රාජකීය වික්‍රමය සොයා ගියෙමු

මාර්තු 19, 2020

මුල්ම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව වුවත් මෙරට මුල්වරට චලන චිත්‍රයක් තිරගත කරන ලද්දේ 1897 වසෙර්ය. ලාංකික සිනමාවේ සැඟවුණු අතීත පුරාවත හෙළිදරවු කිරීමේ ගවේෂණාත්මක ලිපි මාලාවේ 64 වැනි ලිපිය අද පළ වෙයි. මේ පැරණි ලිපි සියල්ල www.sarasaviya.lk  වෙබ් අඩවියෙන් කියවිය හැකිය.

 

‘ලාංකික නළුවන් යොදා ලංකාවේ ප්‍රථම වරට චිත්‍රපටයක් පිළියෙළ කළේ වර්ෂ 1925 දී පමණය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ එකල ආනන්ද මහා විදුහලේ ශිෂ්‍යයෙකි. මේ ශිෂ්‍යයා නම් අන් කිසිවකු නොව දැනට කීර්තිමත් දේශපාලකයකුව වැජඹෙන කොළඹ නගරාධිපති ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාය.

මේ බව පළවනුයේ 1955 වසරේ ඔක්තෝබර් මස 5 වැනි දින එවකට පළ වූ ඉරිදා ලංකාදීප පුවත්පතේ 5 වැනි පිටුවේය. මේ ඵෙතිහාසික අනාවරණයක් සහිත ලිපියකි. චිත්‍රපටය නිපදවනු ලබනුයේ ටී.ඒ.ජේ.නූර්බායි විසින්ය. මෙරට සිනමාවේ පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ නූර්බායි විසින් නිපදවන ලද මුල්ම ලංකික චිත්‍රපටය පිළිබඳ රහස සදාකාලිකවම වැළලී යන්නට ඉඩ නොලැබුණේ මෙම ඵෙතිහාසික අනාවරණයෙන් පසුවය. 1947ට පෙර මෙරට සිනමාවේ ඉතිහාසය අළලා අප විසින් ලියන ලද අපේ සිනමා වත මැයෙන් ලියන ලද ලිපිමාලාවට තාවකාලික විරාමයක් තැබුවේ පසුගිය ජනවාරි මාසයේ දීය. එය විරාමයක් තබන්නට අවශ්‍ය වුණේ නූර්බායි පවුලේ කිසිවකු සොය ගැනීමේ අභිලාෂයෙන්වුව අපගේ සියලු වෑයම් අසාර්ථක විය. නූර්බායි මහතා අයත්වූ බෝරා ජාතික ජන කොඨිඨාසයේ කිසිවකු හෝ ඔහු ගැන තොරතුරු දැන සිටියේ නැත. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්යැයි අප සැක කළ කිසිවකු හෝ සිය පුරෝගාමියා පිළිබඳ කරුණු නොදන්නා බවක් පළ කළේය. එක්කෝ ඔහුට හිමි විය යුතුතැන කවර හෝ හේතුවක් නිසා හෝ ලැබෙන්නට ඉඩ සැලැස්වූයේ නැත. සමහරවිට නූර්බායිගේ ක්‍රියා කලාපය සම්ප්‍රදායික ජන කොධීඨාසයකට අභියෝගයක් වන්නට ඇත. මරදාන මුස්ලිම් පල්ලිය සමඟ ඔහු ඇති කර ගත් හබය එයට උදාහරණයකි. එබැවින් මාස කිහිපයක විරාමයකින් පසු නූර්බායි පරිච්ඡේදයේ තවත් කොටසක් හෝ අනාවරණය වන්නට ඉඩ ලදහොත් එසේ වන්නට තබමින් එම ලිපි පෙළ යළි අරඹන්නට තිරණය කළෙමු.

1955 වන විට මුල්ම සිංහල කථානාද චිත්‍රපටය තිර ගත කොට අවරුදු හතක් ගත වී අවසන්ය. එතෙක් සියල්ලන්ගෙන් සැඟව පැවැති චිත්‍රපටයක් පිළිබඳ අනාවරණය කරමින් මේ ලිපිය ලියනුයේ මෙරට පුරෝගාමි සිනමා ලේඛකයකු වූ ඩී.වී.සෙනෙවිරත්න මහතාය. එයින් පසු සෙනෙවිරත්න මහතා 1958 වසරේ දී චිත්‍රපටි කලාව නමින් ග්‍රන්ථයක් රචනා කළේය. සිය ග්‍රන්ථයේ මුල් පිටුවේ “නිශ්ශබ්ද සිනමා යුගයේ පටන් කථානාද යුගයේ මේ දක්වා නිෂ්පාදනය වුණු බටහිර, ඉන්දියානු සහ සිංහල චිතපට පිළිබඳ පනස් වර්ෂයක ඉතිහාසය පිඬු කරමින් ලියන ලද විවරණයක්‘යැයි එය හඳුන්වාදෙමින් ඔහු සඳහන් කර තිබේ.

මෙරට සිනමා ඉතිහාසය සියල්ලම පරිශීලනය කරන ග්‍රන්ථය සෙනෙවිරත්න මහතා විසින් ලියන ලද චිත්‍රපටි කලාව බැව් අමුතුවෙන් කිවයුතු නැත. එය එළි දුටුවේ 1958 වසෙර්ය. රාජකීය වික්‍රමය පිළිබඳ එහි එක් පරිච්ඡේදයක් සහමුලින්ම වෙන්ව ඇත්තේය. පුවත්පතේ මෙන්ම ග්‍රන්ථයේ ද ලිපියට දී ඇති මැය ඇන්.ඇම්.පෙනී සිටි ලංකාවේ පළමුවැනි චිත්‍රපටය යන්නය. පුවත්පතේ ලිපිය පළ වන විට කොළඹ නගරාධිපති ධුරය හෙබවූ ආචාර්ය එන්.එම්. ග්‍රන්ථය ප්‍රකාශයට පත් වන විට මෙරට විරුද්ධ පක්ෂ නායකයාය. ආචාර්ය එන්.එම් කොළඹ නගරාධිපති ධුරයට පත්වූයේ එක් වතාවකි. විපක්ෂ නායකධුරයට දෙවරක්ම පත්වූ ඔහු නිදහස් ලංකාවේ මුල්ම විපක්ෂ නායකවරයා ද විය. ඒ 1947 වසරේ සිට 1952 දක්වා විපක්ෂ නායක ධුරය දරමින්ය. ඔහු නගරාධිපතිධුරයට පත්වනුයේ පළමුවර විපක්ෂ නායක ධුරය දැරීමෙන් පසුවය. එමෙන්ම කොළඹ නගරාධිපති පදවියට පත් වන විටත් හෙතෙම රුවන්වැල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය දැරීම වාර්තාවකි. ආචාර්ය එන්.එම්. දෙවන වරට විපක්ෂ නායක ධුරයට පත්වූයේ 1956 වසෙර්ය. 60 වසරේ මුල් මැතිවරණය දක්වා ඔහු විපක්ෂ නායක විය.

රාජකීය වික්‍රමය පිළිබඳ රහස සෙනෙවිරත්න මහතාට අනාවරණය වූයේ එම චිත්‍රපටයේම රඟපෑ ටවර් හෝල් දක්ෂ නළුවකුව සිටි ඇම්.පී.ඇල්බට් සිල්වා මහතා ගෙනි. චිත්‍රපටය පිළිබඳ අනාවරණය වූ පසු සෙනෙවිරත්න මහතා නූර්බායි ගේ වැඩිමහල් පුත්‍රයා වූ ගුලාම් හුසේන් හමුව චිත්‍රපටය පිළිබඳ තොරතුරු දැන ගන්නේය. එයින් පසු ඒ වන විට නාටක කතුවරයෙක් හා චිත්‍රපට ශිල්පියකු වූ ධර්ම ශ්‍රී කල්දේරා සමඟ ආචාර්ය එන්.එම්.පෙරේරා සොයා යන්නේය. තවත් දශකයකට පසු සීතල වතුර, මී මැස්සෝ, රත්ත්‍රන් අම්මා, රං ඔන්චිල්ලා වැනි ජනප්‍රිය චිත්‍රපට තැනූ කල්දේරා ඒ වනවට පුවත්පත් කලාවේදියකු විය. එමෙන්ම චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වි තිබිණ. පුවත්පත් කලාවේදියකු, සිනමා ඉතිහාසඥයකු, නාට්‍යකරුවෙකු, වූ සෙනෙවිරත්නයන් එකල ජනප්‍රිය චිත්‍රකතා කිහිපයක ද රචකයා විය. සිරිසේන විමලවීරයන් තැනූ මා ආලය කළ තරුණිය චිත්‍රපටයට පාදක වන නවකතාව මෙන්ම එහි තිරරචකයාවූයේ ද සෙනෙවිරත්න මහතාය. අශෝකමාලා චිත්‍රපටය තනන්නට ගොස් නායගම් සමඟ විරසකව සිටි ශාන්ති කුමාර් සෙනෙවිරත්න ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර් වෙත යොමු කිරීමේ කපුකම කරනුයේ ද ඔහුය. කල්දේරා ද එකල ජනප්‍රිය චිත්‍රකතා රචකයකු ලෙස පතළ ව සිටියේය. මේ අබිරහස් චිත්‍රපටය ගැන කරුණු විමසත්ම පුදුමයට පත් වූ ආචාර්ය එන්.එම්. ඔබ කාරණය දැන ගත්තේ කොහොමදැයි තමන්ගෙන් විමසූ බව සෙනෙවිරත්න මහතා සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. එම ග්‍රන්ථයේ සඳහන් වන පරිදි ලිපිය පළව ඇත්තේ 1955 නොවැම්බර් මස 3 වැනි දින ඉරිදා ලංකාදීපයේය.

මෙරට සිනමා ඉතිහාසය පිළිබඳව ලියැවුණු පැරණිතම ග්‍රන්ථය වන චිත්‍රපටි කලාව ග්‍රන්ථය ලියා ඇත්තේ මෙරට සිනමා ඉතිහාසය පිළිබඳ ඔහුගේ අත්දැකීම් සහිතව අවංක සිතිනි. එය කිසිකලෙක ඊළඟ පරම්පරාවේ ආශ්‍රය ග්‍රන්ථයක් වනු ඇතැයි ඔහු සිතන්නට නැත. එබැවින් එහි කරුණු පිළිබඳ සැලකිලිමත් වුවත් දිනවකවානු පිළිබඳ නිසි ලෙස සැලකිලිමත්වූ වගත් පෙනී යන්නේ නැත. එයට ඔහුට දොස් පැවරිය යුතු නැත.එහෙත් එයින් පසු මේ ග්‍රන්ථය ආශ්‍රේය කර ගත් බහුතරය එහි එන දින වකවානු පිළිබඳ සැළකිලිමත් නොවුන වගක් බව පසක් වෙයි. තමන් මූලාශ්‍ර කොට ගත්තේ චිත්‍රපටි කලාව ග්‍රන්ථයයැයි සඳහන් නොකිරන ඔවුහු අදාල තොරතුරු 1955 නොවැම්බර් 3 වැන දින ඉරිදා ලංකාදීපයෙන් සෘජුවම උපුටා ගත් වග සඳහන් කරනුයේ ලජ්ජාවකින් තොරවය. එහෙත් ඇත්ත නම් මේ ලිපිය පළවනුයේ නොවැම්බර් 3 වැනි දින පුවත්පතේ නොව එයට මාසයකට පෙර ඔක්තෝබර් 5 වැනි දින ඉරිදා ලංකාදීපයේය. 1955 වසරේ නොවැම්බර් 3 වැනි දින ඉරිදාවක් නොව බ්‍රහස්පතින්දාවකි. (මෙරට තිර ගත කළ මුල්ම කතානාද චිතප්‍රටය මෙලඩි ඔෆ් ලව් එම්පයර් සිනමාහලේ තිරගතවූයේ 1932 වසෙර්ය යනුවෙන් බොහෝ කෘතින්වල පළවනුයේ ද සෙනෙවිරත්න මහතාගේ ග්‍රන්ථය උපුටා ගැනීමෙන් විනා කිසිදු වගවිභාගයකින් තොරවය. එය තිර ගත වන වසර 1929 වසරේ ජූලි මස 13 වැනි දාය. කියවන්න 2019 නොවැම්බර් 7 සරසවිය. හෝ www.sarasaviya.lk අඩවියට පිවිසෙන්න) වසරයි) මෙම නිවැරැදි දිනයේ ලිපිය කොළඹ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ දී සොයා දුන්නේ එහි සම්පත් බිමල් අබේසේකර මහතා බව කාරුණිකව සඳහන් කරන්නට කැමැත්තෙමි.

රාජකීය වික්‍රමය පිළිබඳ සිය ග්‍රන්ථයේ ලියන සෙනෙවිරත්න මහතා 1920 වසර වන විටත් බයිස්කෝප් නැරඹීමට මෙරට ජනතාව තුළ උනන්දුවක් නොවුණ වග සඳහන් කරසිටියි. සෙනෙවිරත්න මහතා එම ලිපියේ විස්තර කරන්නේ මෙහෙමය.

‘1920 පමණ වකවානුවේ දී නූර්බායි මහතා වැල්ලවත්තේ ප්ලාසා සිනමා ශාලාව සාදා එහි නිශ්ශබ්ද චිත්‍රපට පෙන්වීමට පටන්ගත්තේය.(මෙය 1924 වසරයි. වැඩිදුර විස්තර සඳහා සරසවිය වෙබ් අඩවියට පිවිසෙන්න) එකල බයිස්කෝප් බැලීමට මහජනයා තුළ දැන් මෙන් උනන්දුවක් නොතිබුණ බැවින් ඒවා බැලීමට ගියේ ද ටික දෙනෙකි. එය සිංහල නාටකය අතිශයින් ජනප්‍රිය වී තිබුණ කාලයකි. මෙරට නළු නිළියන් යොදා මෙරට පරිසරය ඇතිව නිශ්ශබ්ද චිත්‍රපටයයක් නිෂ්පාදනය කිරීමට අදහස් කළ නූර්බායි මහතා එකල නාට්‍ය ශිල්පය ගැන දැඩි ආශාවක් දක්වමින් සිටි ඇන්.අම්.පෙරේරා මහතාගේත් ටවර් හෝල් නළු නිළියන් කිහිප දෙනෙකුගේත් ආධාර ඇතිව චිත්‍රපටයක් පිළිවෙළ කිරීමට පටන් ගත්තේය. ඔහු තම කතාව වශයෙන් හින්දි චිත්‍රපටි කතාවක් තෝරා ගෙන ඊට රෝයල් ඇඩ්වෙන්චර් (රාජකීය වික්‍රමය) යන නම යෙදුවේය. තරුණ ඇන්.ඇම්. කතා නායකයා වශයෙනුත් පාසැල් ශිෂ්‍යාවක් වන ලංසි තරුණියක් කථා නායිකාව වශයෙනුත් තෝරා ගන්නා ලදී. එකල ටවර් හෝල් ප්‍රසිද්ධ නළුවන් වූ ඇන්.පී.ඩී.ඇල්බට් ද සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා යන දක්ෂ නළුවෝත් තවත් දක්ෂ නළුවකු වූ ග්‍රේෂන් පෙරේරාත් එහි අතිරේක කොටස් නිරූපණයට යොදා ගන්නා ලදහ. ග්‍රේෂන් පෙරේරා කතාවේ දාමරිකයා හෙවත් විරුද්ධවාදියා වශයෙන් රඟ දැක්වූ අතර සෙසු නළුවන් කිහිප දෙනා දාමරික කණ්ඩායම වශයෙන් රඟ දැක්වූහ.

කථාව චිත්‍රපටයට නගන ලද්දේ දැනට බම්බලපිටියේ මාරකැට්ටුව සහ රේස් පිට්ටනිය අතර පිහිටි විශාල වත්තක් සහිත ගොඩනැගිල්ලකය. ජවනිකා,වීදි,කැලෑ ගෙවල් යනාදිය සාදා එහි කුඩා චිත්‍රපටි නිෂ්පාදනාගාරයක් බිහි කරන ලදී. ඉන්දියාවෙන් චිත්‍රපටි ඡායාරූප යන්ත්‍රයක් සහ ඡායාරූප ශිල්පියෙකු ගෙන්වන ලදුව කථාව චිත්‍රපටයට නැගීම ආරම්භ වීය. අතින් ක්‍රියාකරවන ලද මෙම අරුම පුදුම යන්ත්‍රය ඉදිරියේ රඟ දක්වනු මිස ඡායාරූප යන්ත්‍රය වෙත ගොස් එය පරීක්ෂා කර බැලීමට ඡායාරූප ශිල්පියා නළුවන්ට ඉඩ නොදුන් බව එම චිත්‍රපටයට රඟ දැක්වූ දැනට තවමත් ජීවත්වන ඇම්.පී.ඇල්බට් මහතා කීවේය.‘