අපේ මුල්ම කලා අධ්‍යක්ෂවරු

සැප්තැම්බර් 3, 2020

 දෛවෝපගත කරුණ නම් රාජකීය වික්‍රමය නිපදවා වසර විස්සකට ආසන්න වද්දී එවකට ගල්කිස්ස ශාන්ත රීටා පාරේ ජීවත් වූ සාර්ලිස් මාස්ටර් වෙත ඉගෙන ගැන්මට පැමිණි කුඩා දරුවෙක් පසුකලෙක සිනමා සක්විති නමින් පතළ විමය. චිත්‍ර කර්මය පිළබද උපන් හපන් කම් ඇති ගාමිණී ෆොන්සේකා දරුවා සාර්ලිස් මාස්ටර් වෙතින් චිත්‍ර ශිල්පය හදාරන්නට පැමිණි අතර මාස්ටර් ඔහු  පිළිබඳ වගකීම සිය ප්‍රධාන ගෝලයා වූ ජී.එස්.ප්‍රනාන්දු ට හා ඒ වන විට නැඟි එමින් සිටි චිත්‍ර ශිල්පියකු වූ තම පුත් සුසිල් ප්‍රේමරත්නට පැවැරුවේය. 

රාජකීය වික්‍රමය චිත්‍රපටය පිළිබඳ තොරතුරු සොයායෑමේ දී එයට දායක වූ නවක පිරිස අතරින් අද්‍යතන සමාජය ඉහළ නමක් දිනූවෙකු හමුවෙයි. ඔහු එම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූ එම්.සාර්ලිස් හෙවත් සාර්ලිස් මාස්ටර් ‍ය. සාර්ලිස් මාස්ටර් අද්‍යතන  සමාජයේ ඉහළින් වැජඹුණු චිත්‍ර ශිල්පියෙකි. සාර්ලිස් මාස්ටර් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරද්දී එහි සහාය කලා අධ්‍යක්ෂවරයා වූයේ පසුකලෙක මෙරට ජනප්‍රිය කාටුන් ශිල්පියකු මෙන්ම මෙරට මුල්ම චිත්‍රකතාව ඇඳීමේ ගෞරවය ද හිමිවිය යුතු ජී.එස්.ප්‍රනාන්දුය. 

1880 වසරේ අම්බලන්ගොඩ ආඳාදොළ ගම්මානයේ උපත ලැබ 1955 නොවැම්බර් මස 11 වැනි දින අභාවප්‍රාප්ත වූ  සාර්ලිස් මාස්ටර් චිත්‍රපටය නිපදවන සමය වන විට මෙරට ජනප්‍රිය  චිත්‍ර ශිල්පියෙකි. සාර්ලිස් මාස්ටර් විසින් බුදු සිරිතේ සිදුවීම් අලළා අඳීනලද  අද පවා ජනප්‍රිය චිත්‍ර පෙළ ඒ වන විට මෙරට සිංහල බෞද්ධ නිවාසයන්ගේ සාලය සරසන චිත්‍රයක් බව පත් වී හමාරය.  සාර්ලිස් මාස්ටර් චිත්‍ර ශිල්පය හදාරනුයේ ජෝර්ජ් සහ රිචඩ් හෙන්රිකස් සොහොයුරන් යටතේය. හෙන්රි යුරෝපයේ දී නූතන චිත්‍ර කලාව හැදෑරුවෙකි.  සාර්ලිස් මාස්ටර්  1911 දී පමණ මාළිගාකන්ද විහාරස්ථානයේ  බිතු සිතුවම් තනිවම නිර්මාණය කර කීර්තියක් දිනා ගත්තේය. සාර්ලිස් මාස්ටර් විසින් බුදු සිරිත අලළා අඳීන ලද සිතුවම් දුටු එවකට කොළඹ  ඩී.ඩී. පේද්‍රිස් සමාගම මඟින් එම චිත්‍ර ජර්මනියට යවා ලිතෝ ක්‍රමයට මුද්‍රණය කොට අලෙවි කළේය. එතෙක් මෙරට ගෙවල  සාලය සැරසූ  බ්‍රිතාන්‍ය රජ පවුල වෙනුවට සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර  රට පුරා ගෙවල සරසන්නට විය. පියදාස සිරිසේන මහතා විසින් සාර්ලිස් මාස්ටර්ගේ සහාය ඇතුව බෞද්ධ සිතුවම් වර්ණනා කාව්‍යය මැයෙන් ග්‍රන්ථයක් ද  නිකුත් කරන ලදී. 

සාර්ලිස් මාස්ටර් විසින් අඳීන ලද චිත්‍ර පිළිබඳ  කියැවුණ එක් ප්‍රවාදයක් මෙසේය. ඔහු  විසින් මරදාන ටවර් ශාලාව ඉදිරියේ අඳීන ලද අඹ ගසක් දැක රැවැටුණු එක් හරකෙක් එහි කොල කඩාකන්නට සැරැසිණ. බැලූබැල්මට අතිශයෝක්තියක් සේ පෙනුණ ද සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර පිළිබද මෙරට ජනතාව  දැරූ අදහස මෙමගින් ගම්‍ය වෙයි. සාර්ලිස් මාස්ටර් විසින් මේ අවදියේ දෙමටගොඩ ඇල්බියන් මාවතේ දී ලංකා චිත්‍ර කර්ම විද්‍යාලය නමින් පාසැලක් ද පවත්වාගෙන ගියේය. ඒ පිළිබඳ දැන්වීම් දිනමිණ වැනි පුවත්පත් වල පළ කරනු ලැබිණ.  වාණිජ චිත්‍රකරණයේ ඉහල නමක් දිනූ සාර්ලිස් මාස්ටර් එකල මෝටර් රථයක් පාවිච්චි කරන ආර්ථික තත්ත්වයකින් ජීවත් වූයේය. සාර්ලිස් මාස්ටර් විසින් අඳීන ලද විහාර සිතුවම්වලින් කොළඹ තිඹිරිගස්යායේ  අශෝකාරාමය, ඉසිපතනාරාමය මෙන්ම වෙහෙරහේන පන්සල ද ඇතුළු පන්සල් රාශියක් ආලෝකමත් විය.

   මෙරට මුල්ම චිත්‍ර කතාව ලෙස 1953 වසරේ  පළ වු නීලා ජී.එස්.ප්‍රනාන්දු විසින් අඳීන ලද්දේ ධර්මසි‍රි ජයකොඩිගේ කතාවක් අනුවය. මේ චිත්‍ර කතාවට නීලායැයි නම තැබුණේ ජී.එස්.ප්‍රනාන්දුගේ දියණිය වූ නෙළුම් ගේ නමේ කොටසක් වූ නීලමණි නම අනුවය. ඇයට තාත්තා  සුරතලයට පැවැසුවේ නිලමණී නම කෙටිකර නීලා යනුවෙනි. ජී.එස්ප්‍රනාන්දු විසින් එවකට අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල උපහාසයට ලක් කොට අඳීන ලද චිත්‍රයක් සඳහා සර් ජෝන් සිය නිවසටම ගෙන්නවා තෑගිබෝග දී පිටත් කර යැවීම මෙරට මාධ්‍ය ඉතිහාසයේ ප්‍රසිද්ධ කරුණකි. 1990 ජනවාරි මස 18 වැනි දින එවකට සරසවිය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දිනියක වූ නෙළුම් විමලරත්න විසින්   සිය පියා සමඟ  කළ සංවාදයක් ඇසුරින් ලියන ලිපියක් පළවනුයේ ගින්නෙන් දැවී ගිය රාජකීය වික්‍රමය යන මැයෙනි. ප්‍රථම සිංහල චිත්‍රපටයේ ශෝකාන්තය යන මැයෙන් එයට උප සිරස්තලයක් ද යොදා තිබිණ.  මේ අවදියේ මෙරට සීනි ආනයනයේ ඒකාධිකාරය කළ නූර්බායි වැල්ලවත්තේ තම සිනමාහලේ චිත්‍රපට නැරඹීමට ඇබ්බැහිව සිටි අන්දමත් සිංහල චිත්‍රපටයක් නිපදවන්නට අදහසක් පහළ වුවත් ඒ සඳහා කිසිම සිංහලයෙක් හෝ උදව් නොකළ හැටිත්  ජී.එස්.ප්‍රනාන්දු මහතා එම ලිපියෙන් හෙළිදරව් කරයි. නූර්බායි  පළමුව කළේ තමා දන්නා හඳුනන හිතවතෙකුගේ කතාවක් ඉල්ලා සකසා ගැනීමයි. ( ප්‍රවීණ මාධ්‍යෙව්දී ආතර් යූ. අමරසේන මහතා සිංහල සිනමා වංශය යන මැයෙන් ලියු ග්‍රන්ථයේ හෙළිකරන අන්දමට එය හින්දි චිත්‍රපටයක කථාවක් අනුව යමින් සැකසුණකි. ඒ බැව් ඔහුට පවසා තිබුණේ ආචාර්ය එන්.එම්.පෙරේරාය.) කොයි හැටි වෙතත් එය ඵෙතිහාසික ආදර කතාවකි. එහි වැදගත්ම කාර්යය වුණේ නළු නිළියන් සොයා ගැනීමයි.මෙය ඒ කාලයේ ඉතාමත් අපහසු කාර්යයක් වුණා. මොකද සෑහෙන පවුලක වුනත්  කිසිම කෙනෙක් රඟපාන්න කැමැති වුණේ නැහැ. ඒක තත්වයට මදිකමක්. ගැහැණු අයනම් කොහොමටත් රගපෑම් වලට  ගියේ නැහැ. ජී.එස්.ප්‍රනාන්දු විස්තර කළේය.

‘ඒ කාලේ එන්.එම්පෙරේරා මහත්තයා අවුරුදු දහඅටක් විතර ඇති හොඳ ඉලන්දාරියා. ඔහු විභාගයක් කරලා එනතෙක් හිටියේ. (මේ ලිපියේ සඳහන් අන්දමට රාජකීය වික්‍රමය නිර්මාණය වනුයේ 1925 වසරේ නොව 1922 වසෙර්ය) ඒ කාලයේ හරිම කඩවසම්.හුරුබුහුටියි.ඒ වගේම කලාකාමි තරුණයෙක්. හැමපැත්තෙන්ම ආ විරුද්ධකම් මැද්දේ ඔහු සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. නළුවාගේ ප්‍රශ්නය විසඳුණා. ඒත් නිළියක් නැහැ.කිසිම සිංහල තරුණියක් කැමැති වුණේ නැහැ. බයිස්කෝප්වල රඟපාන්න. ඒ නිසා ප්‍රධාන නිළියගේ චරිතයට තෝරා ගත්තේ බර්ගර් ජාතික තරුණියක්. මේ විදියට චිත්‍රපටය කරන්න ටික ටික ලෑස්ති වුණා. 

ඕනෑ කරන ආම්පන්න සියල්ල ඉන්දියාවෙන් ගෙන්වා ගත්තා. චිත්‍රපටයේ රූ ගත කිරීම සඳහා යොදා ගත්තේ දැන් කොල්ලුපිටියේ ඔබරෝයි හෝටලයට (වර්තමානයේ සිනෙමන් ග්‍රෑන්ඩ්)  ඉදිරිපිට තිබූ නූර්බායි මහතාට අයිති වූ ගොඩනැඟිල්ලක්. මගේ චිත්‍ර ගුරු ඇම්.සාර්ලිස් මහතා මට පණිවිඩයක් එවලා තිබුණා. ඇවිත් හම්බවෙන්න කියලා. මමත් ගියා. ඔහු මට කිව්වා. සිංහලෙන් චිත්‍රපටයක් හදන්න ලෑස්ති වෙනවා”

ජී.එස්. චිත්‍රපටයට දායක වනුයේ කාරණා දෙකක් නිසාය. එකක් සිංහල චිත්‍රපටයක් හැදෙනු දකින්නට තිබුණ ආශාවය. අනෙක සිය මිත්‍රයකු වූ ඇන්.ඇම් එයට සම්බන්ධ වීමය.

‘අපි ඊළඟ සතියේම වැඩ පටන් ගත්තා. ඒ කාලසීමාව හරිම විනෝදජනකයි. අපි සියලු දෙනාම හරිම සහයෝගයෙන් රෑ දවල් නොබලා වැඩ කරමින් මේ චිත්‍රපටය සාර්ථක කරගන්නට මහන්සි වුණා.’ 

ජී.එස්ට පැවරුණු කාර්යය දෙබස් කාණ්ඩ ලිවීමයි. නිහඬ සිනමා යුගයේ බැවින් හැම දෙබස් කාණ්ඩයක්ම අතින් ලියන්නට සිදුවිය. ඔහුගේ මතකයේ හැටියට කාණ්ඩ අටදාහක් පමණ ලියැවිණ. ඒ සිංහලෙන් හා ඉංග්‍රිසියෙනි. එය තිරය මත පතිත වන විට සියල්ල විසින් කියැවිය යුතු නිසා ඉතා ලස්සනට ලිවිය යුතු විය. 

 ටී.ඒ.ජේ.නූර්බායි ජී.එස්ට  ඉහළම ගෙවීමක් කළේය. ඒ හැරෙන්නට ගෙනත් දුන් තෑගි බෝග ද බොහොමයකි.  ආචාර්ය එන්.එම් ද සිය මතක සටහනෙහි මේ පිළිබඳ සටහන් කර තිබුණු වග මේ ලිපි පෙළ කියවන පාඨකයන්ට මතක ඇතැයි සිතමි.  1925 වසරේ තරම් ඈතක ඇන්.ඇම් නම් නවක නළුවාට රුපියල් සියයක් ගෙවීමෙන් එහි අගය මැන ගත හැකිය. එයින්  නූර්බායි චිත්‍රපටයේ පිරිසට අත දිග හැර මුදල් ගෙවූ අන්දම පෙනීයයි. එමෙන්ම සාර්ලිස් මාස්ටර් වැනි චිත්‍ර ශිල්පියකු යොදා ගැන්මෙන් මේ කටයුත්ත ඉහළින් කර ගැන්මේ වුවමනාව නූර්බායිට තිබුණු බවක් විශ්වාස කළ හැකිය. 1904 වසරේ  දී බෙන්තර උපන් ජී.එස්.ප්‍රනාන්දු  කොළඹ එන්නේ වෛද්‍ය විද්‍යාව හැදෑරමට වුවත් ඔහුගේ සිත යන්නේ චිත්‍ර ශිල්පයටය. ඔහු මිය ගියේ මේ ලිපිය පළ ව  මාස කිහිපයකට පසු එනම් ජූලි මස හය වැනි දිනදීය. ජී.එස්.ප්‍රනාන්දු සමඟ කරන මේ ලිපියෙහි වඩාත් වැදගත් හෙළිදරව්වක් වෙයි. “වැඩ අවසන්වූ රාජකීය වික්‍රමය එකල ඉන්දියාවේ බොම්බායේ මදන් චිත්‍රාගාරයටත් පසුව සිංගප්පූරුවටත් ගෙන යනු ලදුව ගින්නකට හසුව විනාශ විය.“යන්නයි. මේ අනුව නූර්බායි විසින් චිත්‍රපටයේ ඉතිරි වැඩ සහ ප්‍රදර්ශනය ඒ වන විට මෙරට චිත්‍රපට බෙදාහැරීමේ ඒකාධිකාරිය දැරූ මදාන් තියටර්ස් වෙත පවරන ලද බව පෙනෙයි. චිත්‍රපටය විනාශ වනුයේ එයින් පසුවය. ෆයිරූස් රැන්ගුන්වාලා විසින් සංස්කරණය කරන ලද ඉන්ඩියන් ෆිල්ම් ඉන්ඩෙක්ස් 1912-1967 ග්‍රන්ථයට අනුව ශාන්තා නමින් නිහඬ ඉන්දියානු චිත්‍රපටයක් 1925 වසරේ දී  එරට තිර ගත ඇත. එනමින් හැඳීන්වෙන්නේ මෙරට නිපද වූ ශාන්තා ද යන්න තහවුරු කර ගත නොහැකි කරුණකි. එහෙත් ශාන්තා හෙවත් රාජකීය වික්‍රමය ඉන්දියාවේ මෙන්ම සිංගප්පූරුවේ ද තිර ගත වූවත් එය මෙරට තිරගත වූයේ නැත. එය ලංකාවට  ගෙන එන අතරමග නැවේ ඇති වූ ගින්නකින් දැවුණු වග එක් මතයකි.  මේ අවදියේ චිත්‍රපට  වහා ගිනි ඇවිළෙන සුලු බැවින් එය ද සිදු විය හැකිය. එසේත් නැත්නම් 1925 වසරේ කල්කටාවේ මදාන් චිත්‍රාගාරය සිදූ වූ  ගින්නෙන් විනාශ වූ චිත්‍රපට සිය ගණන අතරට හසුවිණ ද යන්නත් විය හැකිය. ඒ සියල්ල සදාකාලික අබිරහසකි. එනමුදු නූර්බායි 1928 වන විට පැහැදිලි තීරණයක් ගෙන තිබුණු වග පෙනෙන්නට තිබේ. අවුරුදු විස්සකට වැඩි කලක් මෙරට සිනමාවේ පුරෝගාමි නිෂ්පාදක ප්‍රදර්ශකයකු හැටියට කටයුතු කළ ඔහු ඉන්දියානු  මදාන් තියටර්ස් ඒකාධිකාරයට එරෙහි ව දේශීය සමාගමක් ගොඩ නැඟිමට හවුල් වෙයි. ඔහු සිය වැල්ලවත්තේ ට්‍රිවෝලි  සිනමාහල 1928 පෙබරවාරි 10 වැනි දින ප්ලාසා නමින් නම් කොට නැවත විවෘත කරනුයේ ද තව දුරටත් හුදකලා  නොවී අභිනවයෙන් මෙරට ස්ථාපිත දේශිය පොදු සමාගමක කොටස් කරුවකු වනුයේ ද එයින් පසුවය. ඒ යාපනය් සිට පැමිණ නුවරඑළියේ ක්ලිෆර්ඩ් පැවිලියන් ශාලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය අරඹන චිත්තම්පලම් ඒ.ගාඩිනර්ගේ සිලෝන් තියටර්ස් සමාගම කොටස් වෙළෙඳ පොළ ලියාපදිංචි ගත මුල්ම දේශීය සිනමා සමාගම වද්දි එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන්නට නූර්බායිට හැකිවෙයි. එයින් පසු ප්ලාසා සිනමාහල ලංකා නෘත්‍ය සමාගමේ සිනමාහලක් බවට පරිවර්තනය වනුයේ මෙරට සිනමා ව්‍යාපාරයේ තවත් පියවරක් ඉදිරියට යමින්ය.

 කෙසේවෙතත් මුල්ම සිනමා කෘතියට දායක වූ සාර්ලිස් මාස්ටර් හෝ ජී.එස්.ප්‍රනාන්දු දෙදෙනාම යළි සිනමාවට එක්වූයේ නැත. සාර්ලිස් මාස්ටර්ගේ තවත් ගෝලයකු වූ හෙන්රි ධර්මසේන දෛවයෝගය හා දස්කොන් චිත්‍රපට වල කලා අධ්‍යක්ෂවරයා විය. 

 දෛවෝපගත කරුණ නම් රාජකීය වික්‍රමය නිපදවා වසර විස්සකට ආසන්න වද්දී එවකට ගල්කිස්ස ශාන්ත රීටා පාරේ ජීවත් වූ සාර්ලිස් මාස්ටර් වෙත ඉගෙන ගැන්මට පැමිණි කුඩා දරුවෙක් පසුකලෙක සිනමා සක්විති නමින් පතළ විමය. චිත්‍ර කර්මය පිළබද උපන් හපන් කම් ඇති ගාමිණී ෆොන්සේකා දරුවා සාර්ලිස් මාස්ටර් වෙතින් චිත්‍ර ශිල්පය හදාරන්නට පැමිණි අතර මාස්ටර් ඔහු  පිළිබඳ වගකීම සිය ප්‍රධාන ගෝලයා වූ ජී.එස්.ප්‍රනාන්දු ට හා ඒ වන විට නැඟි එමින් සිටි චිත්‍ර ශිල්පියකු වූ තම පුත් සුසිල් ප්‍රේමරත්නට පැවැරුවේය. ගාමිණී චිත්‍ර ශිල්පය හදාරන්නට එන විට සුසිල් ප්‍රේමරත්න ගායකයකු ලෙස ඉදිරියට එමින් සිටි යුගයයි. එමෙන්ම  ශාන්ත රීටා පල්ලියේ ගී ගයන්නට එන රීටා ජෙනවිව් ප්‍රනාන්දුට ලතා යැයි සුසිල් ප්‍රේමරත්න විසින් නම් තබන ලද්දේ මේ සමයේයැයි වරෙක ගාමිණී ෆොන්සේකා සරසවියට පැවැසුවේය. පසුකලෙක ගාමිණි පුත් දම්මිත් විවහ වනුයේ රාජකීය වික්‍රමය චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපෑ පියදාස ගේ  මිනිබිරිය වන වින්ධ්‍යා පෙරේරා සමඟය. සියල්ලම රාජකීය වික්‍රමයක් වැනිය.