ලයිට් ඔෆ් ඒෂියා හදන්න ලංකාවට ඇවිත්

දෙසැම්බර් 19, 2019
හිමන්සු රායි හා දේවිකා රාණී

 

ජර්මානු සිනමාකරුවකු මෙරටට පැමිණ බෞද්ධ කතා තේමාවක් සහිත චිත්‍රපටයක් නිර්මාණය කරන්නට හේතුව ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටය සමග ඇති වූ රැල්ලක් යැයි අනුමාන කරන්නට හේතු තිබේ. ලයිට් ඔෆ් ඒෂියා යුරෝපයේ අති සාර්ථක චිත්‍රපටයක් විය. එහෙත් එයට පෙර ලයිට් ඔෆ් ඒෂියා නිපදවන්නට එහි නිෂ්පාදකවරු ලංකාවට පැමිණියද අවසානයේ යන්නට වූයේ හිස් අතින්ය.

ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටයට පාදක වනුයේ ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ් විසින් 1879 වසරේ දී රචනා කරන ලද මහා කාව්‍යයක් වූ ලයිට් ඔෆ් ඒෂියා ග්‍රන්ථයයි. ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ චරිතය ඇසුරෙන් ශ්‍රීමත් ආනෝල්ඩ් එම ග්‍රන්ථය රචනා කරන ලද්දේ මහායාන බුදු දහමේ එන ලලිතවිස්තර සූත්‍රය පාදක කොට ගෙනය. එමගින් බෝසතුන් තුසිත දෙව් ලොවින් නික්මුණ තැන් පටන් බරණැස මිගදායේ දී ධම්ම චක්ක පවත්තන ස්‍රූත්‍රය පවත්නවන තෙක් පුවත ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ් විසින් මාහැඟි කාව්‍යයක් ලෙස ප්‍රබන්ධ කොට තිබිණ. බ්‍රිතාන්‍ය ජාතික පුවත්පත් කලාවේදියකු ලෙස ද ප්‍රචලිත ශ්‍රීමත් ආනෝල්ඩ් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ කතුවරයාව සිටියේය. එයට පෙර ඔහු ඉන්දියාවේ පූනා සංස්කෘත විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටියේය. බුදු දහම පිළිබඳ හැදෑරීමකින් යුතුව ලයිට් ඔෆ් ඒෂියා කෘතිය ඔහු විසින් රචනා කරන ලද්දේ ඒ අවදියේය. එහි සිනමා තිරනාටක පරිවර්තනය නිරන්ජන් පාල් විසිනි. ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටය පිළිබඳ නිරන්ජන් පාල් ගේ පියාණන් වූ බෙපින් චන්ද්‍ර පාල් විසින් ලියන ලද ලිපියක් 1926 ජූලි මස 17 වැනි දින ඩේලි නිවුස් පුවත්පතේ පළ විය. Romance of the Lord Buddha- The Play and the Film x යන මැයෙන් පළ කරන ලද මෙම ලිපිය ඉන්දියානු සිනමාවේ මෙන්ම අපේ සිනමාවේ සැඟවුණු කාරණාවක් ද හෙළිදරවු කරන්නකි. ඉන්දියානු නිදහස් සටන් ක්‍රියාකාරිකයකු වූ බෙපින් චන්ද්‍ර ඉන්දියානු ස්වදේශී සංවිධානය පිහිටුවා ගැනීමේ දී පුරෝගාමි වූ දෙවැන්නාය.

බෙංගාලයේ හින්දු බ්‍රාහ්මණ වංශිකයකු වූ බෙපින් චන්ද්‍ර ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ ආරම්භකයකු ද විය. ඔහු පුත් නිරංජන් එංගලන්තයට ගියේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නට වුව ඔහු ද එහි දී ඉන්දියානු නිදහස් සටනේ ක්‍රියාකාරිකයකු විය. බෙපින් චන්ද්‍ර ලියන අන්දමට නිරන්ජන් එංගලන්තයට යන්නේ 1908 වසෙර්ය. (මේ අවදියේ නිරංජන් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වූ වීර් සවර්කාර් සමග සම්බන්ධතා පැවැත් වූ අතර සවර්කාර් විසින් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු වන විලියම් හට් කර්සන් වයිලි ලන්ඩනයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට ද පාල් සම්බන්ධ විය. ) ඒ එරට ලංඩනයේ පොලිටෙක්නික් ආයතනයට ඇතුළු කොට වැඩිදුර අධ්‍යාපනය හදාරන්නටය. ඊළඟ වසරේ බෙපින් චන්ද්‍ර එහි යන විට නිරංජන් ලංඩනයේ කිංග්ස් විදුහලට ඇතුළත් ව තිබුණේ වෛද්‍ය විද්‍යාව හදාරන්නටය. එහෙත් ඊළඟ වසරේ බෙපින් චන්ද්‍ර විසින් සංස්කරණය කරන ලද ස්වරාජ් පුවත්පත සඳහා ලැබුණු මූල්‍ය අනුග්‍රහ වළකාලන්නට බ්‍රිතාන්‍ය පාලකයෝ සමත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස කිංග්ස් විදුහලේ ඉදිරි අධ්‍යාපනය සඳහා සිය පුතුට අවශ්‍ය වියදම් ලබා දෙන්නට බෙපින් අසමත් විය. කෙසේ වෙතත් මේ වනවිට නිරන්ජන් ගේ ඉලක්කය ද වෙනස්ව ගොසින්ය. ඔහු ගේ ඇල්ම ඒ වන විට අලුත් මාධ්‍යයක් ලෙස කරළියට එමින් තිබුණ සිනමාව වෙත ඇදී යමින් තිබිණ. ඔහු ඉන්දියාවේ විසිතුරු දර්ශන රූපයට නංවමින් ඒවා බ්‍රිතාන්‍ය ආයෝජකයන්ට ඉදිරිපත් කරන ලද්දේ ඉන්දියානු චිත්‍රපට සඳහා ආයෝජකයකු සොයා ගන්නටය. 1911 වන විටත් ඇරඹී තිබුණ ලන්ඩන් සිනමා පාසලට නිරංජන් ශිෂ්‍යයකු ලෙස ඇතුළත් වූ වග බෙපින් චන්ද්‍ර විසින් ලියන ලද ලිපියෙහි සඳහන් වෙයි.

 

ලයිට් ඔෆ් ඒෂියා හෙවත් ප්‍රේම් සන්‍යාස් චිත්‍රපටයේ හිමන්සු රායි හා සීතා දේවි

 

 

එයින් පසු කුඩා තිරනාටක කිහිපයක් රචනා කර අමෙරිකානු සමාගම් වෙත යැවූ නිරන්ජන් එයින් මුදලක් උපයා ගන්නට සමත්විය. ඔහුගේ නම ඇතුළත් කොට මුල්වරට තිරයට එන්නේ ද ෆේත් ඔෆ් චයිල්ඩ් චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ මාටින් තෝටන් විසිනි. මේ අවදියේම ඔහු බ්ලූ බොට්ල් සහ ද ගොඩස් නමින් වේදිකා නාට්‍ය යුගලක් බ්‍රිතාන්‍ය වේදිකාවට ගෙන එන්නට සමත් වෙයි. ඔහු ලයිට් ඔෆ් ඒෂියා තිරනාටකය රචනා කරන්නේ මේ අවදියේය. බ්‍රිතාන්‍යයේ මෙස්ටන් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් සමාගමක් පිහිටුවාලන්නට නිරන්ජන් මේ වෙනුවෙන් සමත්වෙයි. එහි බ්‍රිතාන්‍ය හා ඉන්දියානු නියෝජිතයන් සාමාජිකයන් විය යුතු බවට ආරම්භයේ කොන්දේසියක් පළ වූ අතර ඉන්දියානු කණ්ඩායමේ නියෝජිතයා ලෙස අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූයේ නිරන්ජන් පාල්ය. බ්‍රිතාන්‍යයන්ගේ අදහස වූයේ ඉන්දියානුවන් ද මේ සඳහා අයෝජනය කළ යුතු බවය.

ඒ අනුව ඉන්දියානු ධනවතුන් කිහිප දෙනෙකු ම හමුවූ ව ද ඒ කිසිවකු හෝ එකඟතාවකට පත් කරන්නට නිරන්ජන් අසමත් විය. එහි ප්‍රතිඵලය වූයේ සමාගම විසිරුවා හැරීමය. එයින් අධෛර්යට පත් නොවන නිරන්ජන් කළේ එවකට ලන්ඩනයේ ජීවත් වූ ඉන්දියානුවන් කිහිප දෙනෙකු ද හවුල් කර ගෙන ද ගොඩස් නම් නාට්‍ය ලියා වේදිකා ගත කිරීමය . පසුකලෙක ඉන්දියානු සිනමාවේ පිදෙන ඉහළම සම්මානය ලෙස සැලකෙන දාදා සහාබ් පාල්කේ සම්මානයෙන් පුද ලද ප්‍රථමයා ලෙස වාර්තා තබන දේවිකා රාණි රංගනයට පිවිසෙනුයේ එයිනි. මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් ගේ මිනිබිරියක වන දේවිකා රාණි චෞද්රි අවුරුදු නවයේ සිට ජීවත් වුයේ ලන්ඩනයේය. ද ඉන්ඩියන් ප්ලෙයර්ස් ,ලන්ඩන් නම් සමාගම ගොඩනඟන නිරන්ජන්ට හමුවන තවත් සගයෙක් වනුයේ එවකට ලන්ඩනයට පැමිණ සිටින නීති ශිෂ්‍යයකු වූ හිමන්සු රායි නම් තරුණයාය. බෙංගාලි ජාතිකයකු වූ හිමන්සු රායි තාගෝරයන්ගේ ශාන්ති නිකේතනයේ සිසුවකු විය. නාට්‍යයේ රඟපාන විට ඔහු ලන්ඩනයේ දී හමු වූ මේරි හයින්ලින් හා විවාහ ව සිටියේය. ලයිට් ඔෆ් ඒෂියා නිර්මාණය වන සමයේ පාල් වෙතින් හඳුනා ගන්නා දේවිකා රාණි හිමන්සුගේ භාර්යාව වූයේ අනතුරුවය.

නිරන්ජන් පාල්ගේ අත තිබුණු ලයිට් ඔෆ් ඒෂියා තිරනාටකය චිත්‍රපටයක් කිරීමට යළි පිඹුරුපත් සැකසෙනුයේ හිමන්සු රායි හමු වූ පසුවය. බෞද්ධ පුවතක් බැවින් ඒ සදහා සුදුසු ආයෝජකයන් සොයා ඔවුන් පැමිණෙන එක් රටක් වනුයේ ලංකාවය. මෙරට ධනවතුන් කිහිප දෙනෙක්ම හමුවන පාල් හා හිමන්සු ඉන්දියාව හෝ එංගලන්තයට වඩා මෙරටින් ආයෝජකයකු සොයා ගත හැකි වනු ඇති බව විශ්වාස කරති. එහෙත් බුද්ධ චරිතය සඳහා ගිහියකු රඟපෑම මෙරට බෞද්ධයන්ගේ කෝපයට හේතුවෙයි. මෙහිදී ද බෞද්ධයන් වෙනුවෙන් අදහස් පළ කරනුයේ ශ්‍රීමත් ඩී.බී.ජයතිලකය. යෝජිත බෞද්ධ චිත්‍රපටයට විරෝධතාවක් යන මැයෙන් ප්‍රවෘත්තියක් 1925 වසරේ ජනවාරි මස 15 වැනි දින දිනමිණ පළ වනුයේ ඒ සම්බන්ධයෙන්ය. ක්‍රිස්තුන් වහන්සේ ගේ චරිතය රැගත් චිත්‍රපට රාශියක් ඒ වන විටත් සිනමා තිරයට පිවිස තිබුණ අතර එයින් සමහරක් මෙරට ප්‍රදර්ශනය ව තිබිණ. මේ ප්‍රවෘත්තියේ නිරන්ජන් පාල් ගේ හෝ හිමන්සු රායිගේ නම සඳහන් නොවෙතත් ඔවුන්ගේ ජීවන තොරතුරු විමසීමේ දී මෙම වකවානුවේ ආයෝජකයන් සොයා ලංකාවට ද පැමිණි වග සඳහන් වීම යන කරුණ අදාළ ප්‍රවෘත්තිය ලයිට් ඔෆ් ඒෂියා සම්බන්ධයෙන් බවට කිසිදු සැකයක් ඇති වන්නේ නැත. කෙසේ වෙතත් ලයිට් ඔෆ් ඒෂියා සඳහා ජායිපූර් රජු (වර්තමාන රාජස්ථාන) වූ ජායි සිං ආයෝජනය කරන්නට කැමැත්ත පළ කළේය. ඔහු ගේ ආයෝජනය පවුම් ලක්ෂයකි. ( ජායිපූර් මහරජු එවකට ඉන්දියාවේ සිටි ධනවත්ම පුද්ගලයන් කිහිප දෙනාගෙන් කෙනෙකු වූ අතර වරක් එංගලන්තයේ රොල්ස් රොයිස් වාහන අලෙවි සැලට සාමාන්‍ය ඉන්දියානුවෙක් හැටියට ගිය අවස්ථාවක සිදු වූ මදි පුංචිකමක් හේතුවෙන් ඔහු එවෙලේම මුදල් ගෙවා නවීනතම රොල්ස් රොයිස් වාහන 6ක් මිලයට ගත්තේය. පසුවදාම ඒ වාහන ඉන්දියාවට ගෙන ගිය රජු එම රොල්ස් රොයිස් වාහන සියල්ල ජායි පූර් හි කුණු ගෙන යෑම සඳහා යෙදෙව්වේය. රොල්ස් රොයිස් වාහනවලින් ඉන්දියාවේ කුණු ඇද්දවීම සමාගමේ කීර්ති නාමයට බරපතළ ලෙස බලපෑවේය.

නිරන්ජන් පාල්

දෛවයේ සරදමකට මෙන් වර්තමානයේ රොල්ස් රොයිස් සමාගමේ අයිතිය පැවරී ඇත්තේ ඉන්දියාවේ ටාටා සමාගමටය) චිත්‍රපටය නිපදවීම සදහා ශ්‍රීමත් මෝති සාගර් සහ ප්‍රේම් සාගර් දෙසොහොයුරන්ට අයත් ද ග්‍රේට් ඊස්ටර්න් ෆිල්ම් කෝපරේෂන් සමාගම ද ජර්මනියේ එමෙල්කා සමාගම හා එහි හිමිකරු වූ පීටර් ඔස්ටර්මේයර් ද දායක විය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඔස්ටර්මේයර් ගේ සොහොයුරු ෆ්‍රාන්ස් ඔස්ටන්ය. ජර්මනිය හා ඉන්දියාව අතර ඇතිවුණ මේ සබඳතාව වර්තමාන බොලිවුඩ් අධිරාජ්‍යය ගොඩනැඟීමට ද හේතුවිය. චිත්‍රපටයේ කාර්මික ශිල්පීහු ජර්මනියෙන් වූ අතර නළු නිළියෝ ඉන්දියාවෙන් දායක වූහ. හිමන්සු රායි ගෞතම ලෙස ද සීතා දේවී ගෝපා ලෙස චරිත නිරූපණය කළහ. ජායිපූර් හි දහස් ගණන් ජනතාව අතිරේක නළු නිළියන් ලෙස චිත්‍රපටයට දායක වූ අතර රජු ගේ පන් දහසක් වූ ඇත් පංතිය ද චිත්‍රපටයට යොදා ගැනිණ. අතිරේක දර්ශන ජායිපූර් රජුගේ අනුග්‍රහයෙන් ලාහෝරයේ අගාඛාන් ගේ මාලිගාවන් හා උද්‍යාන තුළ රූ ගැන්විණ. ලයිට් ඔෆ් ඒෂියා නැතහොත් ප්‍රේම් සන්‍යාස් අති සාර්ථක චිත්‍රපටයක් වූ අතර එයින් පසු මේ සම්මාදමෙන් සිරාස් , සහ ප්‍රපංච පාශ් යන චිත්‍රපට ද නිර්මාණය විය. මේ චිත්‍රපට සියල්ලේම තිරනාටකය නිරංජන් පාල්ගෙන් වන අතර හිමන්සු එහි රඟපෑමෙන් දායක විය. අධ්‍යක්ෂණය කරන ලද්දේ ඔස්ටන්ය. පසුතල හා ඇඳුම් නිර්මාණය දේවිකා රාණිගෙනි. දේවිකා රාණි රංගනයට පිවිසෙනුයේ 1933 වසරේ තැනෙන කර්ම චිත්‍රපටය සමගය. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ ජොශෆ් ෆොන් වර්ශිංග් පසුකලෙක ඉන්දියාවේම පදිංචි වූ අතර ඔහු අවසාන වරට කැමරාව මෙහෙය වන ලදදේ පාකීෂා චිත්‍රපටයේය. හිමන්සු. නිරන්ජන් .දේවිකා සහ ෆ්‍රාන්ස් ඔස්ටන්ගේ හවුල්කාරිත්වයෙන් 1934 වසරේ දී බොම්බායේ දී බොම්බේ ටෝකිස් නම් දැවැන්ත චිත්‍රාගාරය සහිත සමාගම ආරම්භ වූ අතර එය වර්තමාන හින්දි සිනමාවේ විලාසය හා ව්‍යාපාරයට අඩිතාලම ලූ සමාගම බැව් ඉන්දියානු සිනමා ඉතිහාසය පිරික්සන්නෙකුට පැහැදිලිව පෙනී යන්නකි. ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටයට එදා දායක වූවා නම් මේ අයිතියේ කොටස්කරුවන් වන්නට ලංකික සිනමාවට ද ඉඩ තිබුණ වග නො අනුමානය.

 

 

 

Add new comment