කථා කරන බයස්කෝප් කොළඹ එයි

නොවැම්බර් 7, 2019

මුල්ම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව වුවත් මෙරට මුල්වරට චලන චිත්‍රයක් තිරගත කරන ලද්දේ 1897 වසෙර්ය. ලාංකික සිනමාවේ සැඟවුණු අතීත පුරාවත හෙළිදරවු කිරීමේ ගවේෂණාත්මක ලිපි මාලාවේ 53 වැනි ලිපිය අද පළ වෙයි. මේ පැරණි ලිපි සියල්ල www.sarasaviya.lk  වෙබ් අඩවියෙන් කියවිය හැකිය.

කථාකරන බයස්කෝප් චිත්‍ර

මඩාන් නෘත්‍ය සමාගමේ උනන්දුව

බටහිර ක්‍රමය

සති ගණනකින් ලංකාවේ ආරම්භ කරන්ට යාම

කථාකරන බයස්කෝප් සිතුවම් ගැන විශේෂ උනන්දුවක් දක්වන මඩාන් මහතා තරුණයෙකි.මඩාන් සමාගමට අයත් බයස් කෝප් ශාලා සිය ගණනක් ඉන්දියාව බුරුමය සහ ලංකාව යන දේශයන්හි ඇත්තේය.මඩාන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තැනවූ දැනට ලංකාවේ සිටින මඩාන් මහතා සමග දිනමිණ පත්‍රයේ වාර්තාකරුවෙක් ඊයේ සාකච්ඡාවක් පැවැත්වූයේය. තව සති හයක් ඇතුළත කොළඹ නගරයේ මීට පෙර නොඇසූ විරූ කථා කරන බයස්කෝප් සිතුවමක් පබ්ලික් හෝල් ශාලාවේ දී පෙන්වන්ට පිළිවෙළ කරගෙන යන බව ඒ මහතා වාර්තාකරුට දැනුම් දුන්නේය. බටහිර ක්‍රමය අනුව මේ රටේ ද විදුලි ක්‍රමයක් ආශ්‍රය කොට සිතුවම් දහස් ගණනක් පෙන්වන්නට පුළුවන. ඇම්පයර් චිත්‍ර නෘත්‍ය ශාලාවෙහි ප්‍රථම වරට පෙන්වනු ලබන්නේ යුනිවර්සල් චිත්‍රපටයක් වූ ආලයේ ශොකාතුරභවය යන මාතෘකාන්විත කථාන්තරයයි.

1929 මැයි මස 18 වැනි දා සෙනසුරාදා දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ පළ වුණු මේ ප්‍රවෘත්තිය අපේ සිනමා ඉතිහාසයට අතිශය වැදගත්ය. එමෙන්ම එදින ඩේලි නිවුස් පුවත්පත එයට වඩා දීර්ඝ විස්තරයක් ගෙන එනු ලබන්නේය.

කතානාද නිසැකවම කොළඹට පැමිණෙන්නේය. ජේ.ජේ මදාන් ඩේලි නිවුස් පුවත්පත සමග කළ සාකච්ඡාවේදි පවසා තිබිණ. සීමාසහිත මදාන් තියටර්ස් සමාගමේ ප්‍රධානි මදාන් මහතා ලංකාවට පැමිණයේ කතානාද සිනමාව මහජනයාට හඳුන්වාදීමටය. එහි කළමනාකාර අධ්‍යක්ෂ මදාන් ඉන්දියාව, බුරුමය සහ ශ්‍රී ලංකාවේ සිනමා ශාලා සියයකට වඩා පාලනය කරනු ලබන අතර විනෝදාකාමි කර්මාන්තයේ අනාගතය ගැන සැරසී සිටින තරුණයෙකු ලෙස ඩේලි නිවුස් වාර්තාකරු ඔහු හඳුන්වා දෙනු ලබයි.මේ සාකච්ඡාව පවත්වනු ලබනුයේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දීය. ජේ.ජේ.මදාන් පොදු විනෝදාස්වාදය සදහා පබ්ලික් හෝල් ගොඩනැගිල්ල මුළුමනින්ම ප්‍රතිනිර්මාණය කළ යුතු බැව් පෙන්වා දෙනු ලබයි. ඒ සදහා විශාල මුදලක් වැය වන අතර නවීන පන්නයේ ආසන පහසුකම් මෙන්ම ශාලාවේ සිසිලන පද්ධතියක් ද අලුතින් ඇතුළත් වන බව දන්වා සිටියි.

පුවත්පත් සාකච්ඡාවට අනුව ඔහු මුල්වරට කතානාද චිත්‍රපටයක් දැක ගන්නේ 1926 වසරේ අමෙරිකානු චිත්‍රාගාරයකදීය. එය ඒ වන විටත් තිබුණේ පර්යේෂණ මට්ටමකය. එමෙන්ම කතානාද චිත්‍රපටයක් පිළියෙළ කිරීම පහසු කටයුත්තක් නොවේ. ඔහු කොළඹ පබ්ලික් හෝල් ශාලාව එම්පයර් නමින් නම් කර කතානාද සිනමා ශාලාවක් බවට පරිවර්තනය කරනුයේ කල්කටාව, බොම්බාය, රැංගූන්, හා ලාහෝරයේ ඔවුන්ගේ සිනමා ශාලාවන් කතානාද සිනමා ශාලාවන් බවට පරිවර්තනය කළ පසුය. සිනමා ශාලාවේ කතානාද යන්ත්‍ර සවි කිරීමට පැමිණි වෙස්ටර්න් ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරු එම්.එම්. කෝබට් සහ පී.ටී. ෂෙරිඩන් ගේ සාකච්ඡාවක් ද ඩේලි නිවුස් පුවත්තේ පළ කරනු ලබයි. මෙහි දී මුවිටෝන් සහ විටාෆෝන් නම් තාක්ෂණ ක්‍රමවේදයන් යුගලම සිනමාහලේ ශබ්ද සඳහා උපයෝගි කර ගැනීම විශේෂයකි. මේ ක්‍රමවේද ද්විත්වය පිළිබඳවම මාධ්‍ය හමුවේ පැහැදිලි කර දීමට ඔවුහු සමත් වෙති. මෙහිදී විටාෆෝන් ක්‍රමය යටතේ ශබ්ද තැටියක් භාවිත වන අතර එය සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය සමග සමගාමිව ධාවනය ව වෙයි.

 මුවිටෝන් ක්‍රමය වෙනුයේ ශබ්ද පටය චිත්‍රපටයේ පිටපතත් සමගම ඒකා බද්ධ වීමය. මෙය සිනමා කතානාද චිත්‍රපට පිළිබද මෙරට පළ කරනු ලබන මුල්ම පුවත්පත් සාකච්ඡාව ලෙස ගිණිය හැක. ජේ.එෆ්.මදාන් විසින් නිර්මාණය කරන ලද මදාන් තියටර්ස් සමාගම නව යුගයකට ගෙන ගිය ජේ.ජේ.මදාන් සමග කළ එකම ලාංකික පුවත්පත් සාකච්ඡාව මෙයයි. මේ අනුව 1929 වසරේ ජූලි මස 13 වැනි දින මෙරට එම්පයර් සිනමා හල නමින් පබ්ලික් හෝල් නවීකරණය වූ අතර එහි මෙලඩි ඔෆ් ලව් චිත්‍රපටය තිර ගතවීම ඇරඹෙයි. මේ සම්පූර්ණ කතානාද චිත්‍රපටයක් බැව් ලෝක සිනමා ඉතිහාසය සනාථ කරන්නනේය. ලොව මුල්ම කතානාද චිත්‍රපටය වූ ද ජෑස් සිංගර් තිර ගත කොට ඒ වන විට හරියටම ගත ව තිබුණේ අවුරුදු දෙකකට ආසන්න කාලයකි. එය තිර ගත වූයේ 1927 වසරේ ඔක්තෝබර් මස 7 වැනි දාය.

 එයින් දෙවසරක් ගත වන්නට මත්තෙන් ලාංකික සිනමා ප්‍රෙක්ෂකයන්ට කතානාද අත්දැකීම විඳගන්නට සැලසීම කාලයේ හැටියට ඉතා වැදගත් කරුණක් වෙයි. මෙලඩි ඔෆ් ලව් යුනිවර්සල් සමාගමේ නිෂ්පාදනයකි. එය යුනිවර්සල් සමාගමේ මුල්ම ශබ්ද සහිත චිත්‍රපටය විය. වෝල්ටර් පිජන් සහ මිල්ඩ්‍රඩ් හැරිස් එහි ප්‍රධාන චරිත රඟපෑහ. අධ්‍යක්ෂණය ආච් හීත් ගෙනි. යුනිවර්සල් අධිපති කාල් ලයෙම්ලේ මෙලඩි ඔෆ් ලව් නිෂ්පාදනය සඳහා ඒ වන විට ෆොක්ස් සමාගමේ ශබ්ද තාක්ෂණය උපයෝගි කොට ගත්තේය. වෝර්නර් 

බ්‍රදර්ස් සමාගම මගින් ශබ්ද තාක්ෂණය උපයෝගි කර ගෙන මුල්ම කතනාද චිත්‍රපටය ලොව බිහි කිරීමේ ගෞරවය දිනා ගැන්ම ඒ වනවිට හොලිවුඩ් දැවැන්තම චිත්‍රාගාරය හිමි යුනිවර්සල් සමාගම ට සිදුවන ව්‍යාපාරික පරාජයක් බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. මෙලඩි ඔෆ් ලව් ශබ්ද පටි ගත කිරීම සඳහා ඔවුන් ශබ්ද උපකරණ කුලියට ගෙන තිබුණේ සතියක කාලයටය. එමෙන්ම ඒ හැන්දෑවේ ෆොක්ස් චිත්‍රාගාරය වසා දැමූ පසුවය. එබැවින් ඉතා ඉක්මනින් රූපගත කරන්නට මෙලඩි ඔෆ් ලව් පිරිසට සිදුවිය.

චිත්‍රපටයට පාදක වනුයේ පළමුවැනි ලෝක මහා සංග්‍රාම සමයේ ගීත රචකයකු හා කණ්ඩායමක අතිරේක ගායිකාවක අතර ඇතිවන ප්‍රේම වෘත්තාන්තයකි. කෙසේ වෙතත් මේ චිත්‍රපටයේ කිසිදු පිටපතක් මේ වන විට ලෝකයේ ඉතිරිව නැත.

ලොව මුල්ම කතානාද චිත්‍රපටය වන ද ජෑස් සිංගර් මෙරට තිර ගත වනුයේ එයින් පසු නොවැම්බර් මාසයේ 12 වැනි දින සිටය.

ජූලි මස 11 වැනි දින දිනමිණ පුවත්පතේ ඇති දැන්වීමට අනුව “ඇම්පයර් නෘත්‍ය ශාලාව” මෙලෙස හදුන්වාදී තිබේ.

මෙය ඉස්සර පබ්ලික් හෝල් එකයි. රඟ දක්වමින් කථා කරන චිත්‍ර දැකීමට තිබෙන සුප්‍රසිද්ධ ස්ථානය මෙය වේ. කොළඹ නගරාධිපති හා නාගරික සභාවේ සභාපති වූ බී.ඒ,සී.සී.එස්, ඒ.සී. උපාධිධාරි එච්.ඊ.නිවුන්හැම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා එතුමා හමුවෙහි ප්‍රාරම්භ රාත්‍රිය විවෘත කරනු ලැබේ.

මදාන් සමාගම ගොඩ නැංවූ විශිෂ්ටතම සිනමා ශාලාව වන මරදානේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව විවෘත කරන ලද්දේ ද නිවුංහැම් මහතා අතිනි. එම්පයර් ශාලාව පූර්ණ සිනමා ශලාවක් බවට පරිවර්තනය වනුයේ ද එයින් පසුවය. ඒ වනතෙක් පබ්ලික් හෝල් ශාලාවේ පැවැත්වූ විදේස් රටවලින් ආනයනිත නාට්‍ය හා සංගීත ප්‍රසංග තවත් ටික කලක් පැවැත්වුව ද එය පැවැත්වූයේ රාත්‍රි 9.30න් පසුවය.

එයට පෙර ඔලිම්පියා සිනමාහලේ ප්‍රදර්ශනය වූ ඒ.ඩබ්ලිව්.ෂෙල් විසින් ඉදිරිපත් කරන ලද ෆෝනෝෆිල්ම්ස් කතානාද චිත්‍රපට දැක්ම අනතුරුව පවත්වනුයේ යාපනයේ ජැෆ්නා පික්චර් පැලස් ශාලාවේය. එදිනම යාපනයේ රිජ්වේ සිනමාහලේ දී රාමායණය තිර ගත වන අවස්ථාවේ සිනමා ශාලාව ගිනි ගැනීම නිසා මහත් කලබලයක් ඇති වී තිබිණ. චිත්‍රපටය ප්‍රදර්ශනය කොට ඇත්තේ පී. රාමනාදන් යුවලගේ ප්‍රධානත්වයෙනි.

මදාන් තියටර්ස් කථා නාද සිනමා ශාලා අරඹන්නට තැත් කරද්දී එහි වසර ගණනාවක් මෙරට කළමනාකරු වූ එෆ්.සී.පැරක් මෙරටින් යළි ඉන්දියාවේ කල්කටා නුවර මදාන් තියටර්ස් කාර්යාලයට යළි පිටත්ව ගියේය. මදාන් තියටර්ස් මෙරට ව්‍යාපාරය ආරම්භ වූ දවසේ සිටම මෙහි කළමනාකරුවූයේ පැරක්ය. මෙරට මදාන් ව්‍යාපාරය ගොඩ නැගීමේ දී ඔහු විශේෂ කාර්ය භාරයක් ඉටු කළ බව පෙනී යයි. පැරක් වෙනුවට අනුප්‍රාප්තිකයෝ දෙදෙනෙකු පත් කරනු ලැබෙයි. ඒ අනුව පබ්ලික් හෝල් කළමනාකරු හැටියට සදර්වුඩ් නමැත්තෙකු පත් වෙයි. මේ වන විට පබ්ලික් හෝල් ශාලාව එම්පයර් නමින් නවීකරණය වන්නට සූදානම්ය. එල්ෆින්ස්ටන් සිනමාහලේ කළමනාකරු ලෙස ගාන්දේවියා හතා පත්විය. මේ දෙදෙනාම සිනමා කළමනාකාරිත්වය පිළිබඳ යුරෝපිය අත්දැකීම් ලද්දෝ බව පුවත්පත් වාර්තාව හෙළිදරවු කරයි.

එහෙත් මෙරටින් නික්ම ගිය පැරක් ඉන් දෙවසරකට පසු යළි ලංකාවට පැමිණියේය. ඒ මරදානේ ටවර් රඟහල චිත්‍රපට ප්‍රදර්ශනයට පරිවර්තනය කරමින්ය. ඒ වන විට ඔහු මදාන් තියටර්ස් වෙතින් ඉවත්ව ස්වාධින ප්‍රදර්ශකයකු වූ වග පෙනී යයි. පැරක් සිය ජීවිතයේ අවසාන භාගය ගත කරන ලද්දේ ලංකාවේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.