නූර්බායි කොටි වල්ගයක් අල්ලා ගනී

ජනවාරි 23, 2020

මුල්ම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව වුවත් මෙරට මුල්වරට චලන චිත්‍රයක් තිරගත කරන ලද්දේ 1897 වසෙර්ය. ලාංකික සිනමාවේ සැඟවුණු අතීත පුරාවත හෙළිදරවු කිරීමේ ගවේෂණාත්මක ලිපි මාලාවේ 63 වැනි ලිපිය අද පළ වෙයි. මේ පැරණි ලිපි සියල්ල www.sarasaviya.lk  වෙබ් අඩවියෙන් කියවිය හැකිය.

 

ටී.ඒ.ජේ.නූර්බායි විසින් අමෙරිකානු ජාතිකයකුයැයි කියනු ලබන කපිතාන් සැලිස්බරි හෙවත් ඩියුක් සෙලර්ස්ට විරුද්ධව නඩු පවරනුයේ රුපියල් තුන් දහසක විශ්වාසය කඩකිරීමට සහ තමා සන්තකයේ තිබුණ රුපියල් දෙදහසක් වටිනා කැමරා දෙකක් වංචා සහගත ලෙස ලබා ගැනීමට විරුද්ධවය.

කොළඹ පොලිස් මහේස්ත්‍රාත් එන්.ජේ.ලුඩ්විර්ග් ඉදිරියේ නීතිඥ ඒ.එෆ්.ඒ.පෙරේරා ගේ උපදෙස් පරිදි නීතිඥ ඒෆ්.ඒ හේලි විසින් මේ නඩුව පවරන ලද්දේ නූර්බායිගේ ඉල්ලීම පරිද්දදෙනි. මේ නඩුව පිළිබඳ සඳහන් වනුයේ 1923 වසරේ පෙබරවාරි මස 19 වැනි දින ඩේලි නිව්ස් පුවත්පතේ මුල් පිටුවේය. ඩියුක් සෙලර් ලංකාවට පැමැණෙන්නේ මුහුදු යාත්‍රාවක (yacht)  නැගී ගෙනයි. ඒ 1922 වසරේ දෙසැම්බර් මාසයේ මැද භාගයේය. ඔහු තමාව හඳුන්වාදෙනු ලබන්නේ කපිතාන් සැලිස්බරි හැටියටයි. සැලිස්බරි නම් අමෙරිකානු ජාතිකයා කෙතරම් හොඳීන් නූර්බායි සමග කතා කරනවා ද යත් ඔවුන් දෙදෙනා අතර ගිවිසුමක් අත්සන් කරන්නට පෙරාතුව දන්වා සිටිනුයේ තමා අමෙරිකානු පුරවැසියකු බැවින් එම ගිවිසුම ලංකාවේ අමෙරිකානු කොන්සල් කාර්යාලයේ දී කළ යුතු බවය. ඒ යුගයේ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයක් තිබුණේ නැත. තිබුණේ කොන්සල් ජනරාල් කාර්යාලයකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් බැවින් එකල මෙරට විදේශ ප්‍රතිපත්තිය සැකසුණේ එරටට අවශ්‍ය විලාසයෙන්ය. එබැවින් සැලිස්බර්ග් ගේ ඉල්ලීම පරිදි ගිවිසුම සඳහා අමෙරිකානු කොන්සල් ජනරාල් කාර්යාලයට ගොස් සාකච්ඡා කළ ද එම ගිවිසුම අත්සන් කරන ලද්දේ එම කාර්යාලය ඇතුළත නොවේ. ඉන් බැහැර තැනකය.

නඩුව පවරනු ලබන නූර්බායි ගැන අධිකරණයට හඳුන්වා දෙන ආකාරයට ඔහු කොළඹ ව්‍යාපාරිකයෙකි. (general merchant) ඔහු ටී.එච්.ඒ.නූර්බායි ඇන්ඩ් කම්පනි හි හවුල්කරුවකු වෙයි. එමෙන්ම එම ව්‍යාපාරයට අමතරව ඔහුට තමන්ගේම ස්වාධීන වෙනත් ව්‍යාපාරයන් ද වෙයි. ඊස්ටර්න් ෆිල්ම් කම්පනි එබඳු ඔහුගේ ස්වාධීන ව්‍යාපාරයන්ගෙන් එකක් වන අතර ඔලිමිපියා සිනමාහලේ හිමිකරු හැටියට ඔහු චිත්‍රපට ප්‍රදර්ශනය ද ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනු ලබයි. මෙම පැමිණිල්ලේ දී නූර්බායි තමා පිළිබඳ වැදගත් අනාවරණයක් කරයි. ඒ ඔහු චිත්‍රපට නිෂ්පාදනයේ ද යෙදෙන විත්තියයි. ඔහු චිත්‍රපට රූපගත කරවයි. මෙම චිත්‍රපට රූපගත කරනුයේ විශාල මුදලකට අලෙවි කිරීම සඳහාය. ඒ සඳහා විශාල ඉල්ලුමක් ද ඇති වග ඔහු සඳහන් කරයි. මේ නිසාම ඒ වෙනුවෙන් මිලයට ගත් සිනමා කැමරා හා උපකරණ ද රාශියක් ද ඔහු සතුව ඇත.

නූර්බායි හා සෙලර්ස් හමු වූ පසු තමා ගේ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරය පිළිබද විත්තිකරු වූ සෙලර්ස් ට දැන ගන්නට ලැබුණේ ඔවුන් අතර හමුවකින් පසුවය. මේ වන විටද නූර්බායි ලංකාවේ නැගෙනහිර පළාතේ චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටියේය. ඒ බව ඔහු විසින් සෙලර්ස්ට හෙලිදරවු කරන ලද්දේය. මේ සුහද කතාබහ කෙළවර සෙලර්ස් ,නූර්බායි සමග එක්ව වැඩ කරන්නට කැමැත්ත පළ කළේය. මේ සඳහා කොන්දේසි මාලාවක් ද ඉදිරිපත් විණ. අමෙරිකානු පුරවැසියකු බැවින් ඒ සඳහා අමෙරිකානු කොන්සල් කාර්යාලයට නූර්බායි කැඳවා ගෙන යන ලද්දේ එරට පුරවැසියකු හැටියට එම කොන්දේසි නීත්‍යානුකූල ආකාරයට සිදු කර ගන්නටය. එයින් පසු කොන්දේසි පිටපත සැකසුණේ හා අත්සන් කරන ලද්දේ අමෙරිකානු කොන්සාල් වරයාගේ නිවසේ දී නොව ඉන් බැහැර තැනකදීය. මේ ගිවිසුම ඉක්මනින් අත්සන් කරනු ලැබීම සෙලර්ස් ගේ අවශ්‍යතාවක් විය. ඒ ඔහු සංචාරයේ යෙදෙන නාවික යාත්‍රව යළි ගමන් ඇරඹීමට බලාසිටි බැවින්ය. එබැවින් එම ගිවිසුමේ ඇති කොන්දේසි කවරේදැයි නූර්බායි දැන සිටියේ නැත. එබැවින් නූර්බායි ගිවිසුම අත්සන් කළේ නැත. කෙසේ වෙතත් නූර්බායි ඒ වන විට නිපද වූ චිත්‍රපටයක් සෙලර්ස් විසින් ලබා ගන්නා ලද්දේ එය අලෙවි කර දෙන බවට පොරොන්දු වෙමින්ය. මෙහිදී චිත්‍රපටයක අලෙවි කරනු ලබන පිටපතකින් එහි නිෂ්පාදන වියදම පියැ වූ පසු ලබන ආදායම සියයට පනහ බැගින් නූර්බායි සහ සෙලර්ස් අතර බෙදී යෑම සඳහා ඔවුන් ගිවිස ගත්හ. එමෙන්ම සෙලර්ස්ගේ වියදම් සඳහා මාසයකට රුපියල් හත්සිය පනහක් ද නූර්බායි විසින් ගෙවනු ලැබීමට එකඟ විය. 1923 වසරේ හත්සිය පනහක් යනු ඉහළ මිලකි. ඔහු ඔලිම්පියා සිනමාහලේ බදු කුලිය වශයෙන් ගෙවා ඇත්තේ ද අඩු මුදලකි. එයින් පසු ලංකාවේ නතර වන සෙලර්ස් නූර්බායි වෙනුවෙන් චිත්‍රපට දෙකක් නිර්මාණය කරනු ලබයි. ඒ අතර තම අවසරයකින් තොරව තමන්ගේ සිනමා උපකරණ යොදා සෙලර්ස් විසින් තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන ලද බව නූර්බායි දැන ගත්ත ද ඒ සම්බන්ධයෙන් ඔහු කිසිත් කියන්නේ නැත. ජනවාරි මාසයේ මැද සෙලර්ස් නූර්බායි ගේ චිත්‍රපට අලෙවි කිරීම සදහා ඉන්දියාවෙන් ඉල්ලුමක් ඇති බව දන්වා සිටියි. ඒ අනුව සෙලර්ස් චිත්‍රපට අඩියක් අමෙරිකානු ඩොලර් පහළොවකට අලෙවි කිරීමට තමන්ට හැකි බව පපසයි. ඇති කරගත් විශ්වාසය මත සෙලර්ස් අඩි දෙදහස බැගින් වූ චිත්‍රපට රීල දෙකක් නූර්බායිගෙන් ඉල්ලා ගනියි. නූර්බායි අධිකරණය හමුවේ කරුණු දක්වන අන්දමට මේ චිත්‍රපටයක් නිපදවීමට රුපියල් ලක්ෂයක් පමණ වැය වී ඇත.

සෙලර්ස් මේ ගමනේ දී ඇසෑමය බලා පිටත්වන යන බවත් එහි දී කොටි දඩයම පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන බවත් තමන්ට දැන්වූ බව නූර්බායි පවසයි. මේ සඳහා නූර්බායි කැමැත්ත පළ කර ඇති අතර ගෙන යන ලද චිත්‍රපට ද ඒ අතරවාරයේ අලෙවි කිරීමට නියමිතව තිබිණ. මේ ගමන සදහා රුපියල් දහසකෙ අතිත්කාරම් මුදලක් ද සෙලර්ස් වෙත ලබා දීමට නූර්බායි කටයතු කළේය. ඔහු ඒ පිළිබඳ රිසිට් පත අධිකරණයට ද ඉදිරිපත් කළේය. ඒ 1923 වසරේ ජනවාරි 15 වැනි දින දාතමයෙන් යුක්තවය. සෙලර්ස් මේ මුදල් ලබා ගත් දිනම මෙරටින් බැහැරව ගියේය. මේ ගමනේ දී නූර්බායි සතුව තිබුණු චලන චිත්‍ර කැමරාවක් සහ සාමාන්‍ය කැමරාවක් ද සෙලර්ස් රැගෙන ගියේ ඇසෑමයේ රූප ගත කිරීම් සඳහාය. අවශ්‍ය දළ සේයා පටල සෙලර්ස් විසින් ඉන්දියාවේ දී මිලයට ගැනීමට නියමිතිව තිබිණ.

සෙලර්ස් ජනවාරි මස 19 වැනි දින නූර්බායිගෙන් තවත් රුපියල් දහසක මුදලක් ඉල්ලා පණිවිඩයක් එව්වේය. (ඒ බව සනාථ කරන ලියැකියැවිලි නූර්බායි විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලදී) ඒ අනුව නූර්බායිගේ ඉන්දියානු නියෝජිතයා වන කල්කටාවේ විසූ ටයාබාලි අබ්දුල් හුසේන් හරහා එම රුපියල් දහසක මුදල නූර්බායි විසින් සෙලර්ස්වෙත ලැබෙන්නට සැලැස්වීය. ජනවාරි මස 21 වැනි දින ද තවත් එවැනිම ඉලල්මක් සෙලර්ස් වෙතින් ලැබිණ. නූර්බායි සිය ඒජන්තවරයා හරහා එවර මුදල් යවන ලද්දේ එවකට පැවැති පී.ඇන්ඩ් ඒ බැංකුව මගින්ය. සෙලර්ස් නැවත ලංකාවට පැමිණෙනු ඇතැයි නූර්බායි බලාපොරොත්තු වුව ද එවැන්නක් සිදුනොවිණ. ඔහු සිය කල්කටා නියොජිත වූ ටයාබාලිට දන්වා යැවිවේ සෙලර්ස් පිළිබද සො යා බලන්නටය. සෙලර්ස් තමන් කොටි දඩයම් සහිත චිත්‍රපටයක් රූපගත කරවන පින්තූරයක් එවනුයේ ඇසෑමයේ සිට නොව ඒඩ්න් නගරයේ සිටය. ඒඩ්න් යනු යේමනයේ නගරයකි. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සිට චිත්‍රපටයක් රූප ගත කරනවා යැයි පැවසූ සෙලර්ස් යේමනයේ සිට කිසිදු සටහනකින් තොරව විස්තර ලියා එවද්දී නූර්බායි අමරිකානු කොන්සල්වරයාගේ උපදෙස් පැතුවේය. ඔහු උපදෙස් දුන්නේ සෙලර්ස්ට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කලාපයෙන් පිට වන්නට ඉඩ නොදෙන ලෙස තහනම් නියෝගයන් ගැනීමටය. නූර්බායි තමන් වංචාකාරයකුට හසු වී ඇති බව වටහා ගත්තේ එවිටය. ඔහුට වෙනත් කසිවක් අවශ්‍ය නොවිණ. අවශ්‍යව තිබුණේ තමන් ගෙන් වංචා කළ මුදල් පමණකි. අධිකරණය මගින් නූර්බායිගේ ඉල්ලීම පරිදි නියෝගයක් දෙන නමුත් සෙලර්ස් පිළිබද හෝ නූර්බායිගේ කැමරා නැවත හමූ වූ වගක් යළි අසන්නට නැත.

එහෙත් මේ ප්‍රවෘත්තිය මෙරට චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ හොඳ හෝඩුවාවක් පවසයි. ඒ නූර්බායි මෙරට චිත්‍රපට කර්මාන්තයේ මූලික පියවර රාශියක් ගැනීම හා එයට පුරෝගාමි වූ කාරණයයි. ඔහුගේ රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා ගැන අසන්නට ලැබෙන්නේ තවත් අවුරුදු දෙකක් ගිය තැනය. එයට පෙර කාලයේ සිටම නූර්බායි මෙරට චිත්‍රපට නිපදවීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය වග මෙම ප්‍රවෘත්තිය පෙන්වා දෙයි. එය වෘත්තාන්ත නොවිය හැකිය. එහෙත් සමකාලින ලෝකය හා සැසඳීමේ දී බොහෝ රටවල විසි වැනි සියවසේ මැද භාගය වන විටත් නිපදවූයේ වාර්තා චිත්‍රපට පමණකි. සමහර විට මේ වනවිට අන්තර්ජාලයේ දැක ගත හැකි පැරණි ලංකාව පිළිබඳ දර්ශන ඇතළත් ඇතැම් චිත්‍රපට රීල් අතර නූර්බායි විසින් රූපගත කරන ලද චිත්‍රපට ඇතුළත් විය නොහැකිද යන සැකය මෙහිලා මතුවෙයි. ඇත්තටම ලාංකික සිනමාකර්මාන්තයේ තාත්තලා ලෙස බුහුමන් ලබනුයේ වෙනත් පිරිසක් බවත් එහි ගෞරවය නූර්බායි නම් ව්‍යාපාරිකයාට හිමි විය යුතු බවත් මේ යටගියාව හෙළිදරව් නොකරන්නේ ද ? 

 

Add new comment