අනුරාධපුරය කැලඹූ

ජර්මානු චිත්‍රපටය
දෙසැම්බර් 5, 2019
කාල් හේලන්ඩ්

 

වසර 1929 දී මෙරට සිනමා ඉතිහාසයේ වැදගත් හා අපූරු කරුණු රාශියක් සහිත වසරක් ලෙස ඉතිහාස ගත වී ඇත. මේ ලිපි මාලාවේ මෙයට පෙර සදහන් කළ අන්දමට මුල් වරට ලාංකික චිත්‍රපටයක් තිර ගතවනුයේ එම අවුරුද්දේය.

එමෙන්ම මෙරට මුල්වරට කතානාද චිත්‍රපටයක් තිර ගත වනුයේ ද එම අවුරුද්දේමය. පසුගිය ලිපියෙන් රොමානිස් චිත්‍රපටය පිළිබඳ සඳහන් කිරීමෙන් පසු එයට පෙර අතීතයේ තැනුණු රාජකීය වික්‍රමය පිළිබද කරුණු සඳහන් කිරීමට අවශ්‍ය වුවත් 1929 වසරේ සිදු වී අතීතයේ සැඟව ගිය වැදගත් කරුණු කිහිපයකට අවධානය යොමු කරන්නට මෙවර ද ඉටා ගතිමි. ඒ අතරින් එක් කරුණක් නම් චිත්‍රපටයක් රූප ගත කරන්නට ගොසින් අනුරාධපුරය ද අනතුරුව රට පුරා ම කැළඹීමක් ඇති වූ සිදුවීමක් ගෙන හැර පෑමයි. මේ සිදුවීම වනුයේ 1929 වසරේ පෙබරවාරි මස 17 වැනි දිනයේදී ය. ඒ ජර්මානු සිනමාකරුවකු වන හෙයින්ස් කාල් හේලන්ඩ් විසින් අනුරාධපුරයේ කළ රූප ගත කරමක් හේතුවෙන්ය. හේලන්ඩ් ජර්මානු ප්‍රකාශනවාදී සිනමාව එළි දකින්නට පෙර බිහිවූවෙක් බැවින් එරට සිනමාවේ පුරෝගාමී සිනමකරුවකු ලෙස සැලකීම තරමක් දුරට යුක්ති සහගත වෙයි. 1876 වසරේ ජූලි මස 10 වැනි දින උපත ලබන ඔහු මිය යනුයේ 1932 වසරේ ඔක්තෝබර් මස 10 වැනි දින දීය. ඒ බර්ලිනයේ දීය. 1917 වසරේ තැනුණු ද ස්පයි, 1921 වසරේ තැනුණු ට්‍රෙෂර් ඔෆ් ද ඇස්ටෙක්ස්, 1926 වසරේ තැනුණු ද වයිට් ගෙයිෂා ඔහුගේ චිත්‍රපට අතරින් කිහිපයකි. ඔහු අනුරාධපුරයට පැමිණ රූප ගත කිරීම් අරඹනුයේ 1929 වසරේ පෙබරවාරි මස 10 වැනි දින දීය. ඔහුගේ චිත්‍රපටයට පාදක වනුයේ බෞද්ධ භික්ෂුවක් සහ කාන්තාවක් අතර කතාවකි. චිත්‍රපටය රූප ගත කරනුයේ අනුරාධපුරයේ පැරණි නගරයේය. එවකට අනුරාධපුර නව නගරය ඉදිව තිබුනේ නැත.

එබැවින් සම්පූර්ණ රජයේ කාර්යාල, කතෝලික පල්ලි , හෝටල් ඇතුළු සියලු ජනාවාස පැවැතියේ පූජා නගරයට සම්බන්ධවය. ලංකාවේ ඉතාම සැලසුම් සහගත නව නගරයක් වන වර්තමාන අනුරාධපුර නව නගරය ඉදිකිරීම අරඹනුයේ 1956 වසෙර්ය. ඒ අවදියේ අනුරාධපුර දිසාපති ව සිටියේ එච්.ඊ.‍ෆ්‍රීමන් මහතාය. මෙරට පාලනයට පැමිණි බ්‍රිතාන්‍ය වාසී දිසාපතිවරුන් අතර සාහිත්‍ය ලෝකයේ වඩා නම් දැරූ දිසාපතිවූයේ ලෙනාඩ් වුල්ෆ්ය. වුල්ෆ් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිය අත්දැකීම් පාදක කර ගනිමින් විලේජ් ඉන් ද ජංගල් නවකතාව රචනා කළේය. බැද්දේගම නමින් සිංහලට ඒ.පී.ගුණරත්න අතින් පරිවර්තනය වූයේ එයයි. එහෙත් වඩාත්ම සිංහල මිනිසුන් හා බැඳුණු දිසාපතිවරයා සිටියේ අනුරාධපුරයේය. ඔහු ෆ්‍රීමන්ය. අප්‍රමාණ ලෙස සිංහල මිනිසුන්ට ආදරය කළ ෆ්‍රීමන් ඔවුන්ගේ දුකත් සැපත් තමාගේ කර ගත්තේය. සුද්දාගේ නීති වලින් පීඩා විඳී ගැමියාට නීතිය ක්‍රියාත්මක කර වන ගමන් එයින් මිදී පලා යන්නට ද ඔහු මග පෑදුවේය. ඔහුගේ ජනප්‍රියත්වය කෙතරම් ද යත් ෆ්‍රීමන් මෙරට මහජනයාගේ ඡන්දයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගියේ එදවස අනුරාධපුර බලවත් ව සිටි බුලන්කුලම පවුලේ සාමාජිකයකු ද පරදවමිනි. යළි කිසිකලෙක තම මව්රටට නොගිය මේ අපූරු නිලධාරියා අනුරාධපුරයට පෙම් බැඳ එහිම අවසන් ගමන් ගියේය. ජර්මානු ජාතික සිනමාකරුවා මෙරටට පැමණෙන්නේ ඔහු දිසාපති පදවිය හොබවද්දීය. චිත්‍රපටයේ කලබැගෑනිය ගැන මුල්ම විස්තරය ඩේලිනිව්ස් පුවත්පත වාර්තා කරනුයේ 1929 පෙබරවාරි මස 18 වැනි දිනය. ඒ පෙබරවාරි මස 17 වැනි දින අනුරාධපුරයේ පිහිටි සෙන්ට්‍රල් හෝටලය 800 ක් පමණ ජනකායක් විසින් වටලා ඇති කළ කලබලය සම්බන්ධවය. හෝටලය විනාශ කරන බවට ද එහිදී තර්ජනය ඇති විය. මේ සම්බන්ධව රුවන්වැලි සෑය අබියස විශේෂ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතව තිබිණ.

 GERMAN'S FILM TACTICS

POSES OF PRIEST AND NUDE WOMAN  යන මැයෙන් එවකට අනුරාධපුර වාර්තාකරු විසින් ඩේලි නිව්ස් පුවත්පතට ලියන වාර්තාව මගින් චිත්‍රපටයේ දර්ශන රූප ගැන්වීම පිළිබද දීර්ඝ විස්තරයක් කර තිබිණ. ඒ වාර්තාව අනුව කූට්ටම් පොකුණ ආශ්‍රයේ දී බෙද්ධ භික්ෂුවක් හා තරුණියක් සම්බන්ධ දර්ශන මාලාවක් රූප ගත කර තිබිණ. නිරුවත් කාන්තාවක් දිය නාන දර්ශනයක් බලා සිටින තරුණ භික්ෂුවක ගේ දර්ශනයක් ද එයින් පසු ගොඩට එන යුවතිය ගලක් ගෙන සිය සිරුරේ කුණු අතුල්ලන දර්ශනයක් ද එහි දී රූප ගත කර තිබිණ. පසුව සාරියක් ඇඳ ගන්නා යුවතිය එතැනින් නික්ම යන අතර භික්ෂුව ද ඒ පසුපස ගමන් කරයි. මේ ඩේලි නිව්ස් වාර්තා කරන අන්දමයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව හේයිලන්ඩ් විසින් කරුණු දැක්වීමක් පසුවදා දිනමිණ හා ඩේලි නිවුස් යන පුවත්පත් විසින් වාර්තා කරනු ලබයි. දිනමිණ පුවත්පත මේ සම්බන්ධව විස්තර කරනුයේ මෙලෙසය.

අනුරාධපුරේ පින්තූර ගැනීමක්.

බණ්ඩාට පැවිදි වෙස් ගැන්වීම

බයස්කෝප් චිත්‍ර සෑදීමක්ද?

අවිවාහක සිංහල තරුණියක් හා බණ්ඩා නමැති තරුණයෙකුත් කැටුව එක්තරා ජර්මන් මහතෙක් අනුරාධපුරේ සිද්ධස්ථානවලට ගොස් නොමනා ඡායාරූප වගයක් පිළියෙළ කිරීමෙහි යෙදී සිටින බවට ආරංචියක් ලැබී තිබේ.

තරුණයෙකු සිවුරු පොරවා භික්ෂුවකගේ ලීලාවෙන් හැසිරෙන්ට සැලැස්වූ අන්දමත් තරුණියකට ස්නානය කරන්ට සැලැස්වූ අන්දමත් මෙහි පහත සඳහන් විස්තරයෙන් ප්‍රකාශිතය. ජර්මන් ජාතික කාර්ල් හේලන්ඩ් මහතා විසින් මේ සම්බන්ධයෙන් තමන්ගේ නිදොස් බව දන්වා කරන ලද ප්‍රකාශයක් ද සැකෙවින් මෙහි අගට ඇතුළත් වේ.

හේන්ස් කාර්ල් හේලන්ඩ් නමැති ජර්මන් ජාතික මහතෙක් දවස් කීපයක පටන් අනුරාධපුරේ සැන්ට්‍රල් හෝටලයේ ලැගුම් ගෙන සිටියි. ඒ හෝටලය අට සීයක් පමණ වූ සේනාවක් විසින් වටලන ලදුව සෙනසුරාදා සවස් වරුවේ මහත් කලබලයක් විය. මේ අනියම් සිද්ධියට හේතුව කවරේද ?

යථෝක්ත ජර්මන් ජාතිකයා බයස්කෝප් සිතුවමක් පිළියෙළ කිරීමේ බලාපොරොත්තුවෙන් ලංකාවට ආ කෙනෙකැයි කියති. ඒ මහතා අවිවාහක සිංහල තරුණියක හා බණ්ඩා නමැති තරුණයෙකුත් කැටුව අනුරාධපුරේ සිද්ධස්ථාන වලට ගොස් ඡායාරූප ගැනීමෙහි යෙදී සිටින බවත් මේ ක්‍රියාව ගැන නොසතුටු සේනාවක් ඒජන්ත මහතාට පැමිණිලි කර සැන්ට්‍රල් හොටලය වටලාගත් බව පෙනේ.

ජර්මන් ජාතිකයාගේ විධානය පරිදි බණ්ඩා කූට්ටම් පොකුණ ළඟට ගොස් සිවුරක් පොරවා ගෙන භික්ෂුවකගේ ලීලාවෙන් හැසුරුණේයැයි ද තරුණිය පොකුණට පැන දිය කෙළින්ට පටන් ගත්තී යයි ද කියති. ස්වල්ප වේලාවකට පසු තරුණිය ගොඩට අවුත් ගලක් මත වාඩි වී කුණු අතුල්ලන්නට වූවාය. කසාය වස්ත්‍රධාරියා එතැනට ආවේය. අවුත් තරුණියගේ පිටට තට්ටු කොට කට කොනකින් සිනාසී ඇය සමග කතාවට වැටුණේය. ඒ අවස්ථාවේ ද ඡායාරූයක් ගන්නා ලද බව පෙනේ.

ඉන් පසු තරුණිය අමුතු ඇඳුමකින් සැරසුණාය. රෙද්ද හා හැට්ටය වෙනුවට ලක්ෂණ සාරියක් ඇඳ ගෙන කල ගෙඩියකුත් උකුලේ තියා ගෙන පොකුණට ගියාය. කළය පොකුණට දමා වතුර පුරවා ගන්නට සැරසෙන අවස්ථාවේ කෂාය වස්ත්‍රධාරියා පාත්‍රයකුත් රැගෙන එතැනට අවේය. ඔහු පාත්‍රය සෝදන්නාක් මෙන් හඟවා ස්ත්‍රියගේ මුහුණට වතුර ඉස්සේය. තරුණිය ථූපාරාමය ළඟට ගොස් මළසුනක් මත වාඩි ගත්තාය. එවිට “හාමුදුරුවෝ“ ඈට මල් කලඹක් පිළිගන්වා දෙදෙනාම අඹු සැමි යුවළක් මෙන් පියගැට පෙළ දිගේ පහළට ආවෝය. මේ දර්ශනයේ ද ඡායාරූපයක් ගන්නා ලදී. ඉන් පසු තරුණිය නිල්වන් සාරියකින් සැරසී කරත්තයක නැගී අභයගිරිය බලා ගමන් ගත්තාය.

මේ අනුරාධපුරයේ දී රූප ගන්වන ලද දර්ශන මාලාවයි. අනුරාධපුර විසූ බෞද්ධයන් කැළඹුනේ මේ සිදුවීමටය. කෙසේ හෝ අනුරාධපුර සෙන්ට්‍රල් හෝටලයේ නතරව සිටි එයින් හෙලන්ඩ් සිය චිත්‍රපටයේ තිබුණ කතාන්තරය විස්තර කළේය. හේලන්ඩ් ඒ වන විට ලංකාව පළපුරුදු කෙනෙක් විය. ඔහු එයට පෙර ජපානය ඇතුළු රටවල් කිහිපයකම චිත්‍රපට නිර්මාණය කර තිබුණ ද ලංකාවට පැමිණ තිබුණේ විනෝදයට දඩයමේ යෑමේ අදහසින්ය. ඔහු අලුත් චිත්‍රපටයක් රූප ගත කරන්නට සැලසුම් කරනුයේ එයින් පසුවය. මෙහිදී දිනමිණ පුවත්පතේ පළ වූ හේලන්ඩ් කියන විස්තරය ඉතා වැදගත් වෙයි.

 

ඩේලි නිවුස් පුවත්පතේ පළ වූ චිත්‍රපටයේ රූප රාමුවක්