හීනයක් සේ ගෙවුණු අවුරුදු 31ක්

පෙබරවාරි 14, 2019

විජය කුමාරතුංග නම් අතිශයින්ම පෙම්වත් තරුණයාට තරුණියන් මෙන්ම තරුණයන් ද ඔහුට වඩා වැඩිමහල් අක්කලා ද, අයියලා ද, ඊටත් වැඩිමහල් නැන්දලා හා මාමලා ද, ආච්චිලා මෙන්ම සීයලා ද ආදරය කළා.

එබඳු පුද්ගලයෙක් රටෙහි සිටියා ද කියා මම නම් අසා නැත්තෙමි.

කෝවිලගේ විජය ඇන්ටනි කුමාරතුංග නම් අපූරු කඩවසම්, රූමත්, නිර්ව්‍යාජ ගති පැවතුම් ඇති මානව දයාවෙන් පිරිපුන් ජනප්‍රිය චිත්‍රපට නළුවා අපට අහිමි වී වසර 31 ක් ගත වී ඇත. එහෙත් ඔහුගේ ගුණ සුවඳ තවමත් නිරතුරුව පවතී.

තම පියා වූ බෙන්ජමින් කුමාරතුංග සීදූවේම උපත ලබා එහි ගම් හතරක් භාර පොලිස් විදානේ හෙවත් ගම්මුලාදෑනියා ලෙස වසර 25 ක් රාජකාරි කරමින් සිටි බවත් ඔහු විනෝදයට නාට්‍යවල රඟපාමින් ගමේ දේවස්ථානයට ආධාර ලබා දුන් බවත් 'සරසවිය' පුවත්පතේ ලිපියක් ලිවීමේදී (1972 ජූලි 07) මට කියා සිටියේය. ටවර් නාට්‍ය කිහිපයක රඟපෑ පියා එවකට ජනපි‍්‍රය ටවර් නිළියක් වූ පර්ල් වාසුදේවි සමඟ රඟපෑ ඡායාරූපයක් ගෙදර සුරැකිව තිබෙන බව විජය එදා අපට කීවේය. විජයගේ දෙවෙනි අක්කා වූ රූපා මෙරයා කුමාරතුංග අපට කියා ඇත්තේ තම පියා මිය යන විට තමාට වයස අවුරුදු 07 ක් ද, විජයට අවුරුදු 02 ක් වූ බවය. පවුලේ වැඩිමලා වූ සිඩ්නි කුමාරතුංග විජයට වඩා වසර 10 කින් වැඩිමහල්ය. සිඩ්නිගේ පුතෙකි හිටපු අමාත්‍ය ජනප්‍රිය චිත්‍රපට නළු ජීවන් කුමාරතුංග. දෙවෙනි අක්කා විවියන් පද්මිණී කුමාරතුංග විජයට වඩා වසර හයකින් වැඩිමහල්ය.

කලක් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරියකව සිට රූපා මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටී.

රූපා තම සොහොයුරා වූ විජයගේ අතීත මතකයට එක් කර ගන්නේ එක්තරා අසිරිමත් නත්තල් දිනයක් සමඟය.

'සෑම දෙසැම්බර් 24 දාවක්ම කුඩා අපට ඉතාමත් සතුටු දවසක්. එදාට සිඩ්නි අයියා කොළඹ ගිහින් අපට සෙල්ලම් බඩු අරන් එනවා. එක නත්තලකදී අයියා එනකල්ම ඇඳට වෙලා මමයි විජයයි නොනිදා ගත කළේ. ඔන්න අයියා ගෙදරට ආව ශබ්දය ඇසෙන කොට මම මල්ලිට කියනවා 'අපි නිදි වගෙ ඉම්මු' කියලා. අයියා අපේ කපටි වැඩ දන්න නිසා ලොකු අක්කට මෙහෙම කියනවා.

'අනේ පුංචි කෙල්ලයි, කොල්ලයි නිදි. කතා කරන්න එපා. අපි මේ සෙල්ලම් බඩු දුප්පත් ළමයෙකුට දෙමු'

මමයි විජයයි එක පාරටම කියනවා,

'අපි තාම නිදි නෑ. අපි තාම නිදි නෑ' කියලා.

අපිව අයියා තුරුලු කරගෙන ඉඳලා 'ඔන්න මම පුංචි පැටියට ගෙනාව කාර් එකක්. පුංචි නංගිට ගෙනාව ඉබ්බෙක්, ඔයා ඉතින් ඉබ්බි වගේනේ' කියලා අයියා තෑගි පිරිනමනවා. අයියා හැම නත්තලකටම තෑගි ගෙනෙන්නේ කොළඹ කොටුවේ ඔර්ලෝසු කණුව ළඟ තියෙන සෙනෙවිරත්න කියන සෙල්ලම් බඩු කඩෙන්. මට මතක් වෙනවා දවසක් අයියා විජයවයි, මාවයි කොළඹ එක්ක ගිහින් ඒ සෙල්ලම් බඩු සාප්පුවෙන් සෙල්ලම් බඩු අරන් දුන්නා.

දැන් අපිට හරිම සතුටුයි. හෙට නත්තල්. 24 වෙනිදා රෑ අපි ලස්සන ඇඳුම් ඇඳගෙන පල්ලියට යන්න තියෙනවා. මමයි, මල්ලියි ගෙනාව සෙල්ලම් බඩු පාර්සල් කඩල බැලුවා. මට අයියා ගෙනැත් තිබුණේ හැඩල් එකකින් ක්‍රියා කරන ඉබ්බෙක්. ඉබ්බා ගේ පුරාම යනවා. විජය තමාට ගෙනාපු සෙල්ලම් කාර් එකට වැඩිය ඉබ්බාට තමයි හිත.

'මට මේ ඉබ්බ ඕනෑ. මට එපා කාර් එක' කියමින් විජය මල්ලි අඬන්න ගත්තා.

සිඩ්නි අයියා මාව පැත්කට කතා කළා.

'පුංචි නංගි එයා අපේ පුංචි හුරතලානේ. ඔයා මල්ලිට වැඩිය වැඩිමල්. ඔයා ඉබ්බව මල්ලිට දෙන්න. මම කොළඹ ගිහින් හොඳ සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන්නම්.'

මගේ හිත සැනසූ අයියා අර සෙල්ලම් ඉබ්බව මල්ලිට දීලා කිව්වා 'විජය මල්ලි ඔයා රූප අක්කගේ සෙල්ලං බඩුව ඉල්ල ගන්න.

විජය සෙල්ලං ඉබ්බව තුරුලු කර ගත්තා. අයියා කිව්ව විදිහටම මටත් සෙල්ලං ඉබ්බෙක් පහුවෙනිදා ගෙනත් දුන්නා.'

රූපා අක්කාට කුඩා විජය ගැන මතක සටහන් රැසක් තිබුණි.

විජය පුංචි කාලේ ඉගෙනීමට ගොස් ඇත්තේ නිවසට යාබද තිබූ ද්වි සමර පාසලටය. පාසලේ පුංචි ළමයි එක්ක විජය 'ටික් බෝල' (මාබල්) සෙල්ලං කිරීමෙන් සතුටට පත් වී ඇත. ටීක් බෝල නැති දුප්පත් ළමයින්ට තමා සතු සියලුම ටීක් බෝල බෙදා දී ගෙදර පැමිණ අම්මාගෙන් සල්ලි ඉල්ලා ඇත.

'මොකද පුතා උඹට අරං දුන්න ටීක් බෝලවලට මොනවද වුණේ. පැරදුණාද? නැති කර ගත්තද?'

'නෑ අම්මේ මම ඒව දුප්පත් ළමයින්ට බෙදල දුන්නා. පව් අම්මේ'

විජයගේ මානව හිතවාදී ගති මතු වී ආවේ කුඩා කාලයේ සිට බව රූපා අක්කා කීවාය. නත්තලට ගෙදර තිබෙන කේක්, චීස්, බිස්කට්, රසකැවිලි හොරෙන් අරං දුප්පත් ළමුන්ට විශේෂයෙන් ආච්චිලා, සීයලාට දී ගෙදර එන්නේ වෙස්සන්තර රජ්ජුරුවෝ වගේ යයි ඇය කීවාය.

'ඉස්සර නත්තල් නිවාඩුවට අපේ ගෙදර නාට්‍ය මණ්ඩපයක් . මේ කාලේ (මහාචාර්ය) කාලෝ ෆොන්සේකාත් ඔහුගේ බිරිඳ පර්ලිත් නොවරදවාම අපේ ගෙදර එනවා. කාලෝ මාමා මගේ අම්මගේ අම්මාගේ (අත්තම්මාගේ) සහෝදරියකගේ පුතෙක්. එයගේ බිරිඳ පර්ලි පණ්ඩිතරත්න මගේ තාත්තාගේ සහෝදරියගේ දුවක්. ඒ වගේම චිත්‍රපට කිහිපයකම රඟපෑ අයිවන් පණ්ඩිතරත්නගේ සහෝදරී. අපේ ගෙදර වත්තේ පහළ හරක් ගාල් කරන මඩුවට එහා තවත් මඩුවක් තිබුණා. එතැන තමයි අපේ රඟමඬල. පවුලේ ඥාතියෝ එකතු වෙලා සිඩ්නි අයියා, කාලෝ මාමා නාට්‍ය කරනවා. මටයි විජයටයි ලැබුණේ පුංචි චරිත. හරියට 'ආව ගියෝ' වගේ චරිත. එතකොට විජය මල්ලි මගේ කනට කර මෙහෙම කියනවා.

'පුංචි අපට පුංචි කෑලි හම්බ වෙන්නේ අපි පුංචි නිසාද?' කියලා.

මොනවා වුණත් අපි පුංචි කාලේ අපේ තාත්තගෙ අම්මගෙ නෑ ළමයි එක්ක පුංචි නාට්‍ය කරමින් ගත කරපු ජීවිතය අමතක කරන්න බෑ' රූපා අතීතය මතක් කරමින් කීවාය.

විජය පුංචි කාලයේ සිටම ලස්සනට අඳින්න පුරුදුව සිටි බවත්, ඇඳුමක් යන්තම් පොඩි වෙලා තිබුණොත් ඒවා අයින් කළ බවත් පවසන රූපා මල්ලීට ලස්සනට ඇඳුම් මසා පාට පාට සතුන්ගේ රූප මසා එය අලංකාර කොට එව්වේ විවියන් අක්කා බවත් අප සමඟ කීවාය. විවියන් අක්කා ලස්සනට වැඩ දැමූ තොප්පිත් එවා ඇත. විජය විවියන් අක්කා එවූ ඇඳුම් හා තොප්පි පැලඳ උජාරුවට ගම පුරා ඇඳගෙන ගොස් ඇත. විජය ඇඳුම් කිලිටි කර ගන්නවා අඩු බවත් ඒවා පිරිසුදුවට තබා ගත් බවත් පැවසේ.

විජයට යාන්තම් වයස අවුරුදු 14 වන විට ගමේ තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගත් බව පවසන රූපා ගමේ ලස්සන කෙල්ලක් විජයට අසීමිත ලෙස ආදරය කළ බව පැවසුවාය.

'ඒ කාලේ විජය 'සමරැස්' නම් එල්ලේ කණ්ඩායමට ක්‍රීඩා කළා. මේ තරඟ බලන්න අර විජයගේ හිත් ගත් ගැහැනු ළමයත් නිතරම ආවා. ඒ සම්බන්ධය වැඩිදුර ගියේ නෑ. ඒ ළමයා ධනවත් පවුලක ළමයෙක්. විජය කුඩා කල ඇසුරු කළ සීයා කෙනකු ගැන රූපාට සුන්දර අත්දැකීමක් තිබේ.

'සීදූවේ සිට කොළඹට රැකියාවට යන නිසා සිඩ්නි අයියා පාන්දර අවදි වෙන නිසා විජය පාසල් ගියේ සීයා කෙනෙකු සමඟයි. මේ සීයයි, විජයයි හොඳටම යාළු වුණා. මහදැනමුත්තාගේ අපූරු කතා, අන්දරේගේ විහිළු හා ඇලඩින්ගේ පුදුම පහන ගැන සීයාගෙන් ඇසූ කතා මට රෑට බත් කන කොට කියනවා. සීදූව ද්වි සමර පාසලට යන කාලයේ මේ සීයා සමඟ ගොස් පන්තියේ විජයගේ පුටුව අසල තවත් පුුටුවක් තබා ගැනීම පුරුද්දක් කොට ගත්තා. පාසලේ බනිස් දෙන විට විජය සීයාටත් බනිස් ගෙඩියක් රැගෙන දීමට මැළි වුණේ නැහැ.'

සිඩ්නි අයියා තද සමසමාජ පාක්ෂිකයෙක් වගේම සාමාජිකයෙක්ව සිටි අතර එයට තදින් බලපා ඇත්තේ කාලෝ (ෆොන්සේකා) මාමාය. සිඩ්නි අයියා පුංචි කාලයේ සිටම පෝලියෝ රෝගයෙන් පෙළුණ නිසා හැරමිටියක ආධාරයෙන් ඇවිද ඇත. සමසමාජ පක්ෂ කාර්යාලයෙන් සිඩ්නිට එන 'සමසමාජය' පත්‍රය සාමාජිකයන්ගේ ගෙවල්වලට බෙදුවේ විජය මල්ලිත් එක්කය. මීගමුවේ හිටපු සමසමාජ මන්ත්‍රී දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු විජයලාගේ ගෙදර නිතර ආව ගියේය. දොස්තර හෙක්ටර්, කාලෝ මාමා හා සිඩ්නි අයියා දේශපාලනය ගැන කතා කරනවා විජය මල්ලී නොතිත් ආසාවෙන් අසා සිටිනු රූපා අක්කාට මතකය. ඇන්. ඇම්., කොල්වින්, විවියන් ගුණවර්ධනලා මැතිවරණ වේදිකාවල කරන වේගවත් කතා විජය විස්මිතව බලා ගෙදර ඇවිත් තනියම වත්තේ ඇවිදිමින් කතා කර ඇත. පසු කලෙක විජය කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ කථික තරඟයකින් මුල් තැන දිනා රන් පදක්කමක් දිනුවේ මේ ආභාසය නිසාය.

විජය රඟපෑ ප්‍රථම චිත්‍රපටය තිරගතවීමට ප්‍රථම චිත්‍රපට 11 ක රඟපෑමට වරම් ලැබූ විජය දිනක් රූපා අක්කා සමඟ මරදානේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව අසල තියෙන බස් නැවතුම්පළේ බස් එකක් එනතුරු බලා සිටියේය. පාරේ යන හැමෝම වගේ විජය දෙස බලා නැවතී සිනාසුණි. ඊට ටිකක් ඈතින් බසයක් එන තෙක් එවකට ජනප්‍රිය නළුවකු සිටියේය. පාරේ යන අය ඔහු කෙරෙහි එතරම් ප්‍රතිචාර දක්වා නැත. එහෙත් විජය ඔහු අසලට ගොස් කතා කර ඇත. අර නළුවා ඊළඟ බස් රියට නැංගේය. විජය රූපා අක්කා දෙසට හැරී මෙසේ කීවාලු.

'අක්කා දැක්කා නේද? එයත් එක්ක මිනිස්සු අඩු වශයෙන් හිනා වුණේවත් නෑ. මේ තත්ත්වයට මටත් අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා. එදාට මම අනිවාර්යෙන්ම සිනමාවෙන් සමු ගන්නවා.'

'මල්ලිට වෙඩි තැබූදා මම හිටියේ නාරාහේන්පිට තලකොටුවේ ගෙදර. අපි දන්න පවුලක තනිවම වැඩක් කර ගත නොහැකි ආබාධිත තරුණයෙකුට ආධාර කරන ලෙස ඉල්ලා මල්ලී ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට ලියුමක් දීලා තිබුණා. ඒ අය අනුරාධපුරයේ සිට කොළඹ එනවා අර ලියුම ගන්න. මම ගංගාරාමයට බස් එකෙන් ගියේ ඒ කට්ටිය හම්බ වෙන්න. නාරාහේන්පිට 103 බස් එකට මම නගින විට මිනිස්සු කලබල වෙලා. සමහරු කෑ ගහනවා. සමහරු අඬනවා. බස් එකේ තිබුණ රේඩියෝ එකෙන් විජයට වෙඩි තියලා කිව්වලු. මට මේක අදහා ගන්න බැහැ. මම බස් එකෙන් බැහැලා තලකොටුව ගාර්ඩ්න් එක පැත්තට දිව්වා. එහි පදිංචිව සිට දිල්හානි අශෝකමාලාගේ අම්මා අඬාගෙන මාව බදා ගත්තා.' රූපා අඬමින් කීවාය.

1977 මහා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට තරඟ කර පරාජය වුණා. ඉන් පසු රූපා අක්කා සිටියේ විදේශගතවය. විජයගේ අම්මා රූපාට ලියුමක් ලියමින් කියා සිටියේ,

'විජය මල්ලී බණ්ඩාරනායක පවුලේ චන්ද්‍රිකාව විවාහ කර ගන්න යනවා' කියල.

රූපා තම මවට ලියා යැව්වේ,

'අම්මා අපිට ඒ වගේ පවුලකට සම්බන්ධ වෙන්න පුළුවන්ද' කියාය. අම්මා යළිත් රූපාට මෙසේ ලියා එව්වාය.

'පුතාගේ කැමැත්තනේ. එයා කැමති ඕන දේකට මම කැමතියි.'

විජය මියගිය පසු එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා විජයගේ මවගේ සුව දුක් විමසීමට තලකොටුව උද්‍යානයේ නිවසට ගිය දිනය මට මතකය. ප්‍රේමදාස මහතාගේ තවත් අදහසක් තිබුණි. එනම් විජයගේ සමරු මුද්දරයක් නිකුත් කිරීමටය. ඒ සඳහා ඡායාරූපයක් සොයා දීමට ඔසී අබේගුණසේකර උත්සාහ කළත් සුදුසු ඡායාරූපයක් හමු නොවීය.

අපි සරසවිය පත්‍රයෙන් සොයා ගනිමු' ප්‍රේමදාස මහතා එවකට 'සරසවිය' පත්‍රයේ කතුවරයා වූ මට කතා කළේය. අපි ලේක්හවුස් පුස්තකාලය පීරා විජයගේ සමරු මුද්දරයකට සුදුසු ඡායාරූපයක් සෙව්වෙමු. එහි වූයේ විජය රඟපෑ චිත්‍රපට හා විවේකීව සිටි අවස්ථාවල ගත් ඡායාරූපය. ලේක්හවුසියේ 'සරසවිය' පත්‍රයේ විජයගේ ඡායාරූප වැඩිපුරම ගෙන තිබුණේ බන්දු එස්. කොඩිකාර හා උපාලි ෆොන්සේකා විසිනි. ඒවා මුද්දරයකට යෝග්‍ය නොවීය. පසුව විජය ජනතාවට ආචාර කරන ඡායාරූපයක් ප්‍රේමසිරි පෙරේරා සතුව තිබී සොයාගෙන ආවේය. මම ජනාධිපතිතුමාට කීවේ ප්‍රේමසිරි සතු පින්තූරය සමරු මුද්දරයට ඉතාමත් සුදුසු බවය. එහි සිටි ඔසී අබේගුණසේකර ද එය අනුමත කළේය. ඉන් පසු ජනාධිපතිතුමාගේ යෝජනාව පරිදි මේ සමරු මුද්දරය නිකුත් කෙරිණ.

ඒ. ඩී. රන්ජිත් කුමාර