2020 ට පෙර 1929 ඉවර කරමු

දෙසැම්බර් 26, 2019

මුල්ම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව වුවත් මෙරට මුල්වරට චලන චිත්‍රයක් තිරගත කරන ලද්දේ 1897 වසෙර්ය. ලාංකික සිනමාවේ සැඟවුණු අතීත පුරාවත හෙළිදරවු කිරීමේ ගවේෂණාත්මක ලිපි මාලාවේ 60 වැනි ලිපිය අද පළ වෙයි. මේ පැරණි ලිපි සියල්ල www.sarasaviya.lk  වෙබ් අඩවියෙන් කියවිය හැකිය.

2019 වසර ගෙවෙන්නට තව ඇත්තේ දින පහක් පමණකි. අපේ සිනමා ඉතිහාසයේ සැඟවුණු කතා සොයමින් ගිය ලිපි මාලාවේ අද කොටස ද වෙන්වනුයේ හරියටම මෙයින් අවුරුදු 90 කට කලින් සිනමා ඉතිහාසය ගැනය. එනම් 1929 වසර ගැනය. මෙරට සිනමා ඉතිහාසයේ වඩාත්ම වැදගත් වර්ෂයක් ලෙස 1929 වසර පිළිබඳ හෙළිදරවු කිරීමට එයින් වසර 90කට පසු හෝ හැකිවීම ගැන අපට ඇත්තේ ආඩම්බරයකි.

මේ හෙළිදරවුවට කල්මැරීම නිසා මෙරට මුල්ම චිත්‍රපටය ලෙස සැලකෙන රාජකීය වික්‍රමය ගැන සොයන්නට තරමක් අතපසු වුවත් 2020 වසරේ අපේ ලොකුම බලාපොරොත්තුව ඒ පිළිබඳ සොයා බැලීමය. එහෙත් 1929 වසර අපට වැදගත් වූයේ ඇයි යන කරුණු මෙහිලා යළි සිහිපත් කළ යුතුය. එයින් වඩාත් වැදගත් කරුණ නම් එම වසරේ දී මෙරට නිපද වූ චිත්‍රපටයක් මුල්වරට තිර ගතවීමය. රොමානිස් නම් එම චිත්‍රපටය මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ දී තිර ගත වීම එහි වැදගත්ම සිදුවීමයි. දෙවැන්න මුල්වරට කතානාද චිත්‍රපට මෙරට තිර ගත කරවීම ආරම්භයයි. එහිදී මුලින් ෆොනෝග්‍රාෆ් ක්‍රමයට ශබ්ද කැවූ චිත්‍රපටයක් මැයි මස 15 වැනි දින මරදානේ ඔලිම්පියා සිනමාහලේ තිර ගතවීම කළත් එම ශබ්ද ක්‍රමය සිනමාවේ නිල පිළිගැනීමට ලක් නොවිණ. ශබ්ද කැවීමේ වඩා පිළිගැනීම වූ විටාෆෝන් සහ මූවිටෝන් ක්‍රමවලට ශබ්ද කැවූ මෙලඩි ඔෆ් ලව් ජූලි මස 13 වැනි දින එම්පයර් සිනමාහලේ තිර ගතවීම වඩා වැදගත් වෙයි. ඒ වන තෙක් පබ්ලික් හෝල් නමින් නම් කරන ලද ශාලාව එම්පයර් සිනමාහල නමින් නවීකරණය වූයේ ද මේ සමගය. ෆොනෝ ග්‍රාෆ් ශබ්ද ක්‍රමය පසුව යාපනයේ සිනමාශාලාවක දී ප්‍රදර්ශනය විය. ලොව මුල්ම කතානාද චිත්‍රපටය ලෙස සැලකෙන ද ජෑස් සිංගර් මෙරට තිර ගත වනුයේ මෙලඩි ඔෆ් ලව් චිත්‍රපටයට පසුවය. ඒ ද 1929 වසෙර්ය. එමෙන්ම කොළඹ කොම්පඤ්ඤවීදියේ වර්තමාන රීගල් සිනමාහල් භූමියේ පැවැති මදාන් තියටර්ස්ට අයත් එම්පයර් සිනමාහල කඩා බිඳ දමා එහි රීගල් සිනමාහල බිහි කරන්නට මුල්ගල තබනුයේ ද මේ වසෙර්ය. එමෙන්ම මෙරට කොටස් වෙළෙඳ පොළ ලියා පදිංචි කළ මුල්ම සිනමා සමාගම ලෙස සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම එලෙස ලැයිස්තු ගත වනුයේ ද එම වසෙර්ය. එමෙන්ම ජර්මානු නිෂ්පාදකයෙකු විසින් ලංකාවේ රූප ගත කරන්නට සැරසුණු චිත්‍රපටයක් විරෝධතා නිසා අතරමග නතරවීම මේ වසරේ සිදුවිණ. එසේ නොවන්නට එහි රඟපෑමට තෝරා ගෙන සිටි ටවර් හෝල් නළු නිළි යුවළ විදෙස් චිත්‍රපටයක රඟපෑ මෙරට මුල්ම නළු නිළි යුවළ ලෙස ඉතිහාස ගත වනු ඇත. ඩේසි පීටර්ස්ට ට හිමි වන්නට ඉඩ තිබුණු ගෞරවය ශ්‍රී ලාංකික කතකට ලැබෙන්නට තවත් වසර 8ක් ගත වන තුරු එනම් 1938 වන තුරු බලා සිටින්නට විය. ඒ ගෞරවය ලද්දී මීරියම් පීරිස් නම් වූවාය. මෙරට ඉහළ පැලැන්තියේ පවුලකින් සිනමාවට පිවිසි මුල්ම කාන්තාව ද ඇය වූවාය.

මුල් වරට ලොව ප්‍රසිද්ධ සිනමා තාරකා යුවළක් ලංකාවට පැමිණෙන්නේ ද මේ වසෙර්ය. ඒ ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් සහ මේරි පික්ෆෝඩ්ය. ඔවුන් දෙදෙනා සමග කළ පුවත්පත් සාකච්ඡාව මෙරට දී මුල්වරට නළු නිළි යුවලක් සමග කළ මුල්ම පුවත්පත් සාකච්ඡාව ලෙස සැලකිය යුතුය.

ඒ වකවානුවේ ලොව ඉහළම සිනමා තාරකා යුවල ලෙස නම් දරා සිටියේ ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් සහ මේරි පික්ෆෝඩ් යුවලයි. මේ නිසා ඔවුන් සිනමා පුවත්පත් මගින් හඳුන්වා දෙන ලද්දේ සිනමා රාජ්‍යයේ රජු සහ රැජන හැටියටය. අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ උපන් ඩග්ලස් නළුවෙක් නිෂ්පාදකවරයෙක් අධ්‍යක්ෂවරයෙක් මෙන්ම තිර නාටක රචකයක් ලෙස ද නමක් දරා සිටියේය. අමෙරිකාවේ සුප්‍රකට යුනයිටඩ් ආටිස්ට් සමාගම ආරම්භ කරන්නට එක්වූ සිනමා කලාකරුවන් සිවුදෙනාගෙන් (ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත්, චාලි චැප්ලින්, මේරි පික්ෆෝඩ්) එක් අයෙකු වූ ඩග්ලස් ඔස්කාර් සම්මාන පිරි නමන අමෙරිකානු චලන චිත්‍ර ඇකඩමියේ ද නිර්මාතෘවරයෙක් විය. පළමුවැනි ඇකඩමි සම්මාන උලෙළ මෙහෙයවන ලද්දේ ද ඔහු විසින්ය. ඩග්ලස් හා මේරි යන දෙදෙනාගේම දෙවැනි විවාහයන් වූ අතර ඒ වනවිට ඩග්ලස් එක් දරු පියෙකු ද විය. කෙසේ වෙතත් මේ විවාහය ඔවුන් සිනමා ලොව ඉහළටම ගෙන ඒමට සමත් විය. ධනය හා කීර්තිය ද ඔවුන් දෙදෙනා එක දිගට දිනා ගත්තේ මේ අවදියේය. නිහඬ යුගයේ නම් දැරූ ලොව පුරා බෙහෝ නළු නිළියන් මෙන් මේ දෙදෙනා ද සිනමාවේ කතානාද යුගයත් සමඟ ඉක්මනින් සිනමා තිරයෙන් විසීවි ගියේය. 1934 වසරේ දී ඩග්ලස් සිනමාවෙන් සමුගත් අතර ඔවුන් දෙදෙනා 1936 වසරේ දී දික්කසාද විය. ඩග්ලස් 1939 වසරේ දී මිය ගියේය. මේරී පික්ෆෝඩ් මිය ගියේ 1979 වසරේ දී 87 හැවිරිදි වියේ දී වුව ඇය ද 1955 වසරෙන් පසු රඟපෑමෙන් ඉවත් වූවාය. එබැවින් ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයක සිදුවූ මෙකී සවාරිය ඔවුන්ගේ සිනමාවේ අනාගතය වෙනුවෙන් කළ වෑයමක් ලෙස ද සැලකිය හැකිය. මේ වසරේ ඩේලි නිවුස් පුවත්පතේ පළ වන දැන්වීමකට අනුව පික්චර් ෂෝ නම් වාර්ෂික සිනමා සඟරාව කොළඹ බේලි වීදියේ (දැන් මුදලිගේ මාවත) පිහිටි ද කෝප් ලිමිටඩ් ආයතනයේ අලෙවිය සඳහා තබා තිබුණු අතර පිටපතක මිල රුපියල් 3.50 ක් විය. එය වැඩි අවධානය යොමු කර තිබුණේ මේරි පික්ෆෝඩ් ගැනය. මෙය මෙරට මුල් වරට අලෙවි කරන ලද සිනමා සඟරාවන්ගෙන් එකක් හෝ සඟරාව විය හැකිය.

ඩග්ලස් හා මේරි යුවළ ලංකාවට පැමිණෙන බව මුලින්ම සඳහන් වනුයේ 1929 වසරේ නොවැම්බර් 11 වැනි දිනයේය. යුවළ පැමිණිමට නියමිතව ඇත්තේ 23 වැනි දිනයේය. මේ සංචාරයට ලොකු ප්‍රසිද්ධියක් ලබා දීමට පුවත්පත් කටයුතු කර තිබිණ.

23 වැනිදින පුවත්පත් වාර්තා කරන අන්දමට එදින මේ හොලිවුඩ් රාජකීයයෝ පැමිණෙන්නේ පී ඇන්ඩ් ඕ කැතී නම් නෞකාවෙන්ය. මේ යුවළ දැක ගන්නට දහස් ගණනක් කොළඹ වරාය අවට රැස් කකා සිටියහ. ඔවුන්ගෙන් සමරු සටහනක් ලබා ගන්නට ද පිරිස පොර කෑ අන්දම පසුවදා ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරයි. මේ යුවල සමග ඔවුන්ගේ ලේකම් වූ ලෙවිස් මහතා හා මහත්මිය ද පැමිණ සිටියහ. ඔවුන් මෝටර් රථයට ගොඩ වැදුණේ ද අසීරුවෙන් බව පුවත්පත වාර්තා කර තිබිණ.

කොළඹින් පසු ඔවුන් ගමන් කර ඇත්තේ මහනුවරට වන අතර දළදා මාලිගාව නැරඹීමට ගිය ඔවුන් ක්වීන්ස් හෝටලයේ නතරව ඇත. එහිදී ලේක් හවුස් වාර්තාකරු සමග කරන ලද සාකච්ඡාව මෙරට දී සිනමා නළු නිළි යුවළක් සමඟ කළ මුල්ම සාකච්ඡාව ලෙස සැලකීම යුක්ති සහගත වෙයි.

එය දිනමිණ හා ඩේලි නිවුස් යන පුවත්පත්දෙකෙහිම පළ කොට ඇති අතර දිනමිණ පුවත්තේ එය පළ ව තිබුණේ ඉංග්‍රීසි ලිපියෙහිම සාරාංශයක් හැටියටය. ඒ මද සංස්කරණයකින් යුක්තවය.

ඒ අවදියේ පුවත්පත් සම්ප්‍රදාය තුළ අදාළ ලේඛකයාගේ නම සඳහන් නොවීම මත මේ ලිපිය ලියන ලද්දේ කවුදැයි සොයා ගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණකි. ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාව ඇසුරු කොට ගෙන දිනමිණ පුවත්පතේ පළ කරන ලද වාර්තාව මෙපරිද්දෙනි.

බයිස්කෝප් රජා සහ රැජිනිය පෙරෙයිදා කොළඹට ගොඩ බැසීම

කාතේ නෞකාවෙන් ලක්දිවට පැමිණි චිත්‍ර නෘත්‍ය ලෝකයේ රජා සහ රැජිනිය වූ ඩග්ලස් පෙයාර්බෑන්ක්ස් මහතා සහ නෝනා (මේරි පික්ස්පර්ඩ් දර්ශනය කිරීමේ අභිලාෂයෙන් රැස් වූ ජනයාගෙන් පෙරෙයිදා මගීන් ගොඩ බසින පාලම පිරීගොස් තිබුණේය.

නැව වරායට ඇතුල්වූ කෙනෙහි උනන්දුවූ පිරිස එහි උඩ තට්ටුවට ගියාය. ඩග්ලස් සහ මේරි වෙනින් තට්ටුවකට වී පොත් වගයක අත්සන් කරන බැව් ආරංචි වුණි. පෙයාර්බෑන්ක්ස්ට මල්මාලාවක් පැලඳවීමෙන් ද නෝනාට මල් කලඹක් පිළිගැන්වීමෙන් ද ගෞරව කරන ලදහ. ඊළඟට මේ දෙපොළ කැමරාකාරයන් ගොඩකට අසුවූහ.

බොහෝ දෙනාගේ ඉල්ලීම්වලට ඇහුම් කන් දුන් පසු බයස්කෝප් රජා ස්වකීය පිරිසත් සමග බෝට්ටුවකට නැගුණේය. බෝට්ටුව නැව්තොටේ පාලමට සේන්දු වන කොටම ‘හලෝ ඩග්ලස් ආයුබෝවන් ඩග්ලස් යනාදි ප්‍රීතිඝෝෂා රැස්වහුන් පිරිස අතරින් නික්මුණි. ඩග්ලස් සහ මේරි ඉතා අමාරුවෙන් මග රැක සිටි ජනයා ගෙන් බේරි මොටෝ රියකට නැගී ගෝල්පේස් හෝටලයට ගියෝය.

මේරි හෝටලයේ දී පත්‍ර නියෝජිතයා සමග කථා කරමින් නිශ්ශබ්ද පින්තූර සහ ශබ්ද විහිදෙන චිත්‍රපටි පිළිබඳ විස්තර කළාය. කොට ගවුම ඇඳීම ශිෂ්ටාචාරයට ගැළපෙන බවත් කොට ගවුම හෝ දිග ගවුම ඇඳීමෙන් කේශ කලාපය කැපීමට බාධාවක් නොවන බවත් දිග කෙස් වලට තමා අසතුටු බවත් කාලය පැමිණිය හොත් හිසකේ වඩන බවත් ඕතොමෝ ඇඳුම් සම්බන්ධයෙන් කීවාය. මීළඟට ඩග්ලස් කථාව ආරම්භ කළේය.

පෙයාර්බෑන්ක්ස් වඩා සතුටු මොන කිවිවරයාටදැයි පිළිවිසුයේය.

‘මම චිත්‍ර නෘත්‍යවලට බැඳුන අලුත නම් බොහොම දෙනෙක් සිටියා. තාගෝර් එයින් එක් කෙනෙක්.මම අවුරුදු ගණනකින් පොතක් බැලුවේ නැහැ.“ යනු මේ දක්ෂ නළුවාගේ පිළිතුර විය. තමා ඉදිරියේ කුමක් කරන්ට යනවාදැයි කියන්ට තමාම නොදන්න බවත් ජීවිතයේ ඉතිරි කොටසේ දී කිසිත් නොකිරීම තම ආශාව බවත් පෙයාර්බෑන්ක් අවසාන වශයෙන් කීය.

මේ යුවළ මෙරට රැඳීසිටියේ එක් දිනකි. මහනුවර සංචාරයෙන් පසු ඔවුහු දිවයිනෙන් බැහැරව සිංගප්පූරුව හා පිනෑන්ග් ඇදී නගරවලට ගොඩ බසින බව දිනමිණ වාර්තාව සඳහන් කරයි. ඩේලි නිවුස් පුවත් වාර්තාවේ මෙයට වඩා දීර්ඝ වාර්තාවක් සඳහන් විය. ර්ඒඅක ඩ්ධ්ඉ ඕධ්ට් ඊඩ්අධ්ඹ්ඹ් යන මැයෙන් යුත් ඩේලි නිවුස් වාර්තාව සිනමා නළු නිළි යුවළක් සමග කාලයේ හැටියට කළ හොඳ වර්ගයේ සම්මුඛ සාකච්ඡාවකි. ඒ වන විට පැතිරෙමින් තිබෙන කථානාද සිනමාව පිළිබඳ අසන ප්‍රශ්නයේ දී ඩග්ලස් පිළිතුරු දෙන්නේ තවමත් එය අමාරු කාර්යයක් හැටියටය. එමෙන්ම මේ නළු නිළි යුවල සිනමාවේ යාවත්කාලින වීම අරභයා පැරණි හණමිටිය කර ගහ ගත් යුවළක් ලෙස හැඟී යයි. දෙබස් කැවීම් කොතරම් හොඳ වුවත් ශබ්ද උපකරණවලදී කෙඳීරිය ගර්ජනාවක් විය හැකි බව ෆෙයාර්බෑන්ක්ගේ මතයයි . එහෙත් මේ වන විට හොලිවුඩ් සහ ජර්මනියේ දක්ෂ තාක්ෂණික ශිල්පීන් සිටින බැවින් ඉදිරියේ දී තත්ත්වය වෙනස් වනු ඇතැයි ඩග්ලස් එහි අනුමාන කොට ඇත. එමෙන්ම ඉදිරියේ දී වර්ණය සහ ශබ්ද සහිත අංග සම්පූර්ණ හැඩ ඇති සිනමා රුවක් දැක ගත හැකි වනු ඇති බව ෆෙයාර්බෑන්ක්ස් බලාපොරොත්තු පළ කරයි.

මේරි සඳහන් කරනුයේ කතානාද චිත්‍රපට වලට වඩා වැඩි යමක් නළු නිළියන්ට නිහඬ සිනමාවේ කළ හැකි බවකි. සති අටක් හොලිවුඩයෙන් බැහැරව සිටි විට මුළු ක්‍රමවේදයම අලුත් ව ගොස් ඇති වග ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම අනාගතයේ මුළු ලෝකයේම සියලු පාසල් අධ්‍යාපනය සදහා සිනමා භාවිතාව කරනු ඇතැයි ඇය අපේක්ෂා කළාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.