සිනමා තාරකාවන්ගේ රුව වඩන සබන් ලංකාවටත්

ඔක්තෝබර් 15, 2020

තිහේ දශකය ආරම්භය වන විට ලොව පුරා සිනමාව සිය නිහඬ පිළිවෙත අවසන් කරමින් සිටියේය. චාලි චැප්ලින් වැනි සිනමාකරුවන් සිනමාවේ නිහඬ වත අවසන් වීම දුටුවේ එහි ඇති අනන්‍යතාව අවසාන වන හැටියටය. එහෙත් ලොව පුරා ජනතාව සිනමාවට අද්දා ගැනීමට හඬ මතුවීම මහත් උපකාරි වූයේය.

අලුත් ආකාරයට හැඩ ගැසෙන්නට ලොව පුරා සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්ට සිදුවිණ. රැකෙනු නැත්නම් තැවෙනු එහි ධර්මතාව විය. තව දුරටත් නාට්‍ය ශාලාවන් ලෙස පැවැති බොහෝ ශාලාවන් පරිවර්තන යුගයට මුහුණු දිය නොහැකිව වැසී ගියේය. වඩා ලාභදායි වූයේ නාට්‍ය ශාලා ජන ආකර්ෂණය මත සිනමා ශාලා බවට පරිවර්තනය වීමය. එය ඉක්මනින් සිදුවිය යුතුවිය. ඒ සඳහා ගමේ හෝ නගරයේ කියා වෙනසක් වූයේ නැත .කොළඹ හෝ මහනුවර පිහිටි ඇතැම් රංග ශාලා සිනමා ශාලා බවට පරිවර්තනය වූ ආකාරයටම කොළඹින් එපිට කොස්වාඩියේ පීටර් ජෝන්ට අයත් වයලට් රංග ශාලාව ද සිනමාහලක් ලෙස පරිවර්තනය වූයේය. එහෙත් මේ සිනමා ශාලා බවට පරිවර්තනය වුණු නාට්‍ය ශාලා පමණක් නොව අලුත් සිනමා ශාලා සමහරක් ද සිනමා ශාලා ලෙස හඳුන්වා දීමට එතරම් උත්සුක වන්නේ නැත.ඒ වෙනුවට ඔවුන් සිංහල දැන්වීම් පළකරනුයේ නෘත්‍ය ශාලා ලෙස හඳුන්වාදෙමින්ය. එමෙන්ම පුවත්පත් පවා චිත්‍රපට සඳහා බහුලව භාවිත කරනුයේ චිත්‍ර නෘත්‍ය යන්නයි.

ඇකඩම් සම්මාන උලෙළ වැනි සම්මාන උලෙළෙක් 1929 වසරේ දී ආරම්භ වීමත් මේ සිනමා ජයග්‍රහණයේම එක් අවස්ථාවකි. ලෝකය පුරා සිනමා ප්‍රේක්ෂකයන් වර්ධනය කිරිමට ඇකඩම් සම්මානය ද මහත් රුකුලක් විය. මේ වන විට මෙරට සිනමා ප්‍රදර්ශනය කෙතරම් තරගකාරි ද යත් වඩා අලුත් චිත්‍රපට හොලිවුඩ් චිත්‍රපට පවා ඉක්මනින් දැක ගත හැකිවිය. 1933 වසරේ ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වන ග්‍රෑන්ඩ් හොටෙල් චිත්‍රපටය එය තිර ගත වූ 1932 වසරේ ඇතුළතදීම කොළඹ මැජස්ටික් සිනමාහලේ දී මදාන් තියටර්ස් මගින් ප්‍රදර්ශනය කරවීම මෙහි එක් අවස්ථාවකි. කථානාද සිනමාව සමඟ ඉන්දියානු සිනමාව භාෂා වශයෙන් බීඳී ගියද මෙරට ප්‍රේක්ෂකයන්ට එය රස විඳීන්නට බාධාවක් නොවුණේ ඒ සියල්ල ගීත හා නැටුම් නොඅඩුව තිබුණ එක අච්චුවේ චිත්‍රපට වූ නිසාවෙන්ය. ඉන්දියානු චිත්‍රපට බහුතරය දෙමළය. ඊළඟට හින්දිය. බෙංගාලි ,මරාති ,තෙළිඟු වැනි ප්‍රාන්ත භාෂා චිත්‍රපට ද මෙරට තිර ගත විණ. දෙමළ කථානාද සිනමාවේ පුරෝගාමි නළුවකු අධ්‍යක්ෂවරයෙක් වන රාජා සැන්ඩෝ රඟපෑ සතාරාම් ගෙයිටි සිනමාහලේ තිරග වෙද්දී මිස් ජමුනා හා මිස් හීරා හා මිස්ටර් ආප්තේ රගපෑ කොහිනූර් සමාගමේ නිෂ්පාදනයක් වන ගැම්බ්ලර් චිත්‍රපටය තිර ගතවූයේ ඔලිම්පියා සිනමාහලේදීය. කථානාද සිනමාව හඳුන්වා දී දශකයකට ආසන්න කාලයක් මෙරට ඇතැම් සිනමාශාලා නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදිණ.

සිනමා කෘති ජනප්‍රියවත්ම සිනමා තාරකාවන්ගේ ඉල්ලුම චිත්‍රපට රඟපෑමට එහා වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා යොමුවිණ. මේ සඳහා පුරෝගාමි වූයේ අදටත් ලොව පුරා කීර්තිමත් නමක් හිමි සබන් වර්ගයකි. එය අමෙරිකාවේ ලීවර් බ්‍රදර්ස් සමාගම මගින් නිපදවන ලද්දක් වන අතර මුලින් එළිදුටුවේ රෙදි සෝදන සබන් වර්ගයකම අතිරේක නිෂ්පාදනයක් හැටියටය. සිනමා තාරකා මෙන් අඳීන්නට පලඳීන්නට මෙන්ම ඔවුන්ගේ විලාසිතා හා ජීවන විලාසය අනුකරණය කරන පිරිසක් බිහිවීමත් සමග එමගින් ස්වකීය නිෂ්පාදන අලෙවිය සඳහා සුදුසු ප්‍රචාරක ක්‍රමවේදයක් ලෙස අත්හදා බලන්නට මේ සබන් නිෂ්පාදකයෝ හා ඔවුන්ගේ වෙළෙඳ ප්‍රචාරක සමාගම් තීරණය කළහ. 1925 වසරේ ආරම්භ කරන ලද සබන් සඳහා 1929 වසරේ දී ඇරඹි ප්‍රචාරක ව්‍යාපෘතිය එම අවදියේ විශාලතම ආයෝජනයක් විය. එකල හොලිවුඩ් සිනමා තාරකාවන් වෙතින් බොහෝ සිනමාකරුවන් බලාපොරොත්තුවූයේ සුමුදු හා පැහැපත් සමකි. සබන් දැන්වීම් ව්‍යපෘතියෙහිලා ප්‍රචාරක සමාගම උපයෝගි කොට ගත්තේ හොලිවුඩ් සිනමාකරුවන් හා සිනමා තාරකාවන් අතර ඇති සුමුදු හා පැහැපත් සමකට ඇති ඉල්ලුම පිළිබඳ සුප්‍රකට රහසයි. ඔවුහු එයට ආදේශ කළ අනෙක් ආකර්ෂණීය තේමාව වූයේ සිනමා තාරකාවන්ගේ රුව වඩන යන වදනයි. ආරම්භයේ මෙම අවස්ථාව ලද්දේ හොලිවුඩ් හා යුරෝපා සිනමා තාරකාවන් පමණකි. ඒ ද 26 දෙනෙකි. මෙහි ඉලක්ක කොට ගත් වෙළෙඳපොළ අයත්වූයේ ඉන්දියාව,ලංකාව, තායිලන්තය හා ආජන්ටිනාව යන කලාපයන්ට අයත් රටවල්ය.

පුරෝගාමී සිනමාකරුවකු වන කිංග් වයිඩර් නිහඬ සිනමා යුගයේ එනම් 1925 වසරේ දී නිර්මාණය කරන ලද ද බිග් පැරේඩ් චිත්‍රපටය මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ තිර ගත කරන ලද්දේ 1929 වසෙර්ය. පසුකලෙක යුද චිත්‍රපට නිර්මාණයේ දී බෙහෙවින් බලපෑම් කරන ලද චිත්‍රපටයක් වන බිග් පැරේඩ් යුද්ධයේ කෘරත්වය ඇති සැටියෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් ලෙස ද විචාරකයෝ සලකති. පළමු ලෝක මහා යුද්ධයේ දී අමෙරිකාවේ සිට ප්‍රංශයට ගිය තරුණ සොල්දාදුවන් දෙදෙනෙක් හා ප්‍රංශ යුවතියක් මෙහි ප්‍රධාන චරිත වූහ. එහි ප්‍රංශ යුවතිය ලෙස චරිත නිරූපණය කරන ලද්දේ රෙනී ඇඩෝරී විසිනි. ඇය සැබැවින්ම ප්‍රංශ ජතික කාන්තාවක වූවාය. තිස් පස් හැවිරිදි වියේ දී එනම් 1933 වසරේ දී සිය එකම කථානාද චිත්‍රපටය වූ කෝල් ඔෆ් ද ෆ්ලෙෂ් චිත්‍රපටය රූ ගන්වන විට බලවත්ව රෝගීවූ රෙනී වෛද්‍ය උපදෙස් නොතකා චිත්‍රපටයේ රංගනය කරගෙන 

ගියාය. එය ඇගේ අවසාන චිත්‍රපටය වූයේ තිස් එක් හැවිරිදි වියේ දී අකාලයේ මරු වැළඳ ගත් නිසාය.

රෙනී නිහඬ සිනමා යුගයේ බිහි වූ විශිෂ්ට නිළියක ලෙස පතළය. ඇය රගපෑ චිත්‍රපට මෙරට තිර ගත වූ නමුත් මෙරට දී මුල්වරට විශේෂ අවධානයට යොමුවන්නේ 1931 වසරේ දීය. ඒ ඇගේ සුමුදු සම පිළිබඳ දැන්වීමත් සමඟය. මේ දැන්වීම මෙරට සිනමා ඉතිහාසයේ සළකුණක් වනුයේ සිනමා තාරකාවන් යොදා පළ කරන මුල්ම දැන්වීම නිසා පමණක් නොවේ. සිනමා තාරකා හරහා වාණිජ අරමුණු ජනප්‍රිය කරවීමේ සංකල්පය මෙරටට මුල් වරට හඳුන්වා දෙන අවස්ථාව එමගින් සංකේතවත් වීම නිසාවෙන්ය. ලොව වටා සිනමා නිළියනගේ රුව වඩවන සබන් මෙරට වෙළෙඳ පොළට අන්තර්ජාතික සිනමා තාරකාවන් හරහා හඳුන්වාදෙනු ලබන මේ අවස්ථාව සිනමා තරු සංකල්පය ලෝකය පුරා මෙන්ම අප රට ට ද කිඳාබැස ගත් බව සිහිගන්වයි.

හොලිවුඩ් නිළියක වෙනුවට ඉන්දියානු නිළියක ඒ සදහා යොදා ගන්නට ඔවුන්ට වසර දොළහක්ම ගතවිය. එනම් 1941 වසර දක්වාය. මේ දැන්වීමට තෝරාගත් මුල්ම ඉන්දියානු සිනමා තාරකාව වූයේ ලීලා චිට්නිස් ය. 1909 වසරේ දී මරාති ජාතික බ්‍රාහ්මණ වංශික පවුලක උපන් ලීලා (විවාහයට පෙර නගර්කාර්) ඉන්දියානු සිනමාවේ මුල් යුගයේ එයට පිවිසුණු උගත් නිළියන්ගෙන් කෙනෙකි. සිනමාවට පිවිසීමට පෙර හෙන්රික් ඉබ්සන්, බර්නාඩ් ෂෝ, ස්ටැනිස්ලව්ස්කි වැනි සම්භාව්‍ය නාට්‍යකරුවන්ගේ නිර්මාණ ඇසුරෙන් තැනුණු මරාති නාට්‍යවල ප්‍රධාන චරිත රඟපෑ ඇය මුල්වරට සිනමාවට පිවිසියේ 1937 වසරේ තැනුණු ජෙන්ට්ල්මන් ඩාකු චිත්‍රපටයෙනි. ඒ වන විට ඇය දරුවන් හතර දෙනෙකුගේ මවකි. එවකට ඉහළම ඉන්දියානු සිනමා සමාගම් වූ ප්‍රභාත් පික්චර්ස්, රංජිත් මුවිටෝන් සහ බොම්බේ ටෝකීස් යන සමාගම් ත්‍රිත්වයේම කටයතු කළ ලීලා රඟපෑ විශිෂ්ටතම චිත්‍රපටයක් වූයේ කාන්ගන්ය. කාන්ගන් හින්දු පූජකවරයෙකු විසින් හදා ගත් දියනියක සාමාන්‍ය ඉඩම් හිමියකුගේ පුතෙකු හා ගොඩ නැගුණ ආලය පාදක කොට ගත් ආන්දෝලානාත්මක චිත්‍රපටයක් විය. ඇගේ විශිෂ්ට රඟපෑම නිසාම ඒ වන විට බොම්බේ ටෝකිස් සමාගමේ ඊළඟ නිෂ්පාදනය සඳහා දේවිකා රාණි වෙනුවට ඇය යොදා ගන්නට තිරණය විණි. අසාද්, බන්ධන්, ජූලා යන බොම්බේ ටෝකීස් සමාගමේ චිත්‍රපට ත්‍රිත්වයේම ප්‍රධාන චරිත රඟපාන ලද්දේ ලීලා හා අශෝක් කුමාර්ය. 1941 වසරේ ඇය සබන් දැන්වීමට තෝරා ගන්නා විට ඇය හින්දි සිනමාවේ ජනප්‍රියම හා කුසලතා පිරි සිනමා තාරකාව වූවාය. 1948 වන විට ඇය පෙම්වතියගේ සිට මවගේ චරිතයට තෝරා ගැනුණු අතර පසුව ඇය රඟපෑ අවාරා, ගංගා ජම්නා, ගයිඩ් වැනි චිත්‍රපටයන්හි චරිත ද කැපී පෙනිණ. 1942 වසරේ දී ඇය ආජ් කී බාත් නමින් සිනමා කෘතියක් අධ්‍යක්ෂණය කළාය. ඇය මෙන්ම ඇගේ සැමියා වූ ගජනාන් යාශ්වන්ත් චිට්නිස් ද ඉන්දීය නිදහස් සටනට සෘජුවම සම්බන්ධවූවෝ වෙති.