දේශීය සිනමා අරගලය ඇරඹූ උතුරේ තරුණයෝ

සැප්තැම්බර් 10, 2020

ඔලිම්පියා සිනමාහල අති සාර්ථක චිත්‍රපට ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් විය. එහි දෛනික මුදල් එකතුව ජාකෝලිස් නම් සොරෙකු විසින් සිනමාහලේ  ලාච්චුවෙන් පැහැර ගෙන තිබුණ පුවතක් දිනමිණ වාර්තා කළේය. සොරා අත්අඩංගුවට ගත්තේ අම්බලන්ගොඩදීය. ඒ මුදල රුපියල් 1300කි. සිනමාහලේ දෛනික ආදායම එම ව්‍යාපාරය කෙතරම් සාර්ථක ව්‍යාපාරයක් දැයි පහදා ගැන්මට කදිම උදාහරණයකි.

විසි වැනි සියවසේ දෙවැනි දශකය ඇතුළත සිනමාව ලොව පුරා  ප්‍රධාන ව්‍යාපාරයක් බවට පත්වෙමින් එහි ඒකාධිකාරයක් ගොඩ නැගෙමින් පැවති අන්දම මේ ලිපි මාලවෙන් අපි පෙන්වා දුන්නෙමු. මෙරට සිනමාවට ද එය එසේම පොදු කාරණාවක් වූයේය. දෙස් විදෙස් සුළු ව්‍යාපාරිකයන් අතින් සාමාන්‍ය ජනීජනයා වැලඳගත් සිනමාව නම් සිහින ලෝකය ඉතා ඉක්මනින් දැවැන්ත ව්‍යාපාර ජාලයන්ගේ අණසකට යට විය. 

එයට එරෙහිව ගොඩ නැඟිම ලෙහෙසියෙන් කළ හැකි දෙයක් නොවිණ. හුදකලාව සටන් කළ බෙහෝ දෙනා ව්‍යාපාරික සටන් බිමේ අසරණව හොම්බ බිම ඇණ ගත්හ. හොලිවුඩ් හෝ ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ කියා එයට වෙනසක් තිබුණේ නැත. එසේ වුව ද අලුත් සිතුවිලිවලින් සන්නද්ධ තරුණයෝ සටන් බිම අතහැරියේ ද නැත්තාහ.

 මෙරට සිනමාව දේශීය ව්‍යාපාරකයන් අතට යළි පත් කර ගැන්ම විසි වැනි සියවසේ දෙවැනි දශකයේ දෙවැනි භාගය වන විට අවශ්‍යතාවක් විය. එවකට ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකයකු ව සිටි නූර්බායි පවා  සිනමා ව්‍යාපාරයේ දී බැට කෑ වග පැහැදිලිව පෙනන කරුණකි. එයට එරෙහිව මුහුණ දිය හැකි දේශීය ව්‍යාපාරයක් ගොඩ නඟන්නට නම් කවුරුන් හෝ පෙරමුණ ගත යුතුවිය.  ඒ සඳහා මුල පුරන්නෝ උතුරේ එකම ගම් පළාතක උපන් තරුණයන් දෙදෙනෙකි.

මේ දෙදෙනාම විසි හැවිරිදි විය ඉක්මවූවෝ නොවෙති.  මෙයින් එක් අයෙක් පසුකලෙක සෙනෙට් මන්ත්‍රි ධුරයකින් මෙන්ම බ්‍රිතාන්‍ය රජය මඟින් නයිට් පදවියකින් ද පිදුම් ලබන  අතර අනිත් තැනැත්තා ස්වාධීන අපේක්ෂකයකු ලෙස 1947 වසරේ දී කයිට්ස් සදහා තරග වැද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් බවට ද පත්වෙයි. ඔවුහු නම් පිළිවෙලින් චිත්තම්පලම් ඒබ්‍රහම් ගාඩිනර් සහ ඇල්ෆ්‍රඩ් ලියෝ සවරිමුත්තු තම්බයියා වූහ. 

1899 වසරේ ජනවාරි මස 6 වැනි දින යාපනයේ අච්චුවේලි හි උපත ලබන ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර් අභාවප්‍රාප්ත වනුයේ 1960 වසරේ දෙසැම්බර් මස  තුන් වැනි දින ය. ඔහු අභාවප්‍රාප්තවූ දිනයේ මෙරට සියලු සිනමාශාලා වසා දමා ගෞරවය දැක්වූයේය. මෙරට සිනමා ශාලා සියල්ල වසා දමා ගෞරව ලබන්නට තරම් හේතු වූයේ දේශිය සිනමා කර්මාන්තය බිහිකිරීමෙහිලා ගාඩිනර් අතින් සිදුවූ මෙහෙය කිසිවකු හා සම කළ නොහැකි වීමය.

ඔහුගේ පියා සැමුවෙල් වයිරමුත්තු ගාඩිනර් වූ අතර මව සලෝමාපිල්ලේ බැස්ටියන් පිල්ලේ නම් වූවාය. චිත්තම්පලම් ඒ ගාඩිනර්ගේ මව යාපනයේම මනිපායිහි ජන්මලාහියකු වූවාය. මූලික අධ්‍යාපනය මනිපායි පාසලෙන් ලබා ගන්නා චිත්තම්පලම් අනතුරුව පාසල් යන්නේ ඉන්දුනිසියාවේ ක්වාලලම්පූර් හි ශාන්ත ජෝන් විදුහලටය.

මේ අවදියේ යහපත් අනාගතයක් බලාපොරොත්තුවෙන් උතුරේ ඉංග්‍රිසි උගත් බොහෝදෙනෙක් මලයාසියානු රටවලට ගියහ.  ගාඩිනර් පවුල ද එහි යන්නට වරම් ලදහ. චිත්තම්පලම්  ක්වාලාලම්පූර් හි අධ්‍යාපනය ලබනුයේ එහෙමය. දකුණු ඉන්දියාවේ ද ඇතැම් පවුල් මේ සමයේ මැලේසියාවට ගියේ වතු කම්කරු රැකියාවට වුව ගාඩිනර් පවුල ගියේ ඉහළ රැකියාවන්ටය. කෙසේ වෙතත් චිත්තම්පලම් ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගයට පෙනී සිටිනුයේ යාපනයේ සුප්‍රකට පාසැලක් වූ ශාන්ත පැට්‍රික් විදුහලෙනි.

එයින් පසු ඔහු ඇතුළත් වනුයේ කොළඹ ශාන්ත ජෝශප් විදුහලටය. පසුව කෙටි කලක් ඔහු ගුරුවරයකු ලෙස එම විද්‍යාලයේම සේවය කළේය. කොළඹ විශ්වවිද්‍යාලයට (යුනිවර්සිටි කොලේජ්) ඇතුළත් වන ඔහු උපාධිය අවසන් නොකරම එයින් පිටවන අතර පසුව නීති විද්‍යාලයට ඇතුළත්ව වසර දෙකක් ගත කළේය. 1939 වසරේ ජනවාරි මස 8 වැනි දින සිලෝන් ඔබ්සර්වර් පුවත්පත සමග සාකච්ඡාවක යෙදෙන චිත්තම්පලම් ඒ.ගාඩිනර් මේ පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් හෙළිදරව් කරයි.

ඒ වන විට නීතිඥයකු ලෙස ඉගෙන ගන්නට අවශ්‍ය නම් චිත්තම්පලම් ඒබ්‍රහම් එංගලන්තයට යැවීමට වුව සැමුවෙල් වයිරමුත්තු තාත්තා  සූදානම්ව සිටියේය. නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විට චිත්තම්පලම් ගේ සිතේ වද දුන්නේ එක් කරුණකි. එනම් එයින් පිටවන නීතිඥවරුන් අතර තමාත් එක්  නීතිඥවරයකු වන්නේ ද නැත්නම් එයටත් වඩා ඉහළ තමාගේම වෘත්තියක් ගොඩ නඟන්නේ ද යන්නයි. එහි ප්‍රතිඵලයවූයේ දෙවසරකට පසු නීති විදයාලයට හොර රහසේ සමුදීමය.

ආරම්භය සිතූතරම් පහසු නොවිණ. ව්‍යාපාරිකයකු වීමේ අභිලාෂය මුදුන් පත් කර ගැන්මේ අදිටනින් යුත්  චිත්තම්පලම් මුලින් අත ගසනුයේ ඒ වන විට කොළඹ ප්‍රවාහන සේවාවක් ලෙස ප්‍රචලිත රික්ෂෝ ව්‍යාපාරයටය. අනතුරුව කුලී මෝටර් රථ ව්‍යාපාරයටය. මේ දෙකම ලාභයට වඩා ඔහුට ගෙන දුන්නේ අත්දැකීම්ය. ඉගෙනුම පැත්තක දමා පිස්සු කෙළින තරුණයා ගැන මිතුරෝ මෙන්ම පවුලේ වැඩිහිටියෝද විස්සෝපයට පත්ව සිටියහ. එහෙත් තම ඉලක්කය අතරමඟ අතහරින්නට චිත්තම්පලම් තරුණයා කැමැතිවූයේ නැත.

කුලී මෝටර් රථ  සේවාව ද කොළඹට අලුත් එකක් විය. වඩා අලුත් දේ සොයන්නට කැමැති චිත්තම්පලම් ඒ වන විට ව්‍යාපාරයක් ලෙස නැඟී එන සිනමා ව්‍යාපාරයට අත් තබන්නට තීරණය කළේය. ඒ වන විට එයට සම්බන්ධ ලාංකිකයන්  කිහිප දෙනෙක්ම මේ ව්‍යාපාරය නිසා අත  පුච්චා ගෙන තිබිණ. ටවර් රඟහල  සිනමා ශාලාවක් කළ හෙන්ද්‍රික් සෙනෙවිරත්න එයින් එක් අයෙක්ය. ගහට ගහක් මොරටුවේ දී  හමුවෙන කතාවක් තිබුනත් චිත්තම්පලම් ට තමාටම ගැලපෙන හොඳ හවුල් කාරයෙක් හමුවූයේ මරදානේදීය.

ඔහු ඇල්ෆ්‍රඩ් ලියෝ සවරිමුත්තු  තම්බයියාය. 1903 වසරේ නොවැම්බර් මස 8 වැනි දින කයිට්ස්හි  කරම්පන් ගම්මානයේහි උපත ලද තම්බයියා මුලින් අධ්‍යාපනය ලැබුවේ කයිට්ස්හි ශාන්ත අන්තෝනි විදුහලෙන්ය. අනතුරුව යාපනයේ ශාන්ත පැට්‍රික් විදුහලෙනි. එයින් පසු ව මෙරට  සිනමාවේ නම ගිය  බොහෝ දෙනෙකුට සෙවණ දුන් කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙනි. අනතුරුව මරදාන ශාන්ත ජෝශප් විදුහලෙන්ය.  

තම්බයියා සිනමා ව්‍යාපාරයට හවුල් වනුයේ මරදානේ ඔලිම්පියා සිනමාහල බදු ගැනීමෙන්ය. ඒ 1924 වසරේ  ජූලි මාසයේය. ඒ වන විට ඒ.එල් තම්බයියා හෙවත් අල් ගේ වයස අවුරුදු විසි එකක් වූවා පමණකි. තම්බයියා ඔලිම්පියා සිනමාහල බදු ගන්නේ එතෙක් එය පාලනය කළ  නූර්බායි එයින් ඉවත්ව වැල්ලවත්තේ ඔලිම්පියා (පසුව ටිවෝලි සහ එයටත් පසු ප්ලාසා නම් වූ) සිනමාහල ආරම්භ කිරීමෙන් පසුවය. තම්බයියා ලියෝ ලැන්ග්ඩන් ඇන්ඩ් කම්පනි පිහිටුවා ගත්තේ ඒ සඳහාය.

ඔහුට සිනමාහල ලබා ගන්නට උපකාර කරනුයේ එවකට ඔලිම්පියා සිනමාහලේ හිමිකරු මෙන්ම කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු වූ එන්.එච්.එම්.අබ්දුල් කාදර්ය. ඒ වන විට මෙරට ප්‍රධානතම ස්වර්ණාහරණ ව්‍යාපාරිකයා වූ එන්.ඩී.එච්.අබ්දුල් ගෆූර්  අබ්දුල් කාදර්ගේ සහෝදරයා වූ අතර සිය සොහොයුරාගේ දේශපාලනයට මෙන්ම මරදාන සහිරා විද්‍යාලයටත් ආධාර කරන ලද්දේ ද ඔහු විසිනි.

පසුකලෙක සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට්ස් සමාගම ගොඩ නඟා ජනප්‍රිය සිංහල චිත්‍රපට නිෂ්පාදකයකු වූ එමෙන්ම කොළඹ ලිබර්ටි සිනමාහල ගොඩ නැගූ ජබීර් ඒ.කාදර් අබ්දුල් කාදර්ගේ පුත්‍රෙයකි. කාදර් ගේ මඟ පෙන්වීම යටතේ තම්බයියා පිහිටුවාලනු ලබන ලියෝ ලැන්ඩන් ඇන්ඩ් කම්පනි ආයතනය මෙරට සිනමා ව්‍යපාරයේ අලුත් පියවරකට මුල පුරමින් සිටියේය. 

එහි වඩාත්ම වැදගත් අවස්ථාව වූයේ චිත්තම්පලම් ඒබ්‍රහම් ගාඩිනර් එයට හවුල්වීමය. ඒ 1925 වසරේ ජූලි මස පළමුවැනිදාය. විශ්වවිද්‍යාල උපාධිය ගැන්ම හෝ නීති විද්‍යාලයේ දෙවසරක අධ්‍යාපනය අතහැර හිතුවක්කාර ගමනක් ආරම්භ කරන්නට යෙදුණ චිත්තම්පලම් ඒබ්‍රහම් ගාඩිනර් සමාගමේ හවුල් කළමනාකරු ලෙස ව්‍යාපාරයට දායක විය.  දෛවෝපගත පරිද්දෙන්  ඔවුහු එකම ගම් පළාතක දෙදෙනෙක් වූහ. ඉතා ඉක්මනින් ඔවුහු තමන් සතු ශක්‍යතාවන් මෙන්ම ඉදිරියේ ඇති අභියෝග හඳුනා ගත්හ. ඒ අභියෝග ජය ගන්නට නම් එකතු විය යුතුව තිබිණ. ඔලිම්පියා සිනමාහල අති සාර්ථක චිත්‍රපට ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් විය.

එහි දෛනික මුදල් එකතුව ජාකෝලිස් නම් සොරෙකු විසින් සිනමාහලේ  ලාච්චුවෙන් පැහැර ගෙන තිබුණ පුවතක් දිනමිණ වාර්තා කළේය. සොරා අත්අඩංගුවට ගත්තේ අම්බලන්ගොඩදීය. ඒ මුදල රුපියල් 1300කි. සිනමාහලේ දෛනික ආදායම එම ව්‍යාපාරය කෙතරම් සාර්ථක ව්‍යාපාරයක් දැයි පහදා ගැන්මට කදිම උදාහරණයකි. එහෙයින්ම ගාඩිනර්ට නුවරඑළියේ ක්ලිෆර්ඩ් පැවිලියන් සිනමාහල ද මිළ දී ගැන්මට මඟ පෑදිණ. දෙවසරක් ඇතුළත වැල්ලවත්තේ පිහිටි නූර්බායිට අයත් ටිවෝලි සිනමාහලේ පාලනයට ද හවුල් වන්නට දෙමිතුරන්ට හැකිවූයේය. කරුණු නිරීක්ෂණයේ දී පෙනී යන අන්දමට ටිවෝලි ශාලාව ප්ලාසා නමින් නම් වනුයේ එයින් පසුවය. 

මෙය අලුත් අදහස් සහිත තරුණයන් දෙදෙනෙකුගේ එකතුවක් පමණක් නොවිණ. එය අලුත් දැක්මක් සහිත ව්‍යාපාරයක පිවිසුම විය. එහි වැදගත්ම අවස්ථාව වන්නේ 1928 වසරේ ජූලි මස පළමුවැනි දින සීමාසහිත සිලෝන් තියටර්ස් නමින් අභිනව සමාගමක් ගොඩ නැඟිමය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සභාපති පදවියට ගාඩිනර් පත් කර ගැනුණේ ඒකමතිකවය. ඒ ඔහු සතු විචක්ෂණශීලි  හා දිරිමත් ඉදිරි තීරණ ගැනීමේ කුසලතාව සමඟය. එහෙත් එපමණකින් එය  පහසු ගමන් මඟක් නොවිණ. එක් පසෙකින් දැවැන්ත සිනමා අධිරාජ්‍යයක් හා වෙලඳපොළ තරගයක් ඉදිරියේ තිබිණ.

තරුණයන් අත තිබුණේ විශ්වාසයක් හා ඉලක්කයක් පමණකි. සිනමා අධිරාජ්‍යය ගොඩ නඟන්නට නම් එය තවත් පුළුල් කළ යුතුය. එයට මුදල් අවශ්‍යය විය.එය දැවැන්ත ආයෝජනයක් විය. අද මෙන් ව්‍යාපාරික ඉලක්ක සපුරා ලන්නට උදවු කරන බැංකු තිබුණේ නැත. එහෙත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් තරුණයාගේ හිතුවක්කාරකම මෙහිදී වාසියට හේතුවිය. සමාගමේ ආයෝජකයන් සොයා ගැන්මේ දී ඔවුන් විසින් කළ සාකච්ඡා හා අදාළ පුද්ගයන්ගේ තරාතිරම ඔවුන්ගේ සාර්ථකත්වයට හේතුවක් විණ. මේ සාකච්ඡා සිදු වූයේ එසේ මෙසේ අය සමග නොවේ. ඔවුහු ඒ වනවිට ධනවත් පවුල්වල සාමාජිකයෝ වූ අතර ඉදිරියේ බිහිවන නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නම ගිය පිරිසක් වූහ.