සිස්ටර් මේරි ඇවිළෙන සුලූ‍යි

මතක පොතේ මෙහෙම ඇතේ
මැයි 28, 2020
සිස්ටර් මේරි

කොරෝනා හෙවත් කොවිඞ් 19 වසංගතය අපේ රටේ එළිපත්තට පිවිසෙන විටම වාගේ සිනමා ශාලා වසා දමන්නට තීරණය වූයේය. මේ නිසා අලූ‍ත්ම සිංහල චිත‍්‍රපටයක් ද කොවිඞ් වසංගතයට ගොදුරු විය. ඒ චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ ඇවිළෙන සුලූ‍යි චිත‍්‍රපටයයි. ඒ වන විට තිර ගත වෙමින් තිබුණු තවත් චිත‍්‍රපට කිහිපයක් එනම් සුපර්ණා, ද හෝන්, සුනාමි, සේද මාවතේ , ඊතලය යන චිත‍්‍රපට ද මේ වසංගතයට ගොදුරු වුවත් වඩාත්ම සමීපව ගොදුරු වූයේ ඇවිළෙන සුලූ‍යි චිත‍්‍රපටයයි. ඒ එය තිරගත වූයේ මාර්තු 13 වන දා නිසාය. ඇවිළෙන සුලූ‍යි තිරගත කොට දිනක් ගත වන විට සිනමා ශාලා වසා දමන්නට තීරණය වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් පරිදිය.

චින්තන සිනමාව පිළිබඳ මනා පරිචයක් ඇති සිනමා විචාරකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. දැන්වීම් කලාවේ නිපුණයෙකි. චින්තනගේ ඇවිළෙන සුලූ‍යි චිත‍්‍රපටය තිර ගත වද්දි සිදුවුණ ඇබෑද්දියම මෙයට වසර ගණනාවකට පෙර සිය මුල්ම චිතපටය තිර ගත කළ සිනමාකරුවකුට ද සිදුවිණ. ඒ 1983 ජූලි මස 22 වැනි දින තිර ගත වූ මු. අරුක්ගොඩ ගේ සිස්ටර් මේරි චිත‍්‍රපටය තිර ගත වී දෙදිනකින් දිවයින පුරා ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වීමය. ඒ කළු ජූලිය ඇරඹීමත් සමඟය. මේ ඇඳිරි නීති පොදු කාරණය විනා කිසිවිටෙකත් මේ සිනමා කෘති දෙක සම කරන්නට උත්සාහ නොකරන බව මේ ලිපිය කියවන්නෝ වටහා ගනිත්වා!

මු. අරුක්ගොඩ සිනමාවට පිසෙන්නේ පුවත්පත් කලාවේදියකු හැටියටය. ඔහු චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට නිෂ්පාදන කළමනාකාරවරයෙක් හැටියට ද දායක විය. එමෙන්ම දැන්වීම් කලාවේ නිපුණයෙකි. චිත‍්‍රපට දැන්වීම් රචකයෙක් ද විය. ඔහු කෙතරම් හොඳින් නිෂ්පාදන කළමනාකාරධුරයේ කටයුතු කළා ද යත් බොහෝ නිෂ්පාදකවරු ඔවුන්ගේ ඊළඟ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීම පැවරුවේ අරුක්ගොඩටය. අරුක්ගොඩ තම නම කෙටි කර ලිවුවේ මු.අරු යනුවෙනි. තම මුල්ම චිත‍්‍රපටය වූ සිස්ටර් මේරි චිත‍්‍රපටය හදා තිර ගත කරන්නට මත්තෙන් ඔහු චිත‍්‍රපට අටක් අධ්‍යක්ෂණය කළේය. මේ වාර්තාව එයට පෙර තිබුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නටය. අරුක්ගොඩ මහාචාර්ය සුනිල්ටත් වඩා ඉක්මනින් චිත‍්‍රපට හැදුවේ චිත‍්‍රපට තනන දින ගණන අඩු කරමින් බව එකල එයට දායකවූවෝ මා සමග පසුකලෙක පවසා තිබිණ. චිත‍්‍රපටයක් රූප ගත කරන්නට ඔහු දින හතකට වඩා ගත්තේ නැත. මෙය අපූරු හැකියාවක් වුවත් චිත‍්‍රපටයේ තත්ත්ව ගුණාගුණ ගැන මේ අවස්ථාවේ ලියන්නේ නැත. චිත‍්‍රපට අටක් හැ¥ ඔහු සිය මුල්ම චිත‍්‍රපටය තිරගත කරවන්නට පෙර තමන්ගේ චිත‍්‍රපට එකතුවක් සතියක් පුරා උලෙළක් ලෙස මරදානේ ඔලිම්පියා සිනමාහලේ පැවැත්වූයේය.

මගේ මතකයේ හැටියට උලෙළ නිමවූයේ සිස්ටර් මේරි මහජන ප‍්‍රදර්ශනය අරඹමිනි. මට ජීවිතයේ මුල්වරට සිංහල චිත‍්‍රපටයක් නැරඹීම සඳහා ආරාධනා පත‍්‍රයක් ලැබුණේ අරුක්ගොඩ අධ්‍යක්ෂණය කළ ‘අරලිය මල්‘ චිත‍්‍රපටය සඳහාය. ඒ මදිවාට එය ඒ වන විට මහජන ප‍්‍රදර්ශනයට සූදානම් නොවුණ චිත‍්‍රපටයක් වීම විශේෂයකි. එබැවින් චිත‍්‍රපටයක් තිරගත වීමට මත්තෙන් නැරඹීමේ වාසනාව ද එවර මට මුල් වරට ලැබිණ. ඒ දවස්වල මා උසස් පෙළ විභාගය සදහා සූදානම් වන අවදියයි. ආරාධනා පත‍්‍රයක් ලැබුණ ද මගේ කිසිදු සගයෙක් හෝ එයට සහභාගි වීම අගය කළේ නැත. විභාගය සඳහා පාඩම් කළ යුතු බවට ඔවුහු මට අවවාද කළහ. විභාගයට තවත් සති කිහිපයක් ඇති නිසා චිත‍්‍රපටය නරඹන්නට මම සිතා ගතිමි. ඔලිම්පියා සිනමාහලේ මගේ අසුන අසල ඒ වන තෙක් කිසි විටෙක මා සැබැවින් දැකි නැති සිනමා තාරකාවෝ රාශියක් අසුන් ගැනීම මට මහත් ආනන්දයට කරුණක් විය. සිස්ටර් මේරි චිත‍්‍රපටය තිර ගත වන 1983 වසර ලාංකික සිනමාවේ අවාසනාවන්ත වසරක් විය. බොහෝ සිංහල චිත‍්‍රපට දවසින් දෙකෙන් ගැලවිණ. ඒ වන විට ටෙලිවිෂනය නමැති අලූ‍ත් මෙවලම රට පුරා පැතිරෙමින් පැවති යුගයයි. ජාතික රූපවාහිනිය රට පුරා විකාශයන් අරඹා තිබිණ.

එයට පෙර වසරේ පැවැති චාල්ස් කුමරු හා ඩයනා ස්පෙන්සර් අතර විවාහයට ලැබුණ ප‍්‍රචාරය කෙතරම් ද යත් එයට ආරාධනා නොලද මෙරට වැසියෝ මඟු‍ල සජීවිව දැක ගෙන හෝ සිත සාදා ගැන්මට කල්පනා කොට ටෙලිවිෂන යන්ත‍්‍ර මිළයට ගත්හ. ඒ වන විට එය සුඛෝපභෝගී යන්ත‍්‍රයක් ලෙස නම් දරා තිබිණ. ඊළඟට ගැටලූ‍ව තිබුණේ ඇන්ටෙනා ගැට ගැසීමයි. හැම තැනම විකාශන ටවර් නොවුණ එකල පැහැදිලි දසුන් සඳහා කෙතරම් උසට ඇන්ටෙනා බැඳ තිබුණේ ද කිවහොත් චාල්ස් ඩයනා මඟු‍ල ටෙලිවිෂනයේ නොපෙනුණත් ඒ මත්තට නැඟගතහොත් මඟු‍ල සියැසින් දැක ගත හැකිවෙතැයි කථාවක් ද එකල විය. 83 වසරේ මුල් භාගය වන විට දිගු කලක් තිස්සේ ඉහළ ගිය චිත‍්‍රපට නිෂ්පාදනය නිසා චිත‍්‍රපට පෝලිම දික් වෙමින් පැවතිණ. එබැවින් තිර ගත වූයේ නිර්මාණය කොට වසර දෙක තුන පැරණි චිත‍්‍රපටය. මේ චිත‍්‍රපට ටෙලිවිෂන් ආක‍්‍රමණය සමඟ ඉක්මනින් යල්පැන ගියේය. එබැවින් ඒවා දවසින් දෙකෙන් ගැලවිණ. කොටින්ම 83 වසරේ ජනවාරියේ සිට ජූලි මාසයේ 22 වැනි දා වන විට සිංහල චිත‍්‍රපට 23ක් තිර ගත වී තිබිණ. සාර්ථකව තිර ගතවූයේ දඩයම හා සමුගනිමි මා සැමියනි යන චිත‍්‍රපට යුගල පමණකි. අරුක්ගොඩ අනතුර කල්තියා හඳුනා ගෙන තිබිණ. එබැවින් චිත‍්‍රපටය පෙන්වන්නට ප‍්‍රථමයෙන් අමුතු ප‍්‍රචාරයක් යොදා ගත්තේය . ඒ හැම තැනම අත් පත‍්‍රිකා බෙදාහැරීමයි.

සිස්ටර් මේරි තහනම් කළ යුතු බව පත‍්‍රිකාවේ කියා තිබිණ. මේ චිත‍්‍රපටයෙන් කතෝලික ආගමට මෙන්ම බෞද්ධ ආගමට ද අපහාසයක් වන බව නිර්නාමික පත‍්‍රිකාවේ සටහන් විය. කොළය බෙදන්නේ කවුදැයි කිසිවකු හෝ නොදනියි. ජූලි 22 වැනි දා උදාවිය. මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ අලූ‍ත් චිත‍්‍රපටයේ දැවැන්ත කටවුට් එකක් සවිකර තිබිණ. ඒ කාලයේ මරදානේ සිංහල චිත‍්‍රපට සඳහා සිනමාහල් ත‍්‍රිත්වයක් තිබිණ. ඒ එල්ෆින්ස්ටන්, ගාමිණී සහ ක‍්‍රවුන් සිනමා හල් ත‍්‍රිත්වයයි. සංස්ථාවේ බෙදාහැරීම් ක‍්‍රමවේදය අනුව එල්ෆින්ස්ටන් පළමු ප‍්‍රදර්ශක මණ්ඩලයට අයත් ප‍්‍රධාන සිනමාහල වූ අතර දෙවැනි මණ්ඩලය ගාමිණී සිනමාහල ප‍්‍රමුඛ කොට ගත්තේය. ක‍්‍රවුන් පස් වැනි ප‍්‍රදර්ශක මණ්ඩලයේ ආරම්භක සිනමාහල විය. එල්ෆින්ස්ටන් සිනමාහලේ වෙනදාට ඉදිවන රූපරාමු ගණනාවකින් යුත් තොරණක් බඳු කටවුට් එකේ මෙවර තිබුණේ එකම පින්තූරයකි. එය සිනමා හලේ ඉහළ සිට බිමට විහිද ගිය දැවැන්ත පින්තූරයකි. කන්‍යා සොහොයුරියකගේ වෙස් ගෙන සිටි සෝනියා දිසානායකගේ ගේ මුව අතින් වසා ගෙන සිටින සනත් ගුණතිලකගේ රූපය පමණකි. මේ සනත් සිනමාවේ මුල් පියවර තබන අවදියයි. සෝනියා ජනප‍්‍රිය තලයේ ඉහළින්ම වැජඹුණාය. පින්තූරයට සමගාමිව ඒ හා සමාන උසකින් යුත් ඊළඟ පුවරුවේ සඳහන්ව තිබුණේ මෙයයි.

‘කන්‍යා සොහොයුරියකගේ කාමරයට අවේලාවේ ඇතුළු වූ බෞද්ධ තරුණයාගේ කථාව.‘ ඊළග පුවරුවේ සිස්ටර් මේරි නමත් අධ්‍යක්ෂ මු. අරුක්ගොඩ නමත් නිෂ්පාදක කනපතිපිල්ලේ ගේ නමත් සඳහන් විය. මරදාන හරහා යන ඕනෑම කෙනෙකුගේ ඇස් අල්ලලා යන ජාතියේ වැඩකි. ඇඳ තිබුණේ ඒ වන විට සිනමා කටවුට් පිළිබඳ නම් දැරූ අපේ මුල්ම සුපිරි නළුවා වන පේ‍්‍රම් ජයන්ත්ය. ඔහුගේ අත්සන කටවුට් එක පහලින් පැහැදිලිව තිබිණ. සති තුනකින් හතරකින් සිංහල චිත‍්‍රපටය ටෙලිවිෂනයේ පෙන්වන්නේ යැයි අනිවාර්යෙන් කිව හැකි අද මෙන් නොව, එදා චිත‍්‍රපටය බලන්නට සිනමාහලට යායුතුවම තිබිණ. අද මෙන් ගෙවල් පුරා ඞීවීඞී නැත. තිබුණේ වී.එච්.එස් පට පමණකි. ඒ තිබුණේ ද එහෙමත් තැනකය. කෙසේ හෝ රට පුරා ගැසුණ පෝස්ටරයෙන් ද කියැවුණේ කන්‍යා සොහොයුරියකගේ කාමරයට අවේලාවේ ඇතුළු වූ බෞද්ධ තරුණයකුගේ කථාව යන තේමා පාඨයයි.

එහෙත් කිසිවක් සිතූ දෙයක් නොවුණේ 24 රාත‍්‍රියේ ය. 22 වැනි දින තිරගතවීම ආරම්භ කළ චිත‍්‍රපටය 23 වැනි දින ද සාර්ථකව තිර ගත විය. 24 ඇසළ පෝය දවසයි. එදින රාත‍්‍රිය කළු ජූලියේ ආරම්භයයි. මේ කලබලයෙන් මරදානේ ගාමිණි, ඇතුළු සිනමාහල් රාශියක් ද විනාශ විය. රට පුරා ඇඳිරි නීතිය පැනවිණ. චිත‍්‍රපට ගැන සිතන්නට වේලාවක් කාටවත් නොවිණ. චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සම්පූර්ණයෙන් ඇනහිටියේය. මට මතක හැටියට සියලූ‍ සිනමා ශාලාවල පැවති චිත‍්‍රපට පිටපත් සියල්ල සංස්ථාවට වහා ගෙන්වා ගැනීමේ නිවේදනයක් පළවිය. චිත‍්‍රපට ප‍්‍රදර්ශනය පිළිබද වගකීම තිබුණේ එවකට සංස්ථාවට පමණකි.

මේ අතර වාරයේ අරුක්ගොඩ අමුතු වැඩක් කළේය. එල්පින්ස්ටන් සිනමාහලේ සිස්ටර් මේරි පුවරුව පෙනෙන නොපෙනෙන සේ තඩි බැනරයක් සවි කළේය. එහි සදහන්වූයේ තහනම් යන වචනය පමණකි. කන්‍යා සොහොයුරියගේ කාමරයට අවේලාවේ ඇතුළු වූ තරුණයාගේ කථාව සිස්ටර් මේරි තහනම්. බැලූ බැල්මට පුවරුව කියැවෙන්නේ එහෙමය.

ටික දවසකින් කලබල නිමා විය. මරදානේ ගාමිණී සිනමාහලේ ඒ වන විට තිර ගතකරමින් තිබුණේ එයට සති කිහිපයකට පෙර ප‍්‍රදර්ශනය ආරම්භ කළ ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂණය කළ මැණික් මාළිගා චිතපටයයි. සංස්ථාවේ මැදිහත්වීම මත මැණික් මාළිගා චිත‍්‍රපටයේ පිටපතක් එල්ෆින්ස්ටන් සිනමා ශාලාවට ලැබුණු අතර ගාමිණි සිනමාහලේ හිලව්වට මැණික් මාළිගා එහි ටික දවසක් තිර ගත විය. සිනමාහල ඉදිරියේ මැණික් මාළිගා පුවරුවක් කුඩාවට සටහන්ව ඇති අතර සිස්ටර් මේරි පුවරු ඉහළින් වැජඹිණ. මේ අතර වාරයේ චිත‍්‍රපටය තහනම් බවට අත්පත‍්‍රිකා බෙදීම යහමින් සිදු කෙරිණ.

අවසානයේ සැප්තැම්බර් මාසයේ මුල් සතියේ සිස්ටර් මේරි චිත‍්‍රපටය යළි තිරගතවීම ඇරඹිණ. කරදරයකින් තොරවම චිත‍්‍රපටය දින පනහ ඉක්මවා ගත්තේය.

අරුක්ගොඩ නිර්මාණය කළ චිත‍්‍රපට පේලිය අතරින් මුවන් පැලැස්ස 3, මොණරතැන්න 2, තාත්තයි පුතයි, රත්තරන් නෙත් (අම්මයි දුවයි* , චන්නයි කෙල්ලො දෙන්නයි, අරලිය මල් හා රූමතියයි නීතියයි යන චිත‍්‍රපට පසුකලෙක තිරගත විය. මුල් චිත‍්‍රපටය තිර ගත වන්නට කලින් හැ¥ චිත‍්‍රපට අට විනා මු.අරුක්ගොඩ අලූ‍ත් චිත‍්‍රපට හැදුවේ නැත. රූමතියයි නීතියයි තිර ගත වූයේ 1992 වසරේය. ඒ වන විට මු.අරුක්ගොඩ අතුරුදන්ව සිටියේය. කොටි අඩවියේ දී ඔහු ඝාතනය කළ බව පසුව ආරංචි විය.

කෙසේ වෙතත් කොළඹ රීගල් සිනමාහලේ දැනට ඇති ඇවිලෙන සුලූ‍යි කටවුට් එකේ සමනලී ෆොන්සේකාගේ මුහුණ හරහා ද සුදු පැහැති මුඛවාඩමක් පළඳවා ඇති සෙයක් දිස්වෙයි. මුල් දවසේ තිබුණේ ඇය දුම්වැටියක් දෙතොළ රඳවා තිබුණ අන්දමයි. එය අදාළ සෞඛ්‍ය බළධාරින් ගේ නියමය පරිදි ඉවත් කරන්නට සිදුවිය. එබැවින් මේ වන විට පෙනෙන්නේ සමනලී කොවිඞ් 19 නිසා මුව ආවරණයක් පැළඳි ආකාරයටය. දුම්වැටි දැල්වූ පුවරු ප‍්‍රදර්ශනය වර්තමානයේ බොහෝරටවල තහනම්ය. ඉන්දියානු චිත‍්‍රපටවලදී නම් චිත‍්‍රපටය ආරම්භයේ මෙන්ම එබඳු දර්ශනවල දී ද දුම්වැටි වල අහිතකර තත්වය හෙළිදරව් කළ යුතුය. මාරුතය චිත‍්‍රපටයේ දී ද සංගීතා වීරරත්නගේ එබඳු පෝස්ටරයක් එලෙස ඉවත් කරන්නට සිදුවිය. කෙසේ වෙතත් සිස්ටර් මේරි චිත‍්‍රපටයේ බැනරය මෙන් ඇවිලෙන සුලූ‍යි චිත‍්‍රපටයේ ද කටවුට් එකට ඇඳිරි නීති සමයේ මුව ආවරණයක් පැළඳිම නම් දෛවෝපගතය.

කොවිඞ් වසංගතයෙන් පසු චින්තන ගේ ඇවිළෙන සුලූ‍යි තිරය අවුලන්නේ කෙසේදැයි බලා සිටිමු.