out stealing horses අතීතය සිහිනයක් පමණී

මාර්තු 5, 2020

අවුරුද්ද 1999.  නෝර්වීජියානු වැසියකු වන ට්‍රොන්ඩ් 67 හැවිරිදි වියේ දී සිය විශ්‍රාම දිවිය ගත කරන්නට එන්නේ එයට අවුරුදු හතළිහකට පෙරාතුව තමන් ජීවත් වූ බිම් පෙදෙසටමය. එහි අවට ඝන  වනාන්තරයකි. රූස්ස ගස් එහි නැගී  ඇත්තේ පවුරක් විලාසයෙනි. අවුරුදු පහළොවේදීත් ඔහු දකින වනාන්තරය මේ ආකාරයෙන්මය. ශීත සෘතුව බැවින් හැමතැනම පාහේ හිමෙන් වැසී ඇත.මෙයට මාස කිහිපයකට පෙරාතුව සිදුවූ රිය අනතුරකින් ඔහුගේ භාර්යාව මිය ගියාය. එම මරණය ඔහුට පීඩාවකි. එබැවින් ඔහු  එන්නේ හිත හදා ගන්නටත් එක්කය. හුදකලාව ජීවත්වන ඔහු මේ කතාව කියන්නාය.

පසුගිය ඇකඩමි සම්මාන උලෙළ සඳහා නෝර්විජියානු ඉදිරිපත් කිරීම වූ අවුට් ස්ටීලිංග් හෝර්සස් ඇරඹෙන්නේ එහෙමය.  ගිය වසරේ  බර්ලින්  සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය උදෙසා පිරිනමනු ලබන ගොල්ඩන් බෙයා (රන් වළහා ) සම්මානය සදහා තරඟ වැදුණ අතර එහි විශිෂ්ට නිර්මාණ දායකත්වය උදෙසා සිල්වර් බෙයා සම්මානය දිනා ගත්තේ එය කිසිසේත් නොසළකා හැරිය නොහැකි චිත්‍රපටයක් ලෙස  සමස්ත සිනමා රසිකයන්ගේ ආදරය දිනා ගත් හෙයින්මය.   චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ නෝරිවිජියානු සම්මානනීය සිනමාකරුවකු වන හාන්ස් පීටර් මොලන්ඩ් විසින්ය. 65 හැවිරිදි හාන්ස් ගේ මුල්ම සිනමා කෘතිය 1993 වසරේ දී එළි දුටු ද ලාස්ට් ලෙෆ්ටිනන්ට් නම් වෙයි.  පසුව සීරෝ කෙල්වින්, ඇබර්ඩීන්, ද බියුටිෆුල් කන්ට්‍රි ඇතුළු ඔහු විසින් නිරමාණය කරන ලද සෙසු චිත්‍රපට අතර වෙයි. ඔහු ඉංග්‍රිසි බසින්  නිරමාණය කරන ලද කෝල්ඩ් පර්සුට්  මෙරට පහසුවෙන් සොයා ගත හැකි චිත්‍රපටයකි. එය ඔහු විසින් එයට පෙර නිර්මාණය කරන ලද ඉන් ඕඩර් ඔෆ් ඩිසපියරනස් චිත්‍රපටයේම ප්‍රතිනිර්මාණයක් වෙයි. ඔහුගේ අවුට් ස්ටීලිංග් හෝර්සස් චිත්‍රපටයේ  ප්‍රධාන චරිතය රඟන සුප්‍රකට සිනමා නළු ස්ටෙලාන් ස්කාස්ගාඩ්  හාන්ස් ගේ දිගු කාලින මිතුරකුවන  අතර ඔහු ගේ බොහෝ චිත්‍රපට සඳහා රංගනයෙන් හෙතෙම දායක විණ. තෝර්, ඇවෙන්ජර්ස්, එක්සෝසිට්ස්, පයිරේට්ස් ඔෆ් කැරිබියන්, මාමා මියා ඇතුළු මෙරට ජනප්‍රිය චිත්‍රපට රාශියක මේ කෘතහස්ත නෝර්වීජියානු රංගවේදියා චරිත නිරූපණය  කළේය.

අවුට් ස්ටීලිංග් හෝර්සස් චිත්‍රපටයට පාදක වනුයේ පෙර් පීටර්සන් විසින්  2003 වසරේ දී නෝර්විජියානු බසින් රචනා කරන ලද විශිෂ්ට නවකතාවකි. එය විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ කෘතියක් වන අතර  එය ලොව ඉහළම ත්‍යාග මුදලක් හිමිවන  සාහිත්‍ය ත්‍යාගයක් වන ඩබ්ලින් ඉම්පැක්ට් සම්මානය ද දිනා ගැනීමට සමත්වූවකි. 

නිස්කලංක ජීවිතයක් ගෙවන්නට තමා මුලින් ජීවත් වූ පරිසරයට පැමිණෙන ට්‍රොන්ඩ් ට නිසලව දිවි ගෙවන්ට ලැබෙනුයේ ටික දිනකි. ඒ පළාතටම පැමිණි  අලුත් අමුත්තෙකු ඔහුට මුණ ගැසෙයි. කවදාක හෝ අතීතයේ ඔහු මුණ ගැසුන වග විශ්වාසයයි. චිත්‍රපටය  අතීතය කරා ඇදී යයි. එය අතීතාවර්ජනයක් නොවේ. වර්තමානය හා අතීතය අතර දෝලනය කරවීමකි. 

මේ පුද්ගලයා මෙයට හතළිස් වසරකට පෙර තම අසල්වැසි ගැටවරයා වූ ලාර්ස් බැව් ට්‍රොන්ඩ් අනුමාන කරනු ලබයි.

 

1948 වසරේ පහළොස් හැවිරිදි ට්‍රොන්ඩ් මෙහි වෙසෙන්නේ තම කඩවසම් පියා සමගය. පියා ගස් කපන්නෙක් හැටියට ජීවත්වෙයි. තාත්තාත් පුතාත් සතුටින් එහි දිවි ගෙවති. අසල්වැසි ගැටවරයකු වන ජොන් ඔහු හා මිතුරුවෙයි. ඔවුහු වනයේ නිදැල්ලේ හැසිරෙන අසුන් අල්ලා ගනිති. මෙය සෙල්ලමක් වුව ද අනතුරු දායක එකකි. ජොන් ගේ පවුලේ කුඩා  නිවුන් දරුවන් දෙදෙනෙකි. මේ දරුවන් බලා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ජොන්ටය. මේ නිවුන් දරුවන් අතරින් එක් අයෙකු අතින් නිවසේ තිබුණ තුවක්කුවකින් අනිකා  ජීවිතක්ෂයට පත්වෙයි. 

දරුවාගේ අවමඟුල දා ජොන්ගේ පියකරු මව මුල්වරට  ට්‍රොන්ඩ්ට මුණ ගැසෙයි. 

ගැටවර වියට එළැඹෙන ට්‍රොන්ඩ් මේ සුරූපි කාන්තාවගේ දැක්මෙන් වශීකෘත වෙයි. මේ වනාන්තර අඩවියේ ඔහු දකින වෙනත් කාන්තාවක් ද නැත. එහෙත් මේ කාන්තාව ගැන ඔහුගේ බලාපොරොත්තු බිඳ වැටෙනුයේ ඇය එයට පෙර යුද සමයේ සිය පියා හා ආදර සබඳතාවක් තිබුණු කාන්තාවක් වග පෙනී යාමත් සමගය. පියා මෙන්ම ඇයත් නාසි විරෝධි කණ්ඩායමක සාමාජිකාවක සිටියාය. මේ සබඳතාව  තවමත් ඉතිරිව පැවැතීම ට්‍රොන්ඩ්ගේ අපේක්ෂතා භංගත්වයට හේතුවෙයි.

කපන ලද ගස් ගඟ දිගේ ස්විඩනයට ගෙන යාමට වෑයම් කරන පියාගේ සහායට ජොන්ගේ පියා  ද උපකාරයට එයි. එහෙත් ගසක් කඩා වැටීමෙන් ඔහු අනතුරට පත් වෙයි.

චිත්‍රපටය පුරාම පුතු විසින් සිය පියා ද අසල්වැසියන් ද දුටු ආකාරය ඉතා සියුම් අන්දමින් විග්‍රහ කරනු ලැබේ. පියා මෙන්ම  ස්වකීය පළමු ආදරවන්තිය ද භාර්යාව ද අහිමි වන මිනිසකු ගේ අත්දැකීම් හරහා ගොඩනගන මිනිසකු ගේ හෘද  සාක්ෂියේ  අභ්‍යන්තරය සිනමාකරුගේ විවරණය ට බඳුන් වෙයි.  එය අවසන් වනුයේ තම ආදරණීය භාර්යාවගේ මරණය පිළිබඳ පශ්චත්තාපවීමෙන් ඔහු මිදීමත් සමඟය. රිය අනතුර සිදුවනුයේ ඔහු අතින්ය. මරණයට පත් වූ භාර්යාව පමණක් නොව ජීවිතයේ වරින්වර සිදුවන අහිමිවීම් හා හිමිවීම් සාමාන්‍ය මිනිසකුගේ ජීවන අන්දරයේ කොටස් බවට පත්වෙයි.  

අවුට් ස්ටීලිංග් හෝර්සස් ඉතා රමණීය හා  හෘදයාංගම සිනමා අත්දැකීමක් බවට පත් කර ගනුයේ ඉතා ඉක්මනින් හැසිරෙන රූප රාමු මෙන්ම රිද්මයානුකූල සංස්කරණයත් සමඟය.සිනමාකරු කැමරාව  ඉදිරියේ පරිසරය ද ජීවිතය ද බද්ධ කරයි. හැම රූප රාමුවක්ම හා සංස්කරණයත් හැම ශබ්ද මෙහෙයුමක් ද ශබ්ද සංස්කරණයක් සිනමාකරු මනා වෙළුමකින් බඳවා තබා ගනියි. කාලගුණ විපර්යාස හා ජීවිතය හා බද්ධ වන ශබ්ද රටාවන්ගෙන් සිනමාකරු ගෙන එනුයේ නැවුම් අත්දැකීමක් බැව්  සටහන් කළ යුතුය.  විශිෂ්ට සිනමා සංගීත භාවිතය එය තවත් ඉහළ නැංවූයේය.

පෙනෙන සුන්දර පරිසරයක වුව මිනිසුන්ගේ යටි සිත අවදි කළ පසු ඔවුන්ගේ සැඟවුණ අතීතය ඇතුළත අප දකින්නේ ඉන් අභ්‍යන්තරයෙහි සැඟවුණ දුක්ඛ දෝමනස්සයන්ය. ළමා  හා ගැටවර වියේ දුටු මිහිරි හා අමිහිරි සිහිනයන් ජීවිතය පසුපස හඹා එයි.  අසල්වැසියා හා තමා අතර ඇති හෙළි නොවන අත්දැකීම් අතර ඇත්තේ පොදු එකඟතාවයකි.  හදවත් බිඳී ගිය ද එය සිනමාකරු වචනයෙන් විස්තර කරන්නට යන්නේ නැත. ඔහු වරෙක චාල්ස් ඩිකන්ස් ගේ ඩේවිඩ් කොපර්ෆිල්ඩ් ග්‍රන්ථය එහි ලා අපූරුවට භාවිත කරයි. ජීවිතයෙන් පළා යා නොහැකි බොහෝ සිහිවටන එමටය. ජීවිතය යනු ඇතිවීම් හා නැතිවීම්වල සිදුවීම් මාලාවකි. 

සමහර නිර්මාණ ලොව ඉහළම සම්මානවලින් පිදුම් නොලබන බව ඇත්තය. එහෙත් ඒ සිනමා කෘති ප්‍රේක්ෂක සන්තානයෙහි සදාකාලික සිහිවටන බවට පත්වෙයි. සමහරවිට එය අදටත් වඩා හෙට හොදින් ඉහළින් සළකනු ඇත. අවුට් ස්ටීලිංග් හෝසස් ගැන මට සිතෙන්නේ එහෙමය.