ඒවා බලා ඒවා අසනු

ඔක්තෝබර් 31, 2019

මුල්ම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව වුවත් මෙරට මුල්වරට චලන චිත්‍රයක් තිරගත කරන ලද්දේ 1897 වසෙර්ය. ලාංකික සිනමාවේ සැඟවුණු අතීත පුරාවත හෙළිදරවු කිරීමේ ගවේෂණාත්මක ලිපි මාලාවේ 52 වැනි ලිපිය අද පළ වෙයි. මේ පැරණි ලිපි සියල්ල aviya.lk වෙබ් අඩවියෙන් කියවිය හැකිය.

ෆෝනෝ ෆිල්ම්ස් නම් කථා කරන චිත්‍රපටිය පළමුවෙන් ගෙන්නුවේ අපියි. මේ 1929 මැයි 18 වැනි දින දිනමිණ පුවත්පත පළ කරනු ලබන දැන්වීමක් ආරම්භ වන අන්දමයි.

දැන් බ්‍රිතාන්‍ය ටෝකීස් නම් ඉස්තරම් වූ කථාකරන චිත්‍ර වර්ගයක් හා පුරා කියා අපි ගෙන්වීමු.එය එනවා නොවෙයි දැන් ඇවිත් තියෙනවා.

ඉතා අලුත් චිත්‍ර නෘත්‍ය දර්ශනයයි.මේ ශත වර්ෂයේ ආශ්චර්ය, නවීන ශාස්ත්‍රඥානයේ අරුම පුදුමනාව. මේ කාලේ තිබෙන පුදුම දේ. ඔලිම්පියා නෘත්‍ය ශාලාවෙහි අද හිට සම්පූර්ණ සතියක් තිබේ. දිනපතා දෙවරයි. අ:භා 6 ට සහ 9.30 ට.අදත් හෙටත් අ:3ට.

කථා කරන , සින්දු කියන සහ නාද කරන චිත්‍ර.බ්‍රිටිස් ටෝකීස්

නම් කථා කරන චිත්‍ර නෘතයෙහි හැරල්ස් ලොයිඩ් සේලර් මේඩ් මෑන් වශයෙන් පෙනෙයි.

අය කිරීම- බොක්ස් එකක් රුපියල් 20 යි. විශේෂ ආසනයක් රු.3 යි.අනික්වා රු.2 යි, 1යි.

සීට් ලියවා චිත්‍රය දක්වන වේලාව දක්වා මුදල් නොගෙවා තිබුනොත් එය පිට විකුණනු ලැබේ.

බාගය අයකිරීමක් හෝ නොමිලේ පාස්වීමට නැහැ. අඩු අයකිරීමකුත් නැහැ. නොවැරදී ඉෂ්ට වෙන්න නම් කලින් ටිකැට් ලබා ගත යුතුයි.

එයින් දෙදිනකට පසු දිනමිණ පුවත්පතේ පළ වන තවත් දැන්වීමකට අනුව “ මින් පෙර නොපැමිණි අවස්ථාවක්. ඉඩ නැතිව සිය ගණන් සෙනගට යන්ට වුනා.

මේ සතිය දිගටම අ.භා 3ට සවසප 6 ට සහ රාත්‍රි 9 ට ආරම්භ කර බ්‍රිටිෂ් ටෝකිස් නම් අගනා චිත්‍රය ඔලිම්පියා නෘත්‍ය ශාලාවෙහි දක්වනු ලැබේ.

දිනමිණ ඊළග දවසේ දැන්වීමෙහි එය තවමත් රොද බැඳ ගෙන සෙනග පැමිණීම

සීමාසහිත ලංකා නෘත්‍ය සමාගම ඒ.ඩබ්ලිව්. ෂැල් ගේ ද සම්බන්ධත්වය ඇතිව ඔලිම්පියා නෘත්‍ය ශාලාවේ ලංකාවේ චිත්‍ර නෘත්‍ය පිළිබඳ ඉතිහාසයේ ‍ශ්‍රේෂ්ඨ සිද්ධිය වූ ‘බ්‍රිටිෂ් ටෝකිස්“ නමැති ගමන් කරන කථා කරන , සින්දු කියන, සහ සිනාසෙන පින්තූර .

ඒවා බලා ඒවා අසනු.

මහත් සේනාවෙන් පරිපූර්ණ වූ ශබ්ද නොමැති වූ විහිලු කථාන්තර .

ලෝකේ ප්‍රධාන විහිලුකරු වූ හැරල්ඩ් ලොයිඩ් ගේ රැඟුම්වලින් පිරි සේලර් මේඩ් මෑන් නම් චිත්‍රය ද පෙන්වනු ලැබේ.

එහෙත් මෙහි සඳහන් හැරල්ඩ් ලොයිඩ් රඟපෑ අ සේලර් මේඩ් මෑන් කිසි කලක කතානාද චිත්‍රපටයක් නොවිණ. එය 1921 වසරේ තිරයට ආ නිහඬ චිත්‍රපටයකි. එහි දෙබස් කාඩ්පත් මගින් (ධ්ව්ඊඡ්අඊධ්ඊඹ්ඡ්ඉ) පෙන්වා දෙන ලද චිත්‍රපටයකි. අ සේලර් මේඩ් මෑන් ලංකාවේ තිර ගත කරනුයේ කතා කරන චිත්‍රපට අතරතුර නම් බ්‍රිටිෂ් ෆිල්ම්ස් ගෙන එන කථා කරන චිත්‍රපට කවරෙක් ද  ?  එයට පිළිතුර පුවත්පතේ දැන්වීමේ ම සදහන්ය. ඒ ෆෝනෝ ෆිල්ම්ස් ක්‍රමයයි. (නඩධදධ ටඪතථ) ඔලිම්පියා සිනමාහලේ ප්‍රදර්ශණය කරන ලද චිත්‍රපට දැක්මට අඩංගු චිත්‍රපට කවරේද යන්න ගැන විස්තරයක් මැයි මස 20 වැනි දින ඩේලි නිවුස් පුවත්පතේ මුල් පිටුවෙහි සඳහන් වෙයි. ඊචතඬඪඥඵ චබ බඩඥ ධතරථනඪච යන මැයෙන් යුත් එම ප්‍රවෘත්තියෙහි සදහන් වන අන්දමට ශබ්දය ,සංගීතය වැනි දේ තිරයෙහි ඇති රූප සමග මිශ්‍රව ඉදිරිපත් වෙයි. ඒ.ඩබ්ලිව්.ෂෙල් හා ලංකා නෘත්‍ය සමාගම (සිලෝන් තියටර්ස් ලිම්ටඩ්) එක්ව ගෙන එනු ලබන කතා කරන රූපාවලිය මෙරට සිනමාවේ වැදගත් අවස්ථාවකි. එහෙත් එයට ඇතුළත්ව ඇත්තේ වෘත්තාන්ත චිත්‍රපට නොවේ. වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට එකතුවකි. එයින් එකක් නම් බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ නායකයකු එරට පාසල් ඇතුළු ස්ථානවල කරන දේශපාලන කථා කිහිපයකි. මේ අවදියේ බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් නායකයෝ සිය දේශපාලන කතා රූප ගත කොට( ෆෝනෝ ෆිල්ම්ස් ක්‍රමයෙන්) රට පුරා බෙදාහැරියහ. එමගින් ඔවුන්ගේ දේශපාලන පණිවිඩය රට තුළ වපුළහ.

ෂෙල් විසින් ඔලිම්පියා සිනමාහලේ ප්‍රදර්ශනය කරන ලද එක් ජවනිකා පෙළක් වූයේ මේ කොන්සර්වේටිව් දේශපාලන කතාය. අනෙක බකිංහැම් මාළිගාවේ සොල්දාදුවන් සිය තූර්ය වාදන සමග ගමන් ගන්නා දර්ශන පෙළකි. ගායක ජෝර්ජ් හැක්ලි විසින් ගායනා කරන ලද එව්රිබොඩි ගොයිං ටු ද ඩෝග්ස් ගීත අනතුරුව වාදනය විය. . එම ගායනයට අමතරව බල්ලෙකු ගේ බිරීමක් ද රූපය සමග අඩංගුය. බ්‍රැන්සි විලියම් චාල්ස් ඩිකන්ස් ගේ බ්ලීක් හවුස් නවකතාවේ චරිතයක් රඟ දක්වන ජවනිකාවක් ලැන්කැස්ටර් විකට නළුවකු වූ හැල් ජෝන්ස් ගේ විකට ජවනිකාවක් ද ලන්ඩනයේ වික්ටෝරියා මාලිගයේ වික්ටෝරියන් යුවතියන්ගේ මනහර රැගුම් ද නෙස්බිට්ස් නම් දකුණු අප්‍රිකානු විනෝදාස්වාදී කණ්ඩායමේ නර්තන ඇතුළත් විශේෂාංගයක් ද මේ දර්ශන මාලාවට අඩංගු විය.

ලී ඩි ෆෝරෙස්ට් නම් ඉංජිනේරු ව්‍යාපාරිකයාත් තියෝඩර් කේස් නම් රසායන විද්‍යාඥයා ගේ දායකත්වයෙන් එළි දකින ෆෝනෝෆිල්ම් ක්‍රමය හදුන්වා දෙනු ලබනුයේ 1920 වසරේ පමණය. එහි මුල් පියවරවූයේ ෆොරෙස්ට්ගේ ඕඩියන් ටියුබ් නම් ශබ්ද මෙහෙයවීම සිනමා රූපයට ආරෝපණය කිරීමය. චලන චිත්‍රය තිරය මත පතිත වන විට එයට අදාළව ශබ්ද පටය සමාන්තරව තිරය මතට මුදාහැරීම මෙහි සරල ක්‍රමවේදය විය. 1914 වසරේ දී ෆින්ලන්තයේ එරික් ටයිගර්ස්ටේඩ් විසින් හදුන්වාදුන් මෙම ක්‍රමවේදය ඩී ෆොරෙස්ට් විසින් වැඩි දියුණු කරන ලද්දේ පසුකලකය. මේ වන විට කතානාද සිනමාව පිළිබඳ සිනමාකරුවන් හා ව්‍යාපාරිකයන් විවිධ අත්හදා බැලීම්වල යෙදුණ යුගයකි.

ෆොනෝෆිල්ම්ස් ක්‍රමයෙන් රූපයට නැංවුණේ තත්පරයට රාමු 21 ක් ධාවනයෙන් යුත් චලන චිත්‍රයකි. මෙහිදී දේශපාලන කථා, ගායනා සංගීත ආදිය ශබ්දය සමග රූප ගත කරවන ලදී. එය ප්‍රායෝගිකව ගත් කල පැහැදිලි ශබ්ද ක්‍රමයක් නොවිණ. එමෙන්ම අඛණ්ඩව ශබ්දය ධාවනය කෙරෙහි අවධානය යොමු කළ යුතු විය.

ඔලිම්පියා සිනමාහලේ ප්‍රදර්ශනය වූ ඇතැම් කෙටි චිත්‍රපට 1922 වසරේදී ඩිෆොරෙස්ට් විසින් ෆෝනෝෆිල්ම් ක්‍රමය පර්යේෂණයට ලක්කරමින් තැනුණු නිර්මාණ විය. එව්රි බොඩි ගොයිං ටු ද ඩෝග්ස් වැන්න එයට උදාහරණයකි.

මෙම චිත්‍රපට සියල්ල කෙටි චිත්‍රපට වූ අතර එමගින් අමෙරිකානු ප්‍රධාන චිත්‍රාගාර කෙරෙහි ඔහුගේ අවධානය යොමු කර ගැනීම ඩිෆොරෙස්ට් ගේ අභිලාෂය වුව ද ඒ වන විටත් විටාෆෝන් මුවිටෝන් වැනි ශබ්ද ක්‍රම එයට වඩා වැඩි දියුණු වීම ‍ෆෝනෝෆිල්ම් සඳහා සෘජුව බලපෑවේය.කෙසේ වෙතත් 1924 වසර වන විට වෙස්ටර්න් ඉලෙක්ට්‍රිකල්ස් සමාගම ශබ්ද පර්යේෂණ වෙළෙඳ පොළෙහි ආධිපත්‍යය දරන්නට සමත්විය. එබැවින් ඔවුන් විසින් බිහි කරන ලද වේගය එනම් තත්පරයට රාමු 24 ක් හෙවත් මිනිත්තුවකට අඩි 90 සම්මතය බවට පත් කරගැනීම අපහසුවක් නොවිණ. එබැවින් සියලු චිත්‍රගාර විසින් එය සම්මතය බවට පත් කර ගන්නා ලදී. කෙසේ වෙතත් ශබ්ද සහිත චලන චිත්‍ර දර්ශන මාලාවක පෙනී සිටි මුල්ම අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කැල්වින් කුලීජ් ගේ හඬ රූප ගත කරන ලද්දේ ෆෝනෝෆිල්ම් ක්‍රමය යටතේය.

පැරමවුන්ට් පික්චර්ස් සමාගමේ බෙලඩෝනා සහ ද කවර්ඩ් වැගන් චිත්‍රපට සඳහා අත්හදා බැලීමක් ලෙස ෆෝනෝෆිලම් ක්‍රමයට රූප ගත කරන ලදී. මේ චිත්‍රපට සියල්ල තනිරීලයේ චිත්‍රපට විය. මේ අතරවාරයේ ඩිෆොරෙස්ට් සහ තියෝඩර් කේස් අතර මතවාද රැසක් පැවතිණ. ඩිෆොරෙස්ට් අවධානය යොමු කරන ලද්දේ සිය කීර්තිය කෙරෙහිය. එබැවින් 1926 වන විට ෆොරෙස්ට් ගේ සමාගම වස්තු භංගත්වට පත් වූ බව ලෝක සිනමා ඉතිහාසයේ පෙන්වා දෙයි. එහෙත් ඔහුගේ නියෝජිතයෝ තව දුරටත් ෆෝනෝෆිල්ම්ස් ක්‍රමයේ චිත්‍රපට ලොව පුරා විශේෂයෙන් ආසියාවේ සමහර තැන්වල මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කළහ. ලංකාවේ ප්‍රථම වරට කතානාද චිත්‍රපට දැක්මක් ලෙස හිටි අඩියේ තිර ගත කරන ලද බ්‍රිටිෂ් ටෝකිස් චිත්‍රපට මාලාව එබන්දක් බැව් මෙයින් පැහැදිලිවන කරුණකි.

ඔලිම්පියා සිනමාහල එම දර්ශන මාලාවෙන් පසු නැවත නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනයට යොමුවිණ. ඒ අතරවාරයේ පැරණි පබ්ලික්හෝල් ශාලාව එම්පයර් නමින් නවීකරණය කිරීමේ ක්‍රියාවලිය දිගටම සිදුවිය. ඔවුන්ගේ කතානාද සිනමා ක්‍රමවේදය පිළිබඳ මදාන් තියටර්ස් කළමනාකාර අධිපති ජේ.ජේ.මදාන් ඩේලිනිවුස් පුවත්පතට හෙළිදරව් කළේය. එමෙන්ම සිනමාහල නවීකරණය සඳහා පැමිණි වෙස්ටර්න් ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරුවරුද සිය කාර්යභාරය ඩේලිනිවුස් පුවත්පතට පැහැදිලි කර තිබිණ. ඒ සියල්ල ලබන සතියේ කියවමු. එමෙන්ම ඒ අනුව තාක්ෂණික සම්මතය කවරක් වුව ද මෙරට මුල්වරට කතානාද චලන චිත්‍ර දැක්මක් පැවැත්වූයේ ඔලිම්පියා සිනමාහලේ බවත් එහි ගෞරවය සිලෝන් තියටර්ස් සමාගමට හිමිවිය යුතු බවත් මෙහි සඳහන් කළ යුතුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.