නූර්බායි නම් බෝරා ජාතිකයා

ජනවාරි 2, 2020

මුල්ම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව වුවත් මෙරට මුල්වරට චලන චිත්‍රයක් තිරගත කරන ලද්දේ 1897 වසෙර්ය.

ලාංකික සිනමාවේ සැඟවුණු අතීත පුරාවත හෙළිදරවු කිරීමේ ගවේෂණාත්මක ලිපි මාලාවේ 61 වැනි ලිපිය අද පළ වෙයි.

මේ පැරණි ලිපි සියල්ල www.sarasaviya.lk  වෙබ් අඩවියෙන් කියවිය හැකිය.

මෙරට තිර ගත කළ මුල්ම ලාංකික චිත්‍රපටය වූ රොමානිස් චිත්‍රපටයට පෙරාතුව ලිවිය යුතුවූයේ මෙරට සිනමා ව්‍යාපාරයේ පුරෝගාමියා වු ටී.ඒ.ජේ.නූර්බායි ගැනය. අවාසනාවකට මෙන් ඔහුගේ පවුලේ වර්තමානිකයන් කිසිවකුගෙන් හෝ යහපත් ප්‍රතිචාරයක් ලබා ගැන්මට අපි අපොහොසත්වීමු. එබැවින් ඔහු හා ඔහු විසින් නිෂ්පාදනය කරන ලද්දේයැයි පැවසෙන මෙරට මුල්ම චිත්‍රපටය ලෙස සැලකෙන රාජකීය වික්‍රමය පිළිබඳ සොයන්නට තිබෙන ඉඩකඩ ඉතා විරලය. අවම වශයෙන් ටී.ආර්.ජේ. යන අකුරුවලින් කියැවෙන්නේ කුමක්දැයි දැන ගන්නට හෝ අප කළ වෑයම අසාර්ථක විය. මේ නමින් සිටින පවුලේ සාමාජිකයන් අතරින් වර්තමානිකයන්ගේ ප්‍රතිචාරය වූයේ ඔහු ගැන නොදන්නා බවය. මේ පවුලේ තොරතුරු දැන ගත හැකි කිසිවකු හෝ සිටින්නේ නම් එය අපට දන්වන ලෙස මෙම ලිපි මාලාව ගැන උනන්දු වන අපේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

කෙසේ හෝ වේවා නූර්බායි. අයත්වනුයේ බෝරා ජාතිකයන්ටය. එබැවින් බෝරා ජාතිකයන් ගැන යමක් ලිවීම අත්‍යවශ්‍ය වේ.

බෝරා ජාතිකයන්ගේ සම්භවය ඊජිප්තුවේ හා යේමනයේ ඇරඹුණකි. ඔවුහු පසකලෙක ඉන්දියාවට පැමිණ ගුජරාටය සිය පදිංචිය සදහා තෝරා ගත්හ. එරට මුස්ලිම් ආක්‍රමණයත් සමග එහි සිටි හින්දූන්ගෙන් ඇතැමෙක් පසුකලෙක ඉස්ලාම් දහම වැලඳ ගත් අතර අතීතයේ වෙළෙඳාමේ නියැළි ගුජරාටයේ විසූ හින්දු භක්තිකයන් වූ වෛශාලි කුලයේ සමහරු ද ඉස්ලාම් ධර්මය වැළඳ ගත්හ. බෝරා යන වචනයෙහි අර්ථය ගුජරාටි භාෂාවෙන් වෙළෙඳාම අරුතැති වොහොරා යන වදනින් බිඳී ආ වකි. ජන කොටසක් සේ ගත් කළ බෝරා ජාතිකයෝ සංඛ්‍යාවෙන් සුළුවුවත් ධනවත්කමෙන් ඉතා ආඪ්‍ය පිරිසකි. සුදු පැහැති ඇඳුමෙන් පමණක් සැරසෙන බෝරා ජාතිකයෝ දේශපාලනය ගැන උනන්දුවක් නැති ව්‍යාපාර පමණක් ඉලක්ක කර ගත් සාමකාමී පිරිසක් හැටියට ප්‍රසිද්ධය. ඉස්ලාම් භක්තිකයන් අතර කාන්තාවන්ට පල්ලි යා හැකි එකම කොට්ඨාසය ද බෝරා ජාතිකයන් පමණකි. එමෙන්ම ඔවුහු ප්‍රතිශතයක් ලෙස ඉස්ලාම් භක්තිකයන් අතර ඉහලම සාක්ෂරතාව සහිත පිරිසයි.

මෙරටට පැමිණි මුල්ම බෝරා ජාතිකයාලෙස සැලකෙන්නේ 1831 වසරේ දී ගාල්ල වරායට අහම්බෙන් ගොඩ වැදුණ කරිම්ජි ජැෆර්ජිය. ඔහු ඒ වන විටත් ඉන්දියාව හා මාල දිවයින අතර වෙළෙඳාමේ නියැලි පුද්ගලයෙකි. අහම්බෙන් ගාලු වරයාට ගොඩ වැදුණ ද ජැෆර්ජිට ලංකාව අල්ලලා ගියේය. මෙරටින් විවිධ බෝග වර්ග අපනයන කළ ජැෆර්ජි සහල්,සීනි, පිටි, වැනි ද්‍රව්‍ය මෙරටට ආනයන කළේය. ඉන් අනතුරුව තවත් බෝරා ජාතිකයන් කිහිප දෙනෙක්ම මෙරටට ගොඩ බටහ. ඔවුන්ගේ පළමු පල්ලිය ඉදි කරන ලද්දේ ගාලු නගරයේ වුවත් ඔවුහු ඉතා ඉක්මනින් කොළඹට පැමිණ පිටකොටුවේ පස් වැනි හරස් වීදියේ ව්‍යාපාර ආරම්භ කළහ. ජැෆර්ජි අනුව යමින් 19 වැනි සියවසේ මැද භාගයේ පමණ බෝරාවරුන් විසින් මෙරට ආරම්භ කරන ලද ව්‍යාපාර කෙතරම් බලසම්පන්න වීද යත් එයින් දශක කිහිපයක් ගත් වද්දී ඒ වන විට යුරෝපීයන් සතුව තිබූ බූමිතෙල්, රෙදි පිළි වැනි ආනයනික ද්‍රව්‍ය වෙළෙඳාම සම්පූර්ණයෙන් තමන් වෙත පවරා ගැන්මට තරම් බෝරා ව්‍යාපාරිකයෝ දක්ෂ වූහ.

මේ අතරින් ෂීක් හෙබ්තුල්ලාබෝයි හා පුත්‍රයන් විසින් ආරම්භ කරන ලද සමාගම තේ අපනයනය සම්බන්ධව බ්‍රිතාන්‍යයන් සතු ඒකාධිකාරය බිඳ දැමූ වග සටහන් වෙයි. එවකට විශාලම බෝරා සමාගම වූයේ අල්ලිබෝයි සහෝදරවරුන්ට අයත්ව තිබුණු ඊ.ජී.ආදමලී සමාගමයි. මෙරට මුල්ම ව්‍යවස්ථාදායක සභාවට මුල් වරට පත් කරන ලද ඉන්දියානු නියෝජිත මන්ත්‍රීවරයා වූයේ ද ඊ.ජී.ආදමලි ය. මෙලෙස පැමිණ ව්‍යාපාර ආරම්භ කරන ලද බෝරාවරුන් ටී.ඒ.ජේ.නූර්බායි ගෙන් කෙනෙකු වූ නූර්බායි මෙරට ව්‍යාපාර ආරම්භ කරන ලද්දේ 1889 වසෙර්ය. ඔහු ආසියාව පුරාම සිය ව්‍යාපාරික සම්බන්ධතා ගොඩ නඟා ගත්තෙක් බැව් ආනෝල්ඩ් රයිට් විසින් රචනා කරන ලද ට්වෙන්ටියත් සෙන්චරි ඉම්ප්‍රෙසන්ස් ඔෆ් සිලෝන් ග්‍රන්ථය විස්තර කරයි. නූර්බායි සෙසු බෝරා ව්‍යාපාරිකයන්ට වඩා වෙනස් ගති ලක්ෂණ පළ කෙරූවෙක් බැව් ඔහු පිළිබඳ සොයද්දී පෙනෙන්නට තිබේ. සම්ප්‍රදායික සාමාන්‍ය වෙළඳමේ පමණක් නිරත නොවී අලුත් දේ සොය යෑමට ඔහු පෙළඹීම කැපී පෙනෙන කරුණකි. මේ නිසාම ඔහු නඩුහබ ආදියට ද මැදිහත් වෙයි. අලුතෙන් වැඩී එන සිනමා කර්මාන්තය ට යොමුවීම හා එහි මුහුණ දෙන ගැටළු මේ අතරින් ප්‍රමුඛ වෙයි. එමෙන්ම ලංකාව හා මාලදිවයින අතර මුල් වතාවට ‍වාෂ්ප නෞකා ප්‍රවාහනය සේවාවක් අරඹන්නේ ද ඔහුය.

එවකට කොළඹ හැව්ලොක් පාරේ ඔහු විසින් ආරම්භ කරන ලද වැල්ලවත්ත රෙදි මෝල නමින් ප්‍රකටව තිබුණු වැල්ලවත්ත ස්ප්‍රින් ඇන්ඩ් වීවින් මිල්ස් ආයතනය මෙරට රෙදිපිළි කර්මාන්තයේ පුරෝගාමී ආයතනයක් විය. එය 1976 වසරේ දී වසා දමන තුරු කොළඹ තිබුණු විශාලතම කර්මාන්ත ශාලාවක් විය. වර්තමානයේ හැව්ලොක් සිටි ගොඩ නැඟෙන්නේ එම රෙදි මෝල පැවැති සමස්ත භූමි භාගයේය. වැල්ලවත්තේ ඔහු විසින් ඉදි කරන ලද ටිවෝලි ( පසුකලෙක ප්ලාසා) සිනමාහල ඒ කාලයේ දැවැන්ත සිනමාහලක් විය. මේ සියලු ව්‍යාපාර මහා පරිමාණ ධනායෝජනයන්ය. අද මෙන් බැංකු පහසුකම් නොමැති එකල මේ සියල්ල ගොඩනැගීම විශාල අභියෝග වෙයි. නූර්බායි පිළිබඳ රයිට්ගේ විස්තරයට අනුව පාසල් හා පුණ්‍යාධාර සඳහා නිර්ලෝභීව ධනය වැය කළ පුද්ගලයෙක් හැටියට හෙතම කොළඹ ව්‍යාපාරික ප්‍රජාව අතර ප්‍රචලිත සිටියේය. එමෙන්ම නූර්බායි නාමය කෙතරම් පතළ ද යැයි උදාහරණයක් ලෙස 1923 මැයි මස 24 වැනි දින ඩේලි නිව්ස් පුවත්පතේ ඉඩම් වෙන්දේසි දැන්වීමක් නිදසුන් සේ ගත හැකිය. වැල්ලවත්තේ ගාලු පාරේ බිම් කොටස් 14 ක් වෙන්දේසි කරනු ලබන කොළඹ බේලි වීදියේ වෙන්දේසිකරුවකු වන එල්.ඒ.වික්‍රමසිංහ විසින් පළකරනු ලබන දැන්වීමට අනුව එම ඉඩම් කොටස් ටී.ඒ.ජේ.නූර්බායි මහතා විසින් ඉදි කරනු ලබන ගෘහයන්ට සමීප ඉඩමක් බව සඳහන් කෙරෙයි.

මේ අවදියේ නූර්බායි ඇතුළු බෝරා ජාතිකයන් රාශියකටම එම ප්‍රදේශයේ ඉඩම් හිමිව තිබිණ. වැල්ලවත්ත හැව්ලොක් පාරේ ඇති අක්කර පහළොවක වපසරියකින් යුත් රෙදි මෝල එයින් එකකි. එකල ජීවත් වූ ප්‍රධානතම බෝරා ව්‍යාපාරිකයා ලෙස සැලකුණු හෙබ්තුල්ලාබෝයි වැල්ලවත්ත දුම්රියපොළට යාබද අක්කර භාගයක් 1897 වසරේ දී මිල දී ගෙන තිබිණ. ඒ බම්බලපිටියෙන් ඔහු මිල දී ගත් අක්කර තුනක ඉඩම අක්කර විසි තුනක පොල් වත්ත හා අක්කර 18 ක කුරුඳු වත්තට අමතරවය.

නුර්බායි සිනමා ව්‍යාපාරයට පිවිසෙනුයේ කොළඹ පිටකොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට ඇති මල්වත්ත පාරට යාබද ව ලන්ඩන් බයිස්කෝප් සිනමා ශාලාව අරඹමිනි. ඒ 1912 වසරේ ය. 1910 වසරේ අප්‍රේල් මස 10 වැනි දින මෙරට මුල්ම ස්ථාවර සිනමා ශාලාව ලෙස විවෘත වුන වෝර්වික් මේජර් ගේ එම්පයර් සිනමාහලක් ද පැවැතියේ ඒ සමීපයේය. මේ ගොඩනැගිලි ස්ථිර ගොඩනැගිලි නොවුණ වග නම් සහතිකය. එයට පෙර පුෂ්ප ශාලාව ඇතුළු නාට්‍ය ශාලා හෝ මඩු ඉදිවුණේ ද එහිමය. එම භූමියේ ගොඩනැගිලි කිසිවක් ස්ථිර ලෙස සදන්නට එවකට රජය ඉඩ නොදුන් අතර සෑම ගොඩනැගිල්ලක්ම පැය විසි හතරක් ඇතුළත කඩා ඉවත් කළ හැකි පරිද්දෙන් සෑදිය යුතුව තිබිණ. (වැඩි විස්තර සඳහා මේ ලිපි මාලාවේ මුල් ලිපි කියවන්න)

එම අවස්ථාවේ දී මේජර් සිය එම්පයර් ශාලාව යාබද කොම්පඤ්ඤ වීදියේ පාසන්ස් පාරට ගෙන ගියේය. ලේක් හවුස් වටරවුම අසල දුම්රිය පාර හරහා වෙනත් වාහන යා හැකි පරිද්දෙන් කොටුව හා පිටකොටුව සම්බන්ධ කොට පාලම ඉදිවූයේ එයින් පසුව 1922 වසෙර්ය. නූර්බායි මරදානට ගියේය. ඒ ඊස්ටර්න් ෆිල්ම් කම්පනි නමින් නව සමාගමක් අරඹමින්ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.