වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
සදාකාලික යෞවන හඬට අවුරුදු 75 යි
මිල්ටන් මල්ලවාරච්චි . . . ඔහු හඳුන්වන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. එදත් අදත් වගේම හෙටත් මතු මතුත් අපේ රටේ ශ්‍රාවක සිත් සතන්හි සදා රැඳෙන නාමය. හද රිදවන ගී උල්පතක ආනන්දනීය මියුරු හඬ. මේ ගී හඬ සුවහසක් ශ්‍රාවක ජනතාවට අහිමි වෙලා වසර 21 ක් ගත වී ගිහින්. එපමණ කලක් ඔහු නොමැතිව සිටියාදැයි නොදැනෙන්නට ඔහු ඉතිරිකර ගිය ගී ගඟුල හැමදාමත් සිසිල් දිය දහරක්ව ගෙවුණු විසි එක් වසර පුරාම අපේ හදවත් සදා ආදරණීයව වැලඳ ගනිමින් නිරන්තරව අපට ඇසුණා. ගෙවුණු 21 වසර පුරා ඔහු ජීවතුන් අතර සිටියා නම් ඉතිරි කර ගිය අති මහත් වූ නිර්මාණයන් වැනි නිර්මාණ කී ගුණයක් ඔහු අප වෙනුවෙන් නිර්මාණය කරයිද?
මෙරට ගීත ශ්රාවකයින් කොයි තරම් ප්‍රමාණයක් සිය හඬින් ප්‍රමුදිත කරවයිද? පසුතැවිලි සිතින් වුව ද ඔහු ඉතිරි කර ගිය ගී අදටත්, මතු මතුත් ඇසෙන පරිසරයක සිටීමද එක අතකට භාග්‍යයකි. ඔහු ජීවතුන් අතර සිටියා නම් මේ වසරේ ඔහු සමරනුයේ සිය 75 වැනි ජන්ම දිනයයි. එසේම ඔහු කලාවට සම්ප්‍රාප්ත වී ගෙවනුයේ 50 වැනි වසරය. මේ සියල්ල උත්කර්ෂයෙන් සමරන්නට අද ඔහු අප අතර නැත.
එහෙත් . . . ඒ හඬ . . . ඒ ආදරණීය ගී දැහැන ඉදිරියට රැගෙන යන්න කෙනෙක් ඔහු ඉතිරි කර ගියේය.
රනිල් මල්ලවාරච්චි . . . ඒ ඔහුගේ ආදරයත් සමඟ ඔහුගේ ජාන සමඟ මෙරට සංගීත ක්ෂේත්රයට සිය නාමය ඉතිරි කරන්නට ඔහු තිළිණ කළ ආදරණීයයාය. පිය වියෝවෙන් වසර විසි එකක් ගත වුණ ද මෙකී කාල වකවානුව පුරාම සිය ආදරණීය පියාගේ ගීත මෙරට ශ්‍රාවක දනන් තුඩ තුඩ රඳවන්නට ඔහු සිය හඬ අවදි කළා.
එදා මිල්ටන් මල්ලවාරච්චි 'රනිල් පුතේ හිනැහෙන් . . . ගීතය ගායනා කළේ ඔහු වෙනුවෙන්.
අද ඔහු සිය පියාගේ ගීත ඉදිරියට රැගෙන යාමේ මහඟු භාරදූර කාර්යයේ වගකීම දරනවා.
'පසුගිය සතියේ මම ලංකාවට ආවේ තාත්තා වෙනුවෙන් උපහාර සංගීත ප්‍රසංගයක් පවත්වන්න. ඒක සංවිධානය කළේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය. ප්‍රසංගයේ නිමිත්ත වුණේ තාත්තා ජීවතුන් අතර හිටියා නම් එයාට අවුරුදු 75 ක් වෙනවා. අනිත් පැත්තෙන් එයා සංගීත ක්ෂේත්රයට පිවිසිලා වසර 50 ක් සපිරෙනවා සහ එයා මිය ගිහින් වසර 21 ක් සපිරෙනවා. මේ සියල්ල මූලික කරගෙන තමයි මෙවර 'සඳ ඔබයි පියාණනි' සංගීත ප්‍රසංගය පැවැත්වුණේ. පසුගිය සති අන්තයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ ඉතාම සාර්ථකව ප්‍රසංගය පැවැත්වුණා. මා සමඟ මගේ පුතා පවන් මල්ලවාරච්චි තමයි එහි ගීත ගායනා කළේ. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සංගීතඥ සරත් ද අල්විස් විසින්.
පියෙකුගේ උරුමය රැගෙන යන පුතෙක් රනිල්. ඒ විතරක් නෙවෙයි දැන් තුන්වැනි පරම්පරාවටත් ඒ උරුමය ආදරයෙන් තිිළිණ වෙලා.
මිල්ටන් මල්ලවාරච්චි අසහාය ගායකයා හිටියා නම් කෙතරම් සතුටු වෙයිද? අද තමන්ගේ පුතා මෙන්ම පුතාගේ පුතාත් තමන්ගේ ගී ගයන අපූරුව ඔහු ආදරයෙන් විඳ ගනීවි. යුග යුග ගණනක් කලඹන, නලවන ඒ හඬ මියුරුය. පුතු රනිල්ට සේම මුනුපුරු පවන්ට ද ඇත්තේ සෑබෑ ආඩම්බරයකි.
'ඇත්තටම මේ රටේ ඉපදුණ අසහාය කලාකරුවකුගේ පුතෙක් වීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. තාත්තා රටට ඉතිරි කරල ගියේ ඉතාම අගනා වටිනා වස්තු සම්භාරයක්. මම එහෙම කියන්නේ තාත්තා නැති වෙලාත් දැන් දශක දෙකකට වැඩියි. තාත්තා ක්ෂේත්රයට ආපු මුල්ම කාලේ කීව ගීතයක් වුණත් අදටත් ජනප්‍රියයි. පරම්පරා ගණනාවක් තිස්සේ නොනැවතී මේව පවතින්න තරම් ඒ ගීත සුවිශේෂීය. තාත්තාගේ රූපය හැබැහින් දැකලා නැති පරම්පරාවල් පවා අද මේ ගීතවලට ආශක්ත වෙලා ඉන්නවා. ඉතින් තාත්තා නැති වුණාට පස්සේ ඔහුගේ ගීත ටික මම හුඟාක් පරිස්සමින් ඉදිරියට අරගෙන ආවා. දැන් මගේ පුතා පවනුත් සීයගේ ගීත ගායනා කරනවා. මගෙන් පස්සෙත් මේ ගීත ඒ විදියට තව යුග ගණනක් ඉස්සරහට පවතීවි. ඒ ගැන මට සතුටුයි.
රනිල් කුඩා අවදියේ සිටම ඔහුට ගායනා හැකියාව ඇති බව පියාණන් දැන සිටින්නට ඇත. එහෙත් පියෙකු වශයෙන් ඔහුගේ මූලික බලාපොරොත්තුව වන්නට ඇත්තේ සිය පුතනුවන්ට හොඳින් අධ්‍යාපනය ලබාදීමටය. තමන් කාර්යබහුල පුද්ගලයෙකු වුව ද දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට ඔහු නිබඳව බැඳී සිටියා.
'අපි පුංචි කාලේ තාත්තා කාර්යබහුල තමයි. ඒ වුණාට එයා අපේ හැම දෙයක් ගැනම හොයලා බැලුවා. මට අවුරුදු 8 - 10 වෙත්දී තාත්තාගේ කැසට් පට දැක්කම ගීත ගායනය ගැන මටත් උනන්දුවක් ඇති වුණා. තාත්තාගේ කටහඬත් ඒ විදියට මට පිහිටලා තියෙනවා. නමුත් මුල් කාලේ තාත්තා මාව උනන්දු කළේ අධ්‍යාපනයටයි. කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් කරලා ඉගැන්නුවා. නමුත් ඒ කාලේ මම වැඩිපුර උනන්දු වුණේ ක්‍රිකට් ක්‍රීඩාවට. තාත්තත් හරියට ක්‍රිකට්වලට කැමති නිසා එයත් උනන්දු වුණා. නාලන්දා විද්‍යාල කණ්ඩායමට මම සෙල්ලම් කළා. කවදා හරි ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළු වෙන එක තමයි මගේ බලාපොරොත්තුව වුණේ. නමුත් ඒක මට කර ගන්න බැරි වුණා. ඊට පස්සේ උසස් පෙළ කළාට පස්සේ තමයි සංගීතය පැත්තට යොමු වුණේ.
ඉතින් දැන් තාත්තගේ තුන්වැනි පරම්පරාවත් ගීත ගායනයට යොමු වෙලා ඉන්නේ. පවන් මගේ පුතා දැන් අවුරුදු 19 ක්. ඔහු ගීත ගායනයට යොමු වුණේ අවුරුදු 15 දි විතර ඉඳලා. තාත්තාගේ සින්දුත් එයාගේම සින්දුත් එයා ගායනා කළා. අවුරුදු 18 න් පස්සේ තමයි එයාට තාත්තගේ කටහඬ ආවේ.'
'පවන් මේ වන විට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඔහු ගුවන් නියමුවෙකු වීම සඳහා අධ්‍යාපනය ලබමින් පසුවෙනවා. සංගීතය ඔහු කරන්නේ විනෝදාංශයක් හැටියට. ඒ වුණාට සංගීත ප්‍රසංගවල ගීත ගායනා කරන්න ඔහුටත් ආරාධනා ලැබෙනවා. වැඩිපුරම ආරාධනා කරන්නේ තාත්තාගේ ගීත ගයන්න තමයි.'
රනිල් ඇතුළු රනිල්ගේ පවුලේ සියලු දෙනා මේ වන විට පදිංචිව සිටිනුයේ ඔස්්ට්රේලියාවේය. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රට හැර ගියත්, ඔවුන්ගේ උරුමය ලංකාවේ පවතින බව ඔවුහු නිතර සිහිපත් කරති. 'දැන් කාලෙක ඉඳලා අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවෙයි. නමුත් වසරින් වසර ඇවිත් යන්න එනවා. පුතාගේ හා දුවගේ අධ්‍යාපන කටයුතු හමාර වුණාම ලංකාවට එන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. බලමු ඉදිරියට කාලය ප්‍රශ්න සියල්ල විසඳයි. තාත්තා නමින් කරන 'සඳ ඔබයි පියාණනි' මේ ප්‍රසංගය අපි පටන් ගත්තේ 2016 වර්ෂයේදි. 2017 ත් අපි කළා. 2018 කරන්න ලැබුණේ නෑ. නැවත 2019 කළා. ඉතින් ඉදිරියට වසරක් පාසා මේ ප්‍රසංගය කරන්න තමයි බලාපොරොත්තුව.
නිශ්ශංක විජේරත්න