රොමානිස් හැදුවේ සිංහලයෙක් ද ජර්මානුවෙක් ද ?

නොවැම්බර් 21, 2019
ප්ලාටේ ගේ චිත්‍රපට පිළිබඳ වෙළඳ දැන්වීම

 

මුල්ම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව වුවත් මෙරට මුල්වරට චලන චිත්‍රයක් තිරගත කරන ලද්දේ 1897 වසෙර්ය. ලාංකික සිනමාවේ සැඟවුණු අතීත පුරාවත හෙළිදරවු කිරීමේ ගවේෂණාත්මක ලිපි මාලාවේ 55 වැනි ලිපිය අද පළ වෙයි. මේ පැරණි ලිපි සියල්ල ඹඹඹ.ඵචපචඵචමඪරච.තඬ වෙබ් අඩවියෙන් කියවිය හැකිය.

 

පසුගිය සතියේ සරසවිය පුවත්පත පළ වූ දිනට පසු දිනම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අපට ලිපියක් එවා තිබිණ. අප එය මෙවර පළ කරනු ලබනුයේ එහි ඇති වැදගත්කම හා එමඟින් එතුමන් දැක්වූ නිහතමානී බවට ගෞරවයක් ලෙසය. ඒ ලිපිය මෙලසය.

“ඔබ ලියන අපේ සිනමා වත මා දිගින් දිගටම කියෙව්වා. අපේ සිනමාවේ යටගිය දවස ගැන අපූරු තොරතුරු රැසක් දැන ගත්තා. ගතවූ සතියේ ‘රොමානිස්‘ ගැන ඔබ කළ හෙළිදරව්වෙන් මම අමන්දානන්දයට පත්වුණා. ඒ වනාහි මෙතුවක් කාලයක් අප කාටවත් ඇස නොගැසුණු ප්‍රවෘත්තියක්. අප හැමදාමත් සිංහල නාට්‍යයේත් සිංහල සිනමාවේත් ඉතිහාසය හාරා ඇවිස්සුවේ පරණ පත්‍ර ඔස්සේ තමයි. ඒ අනුව අප දැන ගෙන තිබුණේ කඩවුණු පොරොන්දුවට පෙර නිෂ්පාදිත චිත්‍රපට දෙකක් ගැන පමණයි. ඒ රාජකීය වික්‍රමය සහ පළිගැනීම ගැන පමණයි. එහෙත් ඔබ ඊටත් පෙර එනම් 1929 තිර ගත කළ අපේ චිත්‍රපටයක තොරතුරු සොයා ගත්තා. විශිෂ්ට සොයා ගැනීමක්.‘යනුවෙන් මහාචාර්ය තුමන් එහි සඳහන් කර තිබිණ.

රොමානිස් චිත්‍රපටයේ තොරතුරු අළලා ලියන ලද මුල් ලිපියෙහි හෝ එහි අධ්‍යක්ෂ කවුදැයි යන්න තවමත් ගැටලුවකි. මේ ඒ පිළිබදව තවත් කරුණු ගෙන හැර පෑමකි. චිත්‍රපටය පිළිබඳ එන කිසිදු විස්තරයක සෘජුවම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්දැයි හෝ නළු නිළියන් කවුරුන්දැයි හෝ සඳහන් නොවිණ. එහි චරිත නිරූපණය කළෝ කවුරුන්දැයි සඳහන් නොවුණත් ඔවුන් ඒ වන විට වේදිකාවේ නළු නිළියන් යැයි අනුමාන කළ හැක්කේ දිනමිණ වාර්තා කරන අන්දමට නළු නිළියන් නිර්නාමිකව සිටීමට උත්සාහ කර ඇතත් ඔවුන් හඳුනා ගත හැකි වග පවසන හෙයින්ය. එමෙන්ම එහි ම අතිරේකව ගැමියන් හා හෙදියක ද දර්ශනවල පෙනී සිටි වග වාර්තා වෙයි. මේ අවදියේම කොළඹ නළු නිළියන් පෙනී සිටි වෙනත් චිත්‍රපටයක් නිසා සිදු වූ ආන්දෝලානාත්මක සිදුවීමක් ද වෙයි. ඒ ගැන ලිවීම පසුවට තබා අපි තව දුරටත් රොමානිස් හෙවත් ද රොමෑන්ස් ඔෆ් රොමානිස් ගැන සොයා යමු.

රොමානිස් චිත්‍රපටය නිපදවනුයේ කවුරුන්ද? එයට නිසි පිළිතුරක් වාර්තාවලින්ම සොයා ගත හැකි වෙයි. චිත්‍රපටය නිපදවනුයේ මෙරට අදටත් පවතින පැරණිතම ඡායාරූප සමාගම වන කොල්ලුපිටියේ සීමාසහිත ප්ලාටේ සමාගමයි. එය ආරම්භ කරනුයේ 1890 වසෙර්ය. 1880 වන විට මෙරට විශිෂ්ට ඡායාරූප කලාවක් ගොඩ නැංවීමේ පදනම වැටී තිබිණ. බ්‍රිතාන්‍ය හා වෙනත් ජාතික ඡායාරූප ශිල්පීහු මෙන්ම ස්වදේශික ඡායාරූප ශිල්පීහු ද ඒ අතර වෙති. 1880 වසරේ කොළඹ බිහිවුණු ආධුනික ඡායාරූප සංගමය එහි වැදගත් අවස්ථාවකි. මෙරට මුල් වරට චිත්‍රපට ප්‍රදර්ශනයේ නියැලුණු ඒ.ඩබ්ලිව් ඇන්ඩ්‍රි ද ඡායාරූප ශාලා හිමියෙකි. කොල්ලුපිටියේ ප්ලාටේ සමාගම බිහි කරලනුයේ ඒ.(ඇල්ෆ්‍රඩ්) ඩබ්.(විලියම්) ඒ (ඇමෙන්ඩස්) ප්ලාටේ සහ ඔහුගේ භාර්යාව වන ක්ලේරා ප්ලාටේ මහත්මිය විසින්ය. ප්ලාටේ 1859 වසරේ ජර්මනියේ දී උපත ලබන අතර ඔහු 1886 වසරේ ක්ලාරා හයින්මාන් සමග විවාහ වනුයේ ලන්ඩනයේ දීය. ඒ බැව් කියා සිටිනුයේ පැරණි ඡායාරූප ශිල්පීන් ගැන කියන ලුමිනස් ලින්ට් වෙබ් අඩවියයි. ප්ලාටේ යුවළ ලංකාවට පැමිණෙනුයේ විවාහයෙන් වසරකට පසුවය. ඔවුන්ගේ මුල්ම ඡායාරූපාගාරය එවකට කොළඹ කොටුවේ පැවති බ්‍රිස්ටල් හෝටල් පරිශ්‍රයේ දී ආරම්භ කරන ලද්දේ 1890 වසෙර්ය. ඒ.ඩබ්ලිව්.ඒ.ප්ලාටේ ඇන්ඩ් කම්පනි නමින් ආරම්භ කරන ලද එම ව්‍යාපාරය සාර්ථක ඡායාරූපාගාරයක් විය. වර්තමාන ප්ලාටේ සමාගමේ වෙබ් අඩවිය හා ජෝන් ෆැල්කනර් විසින් ලියන ලද අ බයෝග්‍රෑෆිකල් ඩික්ෂනරි ඔෆ් 19 සෙන්චරි ෆොටෝග්‍රැෆර්ස් ඉන් සවුත් ඇන්ඩ් සවුත් ඊස්ට් ඒෂියා ග්‍රන්ථය සඳහන් කරන පරිදි කොල්ලුපිටියේ වර්තමාන භූමි භාගයේ ඔවුන්ගේ ඡායාරූපාගාරය විවෘත කරනු ලබනුයේ 1892 වසෙර්ය.

1910 වසරේ සිට ක්ලරා සමග එම ව්‍යාපාරය පවත්වාගෙන යන්නට ඇගේ සොහොයුරා වූ හර්බට් හයින්මාන් ද පැමිණෙයි. හර්බට් හයින්මාන් සමාගමේ කළමනාකාර හවුල්කරු වූවා පමණක් නොව එය දැවැන්ත ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන ලදී. ඔවුන්ගේ ශාඛාවන් නුවරඑළිය ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකම පැවැතියේය. ( කාගිල්ස්, මිලර්ස්, වෝකර්ස් වැනි විදේශිකයින් විසින් ආරම්භ කරන ලද සමාගම්වන්ගේ පවා ශාඛා රැසක් එකල වතු ආශ්‍රිතව ගොඩ නැගුණේ එම වතු පාලනය කළ ඉංග්‍රිසි ජාතිකයන් ගේ අවශ්‍යතාවන් පරිදිය. ) ප්ලාටේ ශාඛා ගෝල්ෆේස් හෝටලයේ සහ මහනුවර ක්වීන්ස් හෝටලයේ ද තිබිණ. මේ සියල්ල පාලනය කරන ලද්දේ කොල්ලුපිටියේ පැවැති ප්‍රධාන කාර්යාලය මගින්ය. ඒ අවදියේ යුරෝපීයයන් දස දෙනෙක් මෙන්ම ස්වදේශිකයන් හැටකට වැඩි සංඛ්‍යාවක් එහි සේවය කළහ. එහි ඡායාරූපාගාරය අංග සම්පූර්ණ ඡායාරූපාගාරයක් විය. ඔවුහු මේ දිවයිනේ වඩා සිත් ඇද ගන්නාසුලු දර්ශන ඡායාරූපයන්ට නැංවුහ. එමෙන්ම වෘත්තිය ඡායාරූප ශිල්පින් වශයෙන් ද කටයුතු කළහ. 1907 වසර වන විට එමගින් ලංකාවේ විවිධ ඡායාරූප ඇතුළත් පික්චර් පෝස්ට් කාඩ් මිලියන භාගයකට වඩා නිකුත් කරන ලද බැව් ෆැල්කනර් සඳහන් කරයි. ඇල්ෆ්‍රඩ් ප්ලාටේ මියයන්නේ 1931 වසරේ ඔක්තෝබර් 19 වැනි දින ඕස්ත්‍රියාවේ ලින්ස් නගරයේ දී බැව් ලුමිනස් ලින්ට් වෙබ් අඩවිය සදහන් කළ ද ෆැල්කනර් සඳහන් කරනුයේ ඔහු 1920 වසරේ මියගිය බවය. ක්ලාරා 1934 වසරේ දී එංගලන්තයේ කෙන්ට් හිදී මිය ගිය බව ඔහු සඳහන් කරයි. ක්ලාරා සමග සොහොයුරු හර්බට් 1923 දක්වා එක්ව කටයුතු කළ බැව් මේ පැරනි සටහන් හා වෙබ් අඩවි සඳහන් කරයි.

ක්ලාරා හෝ ඇල්ෆ්‍රඩ් කෙසේ වෙතත් හර්බට් හයින්මාන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස 1929 වසරේ කටයුතු කළ බැව් දිනමිණ පුවත්පත් වාර්තාවක සදහන් වෙයි. ඒ 1929 වසරේ ම මාර්තු මාසයේ ගාල්ලේ අධිකරණය හමුවේ ඇසෙන ප්ලාටේ සමාගමට විරුද්ධව හම්බන්තොට වී මෝලේ සී.ඩබ්ලිව්.එදිරිසූරිය විසින් පවරා ඇති නඩු වාර්තාවක් අනුවය. ඒ නඩුවේ අන්දමට එයට පෙර වසරේ මැයි මාසයේ 31 වැනි දින ඔහු ගේ විවාහ මංගල්‍යය සඳහා ඡායාරූප ගැනීමට විත්තිකාර සමාගමට පැවරූ නමුත් ඔවුන් නියමිත දිනයේ නොපැමිණි බවත් එයින් තමන් මහත් සිත්වේදනාවට හා හිරිහැරයන්ට පත්වූ බවත් එම නඩුවේ සඳහන් වෙයි. පුවත්පතේ එන වාර්තාවේම වචනයෙන් ලියන්නේ නම් ඡායාරූප ගන්නා අය නොපැමිණීම හේතු කොට ගෙන ස්වකීය ඥාති මිත්‍රාදීන් මධ්‍යයෙහි තමා ලජ්ජාවට පත් වූ බවත් ජන සමාජයේ ප්‍රභූකම් දරන උදවිය විවාහ මංගල්‍යයට පැමිණ සිටි බවත් මනමාලිය ද මහත් ලජ්ජාවට පත්ව හැඬූ බවත් පැමිනිලිකාරයා කියා සිටියේය. මේ නඩුවේ සමාගම වෙනුවෙන් පැමිණෙන්නේ එහි කළමනාකාර අධ්‍යක්ෂ එච්.හීන්මන් (ඩඥඪදථචදද) මහතාය. මේ නඩු වාර්තාව හරහා ප්ලාටේ සමාගම මඟින් ඡායාරූපයක් ගැනීමෙන් තමන්ට අත් වන ගෞරවය සහ ඒ වන විටත් විවාහ මංගල්‍යයන් ගේ  ඡායාරූප ගැනීමේ සිරිත මෙරට ඈත ගම්මානවලට පවා තිබුණ වගත් ගම්‍ය වන බව ද අමුතුවෙන් කිවයුතු නොවෙයි. .

එයින් මසකට පසු පුවත්පත් වාර්තා කරන රොමානිස් චිත්‍රපටයේ විශේෂ දැක්මක් පවත්වනුයේ එය නිෂ්පාදනය කරන ලද ප්ලාටේ සමාගමේ කොල්ලුපිටියේ පැවැති ස්ටුඩියෝවේය. ආණ්ඩුකාර හියුබට් ස්ටැන්ලි පැමිණෙන්නේ එම ස්ථානයටය. ආණ්ඩුකාරතුමා හා ආර්යාව මෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම් එම්.ඊ.ඇන්ට්‍රොබස් ද එහි පැමිණෙයි. ඒ අවස්ථාවේ ඔවුන් පිළිගනු ලබනුයේ ජී.ඒ.ස්මිත්ය. ඔහු කොල්ලුපිටියේ ප්ලාටේ සමාගමේ කළමනාකාරවරයාය. දොස්තර ජේ.එෆ්.ඊ.බ්‍රිජර් යුවළ ද දොස්තර එස්.ටී.ගුණසේකර සහ දොස්තර චින්නප්පා මහත්මිය ද මේ අවස්ථාවේ ප්ලාටේ සමාගමේ චිත්‍රාගාරයට පැමිණ ඇත. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයකුගේ නමක් ප්‍රවෘත්තියක සඳහන් නොවුණත් මෙම චිත්‍රපටයේ වගකිව යුත්තා ලෙස ඩේලි නිවුස් පුවත්පත හඳුන්වා දෙන්නේ ප්ලාටේ මෝෂන් පික්චර්ස් ඩිපාට්මන්ට් නිෂ්පාදන කළමනාකරු වූ එඩ්වඩ් එම්.වික්‍රමරත්නය. මේ චිත්‍රපටයේ වගකිව යුත්තා ලෙස ඩේලිනිව්ස් පුවත්පත හදුන්වා දෙනු ලබන වික්‍රමරත්න රොමානිස් සිනමාකෘතියේ අධ්‍යක්ෂ විය නොහැකි ද ?

මේ අවදියේ ප්ලාටේ සමාගම ඡායාරූපවලට අමතරව චලන චිත්‍ර නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ ද යෙදුණු වග ඩේලිනිවුස් පුවත්පතේ පළ කරන ලද දැන්වීමක් හෙළිදරව් කරයි. මේ චිත්‍රපට මෙරට නිපද වූ ඒවා ද නැතහොත් විදේශයෙන් ආනයනය කළ ද යන්න ඉඳුරා කිව නොහැකි නමුත් ඔවුන් මෙරට පිළිබද වාර්තා චිත්‍රපට නිපදවන්නට ඇතැයි අනුමාන කළ හැකි බොහෝ කරුණු තිබේ. අනිත් අතට කොළඹ එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ රොමානිස් ප්‍රදර්ශනය වද්දී ආණ්ඩුකාරතුමන්ට කොල්ලුපිටියේ ප්ලාටේ ආයතනයේ එහි විශේෂ දැක්මක් පැවැත්විය හැකි නම් එහි හොඳ සිනමා ශාලාවක් හෝ චිත්‍රපට ප්‍රදර්ශනය කළ හැකි ස්ථානයක් පැවැති වග ස්ථිරය. එමෙන්ම ඒ.ඩබ්ලිව්. ඒ. ප්ලාටේ විසින් ඡායාරූපගත කරන ලද ලංකාවේ දර්ශන පිරික්සා බලද්දී ඔහු සමකාලීන බොහෝ ඡායාරූප ශිල්පීන් අබිබවා යන බව පෙනෙන්නකි.

රොමානිස් හෙවත් රොමෑන්ස් ඔෆ් ද රොමානිස් චිතපටයේ අධ්‍යක්ෂණය වික්‍රමරත්න අතින් සිදු නොවුණා නම් එය අනිවාර්යනේම සඳහන් විය යුත්තේ හයින්මාන්ගේ නාමයයි.

 

ප්ලාටේ

 

 

රොමානිස් පිළිබඳ ගවේෂණයට

මීළග ලිපියේ ද ඉඩ තබමු.

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.