දිවිරඟමඬලින් සමුගත් ආනන්ද

ඔක්තෝබර් 22, 2020

මෙයින් වසර ගණනාවකට එපිට ඉන්දියාවේ තිරුවානන්දපුරම් නගරයේ දී සිනමාවේදි අභාවප්‍රාප්ත අමරනාත් ජයතිලක මට අමුත්තෙකු හඳුන්වා දුන්නේය. ‘මේ චාරු හසන්. කමල්හසන් ගේ අය්යා. සුහාෂිනිගේ (සුහාෂිනි මනිරත්නම්) තාත්තා.‘ සුන්දර මහලු මිනිසකු වන චාරුහසන් සිනහ මුසු මුහුණින් සිය හිතවතෙකු වූ අමරනාත් ජයතිලකට විරෝධය පළ කළේය.‘මම චාරුහසන්. හැමෝම මාව හඳුන්වා දෙන්නේ කමල්ගේ අය්යා හැටියට. මම ජාතික සම්මාන දිනපු නළුවෙක්‘. චාරුහසන්ගේ විරෝධය සහේතුකය. ඒ ඇත්තටම ඔහු ජාතික සම්මානයෙන් පුද ලද නළුවෙක් හින්දාය. එහෙත් ඔහු ගේ කීර්තිය සිය සොහොයුරාගේ ද දියණියගේද කීර්තියෙන් වැසී ගොස් තිබිණ. මේ සිදුවීම මගේ මතකයට නැගුණේ පසුගිය ඉරිදා කොළඹ කනත්තේ දී අවසන් ගමන ගිය ආනන්ද ෆොන්සේකා ගේ දේහය අභියසදීය. ආනන්ද අය්යා යනුවෙන් අප විසින් හඳුන්වනු ලද ගුණසිරි ආනන්ද ෆොන්සේකා ද නිළි රුජන වූ වැඩිමහල් සොහොයුරියගේ ද කුසලතා පිරි රංගවේදිනියක් වූ දියණිය ගේ ද කීර්තිය අභියස සැඟව ගොසින්ය. ටික කලක් රෝගාතුරවීම නිසා ක්ෂේත්‍රයෙන් තරමක් ඈත්වූ නිසාවෙන්දෝ බොහෝ ෆේස් බුක් හා වෙනත් වෙබ් අඩවිවල වාර්තා වූයේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ හා දමයන්ති ෆොන්සේකාගේ සොහොයුරා මෙන්ම සමනලී ෆොන්සේකාගේ පියා අභාවප්‍රාප්තවූ විත්තියයි. ඒ කථාව ඇත්තය. එහෙත් ආනන්ද තම සොහොයුරියගේ හා දියණියගේ කීර්තිය සමඟ හදුන්වා දෙනවාට වඩා තම නමින්ම සිනමා කේෂ‍ත්‍රයේ නමක් දිනා සිටියේය. නිකම්ම නොවේ තමා අධ්‍යක්ෂණය කරන ලද එකම චිත්‍රපටයෙන් විචාරකයන්ගේ අවධානයට පාත්‍රවූවෙකු හැටියටය. එමෙන්ම තමා අධ්‍යක්ෂණය කළ එකම ටෙලිවෘත්තාන්තයෙන් ඔහු හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන දිනා ගෙන සිටියේය. එමෙන්ම චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු හැටියට මෙන්ම ඡායාරූප ශිල්පියකු හැටියට ද ඔහු කීර්තිමත් නමක් දිනා සිටියේය. රෝගාතුර අවදිය වන විට ඔහු මෙරට විවාහ මංගල කේෂත්‍රයේද ඡායාරූප ශිල්පියකු ලෙස නමක් දිනා සිටියේය.

ඔහු උපන්නේ 1950 වසරේ පෙබරවාරි මස 22 වැනිදාය. ඒ එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලේ පස් වැනියා හැටියටය. දයානන්ද, රංජිත්, මාලිනී, මහින්ද, ඔහුට වැඩ්මහල්ය. කල්‍යාණි. උපාලි , ශ්‍රියාණි, නිමල්,රසාදරී හා දමයන්ති ඔහුට බාලයෝය. ලොකු අක්කා සිනමා නිළි රැජන කිරුළට අවතීර්ණ වද්දී ඇගේ අඩි පාරේ මුලින්ම ගියේ ආනන්ද ෆොන්සේකාය. අප ආදරයට ආනන්ද අයියා යනුවෙන් ඇමතුවත් ඔහු මවුපියන්ට සුදු පුතාය. වැඩිමහලු සොහොයුරන්ට සුදු මල්ලී ය. බාලයන්ට සුදු අයියාය.

ආනන්ද අයියා මුලින්ම සිනමාවට පිවිසියේ සහාය අධ්‍යක්ෂවරයෙකු හැටියටය. ඒ සංගීතා චිත්‍රපටයෙනි. අනතුරුව ඔහු නළුවකු විය. ඔහුගේ මුල්ම සිනමා රංගනය බෙහෝ දෙනාගේ මතකයෙන් බැහැර යන්නක් ද නොවේ. ඒ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ සුසිලාගේ ලොකු මල්ලී හැටියට කළ රඟපෑමය. පියාගේ මරණයෙන් පසු පවුලේ බර කරට ගෙන අවසානයේ නොසිතූ ඉරණමකට මුහුණ දෙන තරුණයෙකු හැටියට ඔහු එහි මතක සිටින රඟපෑමක් ගෙන ආවේය. එහි සුසිලා ලෙස රඟපෑවේ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය නිළි රැජන මාලිනි ෆොන්සේකාය. සුසිලා ගේ ජීවිතයේ ළඟින්ම සිටින සොහොයුරා හැටියට සිනමා කෘතියේ සේම නිළි රැජණ මාලනියගේ ජීවිතයේ ද ළඟින්ම සිටි සොහොයුරෙකු වූයේ ආනන්ද අයියා ය. තිලක සහ තිලකා, අනුපමා, වසන්තයේ දවසක්, සීතා, ටිකිරා, බඹර පැටික්කි, සසර චේතනා, හොඳම නළුවා, තක්කිට තරිකිට, මේජර් සර්, බට්ටි , අහිංසා ඔහු රංගනයෙන් හා සහාය අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට අතර ඇත.

ඔහු සිනමාකරුවකු ලෙස අවතීර්ණය වනුයේ ඔහු විසින්ම තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ උමයංගනා චිත්‍රපටය 1992 වසරේ තිරයට ගෙන එමින්ය. එය එම වසරේ සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය චිත්‍රපට ගොන්නට අයත් වූයේය. එමෙන්ම එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ජෝ අබේවික්‍රමයන් එවර සරසවිය සම්මාන උලෙළේ දී මෙන්ම ඕ.සී.අයි.සී. හා ස්වර්ණ සංඛ උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මනාය දිනා ගත්තේය. එමෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හොඳම ගීත රචක ලෙස සරසවිය හා ස්වර්ණ සංඛ උලෙළේ දී සම්මාන දිනා ගත්තේය. දමයන්ති ෆොන්සේකා කුසා සම්මානයක් සරසව්ය සම්මාන උලෙළේ දී දිනා ගත්තාය. එයට අමතරව සවර්ණ සංඛ උලෙළේ දී වෙස් ගැන්වීම උදෙසා රංජිත් මතඟවීර ද සහාය නළුවා ලෙස විමල් කුමාර ද කොස්තා ද ගායිකාව ලෙස මාලිනි බුලත්සිංහල ද ආනන්ද නිසා උමයංගනා වෙනුවෙන් සම්මනා දිනා ගති. එයටත් වඩා උමයංගනා චිත්‍රපටයෙන් ආනන්ද අයියා අපේ සිනමාවේ වාර්තාවක් තැබුවේය. ඒ තම වැඩිමහල් සොහොයුරිය හා බාල සොහොයුරිය මෙන්ම දියණිය ද එකම චිත්‍රපටයක යොදා අධ්‍යක්ෂණය කරමින්ය. උමයංගනා එවර ඉන්දියානු අන්තර්ජාතික සම්මාන උලෙළ සදහා ශ්‍රී ලංකා නිල නියෝජනය විය.

පසුව ඔහු 1998 වසරේ කෙම්මුර නමින් ටෙලි වෘත්තාන්තයක් නිර්මාණය කළේය. එවර සුමති සම්මාන උලෙළේ හොඳම ටෙලි නාට්‍යය ලෙස සම්මාන දිනූ එය ආනන්දට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා දුන්නේය. එපමණක් නොව සොහොයුරිය ද දියනිය ද සිනමාවේ මෙහෙයවා තැබූ වාර්තාව ටෙලිවිෂන ක්ෂේත්‍රයේ තැබුවේය.

ආනන්ද - නිමලා යුවළට දරුවෝ තිදෙනෙකි. සුරංග, අසංග පුතනුවන් හා දියණි සමනලීය. පසුගිය සතියේ සරසවිය කවරය සැරසූ කුෂේණ්‍යා ආනන්දගේ එක් මිනිබිරියකි. ඇය රූකඩ පැංචි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන්නිය. සෙහොයුරියන්ගේ ද දියණියගේද සරසවිය කවර දැක සතුට විඳ සිටි ආනන්ද මිනිබිරියගේ කවරයේ ඡායාරූපය දුටුවේ නැත. එය එළි දකින විට ඔහු අවසන් නින්දට සැරසෙමින් සිටියේය.

ආනන්ද අයියාගේ අවමඟුල සිදුවන විට නිළි රැජන මාලිනිය මාස කිහිපයක් ඇතුළත සිදූවූ බාල සොහොයුරන් දෙදෙනෙකුගේම අභාවයෙන් කම්පාවට පත්ව සිටියාය. හරියටම මාස තුනකට පෙරාතුව ඇගේ තවත් බාල සොහොයුරෙක් වූ උපාලි ( ජනප්‍රිය නිළි සෙනාලි ගේ පියාණන්) ද මෙලොව හැර ගොස් සිටියේය.

මේ ලිපිය ආරම්භයේදී චාරු හසන් සම්බන්ධයෙන් කළ හැඳින්වීම ආනන්ද අය්යා කෙරෙහි නම් අවලංගු වේ. ඒ ආනන්ද අය්යා තම කීර්තිය ගැන කිසි කලකත් කම්පා නොවුණු වග මා දන්නා බැවින්ය.