වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
සරසවිය නමැති පින් බිමට මා ගිය හැටි
වසර 56 ක ඉතිහාසයකට හිමිකම් කියන 'සරසවිය' පුවත්පත ආරම්භ කළ 1963 අප්‍රේල් 10 වැනිදා සිට අද දක්වාම මම පාඨකයෙක් වීමි. 'සරසවිය' මුලින්ම නමෝ විත්තියෙන් දොරට වඩින විට මගේ වයස අවුරුදු දහ හතරකි. අප නිවසට කාලාන්තරයක් තිස්සේම ගන්නා 'දිනමිණ' හා 'සිළුමිණ' පුවත්පත්වලින් සිනමා තොරතුරු රැගත් 'සරසවිය' එන බව කල් තියාම නිවේදනය කොට තිබුණි. සිනමාවට උමතුවෙන් ආදරය කළ මම 1963 අප්‍රේල් 10 වෙනිදා වන තෙක් ඇඟිලි ගණන් කළෙමි. ඒ දිනය උදා විය. ග්‍රෑන්ඩ්පාස් හී කොස්ගස් හන්දියේ වෛත්‍යලිංගම් කඩෙන් 'සරසවිය' මිල දී ගෙන මම මිටින් හළ කුරුල්ලෙකු මෙන් ගෙදරට පියඹා ගියෙමි.
'සරසවිය' මුල්ම කවරය සැරසුණේ එකල අතිශය කීර්තිමත් චිත්‍ර ශිල්පියකු වු චිත්‍ර ශිල්පී ජී. ඇල්. ගෞතමදාස විසින් අඳින ලද උඩරට නැට්ටුවකුගේ චිත්‍රයකිනි. අද සරසවියට වසර 56 පිරී ඇති අතර වර්තමානයේ මා පදිංචිව සිටින මොරටුවේ ගොළුමඩම හන්දියේ සී. පී. ද සිල්වා මාවතේ පන්ඩුල එන්ටප්‍රයිසස් කඩේ කුමාර මල්ලීගෙන් හැම බ්‍රහස්පතින්දාම උදේ 6.45 ට 'සරසවිය' මිල දී ගන්නේ එදා කොස්ගස් හන්දියේ වෛත්‍යලිංගම් සුරුට්ටු කඩෙන් හාපුරා කියා මංගල කලාපය මිලදී ගත් උද්දාමයෙනි. ආදරයෙනි.
එදා 'සරසවිය' මුල් පත්‍රයේ තිබූ පුණ්‍යා හීන්දෙණියගේ විශේෂාංගය මගේ සිත් ගත්තේ ඇය මගේ ප්‍රියතම නිළිය වූ නිසාය. පුණ්‍යාගේ ඡායාරූපය ගෙන තිබුණේ නිමල් පෙරේරා (අභයවර්ධන) විසිනි. මගේ මතකය හරි නම් ඒ විශේෂාංගය ලියා තිබුණේ එල්මෝ ගුණරත්නය. මගේ සිත් ගත් තවත් විශේෂාංගයක් වූයේ සිබිල් වෙත්තසිංහ චිත්‍ර ලියා ලියනලද 'කුසුමලතා'ය. ඇය පසු කලෙක ලියූ 'අලුත් කාරයක් අරගෙන' කතාව තවමත් මට මතකය. එහි කොටසකි මේ.
'රහසක් එළි කරන්නට වුණු එක ගැන මට හොඳටම හිතට අමාරුයි. ඒත් මොනවා කරන්නද මේකත් නොකියා බැරි දෙයක්. මේ සැරේ අපි වෙසක් බලන්නට ගියේ අපේම කාර් එකෙන්. මේක තමයි කියන්නට අකමැතිව හිටි රහස. අපි කාර් එකක් ගත්ත වග.'
'සරසවිය' පත්‍රය අමුතු පත්රයෙකි. කලාව පමණක් නොව එහි කාන්තා පිටුවක්, කවි පිටුවක්, ක්‍රිඩා ගැන පිටුවක් ද ජ්‍යෝතිෂය ගැන විශේෂාංගයක් ද එහි විය. පසු කලෙක 'සරසවිය' පත්‍රයේ මේ විශේෂාංග නතර වී ඒ ඒ විෂයයටම කැප වූ 'තරුණී', 'මිහිර', 'ක්‍රීඩා, 'සුබසෙත' යන පත්තර ලේක්හවුසියෙන් බිහි විය. ඉන්පසු 'සරසවිය' කවියට, සාහිත්‍යයට, විචාරයට කැප විය. කවිය කිව්වට මුල් යුගයේ සරසවියේ පළ වූයේ සදැස් කවිය. 'සරසවිය' පත්‍රයේ මුල්ම කර්තෘවරයා වූ මීමන ප්‍රේමතිලක ද, දෙවන කර්තෘවරයා වූ විමලසිරි පෙරේරා ද කොළඹ යුගයේ කවියන් නිසාදෝ කොළඹ යුගයේ කවියන්ට (පී. බී. අල්විස් පෙරේරා, එච්. ඇම්. කුඩලිගම, විල්සන් හෑගොඩ) තෝතැන්නක් වුහ. මේ අතර කවි සංවාද ද විය. සරසවියේ මුල්පිටුව බොහෝ විට නළු නිළියන්ගේ ඡායාරූප පළ වුණ අතර එහි යටින් කවියකින් ඒ නළු නිළියගේ වත ගොත වර්ණනා කර තිබුණි.
මුල් යුගයේ මැද පිටුව සැරසුණේ මීමන ප්‍රේමතිලකගේ වර්ණනාත්මක විශේෂාංගයකිනි. විශ්ව සාහිත්‍ය, ඉතිහාසය, සෞන්දර්ය එවා තුළින් ඓානවට කියා පෑවේය. කෙටි කතාවක් අනිවාර්යයෙන්ම පළ වූ අතර ඒවා ලියූ ලේඛක ලේඛිකාවන් අතර ඔගස්ටස් විනායගරත්නම්, බී. ඇම්. කොළඹගේ, සෝමරත්න බාලසූරිය, දයා කහවල, ලක්ෂ්මන් මල්ලවාරච්චි, නිව්ටන් ගුණසේකර කැපී පෙනුණි. සාහිත්‍ය ලිපි විවිධ සාහිත්‍යධරයන්, කලාකරුවන් හා සාකච්ඡා කොට විශේෂාංග ලියූ විශ්වවිද්‍යාල උපාධිධාරීන් පිරිසකට සරසවියේ ඉඩ ලැබූහ. පියසේන වික්‍රමගේ, සිරි කහවල, නන්දසේන සූරියආරච්චි, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සිරි කුලරත්න මේ අතර විය. සිනමාවට වඩා සාහිත්‍යය පැත්තට හා පාඨකයාගේ කලා රසඥතාව පෝෂණය කිරීමට බෙහෙවින් බලපෑවේ සරසවියේ උපකතුවරයකු වූ ඩයස් ගුණරත්නය. (පසුව මහාචාර්ය ආර්. ඩී. ගුණරත්න නමින් ප්‍රකට විය).
මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ, ඈෂ්ලි හල්පේ, කේ. එන්. ඕ. ධර්මදාස, එච්. ඇල්. සෙනෙවිරත්න, ජී. බී. සේනානායක, පී.කේ. ඩී. සෙනෙවිරත්න, විමල් දිසානායක මෙන්ම ඊරියගොල්ල මුල්ලපිටියේ රාළහාමි, ගුණපාල සේනාධීර ආදීන්ගේ විවාද සම්පන්න ලිපි සාහිත්‍ය අතිරේක සකස් කළේ ඩයස් ගුණරත්නය. ඔහුගේ විශේෂාංගවලට කලාත්මක ඡායාරූප ගත්තේ නිමල් පෙරේරා (අබේවර්ධන)ය.
ඒ අතර කැමිලස් පෙරේරා ( සිරිබිරිස්) අදින ලද 'දැක්කොත් පද්මාවතී' කාටුනය ද සිනා රසය මතු කළ අතර පියසේන නිශ්ශංක මහතා ලියූ ගමේ මඟුල් ගෙදර, නාඩගම්පොළ ආදී ගමේ රසවත් තැන් ගැන ලියූ ලිපි පෙළ සමාජ විද්‍යාත්මක අංශය මැනවින් පිළිබිඹු කළේය. බෙනඩික්ට් දොඩම්පෙගම, එඩ්වින් ආරියදාස ලියූ ලෝක සිනමාව ගැන ලියූ සරල ලිපි පාඨකයන් බොහෝ දෙනෙකු කියවූහ. 'නිමවන්නා දකින නිමැවුම්' මැයෙන් රායි, කුරොසාවා, ටෲෆෝ, චැප්ලින්, ලීන්, බර්ග්මාන්, ඩිසිකා ගැන රෙජී රණසිංහ ලියූ ලිපි එදා අප පත්‍රයෙන් කපා පොත්වල අළවා ගෙන තිබුණි.
මේ නිසා 'සරසවිය' පුවත්පත තුරුණු වියේ සිටම සරසවියක්ම විය. උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ 'සරසවිය' පුවත්පතේ පළ වූ සිංහල නවකතාව, සිංහල කවිය, සිංහල පාඨකයා යන විශේෂ අතිරේක නිබන්ධන ලිවීමේදී අපට අතිශයින්ම ප්‍රයෝජනවත් විය. සිංහල සාහිත්‍ය විෂය ගැන මා සමඟ අපේ ගෙදර, මගේ කාමරයේ පාඩම් කරමින් සාකච්ඡා කළ ආනන්දයේ මගේ මිතුරන් දෙදෙනා කුලරත්න ආරියවංශ (සම්මානනීය ගීත රචක) හා රත්නසිරි රාජපක්ෂ (හිටපු කොළඹ මහ නගර සභාවේ නගරාධිපති) වඩාත් පිහිට වුයේ 'සරසවිය' කපා මා එකතු කර තිබු පත්තර කැපුම්ය. අද රත්නසිරි ජීවතුන් අතර නැත. ඒ කාලයේම අප සමඟ පාඩම් කළ කිංසි පාරේ යශෝධරා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරූ ස්වර්ණා මල්ලවආරච්චි (සම්මානනීය රංගවේදිනිය) හා මර්සි, කාන්ති, ඉන්ද්‍රා යන යෙහෙළියන්ට ද මේ අනගි සරසවිය පත්‍ර කැපුම් අතිශයින් ප්‍රයෝජනවත් විය. මේ නිසා 'සරසවිය'ට එදා ශාස්ත්‍රීය ලිපි ලියූ එඩ්වින් ආරියදාස, බෙනඩික්ට් දොඩම්පෙගම, රෙජී රණසිංහ, සුනන්ද මහේන්ද්‍ර ද මැල් (මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර), ලක්ෂ්මන් වික්‍රමසිංහ, ඩයස් ගුණරත්න, එච්. එල්. සෙනෙවිරත්න, පර්සි ජයමාන්න, සෝමවීර සේනානායක අපේ පූර්වාචාර්යවරු වූහ.
මා අදත් චරිත කථා කියවීමටත්, චරිත කතා ලිවීමටත් අතිශයින් කැමතිය. එයට මූල බීජය ලැබුණේ සරසවිය පත්‍රයෙන් බව කෘතඥතා පූර්වකව සිහිපත් කරමි. මු. අරුක්ගොඩ විසින් ලියූ 'සාහිත්‍ය ජීවිත' විශේෂාංගයත් (වික්‍රමසිංහ, ජී. බී. අදිකාරම්, හෙට්ටිආරච්චි ඇතුළු මහ ගත්කරුවන්) සේසිරි විජේ්සේකර ලියූ එඩ්වින් කෝට්ටේගොඩ, සූර්ය සංකර් මොල්ලිගොඩ, එඩ්වින් සමරදිවාකර ලිපි තුළින් ඔවුන් ගැන සමීපව දැන ගැනීමට හැකි විය. වරක් සරසවිය නවක ලේඛක ලේඛිකාවන්ගේ කෙටිකතා තරඟයක් පැවැත් විය. විනිසුරු මඩුල්ලේ සභාපති වූයේ ආචාර්ය සිරි ගුණසිංහය. සුනන්ද මහේන්ද්‍ර ද මැල් හා බර්ටි විජේසිංහ (ආනන්ද අපේ සිංහල ගුරුතුමා) සෙසු විනිසුරුවන් වූහ. හොඳ කෙටි කතාවක් ලියන්නේ කෙසේදැයි අපට කියා දුන්නේ මේ කෙටිකතා තරඟයේ ජූරි තීරණය වූ 'අපේ තේරීම' යන ලිපියෙනි.
මා සරසවිය පත්‍රයේ පළ වූ එක් විශේෂාංගය කියවූයේ සදය උපහාස රසවි නොතිත් ආසාවෙන් විඳ ගනිමිනි. ආර්. පල්ලේවෙල ලියූ වංගෙඩිය, පොලිස්කාරයා වැනි ලිපිවල කොටස් අදත් මට කටපාඩම්ය.
එදා සරසවියේ නළු නිළියන් ගැන අපූරු විශේෂාංග ලියූවේ එල්මෝ ගුණරත්නය. (ඔහු පසුව ලංකාදීප පත්‍රයේ කතුවරයා විය). ගාමිණී ෆොන්සේකා නම් අංකුර රංගවේදියා ගැන මුලින්ම සරසවියට ලිව්වේ ඔහුය. මහා සිනමා නිළි රැජින වූ රුක්මණී දේවි, කවට රජා වූ එඩී ජයමාන්න, ආනන්ද ජයරත්න, ජෝ අබේවික්‍රම ගැන ඔහු ලියූ විචිත්‍ර ශෛලිය නොදැනුවත්ව මට බලපෑවේය. 'චිත්රාගාර වටේ' නම් චිත්රාගාරවල රස තොරතුරු ලිව් එඩ්මන් පෙරේරාත් 'තිර තරු තොරතුරු' ලියූ කුමාරදාස වාගිස්ටත්, රසවත් හින්දි ගීතත් එහි අරුතත් අපට වටහා දුන් එමෙන්ම ශංකර් ජයකිෂන්, රාෆි, ඇතුළු හින්දි චරිත ගැන අප දැනුම්වත් කළ සිරි කහවලත්, විවිධ විශේෂාංග ලියූ අර්නස්ට් වඩුගේ, විමල් තිලකරත්න, රංජිත් වීරසිංහ, මිල්ටන් සොයිසා, තල්පොත වලිසුන්දර, මිල්ටන් සොයිසා, වික්ටර් පී. ලියනගේ, පියසේන රතුවිතාන, වෝල්ටර් සේනාධීර මට මතක් වන ලේඛකයන්ය.
අනාගතයේ මා වෘත්තීය ජීවිතය සඳහා තෝරා ගන්නේ සිනමා පුවත්පත් කලාව යයි දැඩි ලෙස සිතුවේ අප පියා සතු මුද්‍රණාලයේ සිනමා සඟරාවක් මුද්‍රණය කරනු ලැබීම හා එය සැලසුම් කරන ආකාරය දැකීමෙනි. කොබ්බෑවල රණසිංහ (අද ජීවත්වන ජ්‍යෙෂ්ඨතම කවියෙකි. සුබසෙත නියෝජ්‍ය කතුවරියක වූ දීපානි රණසිංහගේ පියාය) සංස්කරණය කළ 'නිළිය' සඟරාවේ පළ කිරීමට ගෙනා රුක්මණී, ෆ්ලොරිඩා, ක්ලැරිස්, මේබල්, සුරයියා, නර්ගීස් ආදී නළියන්ගේ ඡායාරූප දැකීමෙනි. එවකට මා හය හැවිරිදි කුඩා දරුවෙකි. මට මේ සිද්ධි යාන්තමට මතකය. 'නිළිය' සඟරාවේ තීන්ත සුවඳ මගේ ජීවිතයටම කා වැදී තිබුණි. පාසල් යන කාලයේදී ආරියරත්න කහවිටගේ 'කලා' හා ආතර් යූ. අමරසේනගේ 'විසිතුර'ට විශේෂාංග ලියූ මගේ සිත තිබුණේ 'සරසවිය'ට ලිවීමය.
එවකට අප ආනන්දයේදී නිර්මාණය කළ 'නිම්වළල්ල' චිත්‍රපටයේ පින්තූර ද රැගෙන 1968 වසරේ මුල්වරට 'සරසවිය' කර්තෘ මණ්ඩලයට ගියේ දේවාලයකට යන බැතිමතෙකු පරිද්දෙනි. මා එහි කැඳවා ගෙන ගියේ ආනන්දයේ ඉගෙන 'සිළුමිණ' කර්තෘ මණ්ඩලයේ සේවය කළ 'නිම්වළල්ල' චිත්‍රපටයේ කතාව ලිවූ සුනිල් මාධව ප්‍රේමතිලකය.
'ලකී මූ ආනන්දේ ඉගෙන ගන්න කොල්ලෙක්. උන් චිත්‍රපටයක් කරනවා උදව් කරපං' සුනිල් මා කැඳවා ගෙන ගොස් සරසවියේ දෙවැනි මුලාදෑනියා වූ ලක්ෂ්මන් වික්‍රමසිංහට හඳුන්වා දුන්නේය.
ලක්ෂ්මන් එදා සරසවියේ නියෝජ්‍ය කතුවරයාය. පේරාදෙනිය ලංකා විශ්ව විද්‍යාලයෙන් සංස්කෘත ගෞරව උපාධියක් ලබා සිටි ඔහු ඉඳහිට සරසවිය සම්මාන උලෙළ ගැනත්, උලෙළට සහභාගිවීමට මෙහි පැමිණි චිත්‍රපට විචාරිකා කරංජියා මහත්මිය සමඟ සාකච්ඡා කොට ලියූ විශේෂාංගය හා සරසවිය මැද පිටුව පුරා ලියූ වින්සන්ට් චර්චිල්ගේ රසබර ලිපිය මගේ පත්තර කැපුම් ගොනුවේ සුරක්ෂිතව ඇත. පර්සි ජයමාන්න ලියූ වෝල්ට් ඩිස්නිගේ ලිපිය මට කිසි දිනක අමතක නොවේ. ඔහු අපේ සිනමා දැනුම දියුණු කළ තවත් පූර්වාචාර්යවරයෙකි. සෝමවීර සේනානායකගේ සාහිත්‍ය ලිපි අපේ භාව මණ්ඩල සුපෝෂණය කර තිබුණි. මේ සියලු දෙනාම මටත්, 'නිම්වළල්ල' චිත්රපයටත් උපරිම අනුග්‍රහ දැක් විය. සරසවිය ඇත්තෝ මගේ කුලුපඟයන් වූහ. අඩු වශයෙන් මම සතියකට වරක් නොවරදවාම 'සරසවිය නිවස'ට ගොඩ වැදුණෙමි .මට දැන් අවශ්‍ය 'සරසවිය' පත්‍රයට ලිවීමය. 'සරසවියට' සම්බන්ධවීමටය. මම ඒ බව කීවේ මගේ පියාටය.
තාත්තා තමාගේ සමීපම පැරණිතම හිතවතා වූ එවකට (1969) පළාත් පාලන අමාත්‍ය ආර්. ප්රේ්මදාස මහතාට මා ගැන කීවේය. ප්‍රේමදාස මහතාගේ අමාත්‍යාංශය පිහිටා තිබුණේ කොටුවේ ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ලට යාබදව පිහිටි හේමාස් ගොඩනැගිල්ලේය. තාත්තා සමඟ එහි ගිය මා ලේක්හවුස් සභාපති රංජිත් විජයවර්ධන මහතාට හඳුන්වා දීමෙන් මට සරසවිය පත්‍රයේ දොර විවෘත විය.
සරසවියට මා බැඳුණේ 1969 වසරේදීය. 1994 තෙක් මා සරසවිය කර්තෘ මණ්ඩලයේ විශේෂාංග රචක, උප කර්තෘ, ජ්‍යෙෂ්ඨ උප කර්තෘව සිට 1989 ප්‍රධාන කර්තෘ ලෙස පත් කරන ලදී. වසර 25 සරසවියේ මගේ සේවා කාලයේ සරසවිය සම්මාන උලෙළ 17 ක සංවිධායකවරයකු ලෙස කටයුතු කොට ඇත.
එදා මා 'සරසවිය' පුවත්පතට බැඳෙන විට එහි ප්‍රධාන කතුවරයා විමලසිරි පෙරේරා මහතාය. ඒ මහතා මට හැම සහායක් ලබා දුන් අතර මාව ජ්‍යෙෂ්ඨ උප කතුවර ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතාට භාර කළේය. ඔහු මට විශේෂාංග ලියන හැටි, ප්‍රශ්න අසන හැටි පමණක් නොව පිටු සකස් කරන හැටි ද කියා දුන්නේය. උප කතුවර සෝමවීර සේනානායක මට භාෂාව සකස් කරන හැටි 'හෙඩින්' දමන හැටි කියා දුන්නේය. මගේ සමීපතම මිතුරා, හිතවතා, සහෝදරයා, උපදේශකවරයා වූයේ මෑතදී මියගිය සෝමවීරය. සරසවිය පත්‍රයේ කලා සංස්කාරකවරයා වූ නිමල් පෙරේරා අභයවර්ධන මහතා මගේ චිත්‍ර ඇඳීමේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය. ඡායාරූප යෙදීම, සමබරව පිටු සකස් කිරීමට මට කියා දුන් මගේ ගුරු දෙවියා නිමල් මහතාය. පර්සි ජයමාන්න මට හොඳ ගුරුවරයෙක් විය. තරුණ වියේ සිටි ඔහු වයසට වඩා බොහෝ ඇසූ පිරූ තැන් ඇති විවිධ විෂයයන් ගැන පෘථුල දැනුමක් තිබූ පත්‍ර කලාවේදියකු විය. රීගල්, මැජස්ටික්, ලිබර්ටි යන සිනමා ශාලාවල ප්‍රදර්ශනය වූ සම්භාව්‍ය චිත්‍රපට බැලීමට එක්ක ගොස්, ඉන් පසු හොඳ ආපන ශාලාවකට ගෙනයන ඔහු නැරඹූ චිත්‍රපටය ගැන එහි අධ්යක්ෂ චිත්‍රපටයේ පසුබිම කියා වැඩිදුර කියවීමට පොත පත ද ගෙනවිත් දුන්නේය. මේ හැම කාර්යයකදීම වියදම් දැරුවේ ඔහු බව කෘතඥතාපූර්වකව සටහන් කළ යුතුය.
'සරසවිය' පුවත්පතේ මට මහ නුග ගසක්ම මෙන් සිටි නිමල් පෙරේරා, ලක්ෂ්මන් වික්‍රමසිංහ, සෝමවීර සේනානායක හා පර්සි ජයමාන්න මගේ පත්‍ර කලා ජීවිතයට අත හිත දුන් ගුරුවරුන්ය. අද නිමල් මහතා හා සෝමවීර ජීවතුන් අතර නැත.
මා ලියූ සිනමා ලිපි, සාහිත්‍ය ලිපි මෙන්ම ඕනෑම ලිපියක් මැද පිටුවේ පළ කර දුන්නේ මේ ගුරුවරුන්ය. මා සරසවියේ චිත්‍ර ඇන්දෙමි. අකුරු ඇන්දේය. එකල 1971 වසර සරසවිය පුවත්පත එක් ලක්ෂ පහලොස් දහසක අලෙවියක් සහිත වර්තා තැබූ යුගයකි. 1971 ජූනි 07 සරසවිය පළ වූයේ පොසොන් පොහොය දිනකය. නිමල් මහතා සෝමවීරයන් සමඟ කුමක් දෝ සාකච්ඡා කොට මා කැඳවීය.
'රංජිත් මේ පාර සරසවිය පිට වෙන්නේ පෙසොන් පෝයදාට. සෝමෙ යෝජනා කළා රන්ජිත් ලව්වා පොසොන් චිත්‍රයක් ඇඳලා පිට කවරයට දාන්න' මිස්ටර් නිමල් රැවුල අතගාමින් කීවේය. ඔහු අත තිබූ සිගරැට්ටුව දැල්ල කඩා නැවත කතා කළේය.
සෝමවීර මගෙත් අදහසක් විමසා කවරය අඳින්නට දුන්නේය. මගේ චිත්‍රය පළ වූයේ 'පොසොන් සරසවිය' යන 'හෙඩ් පීස්' එක යටතේය. චිත්‍රයට යටින් සෝමවීර මෙසේ ලියා තිබුණි.
'පොසොන් පුන් පොහෝදා මිහින්තලා පව්ව මතින් සාමය, අහිංසාව හා නිර්මලත්වය ලක්වැසි දනට දායාද විය. සිත්තම ඒ. ඩී. රන්ජිත් කුමාරගෙනි.
එකල සරසවිය පත්‍රයේ දෙවැනි පිටුව බැලීමට පාඨකයෝ සැදී පැහැදී සිටියෝය. 'ජෝට කියන්න' නම් ඒ විශේෂාංගයෙන් පාඨකයන්ගේ පැනවලට ජෝ පිළිතුරු ලිවීය. රත්නපුරේ (ජෝගේ ගම) රන්ජිත් ඉඹුල්පේ ජෝට කවියක් එවා තිබුණි.
'ඔබ එනව බලා පේමන්ට් එකට වෙලා
මම හිටිය උදේ ඔබ කොහේද ගියේ
ජෝ ගේ පිළිතුරවූයේ 'මං ගෙදර ගියා' කියාය.
මම 'සලරුවක කතාව' හා 'තිරයේ ඇදෙන රූ' නමින් ඉදිරියට තිරගත වන චිත්‍රපටයක කතාව කෙටි කතාවක් අයුරින් ලීවෙමි. ඒ සඳහා හොඳ ඡායාරූප ගන්නැයි නිමල් මහතා මට උපදෙස් දුන්නේය. මේ විශේෂාංගය දිගු කලක් ලියූ අතර 'සතුටු සාමීචිය' නම් විශේෂාංගයෙන් ප්‍රවීණ කලාකරුවන්ගේ නිවෙස්වලට ගොස් අලුත් තොරතුරු සොයා ගතිමි. මහගමසේකර ගැන ලියූ ලිපිය පළ වී මාස කිහිපයකින් ඔහු මිය යාම මට දැරිය නොැකි විය. සේකරයන් තමාගේ හොඳම පින්තූර කී බන්දු එස්. කොඩිකාර ගත් ඡායාරූප පළ වූයේ මේ විශේෂාංගයේය.
'මට මේකේ (පින්තූරේ) කොපියක් දෙන්න පුළුවන්දැයි සේකරයන් මගෙන් ඇසූවත් එය දීමට අවස්ථාව නොලැබිණ. ඒ ඊට මාස දෙකකට පසු සරසවියේ මුල් පිටුවේ පළ වූයේ ඔහු මියගිය අවස්ථාවේය. දෛවය කොතරම් දරුණු වීද?
'ගාමිණීගෙන් සහනය', 'මාලිනීගෙන් සහනය' නම් සරසවිය පාඨකයන් විසින් තමාට ජීවන ගැටලුවලදී ඇතිවන ප්‍රශ්නවලට සහනයක් ලබා ගැනීමට තැපැල්පත් එවීය. එකල සරසවිය සතිපතා තැපැල් මල්ල දහස ඉක්ම ගියහ. බෙලිඅත්තේ අසන්නියක 'මාලිනීගෙන් සහනය' ලිපියෙන් මෙසේ ලියා තිබුණි.
'සොහොයුරිය ඔබ එවන් තාවකාලික සුවයකට මුලා වී කටයුතු කළහොත් සමහර විට යථා තත්ත්වයට පත් කළ නොහැකි කැළලක් ඔබේ ජීවිතය පත්වීමට ඉඩ ඇති බව පෙනේ.'
සරසවියේ රස කතා ගැන පොතක් ලිවිය හැකිය. අනාගතයේ එය ලිවීමට මම සිතා සිටිමි. හාස්‍ය, ත්‍රාසය මුසු රස කතා නැතිවා නොවේ. සරසවිය කතු පදවි දැරූ හැම කතුවරයෙක්ම උපරිම ශක්ති ප්‍රමාණයෙන් කලාවට හා කලාකරුවන්ට අත හිත දුන්හ. ඔවුන්ගේ යුග මෙහෙවර විශිෂ්ටය. වර්තමාන 'සරසවිය' ප්‍රධාන කතුවරයාට හා කාර්ය මණ්ඩලයට මම හදවතින් සුබ පතමි.
චිරං ජයතු සරසවිය