් නමින් සංචාරක චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදුනෙකු බැව් අන්තර්ජාල විමර්ශනයේ දී හෙළිදරවු වෙයි. සිලෝන් තියටර්ස් සමාගම ෂෙල් මගින් ඔලිම්පියා සිනමාහලේ චිත්‍රපට ප්‍රදර්ශනය කරවන්නට පෙර ඔහු මෙරට සංචාරය කළා වූ සිනමා ප්‍රදර්ශකයකු ද යන්න විසඳා ගැන්මට කිසිදු සාක්ෂියක් නැත. ඔහු එලෙස සංචාරයේ නියැළුණා නම් ස්ථාවර කතානාද සිනමා ශාලාවක් එළැඹෙන්නට මත්තෙන් ශබ්ද සහිත චිත්‍රපට සංචාරක සිනමාශාලා හරහා දැක ගන්නට ඉඩ සැලසුණා යැයි සිතීම වැරැදි නැත. එහෙත් මෙරට සංචාරක සිනමා ප්‍රදර්ශකයන් පිළිබද තොරතුරු ඇත්තේ අල්පයකි. ඒ ඇත්තේ ද නිව් ඉම්පීරියල් ටෝකිස් තොරතුරු අතරේ පමණකි. ලංකාවේ සංචාරක සිනමා ප්‍රදර්ශකයන් ගැන තොරතුරු සොයා ගත හැක්කේ ඉන්දියානු සිනමාව පිළිබඳ ලියැවුණු පොත්පත් අතරය. මෙහිදී ෂෙල් විසින් ඔලිම්පියා සිනමාහලේ භාවිත කරන ලද්දේ කවර ආකාරයේ ශබ්ද ක්‍රමයක් ද යන්නට සෘජු පිළිතුරක් එම මාසයේ ම 20 වැනි දින ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවකම පළ වෙයි.

1929 මැයි 14 ඩේලිනිව්ස් දැන්වීම-  එම්පයර් සිනමාහල නමින් මුල්ම දැන්වීම
 
1929 ජූලි 13 ඩේලිනිව්ස් දැන්වීම - මෙලඩි ඔෆ් ලව් තිරගත කළ දවස
1929 මැයි මස 18 ඩේලිනිව්ස් දැන්වීම
-ඔලිම්පියා සිනමාහලේ චිත්‍රපට දැක්ම ඇරඹි දවස
 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.