දවස තවමත් තරුණයි

ජනවාරි 16, 2020

 

හරියටම කාලය නිශ්චිතව කවර වසරේ දැයි කියන්නට අපහසු නමුත් ඒ මම උසස් පෙළ විභාගය ලියා අවසන් වූ සමයයි. අද මෙන් අත්බනු මත ඇඟිලි තබමින් දත්ත ගෙවන්නට නොමැති එකල අපේ නන්නත්තාර යෞවනයේ තිප්පොලක් වූයේ කොළඹ මහජන පුස්තකාලයයි.

ළඟම ඇති සිනමාහල් සොයා යන්නට පත්තර බලන්නේ එතැනින්ය. හරියට දිනපතා රස්සාවකට යන්නා සේ උදෑසනින් ගෙදරින් පිටව යන මට මග දී වරෙක දැක පුරුදු මුහුණක් මුණ ගැසිණ. මා ඔහු දැක තිබුණේ එයින් අවුරුදු ගණනාවකට කලින් ටයිටස් තොටවත්තයන්ගේ හඳයා චිත්‍රපටය නරඹද්දීය. එහි අවසාන පෝනි තරග දර්ශන මාලාවේ එම තරගය ගැන සජීවි නිවේදනයේ යෙදෙන එක් චරිතයක් රඟපෑවේ එකල ජීවත් වූ ප්‍රවීණතම ගුවන් විදුලි නිවේදකයකු වූ කරුණාරත්න අබේසේකරයන්ය. අනෙක් නිවේදකයා අලුත් නලුවෙකි. ඔහු තරගයට කෙතරම් වසඟවීද යත් නිවේදනයට ගොස් නාසය මයික්‍රෆෝනය හප්පා ගත්තේය. එබැවින් අබේසේකරයන්ගේ හඬට වඩා අපට මතක තිබුණේ නාසය මයික්‍රෆෝනයේ හප්පා ගන්නා නිවේදකයාය. (හඳයා චිත්‍රපටයේ රඟපෑමට ටයි මහත්තයා මා ද තෝරා ගත්තේය.එයින් මා ගැලවුණේ දෛවයේ හාස්කමකට මෙන්ය.) මේ නළුවා තවත් අපූරු වාර්තා චිත්‍රපටයක ද දැක ගතිමි. ඒ රජයේ චිත්‍රපට අංශය මගින් නිපද වූ වාර්තා චිත්‍රපටයක උදෑසන නැගිට සිටි මොහෙතේ සිට අප විසින් නාස්ති කරන වතුර විදුල බලය වැනි කරුණු කිහිපයක යෙදී සිටින කන්තෝරු කාරයකු ගේ චරිත රඟපාමින්ය. මා හිතන්නේ එය ද ටයි මහත්තයාගේ වැඩක් හැටියටය. ඒ වනවිට මා සරසවිය පාඨකයකු බැවින් මේ නළුවා ජයලත් මනෝරත්න නමැත්තෙකු බව දැන ගතිමි. මහජන පුස්තකාලයේ පොත් අතර සැරිසරද්දී මට අපූරු නවකතාවක් කියවන්ට ලැබුණේ ඒ අතරතුරය. ඒ ජයලත් මනෝරත්න නම් ලේඛකයා විසින් ලියන ලද දවස තවමත් තරුණයි නම් නවකතාවයි. නිතර දකින අමුත්තා සමග කතාබහට මට මුල පුරන්නට මෙයට වඩා කාරණාවක් නොවිණ.

එක් උදෑසනක නාරාහේන්පිට කොටුව අතර ධාවනය වූ බස් රියක සමීප අසුනේ වාඩිවුන මම මනෝරත්නයන්ට මනෝ අය්යායැයි අමතා කතාව පටන් ගතිමි. කතාබහ සතියකට වතාවක් දෙවතාවක් සිදු වූ අතර ඒ කාලයේ දැන හැඳුනුම්කම යාළු මිත්‍රකමකට පරිවර්තනය විය. ඒ අවසරයෙන් මනෝ අය්යා ඉන්නා තැන ද දැන ගන්නට මට හැකිවිය. පාසැල් සගයෙකු වූ හේමසිරි අබේරත්න සමඟ කෙටි චිත්‍රපටයක් හැදූ අන්දමත් එහි ප්‍රධාන චරිතය රඟපෑවේ මා බවත් මනෝ අය්යාට පැවසුවේ මාත් නළුවකු යැයි සිතාගෙනය.

මනෝ අය්යා ඒ ගැන තවත් විස්තර අසා සිටියේය. ඊටත් වඩා මනෝ අය්යා හැම චිත්‍රපටයක්ම නරඹන්ට තිබුණ මගේ ඇබ්බැහිය ගැන නම් වටහා ගත්තේය.

වෙලාවක අපේ ගෙවල් පැත්තේ එන්නැයි මනෝ අය්යා ආරාධනා කළේ ඒ අතරය. කිසිදු පැකිළීමකින් තොරව එම ආරාධනය පිළිගත් මම ඊළඟ නිවාඩු දවසක උදෑසනකම මනෝ අය්යගේ නිවහනට ගියෙමි. ඒ වන විට ඔහු ජිවත්වූයේ නාරාහේන්පිට පොල්හේන්ගොඩ අන්දර වත්ත පාරේ නිවහනකය. භානුක ඒ දවස්වල පොඩි එකෙකි. මා ගිය හැටියේම මනෝ අය්යා හුරතලයට ඇති කළ බල්ලා මගේ ඇගට ගොඩවී සුරතල් වන්නට පටන් ගත්තේය. කොහොමටත් මේ ලෝකයේ ජීවත් වන සියලු සත්තුන් අතරින් මට බිය ගෙන දෙන එකම සතා බල්ලාය. මගේ බය භානුකගේ සතුටට හේතුවීය. ඔහු මේ කරදරයෙන් මා මුදවා ගැනීම පැත්තක දමා උඩ පැන පැන නටන්නට විය. මනෝඅය්යා හා ජයන්ති අක්කා පැමිණ ඒ අතවරයෙන් මා ගලවා ගත්තේය. ( පසුකලෙක එතෙර රටක ගිය ද භානුක වරෙක තාත්තාට මස්සිනේයැයි කියමින් රොමාගේ වාසනාව ටෙලිවෘත්තාන්තයේ අපූරුවට රඟපෑවේය.)

අරුණ මං චිත්‍රපටයක් හදනවා. ඒකේ වැඩ ටිකක් කරලා පොඩි ප්‍රශ්න වගයක් නිසා අතරමග නතර වුණා.

ඔහු මට අලුත් ආරංචියක් පැවසුවේය. ඒ වන විට එය දින කිහිපයක් රූප ගත කර තිබිණ .එදා මා ආපසු යද්දී මේක කියවලා ඔයා හිතන විදිය මට කියන්නයැයි ඔහු ටයිප් කළ පොතක පිටපතක් මා අත තැබුවේය. දවස තවමත් තරුණයි චිත්‍රපටයේ තිරකතාවයි. එය සිනමාකැරුවකු අතින් මා අතට පත් මුල්ම තිරනාටක පිටපත ලෙස අදටත් මගේ මතකයේ ඇත. ඒ වන විට මා විදෙස් තිරනාටක කිහිපයක් කියවා තිබිණ. සිංහලෙන් පළ වූ මුල්ම තිරනාටක ග්‍රන්ථය වූ සතර දිගන්තය තිරනාටකය ද මා සතුව තිබිණ. මනෝ අය්යා දුන් දවස තවමත් තරුණයි නවකතාව පාදක කර ගෙන ලියන ලද තිරනාටකය මා සිත් ගත් එකක් බැව් කිවයුතුමය. වයසින් විසි වැනි වියටවත් නොඑළැඹි එකල අප මෙන් සිනමාව ගැන දන්නා කිසිවකු මෙදියත පහළ නොවී ඇතැයි එකල මම සිතා සිටියෙමි. එබැවින් තිර නාටකය කියවා හමාර කළ පසු මගේ මතය පැවසුවෙමි.

කාර්මික තිරනාටකයක් වූ එහි සෑම දර්ශනයක් හා ඊළඟ දර්ශනය අතර යාව සිදුවූයේ සමීප රූපයකින් වීම මට තවම මතකය. මම මනෝ අය්යා සමඟ බොහෝ වෙලාවක් ඒ ගැන කතා කළෙමි. එයින් පසු මනෝ අය්යා ටික දවසකට විදේශ ගතවීමක් හෝ පදිංචිය මාරුවීමක් සිදුවුණා මට මතකය. කෙසේ වෙතත් මනෝ අය්යා ගේ දවස තවමත් තරුණයි චිත්‍රපටය කිසිවිටෙකත් සම්පූර්ණ වූයේ නැත .එය එසේ වූවා නම් දවස තවමත් තරුණයි සමග ජයලත් මනෝරත්නයන් සිනමාකරුවකු ව දොරට වඩින්නට ඉඩ තිබිණ. එමෙන්ම සිනමා පුවත්පත් කලාවට යොමු නොවී සිනමා වෘත්තිකයෙකු ලෙස එක්වන්නට සමහරවිට මට ද එමගින් ඉඩ තිබිණ. පසුකලෙක දැන ගත් පරිදි ජයලත් මනෝරත්නයන්ගේ දවස තවමත් තරුණයි සිනමා කෘතිය තිරයට ආවා නම් ඔහුගේ නවකතාව ඇසුරෙන් තිරනාටකය ලියූ තැනැත්තාගේ ද මුල්ම සිනමා අවතීර්ණය එය වනු ඇත. ඒ ප්‍රසන්න විතානගේය. පසුව මනෝරත්නයන් අතින් නිර්මාණය වුන එකම පරිවර්තිත නාට්‍යය වන පුත්‍ර සමාගම ඇලෙක්සැන්ඩර් වැම්පිලොව්ගේ දි එල්ඩර් සන් ඇසුරෙන් ප්‍රසන්න විසින් සිංහලට පරිවර්තනය කරන ලද්දේ ද මේ කාලයේ විය යුතුය.

මනෝ අය්යාගේ පදිංචිය වෙස්වීමත් සමග අපේ හමුවීමත් තරමක් දුරට ඈත්විය. එහෙත් මිත්‍රත්වය අඩු ව නොගියේය. මනෝ අය්යා අලුතෙන් හැදූ නිවහනට ගියේය. මේ කාලයේ මනෝ අය්යා මෙරට රංග කලාවේ දැවැන්තයන් අතරට අනුක්‍රමයෙන් පත්වෙමින් තිබිණ. එය සාමාන්‍ය රංගනවේදියකු සිට විෂයානුබද්ධ දැනුමෙන් හෙබි එමෙන්ම ජිවිතය හරහා ලබා ගත් පරිචයෙන් ද මුහුකුරාගිය රංගවේදියකු විය. වේදිකාවේ.සිනමාවේ පමණක් නොව එයින් එහා ටෙලිවිෂනයෙ ද ඔහු මහා නළුවකු ලෙස ගොඩ නැගිණ. සාහිත්‍ය කෙෂත්‍රයේ මහා සාහිත්‍යධරයකු ලෙස ද කවියකු ලෙස ද ඔහු සාරවත්ව වැඩිණ. වේදිකාවෙන් උපත ලබා එයින් සාර සුබාවට වැඩි බොහොමයක් එය අතහැරගියෝ යළි කිසි දිනෙක ඒ දෙස නොබැලූහ. එහෙත් සිනමා නිර්මාණයේ දී ඔහුට අහිමි වූ ප්‍රකාශන මංපෙත නැතහොත් නිර්මාණකරුවාගේ ආත්ම ප්‍රකාශනය සදහා මනෝරත්නයන් නොපැළකිවම වේදිකාව තෝරා ගෙන තිබිණ. එහි ඔහු මහ පෙරළිකාරයකු විය. මහගිරිදඹෙන් ඇරඹි ඔහුගේ නාට්‍ය නිර්මාණ අතරින් පුත්‍ර සමාගම හැරුනු විට අන්සියල්ල ස්වතන්ත්‍ර නිර්මාණ ඒවා විය.

ඒ සියල්ල සමකාලින සමාජය හරහා ඔහු ලද කම්පනයේ ප්‍රතිඵලයක් බැව් නොකියාම බැරිය. අන්දරේ හෝ තල මල පිපිලා පමණක් නොව පරිවර්තිත පුත්‍ර සමාගම හරහා මනෝරත්නයන් සමාජය කලින් කියැවූවෙකු විය. ඔහුගේ ගායන රිද්මය වේදිකාවේ දී පමණක් නොව පොදු සාදයක දී ද කැපී පෙනෙන ආවේණික හඬක් විය. විසි වැනි සියවසේ දෙවැනි දශකයට එළැඹෙන විට ඔහු සිංහල සිනමාවට නැතුවම බැරි රංගනවේදියකු විය. මනෝ අය්යා යනු තනි මිනිසකු නොවේ. ඔහු ලෝකය තනි යායක් කළ තනි මිනිසෙකි. ඒ කවියකු නාට්‍යකරුවෙකු ගීත රචකයකු. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, රූපණවේදියකු වැනි විවිධ භූමිකාවන් ඔහු සතුවිය. මේ සියල්ල සමබර කර නිවස ද මිත්‍ර සමාගම ද පුත්‍ර සමාගම ද සියල්ල සමග සතුටින් සැරිසැරිය හැකි ඇත්තන් දුබලය. වසර ගණනාවක් මුළුල්ලේ වරින්වර ඇතිවුණ රෝගාබාධ තඹ දොයිතුවකට හෝ නොසලකා ඉපැදුණ ලොවට කළ යුතු මෙහෙය ඉටු කරමින් විනෝදනයත් වින්දනයත් එක ලෙස දරමින් ජීවත්වන්නට තරම් ධෛර්ය සම්පන්න මිනිසකු හමුවීම ඉතා දුර්ලබය.

එපමණක් නොව හරියට තෝන් ලනුවක් අල්ලන්නට, කුඹුරක දෑකැත්තක් අල්ලන්නට දැක ඇති ගැමි රඟමඩලෙන් උපන් රංගන වේදින්ගේ පරම්පරාව මෙයින් අහෝසිවන බව මගේ හැඟිමය.

පසුගිය සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය ඔහු දිනා ගත්තේ හෝ ගානා පොකුණ චිත්‍රපටය උදෙසාය. එම සම්මාන උලෙළට ඔහු සහභාගි නොවුණේ ඕස්ට්‍රේලියාවට ගොස් සිටි බැවින්ය. දින කිහිපයකට පසු මා වෙත ලැබුණු ලිපියක උලෙළට සහභාගිවන්නට නොහැකිවීම පිළිබඳ සිය කනගාටුව පළ කර තිබුණේ ඉතා නිහතමානි මිනිසකු හැටියටය. තවත් වසරකට පමණ පසු චිත්‍රපටයක් පිළිබඳ කතාබහකට මම මනෝ අය්යා හමුවීමි. ඒ තිරනාටකයක් එක්කය. ටික දවසකින් මනෝ අය්යා මට කතා කළේය.

“මරු.අපි වැඩේ පටන් ගනිමු.“ ඔහු පැවසුවේය. එහෙත් මගේ හැටි නිසා වැඩේ කල් ගියේය. හමුවන හැමවිටම මනෝ අය්යා මගෙන් විමසන්නේ ඒ කාරණයයි.

අප අවසන්වරට හමුවූයේ මිත්‍ර චිත්‍ර ශිල්පී වසන්ත පෙරේරා ගේ නැදිමාලේ නිවහනේය. ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, කිවිවර බුද්ධදාස ගලප්පත්ති, රූපණවේදී දයාදේව එදිරිසිංහ, විචාරක මනුබන්දු විද්‍යාපති ද එක් වූ මේ හැන්දෑව මනෝ අය්යාගේ අපූරු කතාන්දර සමග අලංකාර කළේය. ඒ රස සබාව අවසන් වන විට අලුත් දවසකට මුල පුරා තිබිණ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණ ද හිසේ සිට පොරවා ගෙන දවස ගෙවන අප වැන්නවුන් උපන් රටක මනෝ අය්යා සිතින් කිසිවිටෙකත් රෝගී නොවුණෙකු වග ඒ සැඳෑව ද අපේ මතකයේ සටහන්ව ඇත්තේය.

කවියක ගීයක සිනමාවක නාටකයක

සාදු කාරයක පිරිතක ඕම් කාරයක

සුළං පොදක වැහි අල්ලක තරුපිපි රාත්‍රියක

රමණී මිස මරණී කොද මේ තුන් ලෝකෙක

මනෝ අය්යා ලෙඩ ඇඳේ සිට ලියන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.

පුත්‍ර සමාගමේ කියන හැටියට “හැම මිනිහෙක්ම උපදින්නේ නිර්මාණකාරයෙක් හැටියට.ඉතිං හැම කෙනෙක්ම තමන්ගේ කේෂත්‍රය තුළ ඒ නිර්මාණකරණයේ උපරිමයට යන්න ඕනෑ.‘ කන්ද උඩරට සිට පැමිණ තල මල පිපුණ වේදිකාවට ගුරුතරුව ක් ව පෑයූ ජයලත් මනෝරත්නයන් සමහරවිට සිය ආදර්ශපාඨය කරගන්නට ඇත්තේ එයැයි මට සිතෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.