සුපිරි නළුවකු නොවුණ සුපිරි දේශපාලකයා

අගෝස්තු 6, 2020

අපේ සිනමා ඉතිහාසයේ සිතා මතා මකා දමන ලද මුල් යුගයේ කථාව ලිවීමේ භාරධූර කර්තව්‍යය පසුගිය වකවානුවේ අතපසු වූයේ කොවිඩ් 19 වසංගතය සමගය. ඒ පැරැණි ලිපි ලේඛන පරිශිලනය කිරිමට බාධා ඇති වූ හෙයින්ය. කෙසේ වෙතත් මේ ලිපි මාලාව යළි ආරම්භ කරන්නට දැන් හැකියාව ඇතැයි විශ්වාස කරමි. පසුගිය මාර්තු මස 19 වැනි දින අප විසින් සොයා බලන ලද්දේ මෙරට මුල්ම චිත්‍රපට නිෂ්පාදනය වන රාජකීය වික්‍රමය පිළිබඳවය.

 මෙරට තිර ගත කරන ලද මුල්ම ලංකික චිත්‍රපටය ලෙස සැලකිය හැකි රොමානිස් චිත්‍රපටය  පිළිබඳ එයට පෙර අපි සටහන් කළෙමු. මෙම සමස්ත ලිපි මාලව එය කියැවීමට අවශ්‍ය කිසිවකුට හෝ ඹඹඹ.ඵචපචඵචමඪරච.තඬ වෙබ් අඩවියෙන් කියැවිය හැකි නමුත් ලිපි මාලාවේ නව ප්‍රෙව්ශය සඳහා එය අතරමග නතර කර දමනලද මාර්තු දහ නව වැනි දින  නිකුත් වූ සරසවිය  කලාපයේ ලිපිය පිළිබඳ යළි සිහිපත් කරන්නට අපි තීරණය කළෙමු.  රාජකීය වික්‍රමය චිත්‍රපටය නිපැදවීම පිලිබඳව 1955 වසරේ ඔක්තෝබර් මස  පස්වැනි ඉරුදින  ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරෙන් කරුණු ඉදිරිපත් කළෙමු. එය එවකට රුවන්වැල්ල පාර්ලිමේන්තු මන්ත්‍රි හා විපක්ෂ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා සමඟ  පුරෝගාමි සිනමා ලේඛකයකු වන ඩී.වී.සෙනෙවිරත්න මහතා විසින් කරන ලද සාකච්ඡාවක් අනුව ලියැවුණ එකකි. එමඟින් ආචාර්ය එන්.එම් තමා රඟපෑ  මුල්ම චිත්‍රපටය පිළිබඳ මුල්වරට මාධ්‍යයට අනාවරණය කර සිටියේය. රාජකීය වික්‍රමය පිළිබඳ රහස සෙනෙවිරත්න මහතාට අනාවරණය වූයේ  එම චිත්‍රපටයේම  රඟපෑ ටවර් හෝල් දක්ෂ නළුවකුව සිටි ඇම්.පී.ඇල්බට් සිල්වා මහතාගෙනි. චිත්‍රපටය පිළිබඳ අනාවරණය වූ පසු සෙනෙවිරත්න මහතා රාජකීය වික්‍රමය නිෂ්පාදක ටී.ඒ.ජේ. නූර්බායි ගේ  වැඩිමහල් පුත්‍රයා වූ ගුලාම් හුසේන් හමුව චිත්‍රපටය පිළිබඳ වැඩිපුර තොරතුරු දැන ගන්නේය. එයින් පසු ඒ වන විට නාට්‍ය කතුවරයෙක් හා චිත්‍රපට ශිල්පියකු වූ ධර්ම ශ්‍රී කල්දේරා සමඟ ආචාර්ය එන්.එම්.පෙරේරා සොයා යන්නේය. තවත් දශකයකට පසු සීතල වතුර, මී මැස්සෝ, රෑන ගිරව්, රත්ත්රන් අම්මා, රං ඔන්චිල්ලා වැනි ජනප්‍රිය චිත්‍රපට තැනූ කල්දේරා ඒ වනවිට පුවත්පත් කලාවේදියකු ලෙස ටයිම්ස් ආයතනයේ සේවය කළේය.  එමෙන්ම ඔහු චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වි තිබිණ. පුවත්පත් කලාවේදියකු, සිනමා ඉතිහාසඥයකු,  නාට්‍යකරුවෙකු, වූ සෙනෙවිරත්නයන් එකල ජනප්‍රිය චිත්‍රකතා කිහිපයක ද රචකයා විය. සිරිසේන විමලවීරයන් තැනූ මා ආලය කළ තරුණිය චිත්‍රපටයට පාදක වන නවකතාව මෙන්ම එහි තිරරචකයාවූයේ ද සෙනෙවිරත්න මහතාය. අශෝකමාලා චිත්‍රපටය තනන්නට ගොස් නායගම් සමඟ විරසකව සිටි ශාන්ති කුමාර් සෙනෙවිරත්න ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර් වෙත යොමු කිරීමේ කපුකම කරනුයේ ද ඔහුය.  කල්දේරා ද එකල චිත්‍රකතා රචකයකු ලෙස පතළ ව සිටියේය. මේ අභිරහස් චිත්‍රපටය ගැන කරුණු විමසත්ම පුදුමයට පත් වූ ආචාර්ය එන්.එම්. ඔබ කාරණය දැන ගත්තේ කොහොමදැයි තමන්ගෙන් විමසූ බව සෙනෙවිරත්න මහතා පසුකලෙක ලියන චිත්‍රපටි කලාව නම්  ග්‍රන්ථයේ  සඳහන් කරයි. එම ග්‍රන්ථයේ සඳහන් වන පරිදි  ලිපිය පළව ඇත්තේ 1955 නොවැම්බර් මස 3 වැනි දින ඉරිදා ලංකාදීපයේය. 

මෙරට සිනමා ඉතිහාසය පිළිබඳව ලියැවුණු පැරණිතම ග්‍රන්ථය වන චිත්‍රපටි කලාව ලියා ඇත්තේ මෙරට සිනමා ඉතිහාසය  පිළිබඳ සෙනෙවිරත්න මහතාගේ අත්දැකීම් සහිතව අවංක සිතිනි. එය කිසිකලෙක ඊළඟ පරම්පරාව මඟින් කරුණු ගවේශනය කරන  ග්‍රන්ථයක් වනු ඇතැයි ඔහු සිතන්නට නැත. එබැවින් එහි කරුණු පිළිබඳ සැලකිලිමත් වුවත් දිනවකවානු පිළිබඳ නිසි ලෙස සැලකිලිමත් වූ වගක් පෙනී යන්නේ නැත. එයට ඔහුට දොස් පැවරිය යුතු නැත. එහෙත් එයින් පසු මේ ග්‍රන්ථය ආශ්‍රය කර ගත් බහුතරය එහි එන දින වකවානු පිළිබඳ සැලකිලිමත් නොවුණ බව පසක් වෙයි. තමන් මූලාශ්‍ර කොට ගත්තේ චිත්‍රපටි කලාව ග්‍රන්ථයයැයි සඳහන් නොකරන ඇතැම්හු අදාල තොරතුරු 1955 නොවැම්බර් 3 වැන දින ඉරිදා ලංකාදීපයෙන් සෘජුවම උපුටා  ගත් වග ඇතැම් නිබන්ධනයන්ගේ  සඳහන් කරනුයේ ලජ්ජාවකින් තොරවය.  එහෙත් ඇත්ත නම් මේ ලිපිය පළවනුයේ නොවැම්බර් 3 වැනි දින පුවත්පතේ නොව එයට මාසයකට පෙර ඔක්තෝබර් 5 වැනි දින ඉරිදා ලංකාදීපයේය. 1955 වසරේ නොවැම්බර් 3 වැනි දින ඉරිදාවක් නොව බ්‍රහස්පතින්දාවකි. (මෙරට තිර ගත කළ මුල්ම කථානාද චිත්‍රපටය මෙලඩි ඔෆ් ලව් එම්පයර්  සිනමාහලේ තිරගතවූයේ 1932 වසෙර්ය යනුවෙන් බොහෝ කෘතින්වල පළවනුයේ ද සෙනෙවිරත්න මහතාගේ ග්‍රන්ථය උපුටා ගැනීමෙන් විනා කිසිදු පැරැණි පුවත්පත් පරිශිලනයකින් තොරවය. මෙලඩි ඔෆ් ලව් තිරගත වනුයේ  1929 වසරේ ජූලි මස 13 වැනි දාය. (කියවන්න 2019 නොවැම්බර් 7 සරසවිය. හෝ ඹඹඹ.ඵචපචඵචමඪරච.තඬ අඩවියට පිවිසෙන්න)  ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ වූ මේ නිවැරැදි දිනයේ ලිපිය කොළඹ ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවේ දී  සොයා දුන්නේ එහි සම්පත් බිමල් අබේසේකර මහතා බව කාරුණිකව සඳහන් කරන්නට කැමැත්තෙමි.

රාජකීය වික්‍රමය පිළිබඳ සිය ග්‍රන්ථයේ ලියන සෙනෙවිරත්න මහතා 1920 වසර වන විටත් බයිස්කෝප් නැරඹීමට මෙරට ජනතාව තුළ උනන්දුවක් නොවුණ වග සඳහන් කරසිටියි. සෙනෙවිරත්න මහතා එම ලිපියේ විස්තර කරන්නේ මෙහෙමය.

‘1920 පමණ වකවානුවේ දී නූර්බායි මහතා වැල්ලවත්තේ ප්ලාසා සිනමා ශාලාව සාදා එහි නිශ්ශබ්ද චිත්‍රපට පෙන්වීමට පටන්ගත්තේය.(මෙය 1924 වසරයි. වැඩිදුර විස්තර සඳහා සරසවිය වෙබ් අඩවියට පිවිසෙන්න)   එකල බයිස්කෝප් බැලීමට මහජනයා තුළ දැන් මෙන් උනන්දුවක් නොතිබුණ බැවින් ඒවා බැලීමට ගියේ ද ටික දෙනෙකි. එය සිංහල නාටකය අතිශයින් ජනප්‍රිය වී තිබුණ කාලයකි. මෙරට නළු නිළියන් යොදා මෙරට පරිසරය ඇතිව නිශ්ශබ්ද චිත්‍රපටයඅක් නිෂ්පාදනය කිරීමට අදහස් කළ නූර්බායි මහතා එකල නාට්‍ය   ශිල්පය ගැන දැඩි  ආශාවක් දක්වමින් සිටි ඇන්.ඇම්.පෙරේරා මහතාගේත් ටවර් හෝල් නළු නිළියන් කිහිප දෙනෙකුගේත් ආධාර ඇතිව චිත්‍රපටයක් පිළිවෙළ කිරීමට පටන් ගත්තේය. ඔහු තම කතාව වශයෙන් හින්දි චිත්‍රපටි කතාවක් තෝරා ගෙන ඊට රෝයල් ඇඩ්වෙන්චර් (රාජකීය වික්‍රමය)  යන නම යෙදුවේය. තරුණ ඇන්.ඇම්. කතා නායකයා වශයෙනුත් පාසැල් ශිෂ්‍යාවක් වන ලංසි තරුණියක් කථා නායිකාව වශයෙනුත් තෝරා ගන්නා ලදී. එකල ටවර් හෝල් ප්‍රසිද්ධ නළුවන් වූ ඇන්.පී.ඩී.ඇල්බට්  ද සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා යන දක්ෂ නළුවෝත් තවත් දක්ෂ නළුවකු වූ ග්‍රේෂන් පෙරේරාත් එහි අතිරේක කොටස් නිරූපණයට යොදා ගන්නා ලදහ. ග්‍රේෂන් පෙරේරා කතාවේ දාමරිකයා හෙවත් විරුද්ධවාදියා වශයෙන් රඟ දැක්වූ අතර සෙසු නළුවන් කිහිප දෙනා දාමරික කණ්ඩායම වශයෙන් රඟ දැක්වූහ. 

කථාව චිත්‍රපටයට නඟන ලද්දේ දැනට බම්බලපිටියේ මාරකැට්ටුව සහ රේස් පිට්ටනිය අතර පිහිටි විශාල වත්තක් සහිත ගොඩනැගිල්ලකය. ජවනිකා,වීදි,කැලෑ  ගෙවල් යනාදිය සාදා එහි  කුඩා චිත්‍රපටි නිෂ්පාදනාගාරයක් බිහි කරන ලදී. ඉන්දියාවෙන් චිත්‍රපටි ඡායාරූප යන්ත්‍රයක් සහ ඡායාරූප ශිල්පියෙකු ගෙන්වන ලදුව කථාව චිත්‍රපටයට නැගීම ආරම්භ වීය. අතින් ක්‍රියාකරවන ලද මෙම අරුම පුදුම යන්ත්‍රය ඉදිරියේ රඟ දක්වනු මිස ඡායාරූප යන්ත්‍රය වෙත ගොස් එය පරීක්ෂා කර බැලීමට ඡායාරූප ශිල්පියා නළුවන්ට ඉඩ නොදුන් බව එම චිත්‍රපටයේ‍ රඟ දැක්වූ ඒ  වන විට   ජීවත්ව සිටි  ඇම්.පී.ඇල්බට් මහතා පැවසූ බැව් සෙනෙවිරත්න මහතා සදහන් කරයි.

චිත්‍රපටයේ ඇතැම් ජවනිකා රූප ගත කරන ලද්දේ කෝට්ටේ දියවන්නා ඔය අසබඩ කැලෑ ප්‍රෙද්ශයකැයි ද සඳහන් වෙයි. මේ අවදියේ කෝට්ටේ දියවන්නා ඔය අසබඩ  වනාශ්‍රිත පෙදෙස් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වෙතත් බම්බලපිටිය ආශ්‍රිත පෙදෙස් අද තරම් නොවුණත් ප්‍රමාණවත් ජනතාවක් සිටි පෙදෙසකි. වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලය පිහිටි ස්ථානයේ එය ආරම්භ වනුයේ 1921 වසෙර්ය. ඒ අසල රාජකීය විදුහලේ ගොඩනැඟිල්ලක් ද එකතු කරගෙනය. අද විශ්වවිද්‍යාල කොලෙජ් හවුස් ගොඩනැගිල්ල වන එවකට රෙජිනා පැලස් නමින් හැඳීන්වුණ මන්දිරය මෙන්ම  එයට මදක් නුදුරින් පිහිටි  ෂාෆි විලාස් හෙවත් එකල ලක්ෂ්මි භවන් වැනි සුවිසල් මැදුරු ද මේ වන විට ඉදිව තිබිණ. අද ඉන්දියානු   මහකොමසාරිස් නිල නිවහන පවා එකල පවතින්නට ඇතැයි එහි සැලසුම දකිද්දී පෙනෙන කරුණකි. එම අවදියේ මේ ප්‍රෙද්ශයේ සියලු බ්ම් වැඩි කොටසක් අයත්ව තිබුණේ චාල්ස් සොයිසා පවුලට හා ඔවුනගේ ඥාතින්ට  වුවත් මේ දශකය වන විට සොයිසාවරුන්ගේ ගේ ස්වර්ණමය යුගය අවසන් වෙමින් පවතින බව පැහැදිළිව පෙනෙන්නකි. කෙසේවෙතත් එයට සාපේක්ෂව බම්බලපිටිය ගාලු පාර ආශ්‍රිත තිබුණු පොල් ඉඩම් ඇතුළු ඉඩම් රැසක් හිමිව තිබුණේ  නූර්බායි අයත්ව තිබුණු බෝරා ජන කොට්ඨාසයටය. රාජකීය වික්‍රමය දර්ශණ තල සඳහා භාවිතා කරන්නට ඇති බම්බලපිටිය අවට ඇති බිම් ඉඩකඩ මෙම සුවිසල් මන්දිර හා බෝරාවරුන්ගේ ඉඩකඩම් විය යුතුය. මේ වනවිටත් නූර්බායි වාර්තා චිත්‍රපට නිෂ්පාදයේ යෙදුණ බව අපි මුල් ලිපියක  සඳහන් කළෙමු.

මෙරට දේශපාලනයේ යෙදුණ පුද්ගලයන් අතර වඩාත් කඩවසම් පුද්ගලයකු වූ ආචාර්ය එන්.එම්.පෙරේරා රඟපෑ රාජකීය වික්‍රමය චිත්‍රපටය පිළිබඳ කාලයේ වැලි තලාවෙන් සැඟව ගිය කරුණ හෙළිදරව් වනුයේ සෙනෙවිරත්න මහතාගේ මෙම ලිපියට පින්සිද්ධ වන්නටය. චිත්‍රපටය පිලිබඳ ආචාර්ය එන්.එම් තවත් කරුණු හෙළි කරනුයේ තවත් බොහෝ කලකට පසුවය. එහෙත් ආචාර්ය ඇන්.ඇම් නමැති දේශපාලකයාගේ ජීවිත කථාව ලියන  බොහෝ ලේඛකයන් ඔහු අතින් ගිලහී ගිය අපේ සිනමාවේ මුල්ම සුපිරි තරුව වීමේ වරම ගැන වැඩිදුර සොයා බලන්නේ නැත. මෙම  අවස්ථාව හෙළිදරව් කළේ නම් මෙරට සිනමාවේ නොලියැවුණු කතාන්දරය තවත් සම්පූර්ණ කරන්නට රුකුලක් වනු ඇත.