චිත්‍රා වාකිෂ්ඨත් යන්නට ගියාය

ජුනි 6, 2019

අප අතරින් වියෝ වූ චිත්‍රා වාකිෂ්ඨ මට මුලින්ම හමුවන විට ඇය චිත්‍රා ධනවලවිතාන නම් සුරූපී තරුණියකි. පුදුමය නම් මා ඇය මුලින් දකින විට මගේ වයස අවුරුදු නවයක් වීමය. මට ඒ තරම්ම එය මතක 1956 වසරේ මැතිවරණ උණුසුම රටේ තිබීම නිසාය. හැම පැත්තකම නිල්, රතු, කොළ ලෙළ දෙමින් තිබූ නිසාය. මගේ මතකය හරි නම් එය පාසල් නිවාඩු සමයකි. අප පාසල් නිවාඩුව ගත කිරීමට ගියේ මරදානේ ආනන්ද විද්‍යාලය අසලින් ඇති ආනන්ද මාවතේ කෙළවර තිබූ නාගරික ක්‍රීඩාංගණය අසල පිහිටි මාලිගාකන්ද ආණ්ඩුවේ පාසලේ ගුරු නිවාසයටය. එහි විදුහල්පති වූයේ මගේ ලොකු තාත්තා වූ තලගල මහතාය. ඔහුගේ බිරිය වූ මගේ ලොකු අම්මා ද පාසල් ගුරුවරියකි. අපි (අම්මාත්, නංගීත්, මාත්) නිවාඩුවට ලොකු අම්මලාගේ ගුරු නිවාසයට ගියෙමු.

‘පුංචි අම්මේ, තාත්තාගේ පරණ ගෝලයෝ වගයක් පහළ පන්තියක නාට්‍යයක් පුරුදු කරනවා. පුංචි අම්මා කිව්වොත් තාත්තාට අපිට නාට්‍යය බලන්න යන්න ලැබේවි’ මගේ ඥාති අක්කා කීවාය.

අපට නාට්‍යයේ පුහුණු කිරීම් නැරඹීමට අවසර ලැබිණ. නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවේ පසු කලෙක කලා ලෝකයේ ප්‍රකට නළු නිළියන් වූ නවනන්දන විජේසිංහ, රැල්ෆ් විජේසේකර, රංජිත් දයානන්ද හා චිත්‍රා ධනවලවිතාන (පසුව වාකිෂ්ඨ) යන පිරිසය.

නාට්‍ය පුහුණුව බලා සිටියදී රැල්ෆ් විජේසේකර (වැදිබිම, සීතල වතුර, වහල් දූපත චිත්‍රපටවල රඟපෑ නළුවෙකි) තම පෙම්වතිය වූ චිත්‍රා ධනවලවිතාන සිපගන්නා දර්ශනයක් රඟ දැක්වෙමින් තිබුණි. මට ලැජ්ජා සිතුණි. කිසිවෙකු මගේ අත තදින් අල්ලාගෙන ඇදගෙන යන බව දැනුණි. ඒ ලොකු අම්මාගේ අතය.

‘මේ බයිස්කෝප් මේ නොදරුවට පෙන්වන්න හොඳද?’ ලොකු අම්මා තරහෙන් කීවාය. ඇය මගේ අත අතහැරියේ ගුරු ගෙදරට ගිය පසුවය.

එදා මා දුටු චිත්‍රා නම් එම තරුණිය සිනාවෙන් සපිරි දැකුම්කලු රූමතියක් බව සිහිනෙන් ගෑ සුවඳක් සේ මට මතකය. මා විසින් 1998 වසරේ ලියා පළ කළ ‘කොස්ගස් හන්දිය’ නම් කෘතියේ මේ සිද්ධිය සඳහන් කර ඇත.

චිත්‍රා රඟපෑ එම වේදිකා නාට්‍යයේ නම ‘දීපා’. ධර්ම ශ්‍රී කල්දේරා විසින් අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යය මුල් වරට බොරැල්ලේ වයි. එම්. බී. ඒ. ශාලාවේ වේදිකා ගත වන විට එහි වේදිකා සැරසිලි හා වෙස් ගැන්වූයේ මගේ මාමා කෙනෙකු වන ගුණරත්න රත්නායකය. ‘දීපා’ හා ‘පිළිගත් වරද’ නාට්‍යවල රඟපෑ චිත්‍රා මුල්වරට රඟපෑ චිත්‍රපටය වූයේ සිරිසේන විමලවීරගේ ‘පොඩි පුතා’ චිත්‍රපටයයි. ඒ 1955 වසරේදීය.

1936 දෙසැම්බර් 23 වෙනිදා පුංචි බොරැල්ලේ උපත ලැබූ චිත්‍රා ධනවලවිතාන අධාපනය ලබා ඇත්තේ මරදානේ පුංචි බොරැල්ලේ බෞද්ධ ගැහැනු පාසලෙනි. එය අද සංඝමිත්තා විද්‍යාලයයි. කුඩා කල සිට කවි, විරුදු, ගාථා ආදිය ගායනා කිරීමේ කුසලතාව උරුම කර ගත් චිත්‍රා ගැන ඇය සමඟ බොරැල්ලේ කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාමයේ ඕ. බ්. ජ් ඉරු දින දහම් පාසලේ එකට ඉගෙන ගත් කල්‍යාණි අබේසිංහ නම් තම මව කී කතාවක් ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මට කීය. කල්‍යාණි අබේසිංහ (අභයසුන්දර) මීට කලකට ඉහත මිය ගිය අතර ඇය ශාන්ති නිකේතනයේ සංගීතය හැදෑරූ සංගීත විශාරදවරියකි. කලා කීර්ති විමල් අභයසුන්දරයන් සමඟ විවාහ වූ ඇය ලේඛිකාවක් ද වූවාය.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් අපට මෙසේ පැවසුවේය.

‘අම්මත්, චිත්‍රා නැන්දාත් දහම් පාසලේ එකට ඉගෙන ගත් මිතුරියෝ දෙදෙනෙක්. චිත්‍රා නැන්දාට හොඳට කවි, විරිදු කියන්න දක්ෂලු. කෝට්ටේ ප්‍රභූ පන්තියේ විවාහ උත්සවවලදී චිත්‍රා නැන්දාත් අම්මාත් ජයමංගල ගීත ගැයූ බව අම්මා අපට කියලා තිබුණා. මේ දක්ෂතාව නිසාම චිත්‍රා නැන්දා ගුවන් විදුලියේ ‘ළමා තීරයට’ බැඳී කවි විරුදු කීවාලු.’

1945 ලංකා ගුවන් විදුලියේ ‘ළමා පිටියේ’ කවි, විරුදු ගැයූ චිත්‍රා මුලින්ම රඟපෑ වේදිකා නාට්‍යය ඒ. එම්. එල්. සොයිසාගේ ‘බහිරවයා’ නාට්‍ය බව පසුගියදා ‘රසඳුන’ පුවත්පතේ පළව තිබුණි. ධර්ම ශ්‍රී කල්දේරාගේ ‘දීපා’ නාට්‍යයේ හා ‘පිළිගත් වරද’ ‘පංච කල්‍යාණි’, ‘සාජන් වීරසිංහ’ නාට්‍යවල ඇය රඟපෑවාය. ‘දීපා’ නාට්‍යය පසු කලෙක ධර්ම ශ්‍රී කල්දේරා ‘දීපාංජලී’ නමින් සිනමාවට නැඟුවේය. මේ අතර චිත්‍රා ගුවන් විදුලි ශිල්පිනියක් ලෙස පී. වැලිකලගේ ‘ගුවන් විදුලි රඟමඬලින්’ සිය දස්කම් පෑවාය. එකල අද මෙන් නොව ගුවන් විදුලි නාට්‍ය උසස් ප්‍රමතියකින්, ගුණාත්මක බවින් උසස් තත්ත්වයක තිබුණි. ජේ. එච්. ජයවර්ධන, වික්ටර් මිගෙල්, රත්නාවලී මිගෙල්, වොලී නානායක්කාර, නෙතලි වයලට්, පී. ඊ. හල්වල, පී. දේවසිරි පෙරේරා, ලොයිඩ් වාකිස්ඨ, චිත්‍රා ධනවලවිතාන, ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, ධර්ම ශ්‍රී ජේ. දහනායක ආදීන් එදා වඩාත් කැපී පෙනී ඇත. ගුවන් විදුලි රඟමඬල නිසා විවාහ වූ කිහිප දෙනෙක්ම වූහ. වොලී නානායක්කාර නෙතලි වයලට් සමඟ ද, ලොයිඩ් වාකිෂ්ඨ චිත්‍රා ධනවලවතාන සමඟ ද විවාහ වූහ.

වරක් චිත්‍රාගේ ඥාති දියණියක් වූ චන්ද්‍රා වාකිෂ්ඨ මට කීවේ ඇය ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ලැබූ රු: 5000 න් කෝට්ටේ රජ මහා විහාර මාවතේ කෙළවරින් නිවසක් තැනීමට ඉඩමක් ලබා ගත් බවය. චන්ද්‍රා වාකිස්ට හා ඇගේ සැමියා සරත් දුෂාන්ත ද සිල්වා ප්‍රංශයේ කාලයක් පදිංචිව සිටි ප්‍රංශයට එන සියලු කලාකරුවන්ට ආගන්තුක සත්කාර උපරිමව ඉටු කළ යුවළකි. චිත්‍රා මියගිය දින චන්ද්‍රා ප්‍රංශය බලා ගියාය. ලංකාවේ සිටියා නම් චිත්‍රාගේ අවමඟුල් වැඩ කටයුතු සංවිධානය කිරීමේ පෙරමුණ ගන්නේ ඇයයි.

චිත්‍රා හා ලොයිඩ් යුවළගේ ඥාතීන් දෙදෙනෙක් කලාවට සම්බන්ධව සිටියහ. ‘සරසවිය’ පුවත්පතේ ‘තිරතරු තොරතරු’ පිටු දෙක සකස් කළ කුමාරදාස වාකිෂ්ඨ ලොයිඩ්ගේ ළඟම ඥාතියෙකි. චිත්‍රපට ගීත රචකයකු ලෙස ප්‍රතිභාව දැක් වූ උපාලි ධනවලවිතාන චිත්‍රාගේ ළඟම ඥාතියෙකි. කුමාරදාස හා උපාලි ද ජීවතුන් අතර නැත.

ලොයිඩ් හා චිත්‍රා වේදිකාවේද සිනමාවේ ද කැපී පෙනෙන චරිත වූහ. චිත්‍රා සිරකරුවා, සීතල වතුර, රෑන ගිරව්’, සමාජ සතුරෝ, මීමැස්සෝ, පාර දිගේ, ගොළු හදවත, සිනාවයි ඉනාවයි, අහස් ගව්ව, ගැහැනු ළමයි, වජිරා, තනි තරුව, යුගාන්තය, කොටි වලිගය, පාලම යට, මුවන් පැලැස්ස, කදිරා, මායා, සුජාතා, සඳමඬල, වාසනා වේවා, චෙරියෝ කැප්ටන් චිත්‍රපට ඇතුළු චිත්‍රපට 75 ක පමණ රඟපෑවාය. ඇය රඟපෑ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයට 1979 ජනාධිපති සම්මාන උලෙළේදී කුසලතා සම්මානයක් ඕ. සී. අයි. සී, සිග්නිස්, උණ්ඩා සම්මාන ලබා ගත්තාය. සිනමාවේ වරෙක කාරුණික මවක් වූ ඕ වරෙක සැඩ පරුෂ ගති ඇති මවක් ද විටක උපහාස මුසු චරිතයක් ලෙස විවිධ භූමිකා රඟපා ඇත. චිත්‍රා ‘කාලගෝල’ නාට්‍යයේ ගැයූ ‘රසදර සිරයා පරදන’ ගීතය තවමත් ප්‍රකටය. ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍ය මාලාවේ සොමි නෝනාගේ චරිතය අපට අමතක කළ හැකිද? හිමගිරි අරණ, මල් කැකුළක් ඉකිබින්දා ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑවාය.

චිත්‍රාගේ දයාබර සැමියා ගුවන් විදුලිය, වේදිකාව, සිනමාව, යන මාධ්‍යත්‍රයෙහිම කැපී පෙනුණ චරිතයකි. සිහින හතක්, කිංකිණි පාද, රෑන ගිරව්, බඩුත් එක්ක හොරු, මී මැස්සෝ, ගැහැනු ළමයි, අධිෂ්ඨාන, තනි තරුව, වදුල චිත්‍රපටවලද, වෙස්මුහුණු ඇතුළු නාට්‍ය කිහිපයකම රඟපෑවේය. 1930 උපත ලැබු ඔහු සිය ජීවිතයේ වසර 51 නිමා කොට 1981 මිය ගියේය.

පුතුන් තිදෙනෙකු (රන්ජන්, ශම්මි, ප්‍රාන්) හා දියණියකගේ දෙමාපියන් වූ ලොයිඩ් හා චිත්‍රාගේ කලා කෞශල්‍යය ඉදිරියට ගෙන ගියේ සෙනුරි මිනිබිරියයි. ප්‍රාන් වාකිෂ්ඨගේ දියණියක් වූ සෙනුරි ‘අප්පච්චි’ ඇතුළු ටෙලි නාට්‍යය කිහිපයක රඟපෑ ඇත. ‘අප්පච්චි’ ටෙලි නාට්‍ය රංගනයට සුමති ඇතුළු සම්මාන උලෙළවලින් සම්මාන ලබා ගත්තාය. ප්‍රාන් ස්වාධීන රූපවාහිනි සේවයේ හඬ කැවීම් අංශයේ ප්‍රධානියාය.

ඒ.ඩී.රන්ජිත් කුමාර 
අමිත් එස්.සේනාරත්න