ආසියාතික ස්ත‍්‍රිත්වයේ ලාලිත්‍යය

රැජන මාලිනී
අප්‍රේල් 30, 2020

 අද අපේ‍්‍රල් 30 වැනිදාය. ලාංකේය සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ උපන්දිනයය. රෝග බියකින් මුළු රටම තැති ගැන්වුණු මෙවන් මොහොතක පවා අපට ඇය අමතක කළ නොහැක්කේ ඇය සිංහල සිනමාවේ අග රැුජන හෙවත් දේශිය රංගන ශිල්පීන් ගේ මුද්‍රාව වන බැවිනි.රංගනය පිළිබඳ සිද්ධාන්ත , පාඨමාලා, රංගන පාසල් තුළින් හදාරා නැති ඇය ඇගෙන් පසු බිහිවූ සියළු රංගන ශිල්පිණීන් හට රංගන පාසලක් වූ අපුරුව පමණක්ම ඇය නිළි රැුජනක වශයෙන් අභිෂේක කරන්නට ප‍්‍රමාණවත්ය.
 
 මේ මහා රංගන පාසල අපිට අභිමානයකි. ආඩම්බරයකි.එහි පාදම මෙරට ජන ජීවිතයේ ආදරණීය හුස්මෙන් ජිවමානව ගොඩනැඟීම කෙතරම් ආශ්චර්යයක්දැයි සිතේ. ඇය අපේ ජන ජීවිතයේ සංස්කෘතිකාංග තුළ හැදී වැඩෙන ගැහැනිය තුළ නිරූපණය වන තරුණිය, පෙම්වතිය, සහෝදරිය, දියණිය, බිරිය, මව ආදී වූ විවිධ භූමිකාවන් තිරය මත ප‍්‍රතිරූපණය කළ සංකේත රූපය වූවාය. මේ ප‍්‍රතිරූපය දශක ගණනාවක් පුරාත් අදත්, හෙටත් මතු දිනත් කිසිදා මිලින නොවන පරමාදර්ශි රූපයක් වී හමාරය. මාලිනී ෆොන්සේකා අපට එතරම්ම වැදගත් වන්නේ එහෙයිනි.
 
 මාලිනි ෆොන්සේකාගේ රංගනය මුලින්ම මෙරට කලා මාධ්‍යයක් තුළ සටහන් වන්නේ වේදිකා මාධ්‍යය තුළය. එහෙත් ඇය මෙරට සමාජ ගත වන්නේ සහ රංග කාර්යයේ පරිපාකයට පත් වන්නේ සිනමා නිළියක වශයෙන්ය. එච්.ඞී. වීරසිරිගේ නොරත රත‘ , බී රත්නායක ගේ අමල් බිසෝ, සැම් පෙරේරා ගේ ඉව බව නැති ලොව‘, ඇස් . කරුණාරත්නගේ ගුත්තිල, එරබදු මල් පොට්ටු පිපිලා, හිරු අවරට ගියාදෝ, ධර්මදාස ජයවිරගේ අකල් වැස්ස, සුනන්ද මහේන්ද්‍ර ගේ සයුරෙන් ආ ළඳ පේ‍්‍රම කුමාර එපිටවෙල ගේ නුවණ පොදිය‘, සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගේ බකතපස්, සුමන ආලෝක බණ්ඩාර ගේ ”නිදි කුම්බා” , ගුණසේන ගලප්පත්තිගේ ”ලියතඹරා” වැනි නාට්‍ය මෙකි මාධ්‍ය තුළ ඇගේ රංගනයෙන්ආලෝකමත් වූවාය. එපමණක්ද නොව 1965 වසරේදී ඇය ”අකල් වැස්ස” නාට්‍යයේ රඟපෑම උදෙසා හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මානයද දිනා ගත්තාය. වේදිකාවේ සිය දක්ෂතා , හැකියාවන් සියල්ල පළ කරමින් සිනමා රංගනයට පිවිසි ඇය වේදිකාවේ රඟ සොබා කිසිවක් නොදන්නියක මෙන් සිනමාව තුළ ධ්‍යානගත වූයේ සංසාර පුරුද්දෙන්ම සිනමාවේ පංගුකාරකම රැුගෙන ආ නිසාදැයි සිතේ.
 
 ඇය සිනමාවට ප‍්‍රවිෂ්ට වන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත‍්‍රපටයෙන්ය. ඉන් පසුව ඇය යළිත් වේදිකාවට අවතිර්ණ වන්නට නොසිතුවාය.වරක් ප‍්‍රවීන නාට්‍යෙව්දී සුගතපාලද සිල්වා කියා සිටියේ ”සිනමාව විසින් මාලිනිය උදුරා ගනු ලැබූ බවකි.” ඒ උදුරා ගැනිම කෙතරම් සදාචාරදැයිඅපට දැනෙන්නේ දැන්ය. ඇගේ සිනමා රංග කාර්ය දෙස ආපස්සට සිතා බලත්දී සම්භාව්‍ය සිනමාව තුළත් වාණිජ සිනමාව තුළත් ඇගේ රංගනයේ අපූර්වත්වය අදද අපි මහත් ආශ්වාදයකින් විඳින්නේ ඒ නිසාය.
 
 මාලිනිය සිනමා රංගනයට එක්වෙන අවදිය වන විටත් දේශීයත්වයට නැඹුරු වෙමින් සිනමා රංගනයේ යෙදුන නිළියන් කිහිප දෙනෙක්ම විය. ඒ අතර අයිරාංගනී සේරසිංහ, පුණ්‍යා හීන්දෙනිය, අනුලා කරුණාතිලක වැන්නෝ වූහ. ඔවුන් රැුගෙන ආ ගමන් මඟ තව දුරටත් වර්ධනය කරමින් ඉදිරියට රැුගෙන ගියේ මාලිනිය. එහෙත් මාලිනි ගේ රංග විධි ක‍්‍රමය මේ කිසිවෙකුගේ රංග විධි ක‍්‍රමයක් නොවූයේය. එය ඇයටම අනන්‍ය වූ ගමන් විලාසයකින් දේශිය සිනමාව දිග් විජය කළ විප්ලවීය ගමනක නියුතු වූයේය. මේ නිසාම ඇගේ ප‍්‍රථම චිත‍්‍රපටය වු ”පුංචි බබා” තිරගත වන්නටත් ප‍්‍රථම ඇයට චිත‍්‍රපට ගලා ආවේය.
 
 මාලිනී ගේ රංගන ජිවිතයේ අපට අමතක කළ නොහැකි රංග කාර්යයන් බොහෝය. ඒ අතරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ”නිධානය‘ චිත‍්‍රපටයේ” අයිරින් අපට කිසිසේත්ම අමතක කළ නොහැකිය. 1972 වර්ෂයේ තිරයට පැමිණි මේ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් එම වර්ෂයේ පැවති පස්වැනි විචාරක සම්මාන උළෙලින් විචාරක සම්මානය ලැබුවාය. ඇගේ සිනමා සම්මාන පෙළහරේ පළමුවැන්න වූයේද එයයි. සිනමාවට පැමිණ වසර හතරක් වැනි කෙටි කාලයක් ඇතුළත සිංහල සිනමාවේ ධාරා කිහිපයක චිත‍්‍රපට වලට දායක වෙමින් ඒ එක් එක් අංශය වෙනුවෙන් ඇගේම රංග ශෛලියක් ප‍්‍රධානය කරමින් පේ‍්‍රක්ෂකාගාරය තුළ ඈ වෙනුවෙන් වෙනම ප‍්‍රතිරූපයක් ගොඩනඟා ගන්නට ඇයට හැකි විය.
 
 1971 තිර ගත වූ ”හතරදෙනාම සූරයෝ” වැනි චිත‍්‍රපටයක් අදද අප නරඹනුයේ මහත් වූ අභිරුචියකිනි. එකම කාල වකවානුවක රූගත වන්නට ඇති මේ චිත‍්‍රපට ද්විත්වයේ රංගනය ඒ ඒ චිත‍්‍රපටයට අනන්‍යව නිරුපණය කරන අයුරු අද විමර්ශනය කරන විට ඈ කෙතරම් සියුම් ලෙස මෙකි රංග කාර්යයන් ග‍්‍රහණය කරගෙන සිටියාද යන්න පැහැදිලි වේ. මාලිනිය ගේ මේ හැකියාව පිළිබඳ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවා ඇගැයුමට ලක්කර ඇත.
 
 70 දශකයේ ආරම්භයත් සමඟම ජනප‍්‍රිය සිනමාවේ තාරකාව ලෙසින් මාලිනී දින දින පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය, ගෞරවය වැඩි දියුණු කර ගත්තාය. ඇය පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය දිනා ගත්තේ ඔවුන්ගේ හදවතේ ජීවත්වෙමිනි. ඇගේ රැුඟු‍මින් ප‍්‍රබෝධමත් වුණු පේ‍්‍රක්ෂකයින් ඇයව අනුකරණය කරන්නට පවා එකල පෙළඹුණාය. මාලිනි විදියට අඳින්නට පළඳින්නට, ඇගේ විදියට කොණ්ඩය සකසා ගන්නට ඇය විදියට සිනාසෙන්නට ,කතා කරන්නට තරුණියන් පෙළඹූණාය. ලාංකේය සමාජ සංස්ථාව තුළ මේ බලපෑම ගොඩ නැගෙන්නට විශේෂයෙන්ම හේතු වූයේ මේ කාල වකවානුව තුළ ඇය තිරයේ ප‍්‍රති නිර්මාණය කළ සමාජ ආදරය දිනා ගත් නොයෙක් ස්ත‍්‍රී චරිතයන්ය.
 
 මාලිනී තිරයේ ආකර්ශණියම පෙම්වතිය වෙමින්මෙරට පේ‍්‍රක්ෂකාගාරයේ පෙම්වතියන්ට ආදරය බෙදා දුන්නාය. විරහවේ වේදනා කඳුළු කෙතරම් බර දැයි කියා දුන්නීය. එපමණක් ද නොව මෙරට සියළු පෙම්වතුන් ට තමන් අපේක්ෂා කරනා පෙම්වතියගේ ප‍්‍රතිරූපයට සංකේතයක් වූවාය. සියළු සැමියන් ප‍්‍රාර්ථනා කරනා බිරින්දෑවරුන්ගේ ස්ත‍්‍රී රූපයේ මුද්‍රාව ඇය වූවාය. ආසියාතික පිරිමින් ගේ සිත් ආලෝලනය කරනා ස්ත‍්‍රීත්වයේ ලාලිත්‍යයද ඇයමය.
 
 ඇය දේශීය සිනමාවට යුග කිහිපයක් බිහි කළාය. මේ අතරින් ගාමිණී -මාලිනී යුගය හා විජය - මාලිනි යුගය වඩා ප‍්‍රබල වූයේය. ඇය ගාමිණී ෆොන්සේකා සමඟ චිත‍්‍රපට ගණනාවක රඟපෑවාය. පාරා වළලූ ‍(1969* හතරදෙනාම සූරයෝ (1971*, නිධානය (1972*, සහනය (1972*, එදත් සූරයා අදත් සූරයා (1972* සදහටම ඔබ මගේ (1973*, හොඳම වෙලාව (1973*, හොඳයි නරකයි (1973*, කස්තුරි සුවඳ (1973*, සැණකෙළිය (1974*, ආවා සොයා ආදරේ (1975*, සුරයා සූරයාමයි (1975*, නයනා(1975*, කවුද රජා (1976*, දෙවියනි ඔබ කොහිද (1976*වැනි චිත‍්‍රපටවල රඟපාමින් දේශීය සිනමාවට නොමියෙන මතක රැුසක් ඉතිරි කළාය.
 
 මාලිනි ධර්මසේන පතිරාජයන් ගේ චිත‍්‍රපටවලකළ රංගනයන් බොහෝ විචාරක අවධානය දිනා ගත්තේය. ඔවුන් පවසනුයේ මාලිනී ෆොන්සේකාගේ රංග මහිමය ප‍්‍රබලව මතුකර ගත් සිනමා කරුවා වන්නේ ධර්මසේන පතිරාජ කියාය. පතිරාජ ගේ ”එයා දැන් ලොකු ළමයෙක්” , බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ වැනි චිත‍්‍රපට ඒ අතර සුවිශේෂීය. ”එයා දැන් ලොකු ළමයෙක්” චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් මාලිනී මොස්කව් අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේ විශේෂ ඩිප්ලෝමා සහතිකයක් දිනා ගත්තාය. එය ශ‍්‍රී ලාංකික නළුවෙකු හෝ නිළියක ලද ප‍්‍රථම අන්තර්ජාතික ජයග‍්‍රහණයයි. එදා මෙදා තුර අපේ නළු නිළියන්අන්තර් ජාතික ජයග‍්‍රහණ රාශියක් දිනා ඇති අතර එම ජයග‍්‍රහණයන්ගේ පෙර ගමන්කාරිය වන්නේද මාලිනී ෆොන්සේකාය.
 
 සිංහල සිනමාවේ ආකර්ශණීයම පෙම්වතුන් යුවළ ලෙසින් විජය- මාලිනී යුගයේ බිහිවූ චිත‍්‍රපට බලන්නට පේ‍්‍රක්ෂකයා පැමිණියේ පෝලිමේය. වාණිජ සිනමාවේ දීප්තිමත්ම තරු යුගලය ලෙසින් ඔවුන් දෙපළගේ පෙම් රුඟු‍ම් රැුගත් චිත‍්‍රපට රැුසක් අපේ සිනමා ඉතිහාසය විචිත‍්‍රවත්කල ආකාරයකාටවත් අමතක කල නොහැකිය. ගාමිණී - මාලිනි , විජය -මාලිනි සේම ටෝනි රණසිංහ , තිස්ස විජේසුරේන්ද්‍ර, රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, ලකී ඩයස් ආදින් සමඟද පසුව මාලිනී ප‍්‍රධාන චරිත රංගනයට එක් වූවාය.
 
 මාලිනි රඟපෑි සිරිපාල හා රන්මැණිකාි චිත‍්‍රපටයද ඇගේ රංගන ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.බොහෝ විචාරකයෝ මේ රංගනය සිංහල සිනමාවේ දක්නට ලැබෙන හොඳම චරිත නිරූපණයන් අතරට වැටෙන බව පවසති. එකී රංගනය වෙනුවෙන් 1977 දී හයවැනි ඉන්දීය අන්තර්ජාතික චිත‍්‍රපටඋළෙලේ දී මාලිනීට විශේෂ ගරු සඳහන් සහතිකයක් හිමි විය. මේ අන්තර්ජාතික ඇගයීම් පෙළහර ප‍්‍රසන්න විතානගේ ගේ ”ආකාස කුසුම්” දක්වාම දිගු විය.
 
 70-80 දශකයන්හිඇගේ ජන කාන්ත නිළි ජීවිතය තුළ සිංහල සිනමාවට තිළිණ කළ බොහෝ චිත‍්‍රපට රංගනයන් සදා අනුස්මරණීයය. ඒ අතර‘ දැන් මතකද, හතරදෙනාම සූරයෝ, එදත් සුරයා අදත් සූරයා, සහනය, මේ දෑස් කුමටද, ආදරේ හිතෙනවා දැක්කම, සුහද පැතුම, තුෂාරා, සදහටම ඔබ මගේ, හොඳම වෙලාව, කස්තුරි සුවඳ, සුසී, සැනකෙළිය, ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි, සංගීතා, කවුද රජා, පෙම්බර මධූ, අපේක්ෂා, අනුපමා, වසන්තයේ දවසක්, රක්තා ආදි වූ සිනමා සිහිවටන අපට අමතක කළ නොහැකිය.
 
 දිගු කාලින රංගන ජීවිතය තුළ ඇය ගෞරවාන්විත වෘත්තීය ජීවිතයක් ගත කරන්නට හැම විටම කටයුතු කළාය. එය තමන් ගැනම පමණක් නොසිතා කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් හා අනාගතේ එයට පිවිසෙන අය උදෙසා සත් බාවයෙන් කළ කටයුත්තක් විය.ඇය සදා සෙනෙහසින් බදා ගත් රංගනය නම් වූ වෘත්තීය ට කිසිවෙකුටත් නිග‍්‍රහ කරන්නට , අවතක්සේරු කරන්නට අවමන් කරන්නට ඇය ඉඩ නොදුන්නා සේම ඊට එරෙහිව නැඟී සිටින්නටද කිසි දිනෙකත් පසුබට නොවූවාය. රැුජනක වීමේ කිරුළ ඈ හිස පළඳා ගත්තද , වී කරලක් පැසෙන්නට පැසෙන්නට බිමට නැඹුරු වන්නාක් සේ ඇයගේ නිහතමානිත්වයේ , අව්‍යාජත්වයේ සොඳුරු බවද සියළු ජන හදවත් පුරා ඉසින්නට ඇය පුරුදු වූවාය. නිළි කිරුළද කිරුළක්ව නොකොට ගෙන මාලිනි ෆොන්සේකා නම් ස්ත‍්‍රී චරිතය තුළ පවතින අති මානුෂිය හැඟිම් සමඟ ඇය පොළොවේ පස ගසා ගණු දෙනු කරන්නට කටයුතු කළාය. තමන් මෙළොවට බිහි කළ මවුපියන්ට ආදරණීය දියණියක ලෙසින්, තම සහෝදර සහෝදරියනට සෙනෙහෙබර සොයුරියක ලෙසින් මෙන්ම ස්ත‍්‍රීත්වය තුළ මැවෙන සියළු චරිතාංගයන්ට සෙනෙහෙලතාවක ලෙසින්ම සෙනෙහෙවන්ත වූවාය.
 
 ඇයට කිසි දිනක සිනමාවෙන් තොර ජීවිතයක් තිබුණේ නැත. තම ජිවිතයේ සියළු අවදීන් ඇය ගෙවා දමනුයේ සිනමාව තුළ සිටය. තමන් හැදු වැඩු මව්පියන්ට සේම සිනමාවටද ප‍්‍රති උපකාර කිරීමේ සුපසන් හදවතක් ඇයට විණ. ඒ වෙනුවෙන් වරින් වර ඇය විවිධ සංවිධාන හා අත්වැල් බැඳ ගත්තාය. සිනමාව නඟා සිටුවීම උදෙසා මැදිහත් කරුවෙක් ලෙස උනන්දුකරවිමට ඇය සියළු රංගන ශිල්පින් ශිල්පිණියන් ඒකරාශි කොට නළු නිළි සංගමය ආරම්භ කරන්නටද අඩිතාලම දැමුවාය. මහා වෘක්ෂයක් සේ තමන්ට හැදි වැඩෙන්නට සරු පස එකතු කළ සිනමාවට සිය කෘතඥතාවය පුද කරමින් තමන් සිනමාවෙන්ම උපයා ගත් ධනයෙන්ම පෙරළා සිනමාවට ආචාර කරන්නට ඇය චිත‍්‍රපට නිෂ්පාදකවරියක් සේම චිත‍්‍රපට අධ්‍යක්ෂිකාවක් වශයෙන්ද තම යුතුකම් ඉටු කළාය.
 
 ළාබාල යුවතියකව සිනමාවට පැමිණීමේ සිට මේ දක්වා ඇය ගමන කල මාවත මල් ඇතිරූ ඒවාම නොවේ. ජිවිතයේ වේදනාබර අවස්ථා , කඳුළින් සෝදා හැරියා සේම යළි ජිවිතය ජය ගන්නට මහා ධෛර්යයක්ද ඇති කර ගන්නට තරම් ශක්තිමත් හිතක්ද ඇයට හිමිය. ගැහැනියක වශයෙන් ඇයට මුහුණ දෙන්නට සිදු වූවා වූ බොහෝ සංසිද්ධීන් තුළ දුක් සෝ සුසුම් කඳුළු මැදින් සිනාසෙන්නට සමත් ගැහැනියකගේ ආදරණීයත්වය නිළි ජිවිතය තුළින් පමණක් නොව තම පෞද්ගලික ජිවිතයෙන්ද පසක් කරන්නට සමත් වූ ඇය හෙළ සිනමාවේ සදා වැජඹෙන නිළි රුජනමය. සිංහල සිනමාවේ ආදරබර සෙනෙහෙවන්තිය.......
 
 ඔබට සුබ උපන්දිනයක්.!