දුෂ්ට චරිත රඟපෑ හිත හොඳ මිනිසකුගේ සමුගැනීම

මාර්ක් සැම්සන්
ජනවාරි 24, 2019

ආදරණීය චරිත හීන් සීරුවේ අප අතරින් සදහටම සමුගෙන යමින් සිටිති. සංවේගයට පත්වනු විනා පෘථග්ජන මිනිසුන් හැටියට වෙනයම් දෙයක් අපට කරන්නට නොහැකිය. බාහිර ශරීරය දිරා ගිය ද ඔවුන් කළ කී දෑ සදහටම අප අතර තිබෙයි. එහෙයින් බොහෝ කලක් යනතුරු වියෝවූවන්ගේ මතක සුවඳ නිබඳව අප අසල ගැවසෙනු ඇත. මෙලෙස ප්‍රවේශය ගනිමින් කියන්නට හදන කතාවෙහි නායකයා මාර්ක් සැම්සන්ය.

අමුතුවෙන් ඔහු ගැන කියන්නට ඇවැසි නැත. මේ සරසවිය කලාපය කියවන විටත් මාර්ක් අපෙන් සදහටම සමුගෙන දින කිහිපයක් ගත වි ඇත්තේය. හිරු නාලිකවේ විකාශය වන උරුමයක අරගලය නරඹන ප්‍රේක්ෂකයන්ට මාර්ක්ව හමු වනු නිසැකය. ඉතා දිගු කලකට පසු ඔහු බාරගත් ටෙලි සිතුවම මෙය වන්නේය.

සිනමාව නම් සිනමාව ආයෙ වෙන ඒවායේ මට රඟපාන්න ඕන නැහැ.

සුදර්ශියේ නුග ගහ යට සෙවණේ දී ඔහු එලෙස කීවේය. ඒ සරත් දික්කුඹුරගේ මරු කතර සිනමා සිතුවමේ මුහුරත් උලෙළදාය. අවාසනාවට එය මාර්ක්ගේ අවසාන සිනමා සිතුවම විය.

සරතයා මට මේකට කතා කරද්දි වෙන මුකුත්ම කිව්වෙ නැහැ. ගහගන්න තියෙනවා කිව්වා. එච්චරයි. ඔය වචන ටික මට අමුතු ඒවා නෙවෙයි මල්ලි.

මාර්ක් තවදුරටත් කීවේ තම අතීතය සිහිපත් කරන්නට අර අදිමිනි. කලක් ඔහුට අඬ ගැසුවේම දුෂ්ඨයාගේ චරිතවලටය. ශෂි, ජීවන් වැනි ජනකාන්ත නළුවන්ගේ සිනමාපට තිරයට එද්දී කවුද ඒවායේ දුෂ්ඨයා කියා කවුරුවත් විමසුවේ නැත. එම චරිතයට මාර්ක් සිටින වග එකල සිනමා ලෝලිහුද ඉවෙන් දැන ගත්තෝය. එක අන්තයකින් මාර්ක් ගුටිකද්දී සිනමා තරු බැබළෙන තැනටම ප්‍රේක්ෂකයෝ අත්පොලසන් දුන්මෝය. ඔවුහු වීරයාට පෙම් බැන්දෝය. දුෂ්ඨයා පිළිකුලෙන් යුතුව බැහැර කළෝය. කොතරම් රංගන අවස්ථාවන් ලැබුණත් මාර්ක් සිටියේ කනස්සල්ලෙනි.

මිනිස්සු මාව මං කරන චරිතවලින් මනිනවා. කොච්චර කිව්වත් ඒ ඉන්නේ මං නෙවෙයි කියලා පිළිගන්නෙම නෑ. චරිත ගැන කිය කියා ළඟට ඇවිත් බනින කොට තමයි ඉවසන්න බැරි.

මාර්ක් කලකට ඉහතදී පුවත්පතකට කීවේය. සැබවින්ම හේ රසික ප්‍රතිචාර ඔස්සේ දැඩි කම්පනයට පත්ව සිටියේය. ඔහු රංගනයෙන් ඈත්වීමට ද එය ප්‍රබල හේතු කාරණාවක් විය. දශකයට ආසන්න කාලයක් මාර්ක් අපට දක්නට ලැබුණේ නැත. ඔහු කුමක් කළා ද යන්න කිසිවකු ද විමසුවේ ද නැති තරම්ය. තම ප්‍රතිරූපය වෙනත් ආකාරයට ගොඩ නඟා ගැනීමට හිතුණ නිසාමදෝ මාර්ක් සුදු චරිතයක් තමන්ට පවරා ගනිමින් ටාර්ගට් නමින් නිර්මාණයක් අධ්‍යක්ෂණය කළේය. එය ඉංග්‍රීසි බසින් තැනීම නිසාමදෝ ඔහුට පැමිණි බාධක ගණන් කෙරිය නොහැකි තරම්ය. තම සබ්බ සකලමනාවම ටාර්ගට් සඳහා වියදම් කළ මාර්ක් සිනමාව වෙනුවෙන් තිබෙන ආයතන වෙත ගොස් ණය මුදලක් ඉල්ලුව ද එය ඔහුට ලැබුණේ නැත. මාර්ක් කබලෙන් ලිපට වැටුණා හා සමාන විය. ටාර්ගට් සිනමාපටය පෙන් වන්නේ කවදාද යන්න ටාර්ගට් එකක් නැති ගාණටම වැටුුණේය. ඒ හා සමානව මාර්ක් ද මානසිකව අවප්‍රමාණික තත්ත්වයට වැටිණ. කාලයාගේ ඇවෑමෙන් ඉකුත් වසර කිහිපය ඇතුළත මාර්ක් වෙනමම ගමනක යෙදිණ. කතාබහට ලක් වූ චරිත ද ලැබිණ. ප්‍රේක්ෂක ආදරය ද යළිත් මාර්ක්ට ලැබෙන්නට පටන් ගත්තේය.

තෙල්ගේ මාක්ස් සැම්සන් පීරිස් කෙටි කොට භාවිත කළ මාර්ක් සැම්සන් කලාවට පිවිසෙන්නේ හැත්තෑව දශකයේ අග භාගයේදීය. ලෝකෙට ලොක්කා නමැති වීදි නාට්‍යයේ රඟපාමින් රංගනය නමැති මාවත ඔස්සේ සිය ඉදිරි ගමනට පියවර තැබු ඔහු අම්මේ ඔබ නිසා, අයියා නගෝ, ඔක්කොම රජවරු, සෙබළියෝ, ජය ශක්ති, ඔබට පමණයි ආදරේ, සළඹක් හඬයි, චෙරියෝ ඩොක්ටර්, පවිත්‍රා, බජාර් එකේ හිතවතා, රන්සයුර, මයි නේම් ඉස් බන්දු ආදී සිනමාපට රැසක රංගනයේ යෙදිණ. සිවදාසන්ගේ ඔක්කොම රජවරු සිනමාපටයේ ප්‍රධාන දුෂ්ඨ චරිතය ලැබීමත් සමඟ දිගින් දිගටම මාර්ක්ට අඬ ගැසුවේ එවන් වූ චරිතවලටය. ඉන් මිදීමට හුදකලා සටනක් කළ මාර්ක් එදත් චණ්ඩියා අදත් චණ්ඩියා, නොහඬන් කුමරිය, ශක්තිය ඔබයි අම්මේ ආදී චිත්‍රපටවල වෙනස්ම චරිත මැව්වේය.

ඉකුත් ඉරිදා මාර්ක්ගේ ජීවිතයේ අවසාන දවස විය. වසර හැට තුනක ජීවිත කාලය ඔහු නිමා කළේ හෘදයාබාධයකිනි.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.