අනේ හදවත ගොළු වුණා

ජුනි 27, 2019

නුහුරු නුපුරුදු රහස පිලිබඳ මිහිර ආදරයයි කියා පවුරු බැඳගෙන සිතක වැජඹුණ රසවතී නෑ කොයි ගියා

දිගු කලක් මුළුල්ලේ තරුණ තරුණියන් අත ආදරයේ අත් පොත වූ ගොළු හදවත කරුණාසේන ජයලත් අතින් ලියැවුණු විශිෂ්ටතම නවකතාවක් බැව් අමුතුවෙන් පැවසිය යතු නැත. සරත්චන්ද්‍ර බන්ධෝපාධ්‍යගේ දේව්දාස් සිහිපත් වන ගොළු හදවත තරම් දශක ගණනාවක් මුළුල්ලේ ආදරණීය සිත් පෑරූ නවකතාවක් නැති තරම්ය. උක්ත ගීතය නවකතාකරු ජයලත් විසින්ම රචනා කරන ලද්දකි. ඒ සිය නවකතාවේ එන පෙම් යුවළ පාද කර ගනිමිනි. එය මධුර ගායනාවක් වන්නේ ජීවිතයේ ඇත්තම පෙම් යුවළක් හරහාය. ඔවුහු සත් වසක් පෙම් කොට පති කුලයට පිවිසුණහ. 43 වසක් මුළුල්ලේ සැබෑ පතිදම් රකිමින් ජීවත් වූහ. සිව් වසරකට පෙර ඔහු වෙන්ව ගිය ද ඇය ඉතිරි කාලයම ඔහු ගැන සිතුවේය. ඉක්බිති කම්වූ පරිද්දෙන් ඇය ද ගිය ඉරිදා ඔහු සොයා ගියාය.

ලාංකික ගීතයේ අනන්‍යතාව මුල් යුගයේ ස්වකීය මධුර හඬින් ඔපවත් කොට ගුවන් විදුලි ගීය ද තැටි ගීය ද චිත්‍රපට ගීය ද ඇය විසින් ඔපවත් කරනු ලැබුවාය. 1936 වසරේ ජූලි මස 15 වැනි දින කොළඹ දී උපත ලද ඇය 2019 වසරේ ජූනි මස 23 වැනි දින මෙලොව හැර යන විට අවුරුදු 83ක් ආයු විඳ සිටියාය. ඇය ඉන්ද්‍රාණි විජයබණ්ඩාරයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඇම්.ඇම්.ඩබ්ලිව් විජය බණ්ඩාර හා ලිලියන් විජය බණ්ඩාර යුවළගේ වැඩිමහල් දියණිය ලෙස උපත ලද ඉන්ද්‍රානිට බාල සොහොයුරු සොහොයුරියන් සිව්දෙනෙකි. සත් වසක පෙම් කතාවක කිරුළ ඇය දරමින් පතිකුලයට ඇය පිවිසෙන්නේ 1962 මැයි මස 31 වැනි දිනය. එතැන් පටන් ඇය සිසිර සේනාරත්නයන්ගේ ආදරණී්‍ය භාර්යාව වන්නීය. සිසිර ඇයද දරුවන් වූ සුභානී, සංජය සහ සමීර යන දූපුතුන් ලදහ. මිය යන විට ඔවුහු සිය දරුවන් නිසා මුතුන් මිත්තනියන් බවට පත්ව සිටියහ. චිත්‍ර ලංකා සමාගම මගින් රේඛාව චිත්‍රපටය නිපදවද්දී එහි ගී ගායනයට එක් වන ඉන්ද්‍රාණිට එක් ගීයක් වෙනුවෙන් රුපියල් දෙසිය පණහක් ගෙවනු ලැබිණ. ඒ කාලයේ ඇගේ ලිපිනය 93/72,නාරාහේන්පිට පාර, බොරැල්ලය. දැන් ඇල්විටිගල මාවත එදා නාරාහේන්පිට පාරයි. පති කුලයට පිවිසි පසු ඔවුහු ඇල්විටිගල මාවතේ මහල් නිවාසයන්ගේ සී නිවාස පද්ධතියේ 3/2 පදිංචිව සිටියහ. ඇය අද 27 වැනි දින සවස බොරුල්ලේ කනත්ත සුසාන භූමියේ දී අවසන් ගමන් යන්නීය. මුළු ජීවිතයම ඇය ගත කොට ඇත්තේ බොරැල්ලේමය. අප ඇයට ආදරයට පැවසුවේ ඉන්ද්‍රාණි අක්කා කියාය.

ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ඇයගේ පනස් වැනි ජන්ම දිනය නිමිති කොට රන් පියවර නමින් සිය ජීවිත කතාව ලියා පළ කළාය. එයට රන් පියවර යැයි නම් කරන ලද්දේ අරිසෙන් අහුබුදු සූරීන්ය. ඇය මුලින් ඉගෙනුම ලබන්නේ මියුසියස් විදුහලෙනි. පසුව දේවි බාලිකා විදුහලෙනි. මියුසියස් විදුහලේ ආදර්ශ පාඨය වූ ආලෝකය සොයා යන්න (පදීපං ගවේස්ථ) ඇයගේ ජීවිතයට බලපෑ වග ඇය නිතර පැවසුවාය. විදුහලේ ප්‍රාථමික අංශයේ සංගීත ගුරුවරිය වූ ඊවා පෙරේරා ගුරුතුමිය ඇයගේ ගායන හැකියාව මුලින්ම හදුනා ගත් තැනැත්තියයි. තරුණ බොද්ධ සංගමය මගින් පැවැත්වූ කෝකිල හටන කවි තරගයට මියුසියස් විදුහල ඉදිරිපත් කළ සිසුවිය ඇය වූවාය. එයින් ඇය දිවයිනේම පළමුවැන්නා විය. ප්‍රවීණ සංගීතවේදියකු ව සිටි එඩ්වින් කෝට්ටේගොඩ අතින් ඇය සම්මාන දිනා ගත්තාය. පාසැලේ වේදිකා ගත වු සකුන්තලා නාටකයෙන් ඇය කරළියට පිවිසියාය. ඊළඟට තැනුණු සිරිසඟබෝ නාටකයේ ගායක කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව ද ඇය වූවාය.

ගුවන් විදුලියට විසි පස් වසර සපිරුණු 1952 වසරේ ඒ වෙනුවෙන් සුනිල් ශාන්තයන් හා එක්ව ගීයක් ගයන්නට ලැබීම ඇයගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් විය. ලෝ පුරා රැව් නැගී හේළි නාද පා යනුවෙන් ගැයුණු එම ගීය පද රචනය ගුණපාල සේනාධීරයන්ගේ වුව ගායනය සඳහා ඉන්ද්‍රාණිව පුහුණු කර වන ලද්දේ ගරු මර්සලින් ජයකොඩි පියතුමාණන්ය. එම ගීය ගයන්නට නියමිත ව සිටියේ ඒ වන විට නමක් දිනූ ගායිකාවක වූ චිත්‍රා සෝමපාල වුව ඇය ඒ දිනවල විදෙස් ගතව සිටි හෙයින් ළමා වියේ සිටි ඉන්ද්‍රානිට එම අවස්ථාව හිමිවිය. ගුවන් විදුලියෙන් ලොවට ඇසුණ ඇයගේ හඬ පවුලේ හිතවතකු වූ පසුකලක ජනප්‍රිය සිනමාකරුවකු වූ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා ගේ ඇසළ සඳ ගුවන් විදුලි නාට්‍යයේ ද ගීයකින් ඇසිණ. මේ සමග ඇයට ළමා පිටියේ දොර ඇරිණ. එහි ඇයගේ මුල් ම ගීතය වූයේ තුන් ලෝක ගුරු බුදු සෑසි පියා ගීතයයි. එය එකල ළමා පිටිය මෙහෙය වූ සරත් විමලවීරයන් විසින් රචනා කරන ලදී. මේ අවදියේම ඇය සුසිල් ප්‍රේමරත්න සමග ගැයූ සොම්නස හෝ සංතාපය හමුවේ මව් ගුණ ගීය ද අතිශය ජනප්‍රිය විය. සරත් විමලවීර මෙන්ම සුසිල් ප්‍රේමරත්නයන්ගේ ගේ මග පෙන්වීම යටතේ ඇයට කොලොම්බියා ගි තැටියක ගායනයට ද ඉඩ ලැබිණ. තිලකසිරි ප්‍රනාන්දු ඇයගේ සහාය ගායකයා විය.

ළමා පිටිය සරස්වතී මණ්ඩපය වී කරුණාරත්න අබේසේකරයන් අත එය තවත් විශිෂ්ට ගුවන් විදුලි වැඩ සටහනක් වෙද්දී ඉන්ද්‍රාණී විජයබණ්ඩාරයන්ට තවත් අත්වැලක් ලැබිණ. ආයුබෝවන් වාසනාවන් නම් ජනප්‍රිය ගීය කොලොම්බියා තැටියකයට ඉන්ද්‍රාණි ගැයුවේ කරු අය්යාගේ පදමාලාවකටය. ඒ අවදියේ විශිෂ්ටතම සංගිතවේදින් වූ ඩන්ස්ටන් ද සිල්වා, පණ්ඩිත් අමරදේව, එඩ්වින් සමරදිවාකර වැන්නන්ගේ ද ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර වැනි ගේය පද රචකයන්ගේ ගී පදමාලාවන් ගේ ඇසුර යොවුන් වියේදීම ලබන්නට ඇය පින් කර තිබිණ. මහාචාර්ය සරච්චන්ද්‍ර, චිත්‍රසේන වැනි වියතුන් සබා මැද ගායනයේ යෙදෙන්නට එයින් ඉගෙනුම ලබන්නට ඇයට වාසනාව තිබිණ. මානවසිංහයන් විසින් රචනා කරන ලද බොහෝ ගීත නාටක සඳහා ද ඉන්ද්‍රාණී විජයබණ්ඩාර ප්‍රධාන කාන්තා චරිතයට හඬ දුන්නාය. ඇගේ තාත්තා ඇයගේ ජීවිත ගමනේ ලොකුම අත්වැල විය.

දේවි බාලිකා සිසුවියකව සිටිය දීම ඇයට චිත්‍රපට සඳහා ගායනයට ආරාධනා ලැබිණ. ආරියදාස පීරිස් ගේ ආරාධනයෙන් දේව සුන්දරී, විමලනාත් දිසානායක අධ්‍යක්ෂණය කරන්නට සැරසුණු පටාචාරා, මේ අතර වුවත් මොකක්දෝ හේතුවකට ඒ සඳහා දායක වන්නට ඇයට අවස්ථාව ගිළිහී ගියේය. දිනක් සංගීතඥ බී.එස්.පෙරේරා ඇය සොයා ආවේය. ඒ අලුත් චිත්‍රපටයක ගීත ගයන්නට ය. මුලින් එය අදහා ගත නොහැකිය. චිත්‍රපට සඳහා ලද ආරාධනා ලත් තැනම ලොප් විය. එහෙත් සුනිල් ශාන්තයන් හා ජයකොඩි පියතුමන් ද අලුත් චිත්‍රපටයට සම්බන්ධව සිටියහ. ඒ පැරැණි හැඳුනුම්කම ඇයට මහත් රෙකමදාරුවක් විය. චිත්‍රපට ගායනයට ඇය ඉන්දියාවට යා යුතුවිය. එබැවින් මුල් වරට ගිවිසුම් අත්සන් කෙරිණ. අම්මාට ද ඇය සමග යන්නට හැකි විය. ඒ සදහා ද වෙනම ගෙවීමට නිෂ්පාදකවරු කටයුතු කළහ. මේ ඇය ගේ ද අපේ සිනමාවේ ද හැරැවුම් ලක්ෂයක් වූ රේඛාවයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාවෙන් සිංහල සිනමාවේ ගමන් මග වෙනස් කරද්දි ඉන්ද්‍රාණී සිය ජීවන මගෙහි රේඛාව සොයා ගත්තාය. ඒ එහි ගී ගයන්නට පැමිණි කඩවසම් සිසිර සේනාරත්නයි. සුදු සඳ එළියේ ගීතය රේඛාවට ගැයුණු මුල්ම ගීතයයි. ඒ මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේය. සිසිර ඕලු නෙළුම් නෙරිය රඟලා ගයද්දී ඉන්ද්‍රාණී ඇදී ඇදී යන්න නදී යනුවෙන් අත්වැල ඇල්ලුවාය. රේඛාවේ අලුත් ගායක යුවළ ගේ හාදකම කාටත් කලින් ඇස ගැසුණේ මහා සිනමාවේදියාටය. දෙදෙනා දකින විටම එතුමන් ඇදී ඇදී යන්න නදී යැයි ගයන්නට විය. සිසිරත් ඉන්ද්‍රාණීත් මුල්වරට එකට ගැයූ යුග ගීතය හින්දි තනුවක් අනුව සිසිර විසින්ම වචන යෙදූ ගයා ගීතයන් ගමේ වෙල් එලියේ ගීතයයි.

රේඛාවේ ගී ජනප්‍රිය වූ නිසාම සිනමාස් අධිපති කේ.ගුණරත්නම් ඇය ලවා ඔවුන්ගේ සූරයා චිත්‍රපටයේ එන හිතන්නකෝ අය්යේ ගායනා කරවන ලද්දේ සේලම් හි මොඩර්න් චිත්‍රාගාරයේ දීය. දක්ෂිණමූර්ති සංගීත අධ්‍යක්ෂවරයාගේ වුවමනාව එහි මුල්ම දෙමළ ගීතය ගැයූ ජමුණා රාණි ලවා ගීතය ගැයවීම වුව ගුණරත්නම් හා කරුණාරත්න අබේසේකර දෙදෙනාගේ තීන්දුව වෙනස් කළ නොහැකි විය. ඉන්ද්‍රාණීට ගීය වරදින තුරු දක්ෂිණමූර්ති බලා සිටියේය.

ගායකයකු ලෙස පමණක් නොව සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සිසිර නමක් දිනා ගත්තේය. ඔහු මුල් වරට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙනුයේ හර්බට් එම්. සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ හඳපාන චිත්‍රපටයෙනි. හඳපාන සංගීත අධ්‍යක්ෂණය සිසිර සේනාරත්නයන්ට වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂට හිමි සරසවිය සම්මානය දිනා දුන්නේය. ඒ 1966 වසෙර්ය

සිසිර සේනාරත්නයන් සංගීතවත් කරන ලද චිත්‍රපට ඇත්තේ අතළොස්සකි. එහෙත් එම අතළොස්සේ එන බොහෝ ගීත මියුරුය. එමෙන්ම ඒ හැම චිත්‍රපටයකම ඉන්ද්‍රාණි ද ගී ගයා ඇත්තීය.

එලෙස සංගීවත් කළ එක් චිත්‍රපටයක වුයේ පුංචි බබාය. පුංචි බබා චිත්‍රපටයෙන් ඉන්ද්‍රාණී විජය බණ්ඩාර අලුත්ම නිළියක වෙනුවෙන් පසුබිම් ගී ගැයුවාය. පුදුමය නම් එම නිළියට මුල්වරට කැමරාවට මුහුණ දෙන්නට සිදු වූයේ ද ඉන්ද්‍රාණී ගැයූ ගීතමය ජවනිකාවකටය. පෙම් මදිරා මේ ජීවිතේ ඉතිරියේ හද මීවිතේ යනුවෙන් ගැයෙන මේ ගීතයේ රූපයෙන් දායක වන අලුත් නිළිය පසු කලෙක මෙරට නිළි රැජන වූ මාලිනී ෆොන්සේකා ය. මාලිනී ෆොන්සේකා සිනමාවට හඳුන්වා දීම සඳහා ඇය සොයා කැලණියේ නිවසට යන පිරිස වනුයේ ජෝ අබේවික්‍රම, තිස්ස ලියනසූරිය, ඇන්ටන් අල්විස් සහ සිසිර සේනාරත්න ය.

ඉන්ද්‍රාණී විජයබණ්ඩාර ගායනයට අවතීර්ණය වනුයේ අද මෙන් පහසුකම් ඇති යුගයක නොවේ. බොහෝ අසිංහල කටහඬවල් මෙරට ගායනාය අරක් ගත් යුගයකි එය. ගුවන් විදුලියේ ළමා පිටිය හා සරස්වතී මණ්ඩපයෙන් පාසල් දරුවන් ගායනට පිවිසිය ද ඒ බොහෝ දෙනෙකුගේ ගමන අතරමග නතර විය. ගී ගයන ලද්දේ ආත්ම තෘප්තිය පරම ලාභය කොට ගෙනය. එබැවින් එය දුෂ්කර ක්‍රියාවක් විය. එබඳු පසුබිමක චිත්‍රපට ගීතයෙහි මෙන්ම සරල ගීතයෙ හි ද අනුකරණ ගීයෙහි මෙන්ම ස්වතන්ත්‍ර ගීයෙ හි ද ඇය ගේ අනන්‍යතාව ගොඩනැඟෙනු අපට ඇසෙන්නට ලැබෙයි. එහි ගී සංඛ්‍යාව සිය ගණනක් වුව ඒ සියල්ල මතකයේ රැඳෙන සුලුය. කලක් මගේ පදිංචිය තිබුණේ සිසිර අයියලාගේ නැතහොත් ඉන්ද්‍රාණි අක්කලාගේ ගෙදරට කිලෝමීටර්යක් පමණ දුර ය. එකල මා නිවසේ තනිවම වෙසෙන බව ඇසූ සිසිර අය්යා මට බලවත් උපදෙසක් දුන්නේය. වෙද පරපුරක සාමාජිකයකු වූ සිසිර අයියා මට පැවසුවේ හැමවිටම මී පැණි බෝතලයක් ළඟ තබා ගන්නා ලෙසටය. එය දිව ඔසුවක් බවය. සිසිර අය්යාගේ උපදෙස අදටත් මම පිළිපදින්නෙමි.

සිසිර අයියා වෙනුවෙන් ඔහු සේවය කළ රේගු දෙපාර්තමේන්තුව සිසිරැස නමින් ප්‍රසංගයක් සංවිධානය කරන ලද්දේ එහි අධිකාරිවරයෙක් වූ අශෝක රත්නායක ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙනි. එහි වැඩ කටයුතු කිහිපයකටම දායක වන්නට මට ද වාසනාව තිබිණ. ඔවුන්ගේ සිසින්ද්‍රා නම් ගී ප්‍රසංගය ලෝකයේ බොහෝ රටවල පැවැතිය ද මෙරට දී කිසිසේත් පවත්වන්නට ඉඩ ලැබුණේ නැත. සිසිරැස ප්‍රසංගයේ සමීර පුතු මාගේ පුතුට මල් යහන හදන්නේ ගයනු අසා සිසිර අයියාත් ඉන්ද්‍රාණී අක්කාත් කඳුළු සැලූහ. මේ යුවළ තරම් එකිනෙකාට ලෙංගතුව කටයුතු කළ යුවළක මෙරට කලා කේෂත්‍රෙය් සිටියා නම් ඒ අතින් ගණන් කළ හැකි ප්‍රමාණයකි..

ඔවුහු සරසවිය සමග ද බෙහෙවින් ලෙංගතුව කටයුතු කළහ. එය දීර්ඝ කාලීන බැඳීමක් විය. ඇගේ සිනමා ගායනා ඉතිහාසය වෙනුවෙන් සරසවිය ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. ඒ 2007 වසෙර්ය. පසුගිය වසරේ වෙසක් සමයේ ලේක් හවුස් මන්දිරය ඉදිරිපිට පැවැති බැති ගී ප්‍රසංගයට ඇය මගේ ආරාධනය පිළිගත්තේ නොපැකිළවමය. ඒ වන විට ඇය ඇවිදීමට තරමක අපහසුතාවකින් පෙළුණාය. එහි ම ආරාධනා ලැබ පැමිණි ඉෂාක් බෙග් එක් අතකින් ද පුත් සමීර තවත් අතකින් ද ගෙන ඇය ලේක් හවුස් වේදිකාවට ගොඩ වැදුණු අයුරු තවමත් මට මතකය. ඉන් පසු අප හමුවූයේ ස්වාධින රූපවාහිනියේ විකාශය වූ නොමියෙන සිහිනය සජීවි වැඩසටහනෙනි. උදය තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් ඉන්ද්‍රජිත් සුරවීර මෙහෙය වූ එම වැඩ සටහන පාදක වූයේ සිසිර අයියා ගැනය. මා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කර්තෘ නුවන් නයනජිත් කුමාරත් ආරාධිතයන් ලෙස එයට සහභාගි විය. ඉන්ද්‍රාණි අක්කාත් සමීරත් මනෝජ් පීරිස් ගේ සංගීතයට ගායනා කළහ. සිසිර අයියා යනු ඇයගේ මුළු ජීවිතයම බව අපට තවත් කියා දෙන්නට වුවමනා නොවීය.

ඉන්ද්‍රාණී විජයබණ්ඩාර සමඟ අපේ සිනමා ඉතිහාසයේ මෙන්ම අපේ යුගයේ පරිච්ඡේදයක් නිමා වන්නේය. ඇය ගායිකාවක ලෙස අප දකිනුයේ අපට වඩා වැඩිමහල් පරම්පරාවක මවක හැටියටය. එහෙත් ඇය ගේ ගී අපට යොවුන් වියේ චමත්කාරය පසක් කළේය. අප ගීතය විඳීන්නට උගත්තේ එයිනි. ඒ පරම්පරාවට අප ආදරය කරනුයේ ගීත කලාව ඔවුන්ගේ ආත්මය වූ බැවිනි.

සිසිර අයියාට දෛවයේ පරිදි ඇය හමුවන්නට ඇතැයි විශ්වාස කරමු. ඇය ද ඔහු මෙන්ම වෙන්ව ගියේ සිනමා කලා ඉතිහාසයේ තවත් යුගයක් නිමා කරමිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.