ජර්මානු සිනමා ආන්දෝලනයට

සර් ඩී.බී. මැදිහත් වෙයි
දෙසැම්බර් 12, 2019

කාල් හෙලන්ඩ් ගේ ජර්මානු සිනමා කෘතිය අනුරාධපුරයේ පමණක් නොව රට පුරාම මහත් කැලඹීමකට හේතු විය. එහි ප්‍රධාන චරිත රඟපෑවේ ටවර් හෝල් වෘත්තිය නළු නිළි යුවළක් බව සඳහන් වෙයි. එයින් පිරිමියා බණ්ඩා නම් වන අතර නිළිය ඩේසි පීටර්ස් නම් වූවාය. ((The actors chosen by Mr.Helland are professionals who appear at the Tower hall.The man's name is Banda  and the actress is known by the name of Daisy Peters.-ඩේලිනිවුස් 1929 පෙබරවාරි 21)

මේ අරගලයට මැදිහත් වන්නට බෞද්ධ ජන නායකයකු වූ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතාණන්ට සිදුවිය. හේලන්ඩ්, ජයතිලක මහතා මුණ ගැසුණේ එවකට මෙරට වාසය කළ ජර්මානු ජාතික ඥානතිලක ස්වාමින් වහන්සේ සහ ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ ලේකම් බ්‍රහ්මචාරි ගෝවින්ද සමඟය.

චිත්‍රපටය පිළිබඳ හේලන්ඩ් විසින් හෙළිදරව් කරන ආකාරය මෙලෙසය. සිංහල තරුණියකගේ ජීවන චරිතයක් ආශ්‍රය කොට ආර්ය අෂ්ටාංගික මාර්ගය යුරෝපීය ජාතිකයන්ට සුඛාවබෝදනය කිරීම පිණිස මේ චිත්‍රපටය පිළියෙල කිරීමට මම අදහස් කළෙමි. යුරෝපයේ වැසියෝ හින්දු ආගම සහ බෞද්ධාගම අතර වෙනසක් ඇති බැව් නොදනිති. ඒ නිසා ඒ වෙනස ඔවුන්ට අවබෝධ වන අයුරින් මේ චිත්‍රපටය පිළියෙල කරන්නට අදහස් කළෙමි. මගේ චිත්‍රපටයේ අන්තර් ගත වන කතාව ඉතාමත්ම සුළු එකකි. එය මෙසේයි.

මස් මරන්නෙක් ලොකු මත්ස්‍යයකු ඇල්ලීමට ගොස් දියේ වැටුණේය. මෝරෙක් ඒ පුරුෂයා ගිල දැමීමට ආවේය. උගෙන් බේරෙන්නට පුළුවන් වුවහොත් ඔහුගේ වැඩිමහල් දරුවා සංඝයාට පූජා කරන බවට පොරොන්දුවක් විය. වාසනාවකට මෙන් ඔහු අනතුරෙන් බේරුණේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩිමහල් පුත්‍රයා සංඝයාට පූජා කරන ලද්දේය. මස් මරන්නන් අතරේ වැඩුණ ඒ ළමයා පැවිදි ජීවිතය අප්‍රිය කළේය. නුමුත් පියාගේ අවවාදයට කීකරු වී ඒ සාමණේරයන් වහන්සේ පන්සලේම සිටියේය. වයස 16 සම්පූර්ණ වූ නමුත් උන් වහන්සේගේ ඉගෙනීම සතුටු දායක නොවීය. ඒ නිසා ගුරුවරයන් වහන්සේ පොඩි නමට කථා කොට ලංකාවේ සිද්ධස්ථාන සියල්ලම වැඳ පුදා ගැනීමට යන්නැයි කිවේය. පොඩි නම ද ළඟට ගොස් වටපිට බලන්නේ පොකුණක උන් තරුණියක දුටුවේය. පොඩි හාමුදුරුවෝ ඇය කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ඇය පසුපස්සේ ගමන් කරන්ට විය. පසුවදා හාමුදුරුවෝ අභයගිරි දාගැබ වන්දනා කරන්නට ගියේය. එදත් හාමුදුරුවන්ට තරුණිය හමුවූවාය. ඇය උගත් ස්ත්‍රියකි. ඒ නිසා ඇය බෞද්ධාගම සම්බන්ධයෙන් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අසන්නට පටන් ගත්තීය. අන්තිමේදී ඒ දෙදෙනාම පන්සලට ගොස් මල් පූජා කළහ. හාමුදුරුවන්ගේ සිතෙහි ස්ත්‍රියගේ ප්‍රතිබිම්බය මැවුණේය. සස්නෙහි උකටලී වූ ඒ හාමුදුරුවෝ උපධ්‍යායන් වහන්සේ කරා ගොස් සිවුරු ගලවා දමා ගිහි සැප අනුභව කිරීමට සතුටු බැව් ප්‍රකාශ කළේය. අකමැති ගෝලයින් බුදු රජාණන් වහන්සේට වුවමනා නැතැයි කියමින් උපධ්‍යායන් වහන්සේ ගෝලයාට යන්ට හැරියේය.

මේ ජර්මානු චිත්‍රපටයේ කතාවයි. අනුරාධපුරයේ රූප ගත කර තිබුණේ චිත්‍රපටයේ දර්ශන කිහිපයකි. සිනමාකරු හෙළිදරවු කරන අන්දමට ඔහු සිනමා කෘතිය රූපගත කරද්දී එහි බොහෝ දෙනෙකු රැස්ව සිටියහ. එක් අවස්ථාවක කැමරාව ස්ථාන ගත කර ඔහු පැත්තකට ගොස් ආපසු එන විට එය අතුරුදන් ව තිබිණ. (චිත්‍රපටයට දායක වූ වෙනත් කාර්මික පිරිසක් ගැන සඳහන් වී නොමැති අතර චිත්‍රපටය රූප ගත කර ඇත්තේ ද අධ්‍යක්ෂවරයා විසිනි.) ඒ බව ආණ්ඩුවේ උසස් නිලධාරින්ට පැමිණිලි කරන හෙලන්ඩ් එහි එන්නේ පොලිස් නිලධාරියකු සමඟය. කැමරාව සොයා දෙන්නෙකුට ත්‍යාගයක් පිරි නමන්නට ද හේලන්ඩ් කැමැත්ත පළ කළත් පොලිසිය එයට එකඟ නොවේ. හේතුව අල්ලස් දීම වරදක් නිසාය. මේ කැමරාව සොයා ගන්නට සමත් වුවත් එය සොරකම් කරන ලද්දේ එහි ගම් ප්‍රධානියකුගේ දරුවෙකුයැයි සැලවීමත් සමඟ කලබලයක් ඇරඹිණ. ඔවුන් විසින් බොරු ආරංචියක් මගින් කලබලයක් ඇති කළේයැයි සිනමාකරු කරුණු ගෙන හැර පෑවේය. චිත්‍රපටයේ කොතැනක හෝ නිරුවත් ජවනිකාවක් රුප ගත කළා යැයි ඔප්පු කරන්නේ නම් රුපියල් සියයක ත්‍යාගයක් දෙන බව සිනමාකරු අභියෝග කළේය.

කෙසේ වෙතත් අනුරාධපුරයේ රුවන් වැලි මහා සෑය අභියස පැවැත් වූ රැස්වීමෙන් පසු එවකට බෞද්ධයෝ යෝජනා කිහිපයක් සම්මත කර ගත්හ. ඒ අනුව අනුරාධපුර, මිහින්තලය, පොලොන්නරුව ආදී ප්‍රදේශ වල බෞද්ධයන්ගේ සිත් වේදනාවට අන්දමින් කරන රූප ගත කිරීමක් වෙතොත් එය තහනම් කළ යුතුය. එමෙන්ම ලංකාවෙන් පිටරට ගෙන යන බෞද්ධ චිත්‍රපටය නතර කරන ලෙස දන්වා බෞද්ධාරක්ෂක සමිතියටත් පින්තූරය සම්බන්ධ යෙන් යමක් කළ යුතුව තිබේ නම් එසේ කරන ලෙස ඩී.බී ජයතිලක මහතාටත් දැන්වීමටත් මෙහිදී යෝජනා විය. කෙසේ වෙතත් සිනමා කෘතියට අදාළ ඡායාරූප තුනක් සිනමාකරු විසින් ලේක් හවුස් පුවත්පත් වෙත ඉදිරිපත් කර තිබිණ. එය දිනපතා පුවත්පත් වල පළ කරනු ලැබිණ. එවකට අනුරාධපුර ආණ්ඩුවේ ඒජන්ත මහතා (එච්.ඊ.ෆ්‍රීමන්) ද මේ ඡායාරූප දැක තිබුණ වග සිනමාකරු සඳහන් කරයි.

කලබගෑනියෙන් දින කිහිපයකට පසු 29 වැනි දින ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතා චිත්‍රපටය සම්බන්ධව දිනමිණ පුවත්පතට ප්‍රකාශයක් කරන්නේ කරුණු කාරණා විමසීමෙන් පසුවය.

අනුරාධපුරේ අසභ්‍ය පින්තූර වගයක් ගන්නා ලදැයි හේලන්ඩ් මහතාට විරුද්ධව නඟන ලද චෝදනා සම්බන්ධයෙන් ඒ මහතා එතරම් වරදකාරයෙක් නොවන බව ජයතිලක මහතා එහිදී කියා සිටියි. පින්තූර පිළිබඳ අතිශයෝකිතයකින් කරුණු දක්වා තිබෙන බව පෙන්වා දෙන ජයතිලක මහතා ඥානතිලක ස්වාමින් වහන්සේ සමග හේලන්ඩ් තමන් හමුවූ වග එහිලා හෙළිකරයි. එපමණක් නොව අනුරාධපුරේ බෞද්ධයින් විසින් එවන ලද පැමිණිලි ද තමන්ට ලැබුණු වග සඳහන් කරයි.

ස්ත්‍රියක් හා පුරුෂයෙක් සිද්ධස්ථානවලට කැඳවා ගෙන ගොස් ඒ පුරුෂයාට සිවුරු පොරවා සිද්ධස්ථානයක් ළඟම පුද සිරිත් පැවැත්වීමට සැලැස්වීම ගැන බෞද්ධයින් විරුද්ධවන බව මම හේලන්ඩ් මහතාට කීවෙමි. බෞද්ධයෙක් ක්‍රිස්තියානි රටකට ගොස් දේවස්ථානයක දී මෙවැන්නක් කළේ නම් කුමක් කියත්දැයි මම ඒ මහතාගෙන් ප්‍රශ්න කළෙමි. බුද්ධ ධර්මයේ අන්දමට මහා සංඝයාගේ අවසරයක් නැතිව සිවුරු පෙරවීම වරදක් බව මම ඒ මහතාට පෙන්වා දුනිමි. ඥානතිලක ස්වාමීන් වහන්සේ ද මගේ ප්‍රකාශය අනුමත කළ සේක. හේලන්ඩ් මහතා තමාගේ වරද ගැන කනගාටුව ප්‍රකාශ කළේය. එවැනි පින්තූර ගැනීමෙන් බෞද්ධයින්ගේ සිත් රිදෙන බැව් තමා නොදැන සිටි බවක් ඒ මහතා කියා සිටියේය. සිද්ධස්ථාන භාරකාර භික්ෂුන් වහන්සේලාත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් මෙවැනි පින්තූර ගැනීමට ඉඩ නොදිය යුතු බව ද ජයතිලක මහතා පවසා තිබිණ.

ජර්මානු චිත්‍රපටයේ ආන්දෝලනය එයින් නිම නොවිණ. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සබා රැස්වීමේ දී මන්ත්‍රිවරයෙක් වූ ඩබ්ලිව්. ඒ ද සිල්වා මහතා විසින් ප්‍රශ්න කරන ලදී .

හේලන්ඩ් ජර්මනියේ සිට ලංකාවේ චිත්‍රපට නිර්මාණය කරන සමය වන විට ජර්මනිය ඉන්දියාව සමග චිත්‍රපට නිෂ්පාදනයට හවුල් ව්‍යාපාර අරඹා තිබිණ. මේ ආරම්භය සිදුවූයේ බුද්ධ චරිතය පාද කර ගෙන හිමන්සු රායි නිෂ්පාදනය කරන ලද ලයිට් ඔෆ් ඒෂියා හෙවත් ප්‍රේම් සන්‍යාස් චිත්‍රපටය සමඟය. මේ චිත්‍රපටය 1929 වන විට මෙරට තිර ගත නොවූවත් ඒ පිලිබඳ පුවත්පත් ලිපි පළවිය.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.